Sunday 17 December 2017

හිම පියල්ලක හැඩය No Two Alike: Snowflake Bentley

වසර අවසාන උත්සව සමය ආරම්භ වීමත් එක්ක සැරසිලි හා සුබපැතුම්පත්, ගේ දොර, කඩ සාප්පු, පාරවල් දිගේ, අන්තර්ජාලයේ ඉතිරෙන්න අරගෙන... සැරසිල්ලක් විදියට ඉදිරියෙන්ම තියන විසිතුරු හිමපියලි චිත්‍ර රටා සීත රටවල වගේම මේ වෙද්දී ගිම්හානය ගෙවන ඔස්ට්‍රේලියාව වගේ රටවලත්, හිම කැටයක් නොදකින අපේ වගේ ඝර්ම කලාපිය රටවලත් වෙනසක් නැතිවම දකින්න තියනව.
හිමවලට විශේෂ හැඩයක් තියනවද? සුබපැතුම් පත්වල, සැරසිලිවල තියන ලස්සණ හිම රටා මෝස්‌තර ඇත්තටම තියන ඒවාද? මන:කල්පිත නිර්මාණ ද?  කවුද එහෙම  නිර්මාණ මුලින්ම කළේ ?

සුදු පාටට අහසින් පාවෙලා එන හිම පියලි ගැන ආසාවෙන් ඒ ගැන අවධානය යොමුකළ,  අති දක්ෂ, විශිෂ්ඨ  පුද්ගලයෙක් නිසා තමයි අද හිම මෝස්‌තර ලෝකේ පුරා පැතිරිලා තියෙන්නේ. ඒවා දියදම්  දිනිතියගේ අපුර්වතම සුන්දර දායාද බව ලොවට හෙළිකළ ඔහු ගොවිපලක ජීවත්වූ තරුණයෙක්.
1865 ඇමරිකාවේ කුඩා ගමක ගොවිපලක උපන් විල්සන් බෙන්ට්ලි පුංචි කාලේ ඉඳලම හිමවලට පුදුම ආසාවක් දක්වපු කෙනෙක්. හිම වැටෙන කටුක සීතලේ ඔහු හිම අරගෙන ලෑලි උඩ තියල කුතුහලයෙන් නිරීක්ෂණය කරනවා දැක්ක ගුරුවරියක වූ මව ඔහුට අවුරුදු 15දී අන්වීක්ෂයක් තෑගි කළා. අන්වීක්ෂයෙන් හිම නිරීක්ෂණය බෙන්ට්ලිගේ හිතට සතුට මෙන්ම දුකත් ගෙනාවා. මොකද ඔහුට අවශ්‍ය ලෙස සටහන් කරගැනීමට පෙර හිම දියවී ගිය නිසා..

අවුරුදු 17දී පියා එකල සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස සැලකුණු කැමරාවක් අරන් දුන්නා. මේ දෙකේ එකතුවෙන් තමයි ඔහුම සකස් කරගත් අපුරු අන්වීක්ෂ කැමරාවකින් 1885දී ලෝකයේ මුල්ම හිම පියල්ලක ඡයාරුපය ගන්න බෙන්ට්ලි සමත් වුනේ. සිතල බන්දේසියකට එකතු කරගත් හිම, කුරුළු පිහාටුවක් හා කෙන්දක් උදව්වෙන් සීතකළ  විදුරු කදාවකට මාරු කරලා අන්වීක්ෂයෙන් බලල දියවෙන්න පෙර ඡයාරූප ගැනීම ඔහුම හදාගත් සුක්ෂම ක්‍රමයක්. අවුරුදු 19දීම  photomicrography photograph කියන ඡයාරූපකරණ තාක්ෂණයේ පුරෝගාමියා බවට ඔහු පත්වන්නේ එලෙසයි.
හිම එක්ක වැඩකට නැතිව කාලෙ නාස්ති කරනවා කියල නෑයෝ, අසල්වැසියෝ විහිළු කළත් ඔහු සීත කාලේදී හිම එකතුකරලා පින්තුර ගන්න එක නැවැත්තුවේ නැහැ. විදුලි බලය නොතිබුණු ඒ කාලේ ඔහු මේ පින්තුර ගත්තේ ස්වභාවික ආලෝකයෙන්.
ජලයම වෙනස් අවස්ථාවකින් පවතින විට ඇතිවන මේ හැඩයන් ගේ අපුර්වබව කිසිදු විද්‍යාඥයෙක් නොකළ තරමට ඔහු අධ්‍යනය කළා. "අන්වීක්ෂය තුලින් මම හිම පියලිවල ආශ්චර්යමත් අලංකාරය හා හැඩ දුටුවා. අනිත් අය ඒවා අගය නොකිරීම කණගාටුවක්."


