Thursday 10 May 2018

අම්මාවරුන්ගේ දිනය සැමරීම (කෙටි කථාව)

(Stephen Leacoke ලියු How We Kept Mother's Day කෙටිකතාවේ පරිවර්තනයකි).

    අලුතෙන් ආව අර දින මේ දින ඔක්කොටම වඩා අවුරුද්දකට සැරයක් සමරන 'අම්මාවරුන්ගේ දිනය' තමයි හොඳම. මැයි මාසේ දවසකට මේ වගේ දිනයක් හදල දාපු ගමන් ඇමරිකාවේ ජනප්‍රිය වෙච්ච එක ගැන මමනම් පුදුම වෙන්නේ නැහැ. එංගලන්තෙටත් මේ අදහස ගිහින් ඇති.
    අපේ වගේ ලොකු පවුලකට එකතු වෙන්න හොඳ අවස්ථාවක් හින්ද මේ පාර විශේෂ දෙයකින් අම්මාවරුන්ගේ දිනය සමරන්න තීරණය කළා. අම්මා අවුරුදු ගානක් තිස්සේ අපි වෙනුවෙන් කරපු දේවල්, කැපකරපු තරම්, අපි වෙනුවෙන් වුනු මහන්සිය ගැන තේරුම් ගන්න හොඳ අවස්ථාවක් කරගන්න අපි එදාට පවුලේ ඔක්කොටම නිවාඩු දවසක් කරලා දවස හොඳින් සමරලා අම්මව සතුටු කරන්න හිතුව. තාත්තා එදාට නිවාඩුවක් අරන් උත්සවයට උදව් වෙන්නත්, මාත් ඈනුත් කොලේජ් යන්නේ නැතිව ඉන්නත්, මේරිත්  මල්ලිත් පාසල් නොයා ඉන්නත් තීරණය කළා.
    නත්තල් අලුත් අවුරුදු වගේ ලොකුවට මේ උත්සවය ගන්නයි අපි හිතුවේ. අම්මා නත්තලට ගේ මල්වලින් හා අනිත් සැරසිලි වලින් පුරවන හින්ද ඒ වගේ කරන එක හොඳයි කියල හිතුව.
    මේක ලොකු උත්සවයක් හින්ද නංගිලා දෙන්න ලස්සණටම සැරසෙන්න තීරණය කරලා අලුත් තොප්පි දෙකක් ගත්තා. අම්මා ඒවා වටේට කපලා තවත් අලංකාර කළා. තාත්තා එයාටයි අපි පිරිමි ළමයි දෙන්නටයි අම්මාවරුන්ගේ දිනය සිහිවෙන්න හොඳම වර්ගයේ අලුත් සිල්ක් ටයි  තුනක් ගෙනාවා. අපි අම්මටත් අලුත් තොප්පියක් ගන්න හැදුවේ, ඒත් අම්මා  එයාගේ පරණ මොස්තරේ අළුපාට හිස්වැස්මට වඩාත් කැමති ඇති  කියල හිතුන. නංගිලත් කිව්වේ අලුත් එකක් අම්මට හරියන්නේ නැතිවෙයි කියල.
    උදේ කෑමෙන් පස්සේ අපි කාර් එකක් හයර් කරන් අම්මාව පුදුම කරන්න ලස්සණ ගම් පළාතකට එක්ක යන්නයි ලෑස්ති කළේ. මේ වගේ තෑග්ගකට අම්මා හරිම කැමති වෙයි.  අම්මා හැමදාම ගෙදර වැඩ කර කරමනේ ඉන්නේ. ඒ පළාත ගොඩක්ම රමණිය හින්ද හැතැප්ම ගණන් වාහනෙක යද්දී අම්මා ආසවෙයි.
