Thursday 3 January 2019

ගූගල් දින ජනවාරි 2 හා 3: 50 වසක් දිවෙන කාටුන් හා සාවිත්‍රි බායි

ජනවාරි 2 වෙනිදා ගැන මේ වසරේ තිබුණේ සිංගප්පුරුවේ වසරේ පළමු පාසල් දින ලෙසයි. ලංකාවෙත් එහෙමනේ. ගුගල්ට ලංකාව අමතක වෙලා. ඒ නිසා මම හිතුව පසුගිය වසරක මේ වගේ දිනක google doodle පළවුණු වැදගත් දේ පලකරන්න.

ජනවාරි 2 : 
වසර 50 කටත් වැඩි කාලයක් නොකඩවා ප්‍රචාරය කෙරෙන රුපවාහිනී ළමා වැඩසටහනක් Vecernicek. 1965 ජනවාරි දෙවෙනි දින චෙකොස්ලොවේකියාවේ දී ප්‍රචාරය ඇරඹු මෙම වැඩ සටහන දැන් චෙක් ජනරජයේ සංස්කෘතික උරුමයක් තරමටම ජනතාව සමග බද්ධ වී ඇති එකකි. 
ළමුන් නින්දට සුදානම් වන හවස 6.45ට විනාඩි පහත් අටත් අතර කාලයක ප්‍රචාරය වන කෙටි ළමා කතාවක් හෝ ජන කතාවක්  vecernicek වැඩ සටහනට ඇතුලත් වේ. 
මුලදී සතියකට එක වරක් පමණක් ප්‍රචාරය වූ මෙම වැඩසටහන ක්‍රමයෙන් දින ගණන වැඩි කරමින් 1973 සිට දිනපතා විකාශය වේ. මුලදී කළු සුදු වැඩසටහන් වූ මෙය 1973 සිට වර්ණ සහිත කාටුන් වේ.
චෙකොස්ලෝවෙකියව චෙක් හා ස්ලොවේකියා ලෙස වෙන්වීමට පෙර එකම කතාවේ පිටපත් දෙකක් රටේ අදාළ ජන සමුහයා වෙසෙන පළාත්වල ප්‍රචාරය විය. 1993 රටවල් දෙකක් ලෙස වෙන්වූ පසුත් චෙක් රාජ්‍යයේ අද තෙක්ම නොකඩවා ප්‍රචාරය වීම vecernicek විශේෂත්වයයි.
මුලදීම නිර්මාණය වූ මුල් හා පසු තේමා වාදන අදත් උපයෝගී කරගැනේ. කාටුන් අතින් අඳින එකල විනාඩි පහක වැඩ සටහනක් සඳහා පින්තුර 3500ක් පමණ නිර්මාණය කිරීමට සිදුව තිබුණි. නව තාක්ෂණය සමග එයට එතරම් කාලයක් ගත නොවූවත් ඉතා සැලකිල්ලෙන් වැඩි කාලයක් යොදවමින් උසස්  තත්වයේ වැඩසටහනක් ලබා දීමට අදත් එය නිර්මාණය කරන අය සැලකිලිමත් වෙති. කතාංග 10කට නොඅඩු ප්‍රමාණයකින් සමන්විත කථාමාලා ලෙස ප්‍රචාරය වන vecernicek කතාමාලා 500කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට විකාශය වී ඇත.
මෙය ළමයින් අතර  පමණක් නොවේ දෙමාපියන් හා වයසක වැඩිහිටියන් අතරද එක සේ ජනප්‍රියයි. පැරණි කොටස් නැවත ප්‍රචාරය සඳහා වැඩිහිටියන්ගෙන් නොමද ඉල්ලුමක් ඇත.
"අපි එලෙස පැරණි වැඩසටහන් ප්‍රචරය කල විට ඔවුන් ඒවා සිය ළමා කාලයේ කොටසක් ලෙස මතකයට නගනවා" මුල සිටම වැඩ සටහනට දායකත්වය දුන් 90 වියේ පසුවන Zdenika Deitchova  පවසන්නීය. 
"ළමුන් සඳහා වැඩ සටහන් නිෂ්පාදනය, කෙනෙක්ට කළහැකි හොඳම දෙයක්. ක්‍රියාදාම වැඩ සටහන් ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒත් කාලය ගතවීමත් එක්ක ඒවායේ වටිනාකම නැතිවෙනවා. බලද්දි ලජ්ජත් හිතෙනවා. එහෙත් කාටුන් වැඩසටහන් එලෙස වයස්ගත වෙන්නේ නැහැ. අවුරුදු පනහකට පෙර නිෂ්පාදනය කළ වැඩසටහනක් වුනත් එම ගුණාත්මක තත්වයෙන්ම එම උනන්දුවෙන්ම බලන්නට පුළුවන්"

