Monday 30 April 2018

ග්ලයිෆොසේට් නිහඬ මැරයෙක් ද? Glyphosate

මේ දිනවල බෙහෙවින් කතාබහට ලක්වී ඇති, දැනට ලෝකයේ  කෘෂි වගාවන්හි වල්පැල නාශක ලෙස වැඩිපුරම භාවිතා කරන රවුන්ඩ් අප් Round Up  හි අඩංගු ග්ලය්ෆොසේට්,  මානව සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බව කියවේ. අප රටේ තේ නිෂ්පාදන ප්‍රතික්ෂේප වීමටත් හේතුවූ මෙම රසායනිකය පිලිබඳ කරන ලද පර්යේෂණ ගැන සොයාබැලීමට උනන්දුවක් ඇතිවුයේ එනිසයි.
 C3H8NO5P  රසායනික සුත්‍රය දරන ග්ලයිෆොසේට් පර්යේෂණවලට ලක්වෙමින් මානව වර්ගයාට ඇති බලපෑම හඳුනා ගනිමින් සිටියි.  එය වල් පැළෑටි නාශකයකි. එනම්, ශාක  නාශකයකි. මෙය සිදුකරන්නේ ශාකවල වර්ධනයට අවශ්‍ය සමහර ප්‍රෝටීන් වර්ග ශාක තුල නිපදවීම වැලැක්විමෙනි. ග්ලයිෆොසේට් ලෝහ බන්ධකයකි. එනම්, ශාක තුළඇති ලෝහ කොටස් වෙත තදින් බැඳී එම ලෝහවලින් කෙරෙන ක්‍රියාව වලක්වයි. ශාකයේ ප්‍රභාසංස්ලේෂණය සිදුවන හරිතප්‍රද තුල ඇති යකඩ වලට බැඳීම නිසා ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය අඩපණ වීමෙන් ශාකය කහ පාට වී මියයයි.


සැඟවී සිටින ග්ලයිෆොසේට් 

1970 මොන්සන්ටෝ සමාගමේ සේවය කළ රසායනඥයෙක් විසින් සොයාගත් පසු 1974 සිටම පළල් පත්‍ර ඇති ශාක මර්දනයට භාවිතයේ තිබුනද, ලොව පුරා ග්ලයිෆොසේට් අධික ලෙස භාවිතය ඇරඹුණේ 1987දී  එයට ඔරොත්තු දෙන ජාන වෙනස් කරන ලද බිජ නිර්මාණය වීමෙන් පසුවයි. අදාළ දෙපියලි ශාකය නොමරා වෙනත් පැළෑටි විනාශ කිරීමේ හැකියාව ලැබීමත් සමග මුළු වගා කාලසීමාව පුරාම නොකඩවා 'රවුන්ඩ් අප්' ඉසීම ඇරඹුණි. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ වවන සියලුම සෝයා, ඉරිඟු, තිරිඟු, කපු පාහේ ජාන වෙනස් කරන ලද ඒවා වන අතර, ඒ හේතුවෙන් නොමදව ග්ලයිෆොසෙට් සංග්‍රහ ලබයි.

ග්ලයිෆොසේට් හි  විජලකාරක හැකියාව දැනගැනීමත් සමග මොන්සැන්ටෝ සමාගම රවුන්ඩ් අප් ඉක්මන් අස්වැන්නක් ලබාගැනීමටද භාවිතා කිරීම ඇරඹුවේය. අස්වනු නෙලීමට පෙර රවුන්ඩ් අප් ගැසීමෙන් ශාක විජලනයට ලක්වී ඉක්මනින් මියයයි. එවිට පහසුවෙන් ඵල නෙලා ගත හැකිය. මේ අනුව ජාන වෙනස් නොකරන ලද ධාන්‍ය වර්ග, ඉරිඟු, උක්, බීට්, ඕට්, බාර්ලි, කැනෝලා, පරිප්පු, කව්පි හා වෙනත් බෝංචි වර්ග ආදී භෝග වලටද ගල්යිෆොසේට් වලින් ගැලවීමක් නැතිවිය.
පළල් පත්‍ර ඇති පැළෑටි විනාශ කිරීමේ හැකියාව නිසා වල් නාශකයක් ලෙස ක්‍රීඩා පිට්ටනිවල හා පුද්ගලික ගෙවතුවල හා තණ පිටිවල භාවිතයත් මෙය මිනිසාට නිදැල්ලේ ගැටෙන තවත් අවස්ථා නිර්මාණය කර දුනි.
සෝඩියම් සමග ඇති ග්ලයිෆොසෙට් ලවණය ශාක වර්ධනයටත්, පලතුරු ඉදවීමටත් භාවිතා කරන අවස්ථා ඇත. ග්ලයිෆොසේට් යෙදු වගාබිම්වල වැවු කැරට් හා සලාදකොල තුල මෙම රසායනිකය සොයාගෙන ඇත.
කෘෂි රසායන ද්‍රව්‍ය පරිසර තුලිතතාවට බලපෑම් කරන බව ඉතාම පැහැදිලිය.