    ඊළඟ දවසෙ අපිට සැලැස්ම පොඩ්ඩක් වෙනස් කරන්න වුණා. තාත්තා හිතුවා අම්මව නිකම්ම වාහනේක දුර ගෙනියනවට වඩා විනෝදෙට මාළු අල්ලන්නත් පුළුවන් තැනකට එක්ක ගියානම් හොඳයි කියල. අපි කාර් එකක් කුලියට අරගෙන ඒකට ගෙවන එකේ,  ඔහේ යනවට වඩා අපිට කඳුකර ගංගාවල් තියන ප්‍රදේශයකට ගිහින් විනෝදයකුත් ලබන්න පුළුවන් වෙනවනේ. ඉතින් අපි හිතුව අම්මාව නියමිත අරමුණක් තියන දේකට ගෙනියන එක හොඳයි කියල.
    යන දාට කලින් දා තාත්තා අලුත්ම බිලි පිත්තකුත් ගෙනාව. අම්මාටත් නිකම් බලන් ඉන්නවට වඩා ඒකෙන් මාළු අල්ලන්නත් පුළුවන්නේ කියල තාත්තා යෝජනා  කළාම අම්ම කිව්වා එයාට අනිත් අය මාළු අල්ලනවා බලන් හිටියම ඇති කියල.
    ඉතින් අපි ට්‍රිප් එක යන්න ලැහැස්ති වුනා.  උදේට ගෙදරින් කාලා දවල්ට බඩගිනි වුනොත් කියල අම්මට කියල සැන්විච් එහෙමත් හදාගත්තා.  හවස ගෙදර ඇවිත් නත්තල් හා අලුත් අවුරුදු වගේ හොඳ ඉස්තරම් රෑ කෑම වේලක් ගන්න පුළුවන්නේ. අම්මා තව වැඩිපුර කෑමත් ලැහැස්ති කරලා ඒවා කාර් එකේ ගෙනියන්න පුළුවන් විදියට බාස්කට් වලත් දැම්මා.
    කාරෙක ආවම ඒක ඇතුලේ අපි හිතුව තරම් ඉඩක් නැහැ වගේ. යන්තම් අපි කට්ටියට යන්න තරම් ඉඩ තිබුනත් බිලිපිති උපකරණයි, දවල් කෑමයි දාන විදියක් ගැන අපි කලින් හිතුවේ නැහැනේ.
තාත්තා කිව්වා එයා ගෙදර නැවතිලා වත්තේ වැඩ කරලා කාලේ ගෙවන්නම් අපිට යන්න කියල. එයාට කුණු වලක් කපන්න වගේ අපිරිසිදු වැඩක් කරගන්නත් පුළුවන් කිව්වා, කුලිකාරයෙක්ගේ ගානත් ඉතුරුවෙනවනේ කියලා. එයාට අවුරුදු තුනකින් හරිහමන් නිවාඩුවක් ගතකරන්න ලැබුනේ නැති වුනත් එයා ගැන නොහිතා අපිට ගිහින් විනෝද වෙලා එන්න කිව්වා. එයාට නිවාඩුවක් ලැබෙයි කියල හිතුනු එක මහා මෝඩකමක් කියලත් කිව්වා.
    තාත්තාව ගෙදර දාල යන්න අපි කාටවත් හිතුනේ නැහැ. දාල ගියත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒ ගමන ඈනුයි මේරියි නවතින්නම් කිව්වා, උදව්වට එන ගැණු කෙනා ගෙන්නාගෙන රෑ කෑම ටික හදවගන්නත් පුළුවන්නේ කියල. ඒත් මේ වගේ ප්‍රසන්න දවසක අලුත්ම තොප්පි දෙකකුත් දාගෙන නතරවෙන්න වෙච්ච එක කණගාටුවට කාරණයක් නෙමෙයිද? ඒ දෙන්නම කිව්වා අම්මා වචනයක් දුන්නොත් කැමැත්තෙන් නවතිනවා කියල. මටයි විල්ටයි නවතින්න පුළුවන්. ඒත් අපිට ඉතින් කෑම හදන වැඩ පුළුවන්යැ.