ජනවාරි 3
රටවල් දෙකක ඉපදී සමාජයේ කාන්තාවන් උදෙසා එක්බඳු සේවයක් සැපයූ ජනවාරි තුන්වන දින ඉපදුනු කාන්තාවන් දෙදෙනෙක් ගැනයි මේ.
සාවිත්‍රිබායි පූල් (1831- 1897) : ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොවි පවුලක සාවිත්‍රි බායි ඉපදුණේ වසර 188කට පෙරයි. ඉන්දියාව බ්‍රිතන්‍ය යටත් විජිතයක් ලෙස තිබු,  බොහෝ ඉන්දියානු කාන්තාවන්ට අධ්‍යාපනය සිහිනයක්ව තිබු එම සමයේ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් ඉමහත් කාර්යයක් කළ සාවිත්‍රි බායි අදටත් සිහිපත් කරන්නේ කාන්තා අධ්‍යාපනයේ දෙවඟන ලෙසයි.
වයස අවුරුදු නමයේදී අවුරුදු 12ක් වූ ජෝතිරාඕ පූල් හා විවාහ වූ ඇයට දරුවන් ලැබුනේ නැත.  කුල භේදයට එරෙහි අදහස් ඇති සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ජෝතිරාඕ 1948දී ඉන්දියාවේ ප්‍රථම කාන්තා පාසැල පූනේ හිදී විවෘත කළේය. එහි ගැහැණු ළමයින්ට ඉගැන්වූයේත්, දෙමාපියන්ට කාන්තා අධ්‍යාපනයේ වටිනාකම ගැන පහදා දෙනු ලැබුයේත්  සාවිත්‍රි බායි විසිනි. මේ නිසා ඇය ඉන්දියාවේ ප්‍රථම කාන්තා ගුරුවරිය ලෙසද සැලකේ. එම පාසල ඕනෑම කුලයක ගැහැණු දරුවකුට විවෘත කිරීමෙන් එකල සමාජයේ මුල් බැසගෙන තිබු කුල භේදයටද අභියෝග කළාය. ඉන්පසු දෙදෙනා එක්ව තවත් පාසල් 17ක් විවෘත කළහ.
කාන්තාවන් සාක්ෂර කිරීමෙන් නොනැවතුණු ඇය, කුලය හා ස්ත්‍රීයක වීම නිසා සමාජයෙන් සිදුවන අක්‍රමිකතාවනට එරෙහිව ක්‍රියාකාරී දායකත්වයක් සැපයුවාය. කවිය මාධ්‍යයක් ලෙස උපයෝගී කර ගැනීමට ඇය අධ්‍යාපනයට කාව්‍යය යොදාගත් සැමියා මග යමින් කවි ලියුවාය. බිලිඳියන් ඝාතනය, ළමා විවාහ හා වැන්දඹු සතිපුජා වැලැක්වීමට ඇය විසින් නොබියව ඉටු කල මෙහෙය, කාලයට ඉදිරියෙන් සිටි කාන්තාවක බවට ඇයව පත් කර ඇත. කාන්තාවන් බල ගැන්වීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ඇය, සිය හදාගත් පුත්‍රයා සමග මහාමාරිය වසංගතයෙන් පිඩාවට පත් ජනතාවට උදව් කරමින් සිටියදී මහාමාරිය වැළඳීමෙන් මරණයට පත්වූවාය.
කාන්තාවන් ශක්තිමත් කිරීමට නෙක දිරිය දුන් නිර්භීත කාන්තා සලකුණක් ලෙස ඉන්දීය ඉතිහාසයේ සාවිත්‍රිබායි පූල් නොමැකෙන සටහන් තබා ඇත.

