Wednesday, 25 April 2018

එක දරුවෙක්ට එක පරිගණකයක් ?? OLPC

ඉතියෝපියාවේ අන්ත දුගී පිටිසර ගමක කිලිටි වැරහැලි ඇඳගත් හරක්, එළු බැටළුවන් සමග පැල්පතක් තුල නිදන, ජිවිතේ කිසිදිනෙක පාසල් නොගිය දරුවන් සමුහයක් තනිව ඉංග්‍රීසි අකුරු ඉගෙනගත්තා කිව්වොත් විශ්වාස ගත හැකිද?  හැම ළමයෙක්ටම පුද්ගලික පරිගණකයක් වැනි ලාමක දේශපාලන පොරොන්දුවක් නොවී, හැම ළමයෙක්ටම  සැලසුම් සහගත ආධාරකවලින් සන්නද්ධ කරන ලද පරිගණකයක් දී ඒ ඇසුරින් සිදුකළ පර්යේෂණ පිළිබඳව 2012  සිට සටහන් වෙමින් පවතියි.

දැනට ලෝකයේ පළමු වසරට ඇතුලත් වී අධ්‍යාපනය ලැබිය යුතු දරුවන් මිලියන 100ක් පමණ පාසලක් නොමැතිවීමත්, අකුරු කියා දෙන්නට වැඩිහිටියෙක් නොමැති වීමත් නිසා විධිමත් අධ්‍යාපනයෙන් තොරව දිවි ගෙවති.  කිසිදු ලිඛිත අකුරක් ඉගෙනගෙන නැති දරුවන්ට තනිව කියවීමේ හැකියාව ඇති කළහැකිදැයි පරික්ෂා කිරීමටයි One Laptop Per Child (OLPC) නම්වූ සංවිධානයකින්  මෙම අධ්‍යයනය සිදුකළේ.
මේ සඳහා තෝරාගනු ලැබුයේ ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවරින් සැතපුම් 50කට දුරින් හුදෙකලාව  පිහිටි, අති දුෂ්කර පිටිසර ගම් දෙකකි. මින් එක ගමක් වන වොන්චි, ගිනි කන්දක වලයෙන් අඩි 11000ක් මෙපිටින් පිහිට තිබුණි. ගම්වල දරුවන් කිසිවෙකුත් ඒ වනවිට කිසිදු   මුද්‍රිත වචනයක්, මාර්ග සංඥාවක් හෝ අඩු තරමින් යමක් ඔතාගෙන ආ කොළයක මුද්‍රිත අකුරක්වත් දැක තිබුණේ නැත.


OPLC අධ්‍යාපනික වැඩසටහනේ අරමුණ වුයේ තනිව ඉගෙනීමට යොමු කිරීමයි. ක්‍රියාවෙන් අවබෝධය යන ලෝ ප්‍රකට අධ්‍යාපන සංකල්පයමයි ඔවුන් යොදාගත්තේත්. ඉංග්‍රීසි හෝඩිය, අකුරු කියවීම හා ලිවිම පුහුණු කරන ක්‍රීඩා, කාටුන්, චිත්‍රපට, e පොත්, paint ආදී සැලසුම් සහගත පරිගණක ප්‍රෝග්‍රෑම් ගණනාවක් සහිතව මෙය  සැලසුම් කළේ අධ්‍යාපනඥයන් හා පරිඝනක විද්‍යාඥයන් පිරිසකි. ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනීම් ක්‍රමය මගින් දරුවන් නිර්මාණාත්මක හැකියාවත්, පරීක්ෂණ කිරීමත්, සහයෝගයෙන් ඉගෙනුමත් යොදාගෙන ස්වයං විසඳුම් ලබාගන්න ආකාරයට වැඩ සටහන සැලසුම් කෙරුණි.

