Sunday, 26 March 2017

මනමාලි නැව් : Bride Ships

විශ්ව විද්‍යාලේ ඊළඟ නැව එනකල් පෙරමග බලන් ඉන්නේ තමන් ගොඩබට නැවෙන් කෙල්ලක් යාලු කරගන්න බැරිවුණු අය. මේ ආදර බන්ධනයක් සබැඳි නැව් කතාව ඇමරිකා- යුරෝපා මනාලි නැව් ඉතිහාසයේ පුරුකක් වෙන්නත් පුළුවන්.
කොලොම්බස් ගේ ගොඩබැසීමෙන් පසුව දැනට දකුණු ඇමරිකාව පවතින ප්‍රදේශයේ රන්, රිදී තිබෙන බව දැනගත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ රජවරු ඔවුන්ගේ වැසියන් සමුහ ලෙස ඇමරිකා මහද්වීපයට එවන්නට පටන් ගත්තා. මේ අය එතරම් දකුණු දෙසට නොයා දැන් ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව පවතින උතුරු ඇමරිකාවයි පදිංචි වෙන්න තෝරාගත්තේ.
නිර්භීත නාවිකයන් සමග කණ්ඩායම් කිහිපයක් ආ ගිය පසු 1663 දී 14වන ලුවී රජතුමා උතුරු ඇමරිකාවේ ශක්තිමත් ප්‍රංශ රාජධානියක් පිහිටුවන්නට තීරණය කළා. එය සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට  Jean Talon නම් පුද්ගලයාව බලධාරියෙක් ලෙස පත්කළා. ඇමරිකාවේ ආදිවාසීන් ලිපි පෙලේ සඳහන් වූ අන්දමට යුරෝපා ජාතින් ස්වදේශික මිනිසුන් මර්දනය කරමින් සිටි යුගයයි මේ. සමහර සංක්‍රමණිකයන් ස්වදේශික මිනිසුන් සමග සමගිව උපක්‍රමශීලි ලෙසින්  ක්‍රමයෙන් ඉඩම් අත්පත් කරගත්තත්, බොහෝ ප්‍රදේශවල ප්‍රංශ ජාතිකයන්ට බලකොටු තනාගෙන ඒ තුලයි ජීවත්වන්නට සිදුවූයේ.  ඒවාටත් ස්වදේශී ඇමරිකානුවන් වරින් වර පහර දුන්නා. මෙම තත්වයන්ට මුහුණ දීම සඳහා ප්‍රංශ රජතුමා විසින් හොඳම සොල්දාදුවන්ගෙන් සැදුම් ලත් භට ඛණ්ඩයක් 1665 දී එවනු ලැබුවා. ඔවුහු ආයුධ සන්නද්ධව ආදිවාසී ගම්මානවලට කඩා වැදී, නිවාස ගිනි තබා, දේපල කොල්ල කමින් ආදිවාසීන්ව මරා දමන්න පටන් ගත්තා. අවසානයේ එතරම් අවි බලයක් හෝ යුධ ශක්තියක් නොතිබූ ආදිවාසීන්ට සාමය සඳහා කැමැත්ත පළකර, ඉඩම් දී පසුබසින්න වුණා.
සමහර චිත්‍රපටවල ආදිවාසීන් අශ්වයන් පිට යන දර්ශන තිබුනත්, 1665 දී ටැලෝන්ට උදව් පිණිස ගෙන්වූ අශ්වයින්, ආදිවාසීන් මුලින්ම දුටු අශ්වයින් ලෙස සඳහන් වෙන්නේ. ඔවුහු උන්ව හැඳින්වුයේ French moose ලෙසයි.
මෙලෙසින් ආදිවාසීන් පලවා හැර ඉඩකඩම් අත්පත් කරගත් ප්‍රංශ ජාතිකයන්ගේ ප්‍රධාන අරමුණ වුයේ මෙම නව ප්‍රංශයේ (New France)  ජනගහනය වැඩිකර ගැනීමයි. එහි ඒ වන විට සිටි ජනගහනයෙන් වැඩි කොටසක් අවිවාහක සෙබළුන් හා අලුත පදිංචි වූ පිරිමි නිසා ටැලෝන්,  'දියණියන් නැවක්' එවන ලෙස රජුගෙන් ඉල්ලීමක් කළා.
ප්‍රංශ රජු විසින් මව්පියන් අහිමි අනාථ තරුණියන්, යාචක තරුණියන් හා ගම්වල අන්ත දුගී තරුණියන් එක්කර ඔවුනට සරුසාර දිවියක් ලබාදීමේ පොරොන්දු මත නැවකට නංවනු ලැබුවා.
අලුත් ඇඳුම් මෙන්ම රජුගෙන් දායාද ලෙස එක්  අයෙකුට එළදෙනක්, ඌරන් දෙදෙනෙක්, කුකුලන් දෙදෙනෙක්, ලුණු දැමු හරක්මස් බැරල් දෙකක් හා ක්‍රවුන් 11ක මුදලක් ලැබුණා.
මේ තරුණියන් හා සතුන් රැගත් නැව් 1665 සිට 1671 දක්වා වරින්වර දැනට කැනඩාව තිබෙන ප්‍රදේශයට ගොඩ බැස්සා. පසුව යැවු නැව්වලට යහපත් අනාගතයක් පැතූ නිර්භීත, මධ්‍යම පන්තික තරුණියන්ද එක්වුණා.
මෙසේ මනාලියන් රැගෙන නැවක් පැමිණෙන විට තරුණයන් ද ඔවුන් මුණ ගැසීමට සුදානම්ව සිටියා. වෙහෙසකර දීර්ඝ ගමනකින් පසු වුවත්, ගොඩබට වහාම ඔවුනොවුන් කෙරේ පැහැදුණු අයව ඒ වෙලාවේම විවාහ කරදීම පිණිස පුජකයන් සුදානම්ව සිටියා. තරුණයෙක් ගේ යෝජනාවක් රජුගේ දියණියක් අතින් ප්‍රතික්ෂේප වුනේ නැහැ.
විවාහයෙන් පසු කාන්තාව පිරිමියාගේ දේපලක් බවට පත්වුණා. මොන වද වේදනා වින්දත් දික්කසාද වීමකට නීතියෙන් ඉඩක් තිබුනේ නැහැ.
රජු ගේ හා ටැලෝන් ගේ සැලසුම සාර්ථක වී 1670 වනවිට වසරකට ළදරුවන් 700 පමණ බැගින් ඉපදුණා.

එහෙත්,
මනාලි නැව් කතාව එතනින් නැවතුනේ නැහැ.
වික්ටෝරියානු අධිරාජ්‍යය පවතින සමයේ එංගලන්තයේ ආර්ථික අවපාතයක් ඇතිවුණා. ඒ වනවිට එහි ජනගහනයෙන් වැඩි කොටසක් ගැහැණු අයයි. මධ්‍යම පාන්තික තරුණියකට පවා විවාහයට සුදුස්සෙක් සොයාගැනීම අපහසු තත්වයක තිබුණේ. මෙලෙස දුගී බවත්, අවිවාහක බවත් ඉහල යාම සමග පල්ලිය හා  සමාජ සේවය කරන ඉහල පන්තියේ ප්‍රභූ කාන්තාවන් එකතු වී Colombia Emigration Society නම් සංවිධානයක් ඇති කළා.
මේ වනවිට උතුරු ඇමරිකාවේ රන් නිධි සොයාගෙන පොහොසත් පවුල් ඇතිවෙමින් තිබුණා. ඒ නිසා අවිවාහක සුදු ජාතික තරුණයන්ට විවාහ වියහැකි තරුණියනුත්, පොහොසත් පවුල්වලට සේවය කළහැකි කාන්තාවනුත් අවශ්‍යතාවක්ව පැවතුණා.
කොලොම්බියා සංගමය,  දියමන්ති හා රත්රන් සොයා ගනිමින් පවතින රටේ පදිංචියට යාමෙන් මේ දුගී දිවියෙන් ගැලවී නව දිවියක් ඇරඹිය හැකි බවට තරුණියන්ට ඒත්තු ගැන්වුවා. ඒ සඳහා වන සියලු වියදම් තම සංගමයෙන් දරන බවටත් පොරොන්දු වුණා.
ප්‍රංශ මනාලි නැව් මෙන්ම මේ කොලොම්බියා සමාජයේ නැව්වලත් මුලින්ම නැව්ගත කළේ රැකියා විරහිත දුප්පත් තරුණියන්, කම්හල්වල සේවය කළ දුගී තරුණියන් හා ලාබාල වියේදීම වැන්දඹු වූ තරුණ පෙනුමක් ඇති අය. ඒ සියලුම දෙනා දුගී බවෙන් විනිර්මුක්ත වීමේ ආශාවෙන් ඉතා කැමැත්තෙන් මේ ගමනට එක්වී තිබෙන්නේ.
ප්‍රංශ මනාලි නැව්වලින් වසර 200කට පසු 1862ත් 1870ත් අතර බ්‍රිතාන්‍ය මනාලි නැව් හතරක් කොලොම්බියා  සමාජය මගින් එවන්නට යෙදුණා. මේ ගමන එතරම් සුව පහසු එකක් වුනේ නැහැ. ප්‍රධාන තට්ටුවලින් පහල කුඩා ඇඳන් තබා ඇති එහා මෙහා හැරෙන්නවත් ඉඩක් නැති පුංචි කාමරවල තරුණියන් අට දෙන බැගින් රඳවා
සිටියා. මේ කාමර අපිරිසිදු, ගල් අඟුරු බොයිලර් වලින් එන දුමෙන් පිරුණු, පිරිසිදු වාතය හිඟ තැන්. පල්ලියෙන් පත්කළ වැඩිහිටි ස්ත්‍රීන් විසින් මම තරුණියන් නැවේ ගමන් කරන අනෙක් පිරිමි අය සමග සම්බන්ධතා ඇති නොවීමට වග බලා ගනු ලැබුවා.
නැවේ ගමන් කරන අන් අයට මෙන් ආහාර සැපයීමක් වුනෙත් නැහැ. සපයනු ලැබූ සීමිත ජල ප්‍රමාණයෙන් ආහාර උයා ගැනීමත් ඔවුන්ටම කරන්නට සිදුවුණා.
ශීතකරණ නොතිබූ මේ කාලයේ අලුත් මස්, කිරි, බිත්තර ආදිය ලබාගැනීමට ගවයන්, කුකුළන් හා ඌරන් ද ගෙන ගියා. මේ සතුන් නැවේ උඩ තට්ටුවල සිටි බවත්, තද කුණාටු වලදී එයින් විසිවී මුහුදට වැටුණු බවත් සඳහන් වෙනවා. එසේ වූ පසු ආහාර  සැපයුම අඩු වුයේත් තරුණියන්ටයි.
මේ නැව්වල ගිය ගැහැණු විවාහ දිවියක් ගැන සිහින දකිමින් ගිය අන්දමටම පිරිමි අය රත්රන් ගැන සිතමින් ගිය බවයි කියවෙන්නේ.
මාස තුනක් පමණ මුහුදේ යාත්‍රා කිරීම නිසා රෝගී වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව හැරුණුකොට වැඩි දෙනෙක් ගමනාන්තයට පැමිණියා. මෙම නැව් ගොඩබැස ඇත්තේ දැනට බ්‍රිටිෂ් කොලොම්බියා තිබෙන කැනඩාවේ බටහිර වෙරලටයි.
නැව් පැමිණෙන දිනය පළාතේම නිවාඩු දිනයක් බවට පත්කර තිබුණා. තරුණියන්ව පෙළ ගස්වා රැස්වීම ශාලාවකට ගෙනගිය බවත්, තරුණයන් එතැනට පැමිණ මනාලියන් තෝරාගත් බවත් සඳහන් වෙනවා.
නැව්වල පමණි සියලු දෙනාම සතියක් ඇතුලත ස්වාමි පුරුෂයෙක් හෝ නිවසක රැකියාවක් සොයාගත්තා. ඒ සෑම දෙනාටම ඔවුන් බලාපොරොත්තු වූ ලෙසම එංගලන්තයේ දී ට වඩා යහපත් ජිවන මට්ටමක් ලැබුණා.
මෙවැනි  මනාලි නැව් ගැන මින් පසුවත් වාර්තා වෙනවා.