එමා ඉහ්රේ (1857- 1911):

1857 ජනවාරි තුන්වැනිදා පෝලන්තයේ උපත ලද එමා ජර්මනියේ  බර්ලින් නුවරට පැමිණියේ විවාහයෙන් පසුවයි. එහිදී ස්ත්‍රී ඇඳුම් නිමවන රැකියාවක් ලැබීමෙන් පසු ඇයට රැකියාවන්හි යෙදෙන කාන්තාවන් මුහුණ දෙන  දුක් ගැහැට ගැන සමීප අත්දැකීම් ලැබුණි. කාන්තා පිහිට උදෙසා යයි පිහිටුවා තිබු Women's Aid Association for Handicraft නම් සංවිධානයට බැඳුනත් එයින් රැකියා පුහුණුව හා මුල්‍ය සහය ලබාදීම වැනි මූලික පහසුකම් හැර වෙන යමක් නොසිදුවන බව දැනගත් එමා ඉන් ඉවත්වී, කාන්තා අයිතීන් පිලිබඳ ලිවීමට පෙළඹුනි. කාන්තාවන්ට පිරිමින් හා සම රැකියා අවස්ථා, වැටුප් මෙන්ම අයිතීන් ලැබිය යුතු බවට ලිපි හා පත්‍රිකා ගණනාවක් ඇය වෙතින් සම්පාදනය වන්නේ ඉන් පසුවයි.
එකල සමාජයේ මුල් බැසගෙන තිබුණු කාන්තාවන්  පිලිබඳ මති මතාන්තර අභියෝගයට ලක් කිරීමක්ද ඇය වෙතින් සිදුවිය. කාන්තාවන්ගේ මොලය පිරිමින්ට වඩා කුඩා නිසා පිරිමින්ට තරම් හැකියා නැති බවට තිබු අදහස ඇය නිර්දය ලෙස විවේචනයට ලක් කළාය.
1885 එමා විසින් ආරම්භ කරන ලද Association for the Representation of the Workers' Interests සංවිධානය ඉක්මනින් ජනප්‍රිය වූයේ එය වැටුප් ගැටළු පිලිබඳ කෙලින්ම කතා කළ නිසාත්, රැකියා කොන්ත්‍රාත් පිළිබඳව එක් එක් නිෂ්පාදන සමාගම් සමග වෙන් වෙන්ව සාකච්ඡ කළ නිසාත්ය. මෙය එමාගේ ජිවිත කාලයම කැපවූ වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල  ආරම්භය විය. ඉන්පසු ඇය විවිධ වෘත්තීය සමිති හා සමාගම් ගණනාවක් මෙහෙයවූවාය. වර්ජන හා විරෝධතා ව්‍යාපාරවලට නායකත්වය දුන්නාය.
එක් අවස්ථාවකදී පොලිසිය විසින් ඇයගේ  සංවිධානය තහනම් කර සමාජ නීති උල්ලංඝනය කල බවට සඳහන් කරමින් දඩ නියම කරනු ලැබුණි. එහි ප්‍රතිඵලය වුයේ වැඩි අවධානයක් ඔවුන් වෙත ලැබී නිර්ධන පන්ති කාන්තා ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. ඖෂධවේදියෙක් වූ සැමියාගේ මුල්‍ය ආධාර ඇතිව The Worker හා The Equality නමින් සඟරා දෙකක් ආරම්භ කිරීමට ඇය සමත් වුවාය. පසු කාලිනව කොමියුනිස්ට් රටවල කාන්තා අයිතීන් නිසගයෙන් දිනාගැනීමට එමා වෙතින් වූ මෙහෙය සුළුකොට තැකිය නොහැකිය.
එමාගේ ඉහ්රෙර් ජිවිතයේ ඵලදායිම සම්පත ලෙස සැලකුයේ අනුන් වෙනුවෙන් ක්‍රියා කිරීමයි . 

උදව්:
www.radio.cz/en/section/panorama/vecernicek-celebrates-40-years
www.ceskatelevize.cz/porady/0-vecernicek/5626-historie-vecernicku/
en.wikipedia.org/wiki/Večerníček
https://www.thequint.com/neon/social-buzz/savitribai-phule-birth-anniversary
en.wikipedia.org/wiki/Savitribai_Phule
www.google.com/doodles/emma-ihrers-161st-birthday
http://www.fembio.org/biographie.php/frau/biographie/emma-ihrer

2 comments: