Saturday 11 March 2017

Tribes: ආදිවාසී ගෝත්‍ර දැන්.. :ඇමරිකාවේ ආදි වාසීන් 8

කෙනෙක්ව පහත්කර සැලකීමට 'ගෝත්‍රිකයන්', ගෝත්‍රික මානසිකත්වය', 'නොදියුණු ගෝත්‍රික ලක්ෂණ' වැනි වචන නිතර භාවිතා කරනවා ඔබ අසා දැක ඇති. ඒ යුරෝපින් විසින් යටත් විජිත ලෙස පැවතී රටවලට ගෝත්‍රිකයන් ගැන අදහස් ලබාදුන් හැටියි. මෙයින් දශක කිහිපයකට පෙර වනතෙක් ස්වදේශී ඇමරිකානුවන් ගැන ලෝකයේ අනෙක් අය දැන සිටියේ යුරෝපින්හෙළිකළ අන්දමට හරි ඇඳුමක් පැලඳුමක් නැති, කිසි තාක්ෂණික දැනුමක් නැති, බිලි පුජා පවත්වන ම්ලේච්ඡ ජන වර්ගයක් ලෙස ය. තවමත් අපේ රටවල හුඟක් අය හිතා ඉන්නේ එහෙම.
ඒත්, පසුගිය ලිපිවලින් ඔබට වැටහෙන්නට ඇති වසර දස දහස් ගණනක්, පරම්පරා ලක්ෂ ගණනක් ඇමෙරිකා මහාද්වීපය පුරා පැතිරී ජිවත් වූ එහි මුල් පදිංචිකරුවන්, අප භාවිතා කරන තාක්ෂණික උපකරණ නැතිවත් අපට වඩා දැනුම, ආකල්ප හා කුසලතාවන්ගෙන් බොහෝ ඉදිරියෙන් සිටි බව.

පරිසරය හා ස්වභාවික ලෝකය ගැන ඉතාම වර්ධනීය දැනුමක් හා අවබෝධයක් ඔවුනට තිබුණා. විශ්වයේ නීති හා එහි රටා ගැන දිගුකාලීන නිරීක්ෂණයෙන් ලබා තිබු දැනුම, නව තාක්ෂණ අභිබවා උසස් මට්ටමක තිබෙන්නේ. පෘථිවිය, ග්‍රහලෝක, තාරකා හා විශ්වය ගැන ඉතාම ඉහල දැනුමක් තිබුණා.

කාලගුණය, ඍතු විපර්යාස, භූගෝලය, සත්ව හැසිරීම් රටා ගැන පරම්පරා ගණනක දැනුම උපයෝගී කරගෙන ඒවා එකිනෙක නිවැරදිව සම්බන්ධ කිරීමේ හැකියාවක් තිබුණා. ශාක වර්ධනය, මුහුදු මට්ටමේ හා ජල මට්ටමේ වෙනස්වීම, පස සංරක්ෂණය, ගොවිතැන, පරිසර විද්‍යාව වසර දස දහස් ගණනක් ප්‍රායෝගිකව, නිවැරදිව යොදා ගත්තා. දැන් මහා සංකල්ප ලෙස කතාකරන 'ධරණිය සංවර්ධනය, තිරසාර සංවර්ධනය,  ජල කළමනාකරණය' ඔවුන් පළපුරුද්දෙන් අනුගමනය කළා.
කපුවලින් රෙදි සෑදීම, කඩදාසි සෑදීම, ලේඛන කලාව, දැනුම ලේඛනගත කිරීම සිදුකළේ වසර දහස් ගණනක් සිට. අංක විද්‍යාව, ගණිතය අංශයෙන් උසස් දියුණුවක් ආසියාව හා සමානවම ලබා තිබුණා.


ඔවුන්ගේ කලා ශිල්ප හා  සෞන්දර්යාත්මක කුසලතාත් සුළුකොට හිතන්නට බැහැ. තම පවුලේ තත්වය හුවා දක්වන්නට, පරම්පරාවේ අය සිහිගන්වන්නට, ජනකතා දක්වන්නට හා විශේෂ අවස්ථා සිහිගන්වන්නට  තනන්නට ඇතැයි සැලකෙන totem pole කලාකෘතිවල ආකර්ෂණිය වර්ණ සංයෝජන හා හැඩතල උසස් මට්ටමක තිබෙන්නේ. සෑම ගෝත්‍රයකටම  ආවේනික නැටුම්, සංගීත ගැයුම් වැයුම් කුසලතා තිබෙනවා.
ඔවුන්ගේ භාෂාවලින් අනෙක් භාෂා පෝෂණය වූ අවස්ථාත් දක්නට ලැබෙනවා.

භුමියට අයිතියක් නොකියා, පොලවට ගෞරව කරමින් එය පරිහරණය කරමින් පරිසරයට අනුව ජීවිතය හැඩ ගස්වාගෙන, පරිසරය හා සබැඳි ව ඉන්නට ඔවුන් දැන සිටියා. ඔවුන්ව අනුගමනය කළානම් අද ලෝකයේ පාරිසරික ගැටළු මෙලෙස උග්‍ර වෙන්නේ නැහැ.

ගොඩනැගිලි සැදීම, පාරවල් තැනීම දියුණුවක් නම් එහි ඉහලම තලයක සිටි ගෝත්‍ර සිටියා. වසර දහස් ගණනකට පසු අදටත් පවතින සමහර ඉදිකිරීම්, තාක්ෂණික දියුණුවෙන් අර්ථ දක්වන්නවත් බැහැ.
සමහර සංස්කෘතීන්ට හොඳින් සැලසුම් කළ ගම්, නගර හා ගොවිපලවල් තිබුණා. ඔවුහු ගංගා නිවැරදිව සිතියම්ගත කළා.
විශාල ප්‍රදේශයක පැතිර සිටි මිනිසුන් පාලනයට යොදාගත් පාලන ක්‍රම ආදර්ශයට ගත්තත් වරදක් නැහැ.

යුරෝපින් බලෙන් ඉඩම් අත්පත් කරගෙන, යුද්ධ කර, රෝග පතුරවා ඔවුන් සමුල ඝාතනය නොකරන්නට අදටත් ඒ දැනුම් සම්භාරය අප අතරේ තිබෙන්නට ඉඩ තිබුණා. දෙමාපියන්ගෙන්  දරුවන් වෙන්කර  ඔවුනට ගැති පුද්ගලයන්  බිහිකර ගැනීමට අධ්‍යාපනය දීමෙන් පාරම්පරික දැනුම විනාශ වී ගියා.

සියල්ල තමනට අවැසි ලෙස වාසියට හරවාගෙන, ඒ සඳහා උදව් ද  ආදිවාසින්ගෙන් ලබාගෙන, 1924 දී The Indian Citizenship Act කියල එකක් හදල සංක්‍රමණික ඇමරිකානුවන් විසින් භුමියේ අයිතිකරුවන් වන මොවුනට ඇමරිකාවේ පුරවැසිභාවය දෙනු ලැබුවා!!!

දැනට තිබෙන ගෝත්‍ර සමහරක් 
සියල්ල ඉවසා දරාගෙන, පාඩු විඳගෙන හැකි තරමින් තම ගෝත්‍රවල ගුණ ආරක්ෂා කරගෙන ගෝත්‍ර 567ක මිලියන දෙකක පමණ  ජනතාවක් ඇමරිකාවේ ජීවත්වෙනවා.
දැනට ඉතිරි වී සිටින ගෝත්‍ර තවමත් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා. තම වර්ගයා වෙනුවෙන් නීති සකසාගෙන ස්වාධින වීමට උත්සහ දරනවා.
මේ දිනවලත් ඇමරිකාවේ පොලව යට තෙල් ගෙනයාම සඳහා නල එලීමේ උත්සාහයකට එරෙහිව උද්ඝෝෂණ කරනවා. එයින් ස්වභාවික ජල බැස්මට වෙන හානිය ගැන කරන පහදා දීම් රජයට නොඇසෙන ගානයි. ඔවුන් පහත්කොට සලකා අදහස් නොසලකා හැරිම අදටත් තියනවා.

තමන් අතින් වරදක් වූ බව පිළිගෙන, එයට සමාව අයැදීමක් ලෙස දැන් අප ජිවත්වන්නේ ඔවුන්ගේ නිජබිම්වල බැව් සිහිපත් කෙරෙන වාක්‍යයක් කීම කැනඩාවේ සමහර ප්‍රාන්තවල පාසල්වල සිදුවෙනවා.

යුරෝපින්ගෙන් පැවත එන නව ඇමරිකානුන්ගෙන් බැටකන මේ ගෝත්‍රිකයන් නොදියුණු, ම්ලේච්ඡ ජාතින් නොවන බව ඔබ දැන් දන්නවා. අද ගෝත්‍රිකයන් ගැන කතා කරන්නේ පිට සක්වල ජීවින් සමග පවා සබඳතා තිබු, බොහෝ අංශවලින් ඉහල දැනුමක් හා තාක්ෂණයක් තිබු, විශ්මිත නිර්මාණ කරනලද ජන කොටසක් ලෙස.

දැන් ඔවුන්ගේ සත්‍ය කතාව ඔබත් දන්නා නිසා 'ගෝත්‍රික' වචනය නොදියුණු බව පෙන්වන්නට භාවිතා කරන්න එපා. මේ ලිපි පෙළ කියවූ ඔබ අන් අයවත් දැනුවත් කරමින්, ලොව පුරා ආදිවාසීන්ට ලැබිය යුතු නිසි ගෞරවය වචනවලින් පවා ලබාදෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙනවා.

උදව්:
www.burkemuseum.org
www.native-languages.org
www.facebook.com/NativeAmericans 
 අහම්බෙන් හමුවී කතාබහ කළ ආදිවාසීන් සියලු දෙනාට

4 comments:

  1. ජයවේවා ආදිවාසීන්ට..!

    ReplyDelete
  2. සමහරවිට මාත් ඔය ගෝත්‍රික කියන වචනේ පාවිච්චි කරනවා.හැබැයි ඒ තුළින් රසුදැල් අදහස වගේම එක්තරා කුලකයකට සීමා වුණු වගේ අදහසකුත් එනවා නේද?? කෝම උනත් ලිපි පෙළ පුරාවටම හිටපු කෙනෙක් විදියට මේ තොරතුරු වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    ReplyDelete
    Replies
    1. රැඳී සිටියාට ස්තුතියි රස්ති..
      ගෝත්‍රිකයන් වචනේ හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ අනිත් අයව පහත් කරන්න. ලෝකය ගැන නොදන්නා බව පෙන්වන්න. ගෝත්‍රිකයන් ලෝකය දන්නා, පරිසරය දන්නා බොහොම විවෘත උදවිය. එයාලත් හැදෙමින්, කැඩෙමින්, මිශ්‍රවෙමින් වර්ධනය වෙන අය.
      ආයේ ඔය වචන පාවිච්චි කරන්න හිතෙද්දි මාවත් මතක් කරගන්න ඈ....

      Delete