ග්ලයිෆොසෙට් පසෙහි ඇති ලෝහවලට තදින් බැඳී පසේ තත්වය හා දේශගුණය අනුව මාස හයක් පමණ පසෙහි රැඳී තිබිය හැකිය. පසෙහි ඇති බැක්ටීරියා මගින් මෙය බිඳ හෙලයි. මෙලෙස පසට බැඳෙන නිසා ජල මුලාශ්‍ර වලට එක්වීමේ අවස්ථා අඩු බවයි පැවසෙන්නේ. එහෙත් පසේ වෙසෙන අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර ජීවින් විනාශ වන බව පර්යේෂණ සනාථ කර ඇත. මේ  නිසා අහිතකර ක්ෂුද්‍ර ජීවින් වැඩිවී, භෝග වලට රෝග පැතිරෙයි. අනවශ්‍ය ලෙස පස බුරුල්වී වගා කළ නොහැකි තත්වයක් ඇති කරනු නිරීක්ෂණය කර ඇත. මැරුණු ශාක පත්‍රවල ඇති ග්ලයිෆොසෙට් දින අටකින් පමණ බිඳ වැටේ.

ඇමරිකා එක්සත් ජනපදයේ පවා ග්ලයිෆොසේට් පිලිබඳ කිසිදු නියාමනයක් නැත. භෝගවල හා ආහාරවල පවතින ප්‍රමාණ ගැන හෝ මිනිස් සිරුරේ පවතින මට්ටම ගැන නිසි තත්ත්ව පරීක්ෂණ සිදුකර නැත. එනම්, ජල මුලාශ්‍රවලට, ආහාරවලට, ගෙවතුවලට, ගොවිපලවලට, ක්‍රීඩාපිටි වලට, පසට කෙතරම් නිරාවරණය වී ඇතිදැයි කළ පර්යේෂණ සීමිතය.
සමහරු ග්ලයිෆොසේට් අනතුරුදායක නොවන බව කීමට උත්සහ කළත්, විවිධ පර්යේෂණ ප්‍රතිඵල හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය 'පිළිකා කාරකයක් විය හැකි' බවට වර්ග කර ඇත.

වල් නාශකයකට වැඩි දෙයක් 

ශාක වර්ධනයට උපකාර වන ප්‍රෝටීන් හා ඛනිජ ලවණ අවහිර කිරීමට අමතරව, Glyphosate මානව වර්ගයාටද  අයහපත් ලෙස බලපාන බව පරීක්ෂණ මගින් හෙළිවී ඇත.
ග්ලයිෆොසෙට් වලට සුළුවෙන් නිරාවරණ වුවහොත් සම, නාසය හා ඇස් කැසීම හා දැවිල්ල ගතියක් ඇතිකරයි. වැඩිපුර නිරවරණයෙන් වමනය, කරකැවිල්ල, බඩ බුරුල්විම ඇතිකරයි. දිර්ඝකාලින නිරාවරණයන් පිළිකා ඇතිකිරීමට සමත් බව කියවේ.
සිරුර තුලට අතුලුවුවහොත් පහසුවෙන් අවශෝෂණය වේ. සිරුරේ ඇති ග්ලයිසීන් නම් ඇමයිනෝ අම්ලය වෙනුවට ග්ලෛෆොසේට් ආදේශ වන බව සොයාගෙන ඇත. ඉන්පසු එය අන්තරාසර්ග  පද්ධතියට හා හොමොනවලට බලපෑම් ඇතිකරයි. මෙය භයානක තත්වයකි.
ශාකවල මෙන්ම මානව සිරුර තුල ඇති ඛනිජ ද්‍රව්‍ය වලටද තදින් බැඳෙන බව සොයාගෙන ඇත. මේ නිසා ඇලුමිනියම්, සින්ක්, යකඩ, මැග්නීසියම් හා මොලිබ්ඩෙනම් ඌණතා ඇතිවේ.
එන්සයිම මාර්ග අවහිර කරමින් සිරුරේ ඇති අනෙකුත් රසායන ද්‍රව්‍ය වඩා විෂදායි කිරීමේ ක්‍රියාවලියක්ද  ග්ලයිෆොසෙට් මගින් සිදුවේ. ඇමරිකාවේ බහුලව භාවිතා වන වේදනා නාශකයක් වන ටයිලනොල් අක්මාවේදී විෂ හරණය කරයි. ග්ලයිෆොසෙට් මගින් මෙයට බාධා පමුණුවයි. එසේම විටමින් D ක්‍රියාකාරී වීමට බාධා පැමිණවීම නිසා විටමින් D ඌනතා රෝග ඇතිවේ. එන්සයිම මාර්ග අවහිර වීම හේතුවෙන් පිත නිපදවීම වැලැක්වීම නිසා ආහාර මාර්ගයේ රෝගවලට මුල පිරීමක් සිදුවේ.

ග්ලයිෆොසේට් මගින් ආහාර මාර්ගයේ ඇති හිතකර බැක්ටීරියා වන ලැක්ටෝ බැසිලස් වල ක්‍රියාකාරිත්වයට බලපෑම ඇතිකරයි. එනම්, විටමින් B, සෙරටොනින් වැනි ආහාර ජීර්ණ පද්ධතිය හා ස්නායු පද්ධතිය සෞඛ්‍යමත්ව තබා ගැනීමට අවශ්‍ය පෝෂක නිපදවීම වලක්වයි. මෙලෙස හිතකර බැක්ටීරියා දුර්වල වීමෙන්අහිතකර ක්ෂුද්‍ර ජීවී අධි වර්ධනයක් සිදුවේ.  මෙමගින් ආහාර අසාත්මිකතා, අන්ත්‍රවල රෝග ඇතිවේ. ප්‍රතිජීවක වලට එරෙහිව ක්‍රියාකරයි.
මෙම අවස්ථාව වන විට තව දුරටත් විෂ ද්‍රව්‍ය පාලනයක් නොමැතිවීමෙන් සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩාල වීමද, අයහපත් දිලිර හා යිස්ට් වර්ග වැඩීමද පහසුවෙන් සිදුවේ.
 මේ අයුරින් ග්ලයිෆොසෙට් හා රෝග ඇතිවීම අතර ප්‍රබල සම්බන්ධතා හෙලි කරගෙන ඇත. ආර්ජන්ටිනාවේ ග්ලයිෆොසෙට් දැඩි ලෙස භාවිතා කරන කෘෂිකාර්මික ප්‍රදේශවල උපදින දරුවන් බොහොමයකගේ අසමාන්‍යතා දැකිය හැකිය. ඇල්ෂයිමර්, පාකින්සන්, ADHD, ඔටිසම්, උපත් ආබාධ, අතුනුබහන් රෝග, වකුගඩු හා අක්මා රෝග, පිළිකා ආදී විවිධ රෝග වැඩිවීමත් ගල්යිෆොසෙට් භාවිතයත් අතර සම්බන්ධතා ගැන පරීක්ෂණ පවත්වමින් ඇත.