සූර්ය  බලයෙන් ආරෝපණය කළහැකි මෝටොරෝලා Xoom ටැබ්ලට් ආරෝපණය කරන අන්දම එම ගම්වල වැඩිහිටියන්ට තාක්ෂණඥයන් විසින් පුහුණු කරන ලදී. මේ පිළිබඳව දරුවන්ව  කිසිදු පූර්ව දැනුවත් කිරීමක් සිදුකළේ නැත.
මුලින්ම ටැබ්ලට් අඩංගු ටේප් මගින් වසන ලද පෙට්ටි කිසිදු උපදෙසක් ලබා නොදී දමා යනු ලැබුණි. ළමුන් විසින් පෙට්ටි සමග සෙල්ලම් කරමින් සිටිනු ඇතැයි බලාපොරොත්තු වුනත් මිනිත්තු හතරක් ඇතුලත එක දරුවෙක් පෙට්ටියක් විවෘත කර බැලුවා පමණක් නොව, කිසිදු දිනෙක අසාවත් නැති උපකරණය ක්‍රියාත්මක කළහැකි බොත්තම සොයාගෙන පරිගණකය පණ ගැන්වීය. අනෙක් දරුවනුත් සීග්‍රයෙන් උපකරණය භාවිතය ඇරඹුහ. විවිධ වැඩසටහන් තනිව සොයාගෙන නරඹා, ක්‍රියාකාරී වුහ. පර්යේෂකයන් පුදුමයට පත් කරමින් දින පහක් ඇතුලත ළමයෙක්ගේ  ඇප් භාවිතයේ සාමාන්‍ය අගය 47ක් විය.
සති දෙකක් තුළ ඉංග්‍රීසි හෝඩිය කියවෙන ABC ගීය ගායනා කිරීමටත්, සමහර වචන සඳහා අකුරු කීමටත් (spelling) දරුවන්ට හැකිවිය. සංවිධානයේ යම් අයෙක් සැලසුමට පටහැනිව කැමරාව ක්‍රියා විරහිත කර තිබුනත් දරුවන් කැමරාව ක්‍රියාත්මක කරන අයුරු සොයාගෙන තිබුණි. මාස පහක් තුළ දරුවන් කිහිප දෙනෙක් android හැක් කරීමටත් සමත් වූහ. සත්ව රුප සහිත සාක්ෂර ක්‍රීඩාවන්හි නිරත වුනු දරුවෙක් paint මත Lion වචනය ලිව්වේය. පරිගණක ආරෝපණය කරන අන්දම පහසුවෙන් උගත්තාහ.
මේ වැඩසටහන් දිගටම ක්‍රියාත්මක වුවහොත් ඔවුන්ගේ අසාක්ෂර දෙමාපියන්ට අකුරු කියවීම හා ලිවිම ඉගැන්වීමටත් දරුවන්ට හැකිවනු ඇතැයි බලාපොරොත්තු විය.

"ඔවුන්ට කියවන්නට ඉගෙනගත හැකිනම්, ඉගෙනගැනීම සඳහා කියවන්නටද හැකිවනු ඇත." OLPC සංවිධානයේ නිර්මාතෘ නෙග්රොපොන්ටේ මහතා ගේ අදහසයි.
සංගමය 2000 මුල් දශකයේ සිදුකළ දුප්පත් රටවල් 40කට පරිගණක මිලියන තුනක් නොමිලේ බෙදාහැරීමේ වැඩසටහනට වඩා වැඩි ඵලදායිතාවක් මෙලෙස කෙලින්ම පරිගණක දරුවන්ටම  ලබාදීමෙන් දැකිය හැකිවිය.


"පාසල් නොයන මිලියන 100ක ළමයින් උදෙසා අපට කළහැකි කුමක්ද?" OLPC හි ප්‍රධාන තාක්ෂනඥ මැක්නර්ණි මහතා ප්‍රශ්ණ කළේය.  "පාසල්, ගුරුවරු, අච්චු පොත් සපයනවා වෙනුවට තනිව ලිය කියවීමේ හැකියාව වර්ධනය කරගන්න අවශ්‍ය මෙවලම් සැපයීමද? අපේ කාර්යය ඉගැන්වීම නොවේ. පහසුකම් සපයා යොමු කිරීමයි"

මෙම ලැප්ටොප් වැඩසටහන් අදටත් ක්‍රියාත්මකව  පවතින අතර මුලින් බෙදාදුන් පරිඝනක මේ වනවිටත් සුර්ය බලයෙන් ආරෝපණය වන බැටරි මගින් වයි ෆයි පහසුකම් සහිතව ක්‍රියාත්මක වෙමින් පවතියි.  දරුවෝ තම දෙමාපියනට අකුරු උගන්වමින් සිටිති.

OLPC වැඩසටහන ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල පාසල් වෙත ව්‍යාප්ත කරනු ලැබුණි. රුවන්ඩා, කොස්ටරිකා, නේපාලය, කැමරුන්, පැරගුවේ, පැනමාව ආදී රටවල් ගණනාවක  තෝරාගත් ප්‍රදේශවල  අවුරුදු 6ත් 12ත් අතර සෑම සිසුවෙක්ටම පරිගණකයක් ලබාදුන් අතර, සිසුවාට එය නිවෙසටත් ගෙනයාමට ඉඩ දුනි. 
මීට සමගාමිව ගුරුවරුන්ටද පරිගණක සපයා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට එය දායක කරගන්න අන්දම පිලිබඳ අවබෝධයක් ලබාදෙන ලදී. ඉගැන්වීම යනු සිසුනට සොයාගැනීමට අනුබල දීමේ කලාවක් ලෙස වර්ධනය කරගැනීමට ගුරුවරුනට හැකිවිය.  මෙයින් මුළු පාසල් ප්‍රජාවම උපකරණයේ වටිනාකම දැනගත් අතර එහි වගකීම ගැන සංවේදී විය.
   මැඩගස්කරයේ ක්‍රියාත්මක වැඩ සටහනේ වසර හතරකට පසු ප්‍රතිඵලය ලෙස එලි දැක්වුණේ සිසුන් පාසලේදී මෙන් ඉන් පිටතත්, එදිනෙදා ජීවිතයේත් තාක්ෂණය  සමග තොරතුරු රැස් කරගෙන ඉගෙනීමට වඩා යොමුවුනු බවයි. මෙම වැඩසටහනට සහභාගී වූ ළමුන්, බටහිර සංවර්ධිත රටවල සම වයස් ළමුන් මෙන්ම නිවසේදී පරිගණකය යොදාගත්තේ ඡායාරුප ගැනීමට, වීඩියෝ නිපදවීමට, පරිගණක ක්‍රීඩා කිරීමට, ගී ඇසීමට හා පාසලෙන් දුන් ගෙදරවැඩට සහයටයි. එහෙත් ප්‍රබලම වෙනසක් වූයේ  බටහිර ළමුන් මෙන් තනිව නොව, නිවසේ සැවොම සමග සාමුහිකව මෙම සියලු භාවිතාවන්හි යෙදීමක් දක්නට ලැබීමයි. පරිගණකයෙන් දෙමාපිය, මිතුරු, සොහොයුරු සමාජ සම්බන්ධතා තීව්‍ර හා ශක්තිමත් වීමක් දක්නට ලැබුණි.

ළමුන් වඩා හොඳින් ඉගෙනගන්නේ පරීක්ෂණ පවත්වමින් එහි නිරතවීමෙන් අවබෝධය ලැබීමෙන් බව අධ්‍යාපන සංවර්ධනයේ මුලධර්මයකි. මෙම ලැප්ටොප් උපකරණ සැලසුම් කළේ නිර්මාණාත්මකව සහභාගිත්වයෙන් ඉගෙනුමට යොමු කරවීමටයි. අවසන් ඵලය අරමුණු කරගෙන ඒ අනුව සැලසුම් කිරීමේ නවතම අධ්‍යාපන සැලසුම් ක්‍රමෝපයක්ද යොදවා ගැනුනි.