    ඒ හින්ද අන්තිමට තීරණය වුණේ අම්මා ගෙදර ඉඳල, ගෙදරම විවේක දවසක් ගත කරලා රෑ කෑමත් ලෑස්ති කරන්න කියලයි. අම්මා මාළු අල්ලන්න කැමතිත් නැති එකේ, එළියත් ටිකක් සිතල වගෙත් හින්ද ඉන්න එක හොඳයි වගේ පෙනුනේ. කොච්චර අව්ව තියන සුන්දර වගේ පෙනෙන දවසක් වුනත් එලියට ගියොත් අම්මට සීතල හැදෙයි කියල තාත්තත් බයවුණා. බැරිවෙලාවත් රට වටේ ඇදගෙන  ගිහින් අම්මට තද හෙම්බිරිස්සාවක්වත් හැදුනොත් තාත්තා කවදාවත් තමන්ටම සමාව දිගන්න එකක් නැහැ කියල කිව්වා.   අම්මා අපි වෙනුවෙන් කරන හා කරපු හැම දෙයක් වෙනුවෙන්ම ඇයට පුළුවන් තරම් නිදහසේ සද්ද නැති වටපිටාවක විවේක ගන්න උදව් කරන එකයි අපි හැමෝම කරන්න ඕනේ කියලත් තාත්තා කිව්වා. මාළු අල්ලන එක යොදා ගත්තෙත් හිතලම අම්මාට නිදහස් පරිසරයක් දෙන්න කියලයි තාත්තා කිව්වේ. මිනිස්සු වයසට යද්දී නිසල පරිසරයක් කොච්චර වටිනවද කියල තරුණ අයට තේරුම් යන්නේ නැතිලු. තාත්තා නම් සද්ද බද්ද වලට හොඳහැටි හුරුවෙලා ඉන්නේ, එයාට ඕනේ අම්මව ඒවායින් ඈත් කරලා තියාගන්නයි.
    ඉතින් අපි අම්මාට හිප් හිප් හුරේ තුන්පාරක් කියල යන්න පටන්ගත්තා. අපිට දකින්න පුළුවන් දුරක් වෙනකල් අම්මා ඉස්සරහ ඉස්තෝප්පුවේ හිටගෙන බලන් ඉන්නවා දැක්කා. තාත්තා විනාඩියෙන් විනාඩියට හැරිලා අත වැනුවා. අන්තිමට කාරෙකේ පිටිපස්සේ දාරේ අත වැදුනම අම්මාට දැන් අපිව පේන්නෙ නැතිව ඇති කියල අත වනන එක නැවැත්තුවා.

    අපි ජිවිතේ හැමදාටම මතක තියන, හීනයක් තරම්  සුන්දරම දවසක් කඳුකර පෙදෙසේ ගතකළා. තාත්තා මාළු ගොඩක් ඇල්ලුවා. අම්මා මාළු ඇල්ලුවනම් කවදාවත් මෙච්චර ගොඩක්නම්  අල්ලගන්න වෙන්නේ නැහැ කියල තාත්තා විස්වාසෙන් කිව්වා. මායි මල්ලියිත් මාළු ඇල්ලුවට තාත්තා තරම් ගොඩක් අල්ලන්න බැරිවුණා.
    නංගිලාටත් මග දිගටම එයාලගේ යාලුවෝ හම්බවුණා. ගඟ දිගේ ඇවිදිද්දී හමුවෙච්ච පිරිමි අය කිහිප දෙනෙක් එක්කත් බොහොම කුළුපග වෙලා කතා කරකර හිටියා. කොහොමහරි අපි හැමෝම කියන්න බැරිතරම් උත්කර්ෂණිය සතුටක් වින්දා.

    අපි ආපහු ගෙදර එනකොට හිතුවට වඩා පරක්කුයි. අම්මා  අපි ප්‍රමාද වෙයි කියල හරියටම දැනගෙන, එන වෙලාවට හොඳ රස්නෙන් කන්න පුළුවන් වෙන්න කෑම ලෑස්ති කරලා තිබුණා. මුලින්ම තාත්තට තුවායයි සබනුයි සුදානම් කරලම තිබුණේ මාළු අල්ලන්න ගියාම කිළුටු පිටින් එන විදිය දන්නා හින්ද. ඊළඟට නංගිලාට උදව් කරන්න අම්මාට ටිකක් මහන්සි වෙන්න වුණා.
    අපි ඔක්කොමල ලෑස්ති වෙලා එද්දී බොහොම ගම්භිර කෑම වේලක් මෙසේ උඩ. නත්තල් දවසේ වගේ කුකුලෙක් රෝස් කරලා එක එක කෑම ජාති පිරිලා. අම්මාට ගොඩක් සැරයක්  අඩුපාඩු බෙදන්න, කෑම අරන් කුස්සියටයි කෑම මෙසේටයි යන්න එන්න වුණා. අන්තිමට තාත්තා ඒක නෝටිස් කරලා අම්මා තනියම කරන්න ඕනේ නැහැ උදව් වෙන්න ඕනේ කිව්වා. අම්මට වෙලාව ඉතුරු කරලා දෙන්න හින්ද තාත්තා මේසේ ගාවම තිබුණු සයිඩ්බෝඩ් එකෙන් වොල්නට් අරගෙන මේසෙන් තිබ්බා.
    සෑහෙන වෙලාවකට පස්සේ රෑ කෑම ඉවරවුණාම අපි ඔක්කොටම ඕනේ වුණා මේසේ අස්කරලා පිඟන්, දීසි එහෙම සෝදන්න. එත් අම්මා  ඒවා කරන්නම් කියල කියපු නිසා අපි එයාගේ කැමැත්තට ඉඩ දුන්නා.
ඒවා අස්කරලා අතුපතු ගාලා ඉවර වෙන්න හිතුවටත් වඩා වෙලාවක් ගියා. අපි නිදාගන්න යන්න කලින් අම්මාගේ මුණ ඉඹල සුබ පතන්න ගියාම අද දවස එයාගේ ජිවිතේ වැඩියෙන්ම හොඳ දවස කියල කියද්දී එයාගේ ඇස්වල කඳුලුත් තිබුණා. අපි එයා කරන දේවල් අගය කරපු විදිය ගැන අපිටම සතුටු හිතුණා.
                               ************************⟳⟳⟳⟳⟳⟳⟳ *****************

[ස්ටීවන් ලීකොක් (1869-1944) කැනේඩියානු රචකයෙකි. හාස්‍යයත් උපහාසයත් කැටිවුණු නිර්මාණාත්මක කථා මෙන්ම විද්‍යා ප්‍රබන්ධ, චරිත කථා හා  දේශපාලන ආර්ථික පොත් 27ක්  රචනා කළේය.]

8 comments:

  1. මේක මම උස්සනව ඈ.

    ReplyDelete
  2. අම්මට සිරි වෙනව කියාන්කකො

    ReplyDelete
    Replies
    1. අනිත් අයට ආසිරි අම්මා ඉන්නවනම්

      Delete
  3. එ සිදුවීම හරිම ස්වාභාවිකයි. වයස්ගත අම්මාට තරුණ දියණියන් සහ පුතාලත්, තරුණයයි සිතන තාත්තාත් යෝජනා කළ දේ ගැලපෙන්නේ නැහැ. අම්මා කවදත් පුරුදු ආකාරයට හොඳ ආහාර වේලක් සකස් කර, සැමියා සහ දු දරුවන් ගෙදර එනතුරු මග බලා සිටීම හරිම තාත්විකයි. එ උනත් අම්මාගේ ඇස් වලට කඳුළු ආ කාරණය නම් කිහිප ලෙසකට විග්‍රහ කළ හැකියි.

    ReplyDelete
    Replies
    1. මේ කතාව පුරාම අම්මාගේ කැමැත්තක් ගැන අහල නැහැ. සැලසුමත් අනිත් අයගේ. තෑගිත් අනිත් අයට. විනෝදයත් අනිත් අයට. අම්මට නිවාඩුවකුත් නැහැ, වැඩ වැඩිවීමක් මිස. ආත්මාර්ථකාමී හැඟීමක් නැති දරුවන් ගැනත්, මෙවන් දිනවල අන්තර්ගතයේ හිස්බවත් පෙන්වන්නයි මෙය ලියවී ඇත්තේ.

      Delete
  4. සමහර තැන්වලදි ජීවිතේ අපි විසින්ම බොහො දේ මගහැර ගන්නව​. සමහාර තැන්වලදි විසේෂයෙන්ම පුත්තුන්ට දෙමව්පියන්ව අතහැරෙනව. ඒත් දවසක ඒ අයගෙ අගය වටිනාකම දැනෙද්දි පුත්තු ප්‍රමද වැඩි.

    ReplyDelete