ඔටිසම් හා ග්ලයිෆොසෙට් 
Autism Spectrum Disorder  සහිත අය වැඩිවීමත්, ග්ලයිෆොසෙට් අතර ප්‍රබල සම්බන්ධයක් ඇතිබව පර්යේෂණ කිහිපයකින් අනාවරණය වී ඇත. 1970දී ජනගහනයෙන් 10 000කට 1ක් වූ ඔටිසම් ඇති අය අද වනවිට 68:1 ලෙස සීඝ්‍ර වර්ධනයක් පෙන්වයි. මේ අයුරින් පැවතුනහොත් 2025 වනවිට ජනගහනයෙන් අඩක් ඔටිසම් වනු ඇත.
ඔටිසම් ඇති අයගේ සිරුර තුල ඩොපමින් නම් රසායනය වැඩිපුර ඇතිබව 2010 දී සොයාගෙන ඇත. අධි ක්‍රියාකාරී ඔටිසම් ඇති අයට දෙන ඖෂධ වල ඩෝපමින් අඩංගු වුනත් වැඩිපුර ඒවා බැහැර නොවීම ගැටළුවක් ලෙස දැක පර්යේෂණ පැවැත්විය.  ක්ලොස්ට්‍රිඩියා නම් බැක්ටීරියාවක පරිවෘත්තියෙන් නිපදවෙන HPHPA නම් රසායන ද්‍රව්‍යයද  මෙම රෝගීන්ගේ මුත්‍රා සාම්පලවල අධික ලෙස අඩංගු බව පෙනී ගියේය. මෙය ස්නායු සංවේදන ක්‍රියාවලියට බාධා පමුණුවන රසායන ද්‍රව්‍යයකි. ඩොපමින් හා HPHPA අතර සම්බන්ධතාව සෙවීමේදී ග්ලයිෆොසේට් එයට හේතු විය හැකි බව අනුමාන කෙරුණි.
වගාවනට ග්ලයිෆොසෙට් භාවිතය සමග ඔටිසම් සහ සම්බන්ධතාවය 

කුඩා දරුවන්ට දෙන සිරියල් හා අනෙකුත් ළදරු ආහාර සැදීමට ගන්න ඉරිඟු වර්ග හා සෝයා වගා කිරීමේදී  ග්ලයිෆොසෙට් යොදයි. ශාකය මිය ගියත් භෝගයට හානියක් නොවී රසායනිකය එතුල රැකෙයි. ආහාර සමග බඩවැල් වෙත යන යන මෙම රසායන ද්‍රව්‍යය ඉහත සඳහන් ලෙස හිතකර බැක්ටීරියා විනාශ කර, අහිතකර බැක්ටීරියා වැඩීමට අනුබල දෙයි. ක්ලොස්ට්‍රිඩියා නම් අහිතකර බැක්ටීරියාවේ පරිවෘත්තිය ඵල ලෙස ඇතිවන HPHPA, ඩොපමින් බිඳ වැටීමේ ක්‍රියාව වලක්වයි. මේ නිසා රෝගීන්ගේ සිරුරු තුල ඩොපමින් මෙන්ම HPHPA ද අධි මාත්‍රා වලින් අඩංගුය.
මෙම සම්බන්ධතා හෙළිකළ ආචාර්ය විලියම් ෂෝ සඳහන් කළේ එම සොයාගැනීම ඔටිසම් ලක්ෂණ අඩුකිරීමට අනුගමනය කරන ආහාර පිළිවෙත්  උදෙසා භාවිතා කල හැකි බවයි. ඔහු පර්යේෂණයට ලක් කළ තුන් නිවුන් දරුවන්ට  කලක් කාබනික ලෙස වගා කළ ආහාර දීමෙන් ඔටිසම් ලක්ෂණ අඩුවූ බව පර්යේෂණයේදී හෙළිවිය.

ග්ලයිෆොසේට් සත්වයන්ට බලපෑම 

1998 සිට සිදුකල පර්යේෂණ කිහිපයකදී නිවෙස්වල ඇතිකරන බල්ලන් හා බළලුන් ග්ලයිෆොසෙට් විෂවීමෙන් රෝගීවී ඇති බව අනාවරණය විය. මරණ වාර්තා නොවුනත් ආහාර මාර්ගයේ රෝග හා ශ්වසන අපහසුතාත්, අධික නිදිමත ගති දැක්වීමත්, බර අඩුවීමත්, අදික ලෙස කෙළ වැගිරීමත් නිරීක්ෂණය කර ඇත.
ගර්භනී මියන් ඇසුරෙන් කල පර්යේෂණයකදී  හෙළිවී ඇත්තේ ග්ල්යිෆොසෙට් වලට නිරාවරණය වූ මවුන්ගෙන් ඉපදුනු පැටව්න්ගේ උපත් බර අඩුවීම හා එන්සයිම අසාමාන්‍යතා නිරික්සිය හැකිවූ බවයි. අසාමාන්‍ය කළල වර්ධනයන්ද  දැකිය හැකිවිය.
ජර්මනියේ අධ්‍යයනයකදී පෙන්වා දී ඇත්තේ ග්ලයිෆොසේට් නිසා ගවයින්ගේ අන්ත්‍රවල අයහපත් බැක්ටීරියා වර්ධනය වී රෝග ඇතිකරන බවයි.
මත්ස්‍යයන්ට  ග්ල්යිෆොසෙට් විෂවීම් පිලිබඳ වාර්තා නැතත්, ඉස්ගෙඩියන් රුපන්තරණයේදී අවයව අසමානතා නිරීක්ෂණය කෙරුණි.
ග්ලයිෆොසේට් යෙදු පසේ ජිවත්වන කෘමි සතුන්ගේ ගහනයේ අඩුවීමක් හා ග්ල්යිෆොසෙට් නිසා විනාශවන පැළෑටි මත යැපෙන සතුන්ගේ ජිවන චක්‍රයට ඍජුවම බලපෑමක් නිරීක්ෂණය කර ඇත.
පස සරු කිරීමේ අවශ්‍යම සත්ව වර්ගයක් වන ගැඩවිල් පණුවන්ටද ග්ලයිෆොසෙට් වෙතින් හානි සිදුවේ.  නිරතුරු මෙම රසායන ද්‍රව්‍යය යෙදෙන පස්වල ගැඩවිල් ගහනය අඩුවන බවත්, ජිවත්වන සතුන්ගේ බර අඩුවන බවත්, ජිවන චක්‍රය බිඳ හෙලන බවත් පර්යේෂණ කිහිපයකින්ම සනාථ කර ඇත.

ග්ලයිෆොසේට් විෂ හරණය 

ඇමරිකානුවන් තුළ යුරෝපීයයන්ට වඩා තුන් හතර ගුණයක සාන්ද්‍රණයකින් ග්ලයිෆොසෙට් හමුව ඇත. වැඩිහිටියන්ට වඩා දරුවන් තුල සාන්ද්‍රණ වැඩිබව සොයාගැණුනි.  සමහර රටවල් ග්ලයිෆොසෙට් තහනම් කර ඇත.

සිරුරෙන් ගල්යිෆොසෙට් බැහැර කිරීමේ ක්‍රියාවලියේදී සල්ෆර් (ගෙන්දගම්) ප්‍රමුඛ කාර්යයක් සිදුකරයි. එසේම ඉරු එලියද මෙම විෂ හරණයට උදව් වෙයි.
*රසායනික පොහොර නොයෙදු ආහාර භාවිතය: විශේෂයෙන් ගර්භනී හා කිරිදෙන මව්වරුත්, දරුවනුත් රසායනික ද්‍රව්‍ය දීමෙන් තොරව වගා කළ ආහාර ගැනීම වැදගත්ය.පෝෂ්‍යදායක කාබනික වගාවන්ගෙන් ලබාගත් ඛනිජ අඩංගු ආහාර නිරතුරු ගත යුතුවේ. මෙහිදී පොලිෆිනොල් අඩංගු වර්ණවත් එළවලු, පලතුරු කෑම වැදගත්වේ.
*හිරුඑළිය: සල්ෆ සංකලනය සඳහා හිරු එලියට කෙලින්ම නිරාවරණය වැදගත්ය. විශේෂයෙන් මද්දහනට ආසන්න වෙලාවට සම හා ඇස් හිරු එලියට නිරාවරණයෙන් ආහාරවල ඇති සල්ෆර් මගින් සිරුරේ ඇති ග්ල්යිෆොසෙට් බැහැර කර අවයව ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට උපකාරී වේ.
*අතිරේක ලෙස ඛනිජ, විටමින් B සංකීර්ණය  හා සල්ෆර්  ගැනීම (suppliment )ද ප්‍රයෝජනවත් වේ.



උදව්:
නිමලවංශ දසනායක සොයුරා
Is Roundup Toxic to animals If it's Sprayed: Deziel C.
The Possible link between Autism and Glyphosate Acting as Glycine Mimetic: Seneff S, Beecham JE  (2015) Journal of Molecular and Genetic Medicine
npic.orst.edu/factsheets: National Pesticide Information Center
blog.unikeyhealth.com/the-dangers-of-glyphosate
www.autismparentingmagazine.com/weed-killer-glyphosate-harming-your-health/
www.honeycolony.com/article/roundup-and-glyphosate-toxicity/
www.soilassociation.org/media/7202/glyphosate-and-soil-health

16 comments:

  1. apita natha deiyange pihitai.

    ReplyDelete
    Replies
    1. දැනුවත් වුනොත් අපිට අපේ පිහිටෙන්ම ගැලවෙන්න පුළුවන්

      Delete
    2. අපි දැණුවත්ව තමයි අඝාදෙටම යන්නෙ. ඊට එහා ගිය ජාතිමාමක තද ප්‍රතිපත්ති අවශ්‍යයි .

      Delete
  2. aye mewa thahanam karanne natte

    ReplyDelete
    Replies
    1. කෘෂි රසායන සමාගම් බුවල්ලන්ගේ අඬුවලට අහුවෙලා නිසා

      Delete
  3. හපොයි ඉතින් අපෙ ජීවිත

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට සමහරු මේව නැතිව වගා කරන්න බැහැ කියල ඕනෙම කියනවනේ.

      Delete
  4. හැම වල්නාශක/කෘමිනාශක යක් වගේම ග්ලයිපොසේට් තියෙන එව්වත් මැරයෙක්, යකෙක් තමයි..ඒත් මහාපරිමාණ කෘෂිකර්මාන්තයෙදි යක්කුන්ගෙන් වැඩගන්න එක බොහෝවිට අත්‍යවශ්යයි..

    මම හිතන්නෙ අවිචාරවත් භාවිතාව ප්‍රධානම සාධකයක් අහිතකර ප්‍රතිඵලවලට..ලඟ නමන්ඩ..ඒ කියන්නෙ අල ටික ගලවගන්ඩ ලේසි වෙන්ඩ, පොල්පෝර ටික දාන්ඩ ගහ වටේ කොටන්ඩ ලේසිවෙන්ඩ.. ඒ වගේ ලේසිවෙන්ඩ කේස් වලටත් අපේ ගම්වල මිනිස්සු තෙල් ටිකක් ගහන්ඩ පුරුදුවෙලා හිටිය නොවැ

    ReplyDelete
  5. ග්ලයිපොසේට් ශ්‍රී ලංකාවේ යොදනුයේ වරණිය වල් පැලෑටි නාශකයක් ලෙද නොව පූර්ණ වල් පැලෑටි නාශකයක් ලෙස වේ. ඒ අනුව ලංකාවට ඔබ කියක කරුණු කෙසේ ගලපා ගත යුතුද? ඔබ කවදාවත් ලංකාවේ කුඹුරක වී වගා කර තිබෙනවාද?

    ReplyDelete
    Replies
    1. මොන රටෙත් යොදන්නේ පුර්ණ වල පැළෑටි නාශකයක් ලෙස තමයි. කුඹුරුවල පමණක් නොවෙයි. වෙනත් වගාවලත් යොදනවා. උදා. තේ, සෝයා ඒකෙන් වෙන හානි මේ ලිපියට පාදක වෙලා තියන ලිපිවල තියෙන්නේ.
      මම කරවන කුඹුරු තියනව. ලියන පුද්ගලයට නොවේ, කරුණුවලට අභියෝග කරන්න.

      Delete
  6. do you have any idea about LD 50 value of this chemical?

    ReplyDelete
    Replies
    1. Glyphosate has LD50 of 5600mg/kg in rats and 3800mg/kg in rabbits. According to these high numbers, it was placed in Toxicity Catagory lll (low toxicity). After considering current researches on long term affects on humans, animals and the environment it was placed in Catagory ll(moderate toxicity) in 2017.

      Delete
  7. පොදු යහපත වෙනුවෙන් මේ තොරතුරු උපුටා ගන්න දෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කර්තෘ අයිතිය ලබා දී උපුටාගැනීමට බාධාවක් නැහැ. මමත් කරුණු ගත්තේ අනිත් අය ලියු ලිපිවලින් බව සඳහන් කර තිබෙනවානේ. නිසි කරුණු තෝරා ගොනුකර ඉදිරිපත් කිරිමටයි මගේ මහන්සිය වැයවුනේ. ලින්ක් එකෙන් ශෙයා කරන්න පුලුවන්නම් වඩා හොඳයි.

      Delete