Sunday 20 May 2018

අනුගමනය කරනවානම්...1: රජ මගුළෙන්

රාජකීය මංගල්‍යයේ මල් කළඹ හා පශ්චාත් කසල 

ලෝකයේ යම් සුවිශේෂ සිද්ධියක් වූ විට ඒ හා සංසන්දනය කරමින් ශ්‍රී ලාංකීය සංස්කෘතියට, සභ්‍යත්වයට  ගැරහීම මුහුණු පොතේ සුලබව දකින්නට ලැබෙන දෙයක්. යන්තම් මතුපිටින් බලමින් සිදුකරන සැසඳීම් වලට වඩා සුදුසු වන්නේ අපට උගත හැකි හෝ අනුගමනය කළ හැකි යහපත් දෙයක් එයින් ගතහැකිදැයි සොයා බැලීමයි. පසුගියදා සිදුවූ රාජකීය මංගල්‍යයේ කරුණු කිහිපයක් ගැන සෙවීමට සිත්වුනේ එනිසයි.

මනාලියගේ මල් කළඹ:  අධිකතම වැයක් දරා සිදුකළ මංගල්‍යයේ සියලු කටයුතු සිදු කලේ උසස්ම පෙලේ පුද්ගලයන් හෝ ආයතන මගිනි. ඉහලම මල් සැකසුම් කරුවෙක් විසින් නිමකරන ලද මල් කළඹට එදින උදැසන කෙන්සින්ටන් මාලිගා බිමෙන් හැරී කුමරු අතින් නෙලාගත් මල් කිහිපයක් මෙන්ම, කුමරුගේ මව වන ඩයනා කුමරිය සිහිවීමට ඇය වඩාත් ප්‍රියකළ forget-me-not මල් වර්ගයද ඇතුලත්ව තිබුණි.

මල් පිලිබඳ තව වැදගත් දෙයක්ද මෙම විවාහයේ ඇතුලත් විය. එනම්, මනාලියගේ මීටර් පහක් වූ වේලයේ කෙලවර දිගේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 53 හිම ජාතික පුෂ්පයන් අතින් එම්බ්‍රොයිඩර් කර තිබු බවයි. එනම් නිර්මාණකරුවන් සියලු රටවල පුෂ්පයන් ගැන මනා අධ්‍යයනයක් කරන්නට  ඇත.  (මෙහිදී එම්බ්‍රොයිඩර් කරුවන් පැය සිය ගණනක් වැයකරමින් මහන අතරතුර සෑම මිනිත්තු 30කටම වරක් අත සේදීම කළ බව සඳහන්).

විවාහයෙන් පසුව මනාලියගේ මල් කළඹ චාරිත්‍රානුකූල ලෙස වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව් මැදුරේ නම නොදන්නා සෙබලාගේ සොහොන මත තැන්පත් කෙරුණි.

නම නොදන්නා සෙබලාගේ සොහොන යනු කුමක්ද?
පළමු ලෝක යුද්ධයට සහභාගී වූ ඩේවිඩ් රේල්ටන් නම් පුජකවරයෙක් යුද්ධයෙන් පසු ප්‍රංශයේ පිට්ටනියක "නම නොදන්නා බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක්" නමින් සටහන් කළ මිනීවළක් දැක ඇත. ඔහුගේ අදහසකට අනුව 1920 දී  බ්‍රිතාන්‍යයට සිරුර ගෙන එන ලදී. එම සෙබල සිරුර යුධ විරුවන් සමරන දිනය වන නොවැම්බර් 11 වෙනිදා  එවක රජකළ ජෝර්ජ් රජුද සහභාගි වූ උත්සවයකදී බ්‍රිතාන්‍ය පොලවේ පස් ස්වල්පයක් ද සහිතව දෙව් මැදුරේ බස්නාහිර කොටසේ නැවත මිහිදන් කර ඇත.  ඒ මත බෙල්ජියම් මාබල් ගලක් අතුරා They buried him among the kings because he had done good toward God and toward his house වදන් ඇතුලත් ලියවිල්ලක්ද කොටා ඇත.





රාජකීය මනාලියන්ගේ මල් කළඹ මෙතැන තැන්පත් කිරීමේ චාරිත්‍රය ආරම්භ කර ඇත්තේ එලිසබෙත් රැජිනගේ මව් විසිනි. ඉන්පසු සෑම රාජකීය මනාලියක්ම එය අනුගමනය කර ඇත.
යුධ වැදී දිවි දුන් රණ විරුවන් අමතක කර දමන්නට කැස කවන මෙවැනි වකවානුවක, අනුගමනය කරනවා නම් ... අගය කළහැකි චාරිත්‍ර.

පශ්චාත් කසල කළමනාකරණය
 මංගල්‍යය නිමාවී ඉතා කෙටි කාලයකට පසු පහත දැක්වෙන පින්තුරය සමග ට්විටර් සටහන දුටු වහාම මට මතක් වුනේ පසුගිය වෙසක් උළෙලට පසු මුහුණු පොතේ දක්නට ලැබුණු ගෝල්ෆේස් පිටියේ කුණු ඇතුලත් පින්තුර හා සටහන්ය.

We are working hard to ensure that bins remain available throughout the day, but if you find the bins around you are full please help us keep our town tidy by taking your rubbish home with you. 
මංගල්‍යය පැවැත්වුණු වින්ඩ්සර් නගරයේ නගර සභාවට සමාන Royal Borough of Windsor and Maidenhead ආයතනය මගිනුයි මෙම නිවේදනය සටහන් කර තිබුනේ. "දිනය පුරාම කසල බඳුන් සැපයීමට අප හැකිතාක් උත්සහ කරනවා. ඔබ අවට බඳුන් පිරී ඇත්නම් ඔබේ කසල ආපසු නිවෙසට ගෙනයාමට කාරුණික වන්න."

පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාව එම ඉල්ලීමට ගරු කළා හෝ නොකළා මෙතරම් ජනතාවකගෙන් එකතු විය හැකි කසල ඉවත් කිරීම ගැන පූර්ව සුදානමක් තිබු බවයි ඉන් පැවසෙන්නේ. විවිධ රටවලින් පවා මහා ජනකායක් පැමිණෙන විට දැනුවත් කිරීම් කර බලා නොසිට, ඒ සඳහා මුහුණ දීමේ ඉතා විශිෂ්ඨ සුදානමක් තිබීමයි වැදගත්. උත්සවය අවසානයේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයගෙත් උදව් ඇතිව පැය කිහිපයක් තුළ පරිසරය පවිත්‍ර කර තිබේ.

වෙසක් දිනයෙන් දින දෙකකට පසුවත් තිබු බව කියන ගෝල්ෆේස් කුණු ගැන හිතද්දී අපට උගත හැකි දේ කුමක්ද?
මහජනතාව දහස් ගණන් එක්රැස් වන දිනවලදී එම ස්ථාන පිරිසිදු කිරීම සම්බන්ධයෙන්  වගකිවයුතු ආයතන ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳවයි. කසල කළමනාකරණය පුද්ගලයන්ගේද  වගකීමක් වුවත්, අදාළ ආයතන තත්වයන් පිලිබඳ පුර්ව අධ්‍යයනය කර, ඒ සඳහා සැලසුම් සකස් කර ක්‍රියාත්මක වීමට සුදානම්ව සිටිය යුතු බවයි.

අනුගමනය කරනවානම්....
අපේ සංස්කෘතියට හෝ ආගමට, රටේ පුද්ගලයන්ගේ චර්යාවන්ට ගරහමින් නොසිට, නිවැරදිව කල යුතු දේ මෙවැනි අවස්ථාවකින්වත් ඉගෙන අනුගමනය කලයුතු නොවේද?

උදව්:
www.bbc.co.uk/news/uk-44188656
www.goodhousekeeping.com/life/
www.westminster-abbey.org/
chimpreports.com/
www3.rbwm.gov.uk

7 comments:

  1. වටිනා ලිපියක් .... ජය වේවා!

    ReplyDelete
  2. ස්තූතියි!!

    ReplyDelete
  3. ලිපියටත් වඩා රසුදැල් අදහස් වලට ස්තූතියි...ඒකයි වෙන්න ඕනෙ,,,,

    ReplyDelete
    Replies
    1. You got it!
      ස්තුතියි රස්ති. අනුගමනය කරනවානම්...

      Delete
  4. කාළීන ලිපියක්

    ReplyDelete