උදව්:
New France : Livesey R., Smith A.G.
Voyage of Hope :Peter Johnson
anotherdayanotherstory.blogspot.ca
sites.google.com/site/robstalks

4 comments:

  1. සිය වස් කීපයකට පෙර අපේ රටවල් බටහිරෙන් ආක්‍රමණය කලෙත් මේ වගේ හේතු නිසා නේද? ඒ රටවල මිනුස්න් අන්ත දුක් විඳිද්දී අපේ රටවල සරු සාර ජිවිතයක් මිනිසුන්ට හිමිවී තිබුනා..අපේ කාන්තාවන් කවදාවත් මෙවන් බල කිරීම් වලට ගොදුරු වුන බවක් ඉතිහාසයේ සඳහන් නැහැ..

    අවසානයේ ඔවුන්ට සැපක් ලැබුණු එක නම් හොඳ පුවතක්..

    නම දැකපු ගමන්ම නම් මතක් වුනේ අලුත් බැච් එකක් එද්දී කොල්ලෝ කියපු..''අලුත් නැවෙන් නම් එකෙක් දාගන්නවාමයි '' කියන පාරම් බෑම

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මුහුදු ගමන් අනතුරුදායකයි. ඕන දෙයක් වෙච්චදෙන් කියල යවල තියෙන්නේ.
      විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ රෙසිෂන් එක නිසා රෙදි වියන කම්හල්වල බොහෝ අය රැකියාවෙන් අයින් කරලා. ඒ අය රටට බරක් කියල වියදම් අඩු කරගන්න නැව් නග්ගල තියෙන්නේ

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete