Tuesday 30 May 2017

ප්‍රවේගකාරී වඩදිය රළ Tidal Bore : විශ්වයේ චිත්තකර්ශණිය සංසිද්ධි - 3

ගංගාවක් අසල සිටගෙන ඉන්නවිට එකවරම දැඩි රල පහරක් එක්ක මුහුද ගඟ දිගේ ආපස්සට ආවොත් කොහොම වෙයිද?  සන්සුන්ව ගලා යන ගඟ, හිතාගන්න බැරි විදියට විරුද්ධ පැත්තට ගලන්න පටන්ගන්න අවස්ථා පෘථිවි  තලයේ සිදුවේ. Tidal bore ලෙස හැඳින්වෙන මේ විශේෂ සංසිද්ධියේදී ඇතිවන ජලකඳ,  එය යන මාර්ගය දිගේ ඇති ඕනෑම දෙයක් විනාශ කිරීමට තරම් ප්‍රබල විය හැකිය. මෙය කිසිසේත්ම මුහුද ගොඩබිම වෙත එන සුනාමියක් නොවේ.


විද්‍යාඥයන්  පවා මේ දක්වා නිසි ලෙස හේතුවක් දැක්වීමට අපොහොසත්, නිසි ලෙස අවබෝධ කරගෙන නැති,  සන්සුන් ලෙස මුහුද දක්වා ගමන් කරන ගඟක සිට ක්ෂණිකව ඉතා ප්‍රබල ලෙස විරුද්ධ අතට ගලන රල පතරක් දක්වා වන වෙනසකි. ප්‍රවේගකාරී රළ රඳා පවතින්නේ ජල මට්ටමත්, ගංගාධාරයේ දිය බෙත්මත් මතයි. මෙය ඇත්තටම උදම් රළක්, ඒ කියන්නේ වඩදියක්. වඩදිය, බාදිය මුහුදට වැටෙන සැම ගංගාවකම පාහේ සිදුවුනත්, එය සිදුවන වේගය හා ප්‍රමාණය අනුව ප්‍රවේගකාරී වඩදිය රළ අනෙක් උදම්රල වලින් වෙනස් වේ. මෙහිදී  අති විශාල ශක්තිමත් උදම් රලක් ගඟක් දිගේ ඉහලට ඇදී ඒමයි සිදුවන්නේ.

සාමාන්‍ය වඩදිය මෙන් පුන් පොහෝ දිනවල සිදුවිය හැකි ප්‍රවේගකාරී වඩදිය රල ඇතිවීමට ගංගා මෝයේ පිහිටීම වැදගත්.  වඩදිය, බාදිය මට්ටම් අතර විශාල පරතරයක් තිබීම (එනම් අඩි 20ක පමණ පරතරයක් තිබීම) හෝ V හැඩති/ පුනිල හැඩති බොක්කක් තිබිම මෙම සංසිද්ධිය ඇතිවීමට අවශ්‍යයි. මෝය කට අසල නොගැඹුරු, කුඩා පහත් දුපත් සමුහයක් හා වැලි වැටි ඇති ඇමේසන් ගඟේ ද tidal bore ඇතිවේ.
මේවැනි පිහිටීම් ඇතිවිට  ජලය වේගයෙන් මුහුදට ගලාගෙන යන අතර, වඩදිය නිසා මුහුදු ජලය ගඟ දිගේ ඉහලට එයි. නමුත් සාමාන්‍ය වඩදියක් මෙන් මෙය කුමන මොහොතේ ඇතිවේදැයි අනාවැකි කිව නොහැකිය. ක්ෂණිකව නිර්මාණය වන ප්‍රවේගවත් වඩදිය, ගංගා ජලය ගලන දිශාවට විරුද්ධ දිශාවට වේගයෙන් ගමන් කරන්නට පටන් ගනී. එහි ශක්තිය අවසන් වනතුරු 100 km ට වඩා දුරක්, පැය ගණන් වුවත් ගමන් ගත හැකියි. මෙම රල සුනාමියක් මෙන් ගස්ගල්, වාහන පෙරලාගෙන , කිඹුලන්, පිරානා මසුන් පවා ඇදගෙන දෙපස ගොඩබිම් වුවද ආක්‍රමණය කරන අවස්ථා ඇත. වඩාත්ම ශක්තිමත් ප්‍රවේගකාරී රල පැමිණෙන්නේ අගෝස්තු මස පසළොස්වක දින බවයි චීනයෙන් වාර්තා වෙන්නේ. එදිනට දස දහස් ගණන් මිනිස්සු මෙය දැක ගැනීමට රොද බැඳ සිටිති.
2014 අගෝස්තු මස චීනයේ Qiantang ගඟේ දියරල නරඹන්නන් යටකරගෙන
සිමා ඉවුරු පැනගෙන ආ දර්ශනය 
 පැරිසියේ සීනේ ගඟේ සිදුවූ  8' -10' උස රළපහර සහිත වඩදිය රැලෙන් නැව් කැඩී බිඳී ගිලී යාම්ද වාර්තා වුණා. ප්‍රංශයේ මෙන්ම එංගලන්තය, කැනඩාව, බ්‍රසීලය, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, චීනය, මලයාසියාව වැනි රටවල් 22ක ගංගා 78ක පමණක් සිදුවන මෙම අපුර්ව සංසිද්ධියේ තවත් විශේෂයක් වන්නේ දැකීමට පෙර ශබ්දය ඇසිය හැකි වීමයි. මිනිත්තු එකහමාරක මේ වීඩියෝව බලන්න.

"වාෂ්ප දුම්රියක් ළඟ ළඟම එනවා වගේ මුලින් ඇහුනා.එක පාරටම අඩි පහක් විතර උස ජලකඳක් පෙනෙන්න ගත්තා.. එය ක්‍රමයෙන් විශාල වෙමින් අඩි 9ක් උසට මුලින් දැක්ක වගේ දෙගුණයක් උසට අපි හිටපු දිහාවට ආවේ.." බ්‍රිතාන්‍යයේ සිදුවූ tidal bore එකක් ගැන විස්තර කරමින් ජල ක්‍රීඩාකරුවෙක් වන ස්ටීව් කිංග් පවසා ඇත.
ප්‍රචණ්ඩකාරී රල නිසා ගංගාවේ වර්ණය නිල් හෝ කොළ පාට සිට ක්‍රමයෙන් බොර පාට වේ. අවට ගස්කොලන් උදුරාගෙන යාම නිසා එහි ක්‍රීඩා කරන අයට හා ගංගාව භාවිතා කරන අයට අනතුරුදායක විය හැකිය. රළ බැස ගිය පසු රල දිගේ ඉහලට ආ මසුන් සමහරක් මෙන්ම, ගංගාවේ ජීවත්වූ කරදියට ඔරොත්තු නොදෙන මසුන්ද මියගොස් ඉවුරු දිගේ ගොඩ ගසයි.

මෙම විනාශකාරී රල නිසා සතුටුවන අයද දුලභ නොවේ. එයින් වැඩි කොටසක් උදම් රල විනෝදය පිණිස නරඹන අයයි. ප්‍රවේගකාරී රල මත සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් රලෙහි ශක්තිය නිමවනතෙක් ඒ සමග ගමනේ
යෙදෙන්නට ප්‍රියකරන කණ්ඩායම තවත් කොට්ටාශයකි.
වඩදිය රල පසුපසින් ඇදී එන මසුන් ශුර ලෙස ගිලදමන උකුස්සන් කිඹුලන් වැනි මත්ස්‍ය භක්ෂකයන් අනෙකුන්ය.




-බුද්ධිනී රුහුණුහේවා
උදව්:The Most Fascinating Phenomena : S. Buskermolen
www.theatlantic.com
www.bayoffundy.com
www.nationalgeographic.org




6 comments:

  1. හොඳ ලිපියක් :)

    ReplyDelete
  2. මේ වගේ වඩදිය රල කොයි තරම් වේලාවක් පවතිනවාද.

    ReplyDelete
    Replies
    1. ලිපියේ තියෙන්නේ පැය ගානක් වුනත් පවතින්න පුළුවන් කියල. වීඩියෝ එක බලන්නකෝ. ඒ හිමින් එන එකක්

      Delete
  3. Apoorui me satahana...matak Una tsunami kedawachakaya..e mathakayath samaga danum sambharayak thawat aluthin ekatu Una. One mahansiyata sthuthie

    ReplyDelete
  4. අගය කිරීම ගැන ස්තුතියි ශ්‍රීපාලි

    ReplyDelete