මෙම පරිගණක වැඩ සටහන් මාලාවේ අරමුණ වුයේද දරුවනට අවශ්‍ය උපකරණත්, ඉගෙනුමට අවැසි තොරතුරුත් සපයා ප්‍රශ්ණ නැගීමට හා එමගින් සොයාගැනීමට දීරිගැන්වීමයි. මේ තුලින් දුගීබව තුරන් කිරීමත්, සිසුන් බලගන්වා එමගින් ඔවුන් ජිවත්වන ප්‍රජාව වැඩි දියුණු කිරීම අදහස් කෙරුණි. ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීම හා තොරතුරු ලබා ගැනීමට මාර්ග තිබීම මුලික මානව අයිතියකි. මෙම වැඩසටහන මේ මුලික අයිතීන් ලබා දීම සඳහා නොකඩවා ක්‍රියාත්මක වන අතර ඒ සඳහා වන ඉල්ලුමද වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව නෙග්රොපොන්ටේ මහතා පවසයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල විධිමත් මෙන්ම නොවිධිමත් අධ්‍යාපනය සඳහා පහසුවෙන්  තොරතුරු ලබාගැනීම, අධ්‍යාපනික ක්‍රීඩා මෙන්ම සිසු ගුරු  හැඟීම් එලි දැක්වීමටද පරිගණක භාවිතයෙන් පරිචයක් ලැබෙන  බව පැහැදිලිව පෙනී යයි.
දැන් ශක්තිමත් ගුරු අධ්‍යාපනය, තාක්ෂණික උදව් සැපයීම හා පුහුණුව ඇතුලත් අධ්‍යාපනික වැඩ සටහනක්ද අඩංගු වන අතර එහි අධීක්ෂණ හා ඇගයීම් ද ඇතුලත්ය. මෙම ක්‍රියා පිළිවෙලට ප්‍රජාවේ ස්වෙච්ඡා දායකත්වය හා සහය දිගටම ලබාගැනේ. නිකරගුවාවේ අති සාර්ථකව මෙම විස්තීර්ණ වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ අනුව සම්පුර්ණ අධ්‍යාපනික ප්‍රජාවටම සහයෝගය ලැබ දී අධ්‍යාපනයේ තිරසාර පරිවර්තනයක් වෙත ක්‍රියා කරගෙන යයි.

නවීන තාක්ෂණය, අධ්‍යාපනයේ ප්‍රජාතන්ත්‍රීය බවක් ඇතිකිරීම උදෙසා යොදාගන්නා මෙම වැඩසටහන වැනි තවත් බොහෝ වැඩසටහන් ලොව පුරා ක්‍රියාත්මකයි. අනෙක් ක්ෂේත්‍ර මෙන්ම අධ්‍යාපනයේත් ගැටළු බලාපොරොත්තු රහිතව ඇතිවේ. තිබෙන හා මතුවන ගැටලුවලට පිළිතුරු සොයමින්, අභියෝග ජයගනිමින් ලොව සියලු දරුවන්ගේ නිර්මානශිලිබව පෝෂණය කරමින් නව ප්‍රවණතා සොයා යාම තව දුරටත් සිදුවිය යුතුවේ.

උදව්:
 http://blog.laptop.org
https://www.technologyreview.com
https://www.washingtonpost.com
https://mg.co.za/article

6 comments:

  1. ඔබගේ ලිපියෙන් දක්වා ඇති පරිදි එම සාර්ථක වැඩපිළිවෙලට මුලික වී තිබෙන්නේ //ක්‍රියාවෙන් අවබෝධය යන ලොව ප්‍රකට අධ්‍යාපන සංකල්පය// බව මනාව අවබෝධ කර ගත හැකිය.

    මෙයට තරමක් දුරට හෝ සමාන කමක් ඇති, පරිසර විද්‍යා අධ්‍යාපන වැඩසටහනක් දැනට දශක හතරකට පමණ ඉහතදී ශ්‍රී ලංකාවේ ද්විතීයක විදුහල් ආශ්‍රිතව ක්‍රියාත්මක විය. එම වැඩ සටහන හැඳින්වුයේ 'ස්ථානගත පරිසර අධ්‍යයන' 'On site environmental studies' යන නමින්ය. එවකට විද්‍යා අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් සේවය කළ මා ද එම වැඩ සටහනේ ආරම්භක සාමාජිකයෙකි.

    මේ වැඩ සටහන පෙරදැරි කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල 'ක්ෂේත්‍ර අධ්‍යයයන මධ්‍යස්ථාන' (Field study centres) තිස් අටක් ආරම්භකරන ලදී.

    කෑගල්ල 'කුරුළු කැලේ', හොරණ 'කළුගඟ මිටියාවත', රත්නපුර 'පොම්ප කැලේ', යාපනය 'තොන්ඩමනාරු', මන්නාරම 'ලවණ වගුරු බිම්', ඉබ්බාගමුව 'බතලේගොඩ වැව රක්ෂිතය', පලාබද්දල 'ශ්‍රීපාද අඩවි රක්ෂිත' ආදිය මෙම ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යසඨාන වලින් කිහිපයකි.

    2009 සිට 2013 වසර දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේ ද්විතීය අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය (SEMP) සහ දැනුමැති සමාජයක් සඳහා අධ්‍යාපන ව්‍යාපෘතිය (EKSP) යන ව්‍යාපෘති මගින් එම වැඩ සටහක් පිලිබඳ ඇගයිමක් කර, ඒවායේ ඇති //ක්‍රියාවෙන් අවබෝධය // නම් සංකල්පය නිසාම වැඩ සටහන සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලදී.

    එම වසර පහ ඇතුලතදී ශ්‍රී ලංකාවේ පාසල්වල (උතුරු පළාතද ඇතුළුව) ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්ෂ තුනකට පමණ එම ක්‍රියාකාරකම් මගින් විවිධ පරිසර පද්ධති පිලිබඳ මහඟු ප්‍රායෝගික අත්දැකීම් ලබාගත හැකිවිය. එසේම අදහස් හුවමාරු කර ගැනීමටද අවස්ථාවක් ලැබුණි. එහෙත් පසුව, කැපවීමකින් කටයුතු කරන නිලධාරි හිඟය, ප්‍රතිපාදන නොමැතිවීම සහ වෙනත් විවිධ හේතු (දේශපාලන ඇතුළු) නිසා එම වැඩසටහන දැනට අක්‍රියව ඇති බව පෙනේ. (එවකට විශ්‍රාමික, මට එම ව්‍යාපෘති දෙකෙහිම පරිසර විද්‍යා උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට හැකිවිය.)

    ReplyDelete
    Replies
    1. ඵලදායි වැඩසටහන් ඇගයීම් කරමින්, අවශ්‍යතා අනුව වෙනස් වෙමින් ඉදිරියට යන්න ඕනේ. OLPC සිදු කරන්නේ එයයි. ඇතිවී නැතිව යන වැඩසටහන් අතර ලොව පුරා රටවලින් ඉල්ලුම වැඩි වෙමින් තියෙන්නේ ඒ නිසයි.
      දයාරත්න මහතා,ඔබ සහභාගී වී ඇති වැඩ සටහන කොයිතරම් උචිත පරිසර ක්ෂේත්‍ර අධ්‍යයනයක් කල හැකි දෙයක්ද බලන්න.. ලංකාවේ මොන තරම් ඵලදායි දෙයක් කළත් දේශපාලනය හා නිලධාරිවාද නිසා අවසන් ඵලය නිෂ්ඵලය.

      Delete