ඔහු පෙන්වා දුන්නේ හිම කියන්නේ අයිස් ස්පටිකයක් බවයි. ඒ හැම ස්පටිකයක්ම ෂඩාශ්‍රාකාර තලයක තියන පැති හයක් ඇති තරුවක්. සෑම තරු අක්ෂයක්ම තවත් සිහින් මෝස්තරවලට බෙදිලා. ඒවත් හැම අක්ෂයේම එකම විදියයි. මේ නිසා හිම පියල්ලකට සමමිතික අක්ෂ හයක් තියනව. (1/6ක් බ්‍රමණය කලවිට සමපාත වෙනවා).
 සාමාන්‍යයෙන් ලොව පවතින අනෙක් සමමිතික දේ සරලයි. වෙන කිසිම ඝනයක නැති සංකීර්ණ සුන්දරත්වයක් පිරිලා තියන සෑම හිම මොස්තරයක්ම ස්වභාව ධර්මයේ විශිෂ්ඨ නිර්මාණයක්. එකිනෙක හිම පියල්ලක එයටම ආවේනික වූ මෝස්තරයක් තිබෙන බවත්  කිසිම හිම මෝස්‌තර  දෙකක් එක සමාන නොවන බවත් තම නිරීක්ෂණ ඇසුරෙන් බෙන්ට්ලි පෙන්වා දුන්නා. No Two Alike. අද්විතීයයි. අනන්‍යයි .කිසිම හැඩයක් නැවත වෙනත් හිම මලක හමුවෙන්නේ නැහැ. හිම පියල්ලක් දියවී යාමත් සමගම ඒ හා ඇති අසිරිමත්  සුවිශේෂී මෝස්තරය කිසිදු සලකුණක් නොතබා සදහටම තුරන් වී යනවා.

මද හිම පතනයකදී වුවත් හිම පියලි ට්‍රිලියන ගණනක් පොලවට පතිත වෙනවා. මේ හැම එකක්ම අතිශය අලංකාර වූ, සොබා දහම නිමවූ මනහර කලා  කෘතියක්..
බෙන්ට්ලි එක හිම කුණාටුවකදී පින්තුර 70- 75ක් බැගින් ගත්තා වගේම ඒ එක එක පින්තුර ගත්තු උෂ්ණත්වය, ඒ වෙලාවේ කාලගුණ තත්වය, වලාකුළුවල ස්වභාවය, සුළං තත්වය ආදියත් සටහන් කරගත්තා. මිට අමතරව තුහින, මීදුම ආදී වායුගෝලීය තත්ත්වයන්ද රූප ගතකර තොරතුරු ලිව්වා. මේ සටහන් විවිධ ආයතනවලට ඉදිරිපත් කළත්, නිසි අධ්‍යාපනයක් නොලද ගොවියෙක් කරන මේ වැඩගැන  උගතුන් උනන්දු වුයේ නැහැ. එහෙත් බෙන්ට්ලිගේ  සටහන්වල විද්‍යාත්මක ස්වභාවය දැක්ක University of Vermont හි මහාචාර්ය පර්කින්ස්, බෙන්ට්ලි සමග එක්ව 1898දී හිම ස්පටික ගැන අධ්‍යයන වාර්තාවක් පලකළා.
බෙන්ට්ලි අතින් ඇඳි හිම මෝස්‌තර තැපැල් පත්වල අලවා නෑයන්ට, යාළුවන්ට සුබපැතුම්පත් ලෙස යැව්වා. එහෙත් අගය කිරීමක් ලැබුවේ කලාතුරකින්. අනිත් අයගේ අධෛර්යය කිරීම්වලින් නොසැලී  දිගටම සඟරා හා පුවත්පත් වලට ලිපි සැපයීමත්, දේශනා පැවැත්වීමත්, ඔහුගේ ආවේනික හිම පර්යේෂණ අධ්‍යයනත් සිදුකළා.

NewYork Times පුවත්පතේ දැන්වීම්වල මේ ෂඩශ්‍රාකාර රමණීය හිම මෝස්‌තර පළවීමත් සමග ඒ ගැන වෙළඳපොල උනන්දුවක් හා ඉල්ලුමක් ඇතිවුනා. බෙන්ට්ලිගේ සුපරික්ෂාකාරී දෙනෙතට හසුව දියවී නොගිය සුන්දරත්වය ලොව පුරා පැතිරෙන්න පටන්ගත්තේ ඉන් පසුවයි. ඔහුට snowflakes Bentley යනුවෙන් නමක්ද පටබැඳුණා.
බෙන්ට්ලි ඇමරිකාවේ කාලගුණ අධිකාරියට ඉදිරිපත් කළ තාක්ෂණික වාර්තා අගයකළ එහි ප්‍රධාන කාලගුණ විද්‍යාඥ ආචාර්ය හම්ප්‍රි ඔහු සමග එක්ව 1931 නොවැම්බර් මස Snow Crystals නම් පොතක් පලකළා. එහි විවිධ හිම පියලි මෝස්‌තර 2400ක පමණ පින්තුර අඩංගු වුනා.  ඒ සමග නිකුත්කළ Snowflakes in Photographs පොතේද තවත් ඡයාරූප 850ක් සහිතයි.
ඉන් මසකට පසු සිතල කාලගුණයේ හිම අධ්‍යනයට ගිහින් අසනීප වූ මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිභාවන්තයා ලෝකයාගේ එතරම් අවධානයක් නොලබාම 1931 දෙසැම්බර් 23දා මියගියා. ඔහුව මිහිදන් කළ දිනයේ සොබාදහම හිමමල් තුහින එම බිම පුරාම ඇතිරුවා.




ඇත්තෙන්ම බෙන්ට්ලි ඔහු ජීවත්වූ සමයට වඩා අනාගතයේ ජීවත්වූ මිනිසෙක්. හිමකැට ගැන ඔහු අධ්‍යයනය කර ඉදිරිපත් කළ කරුණු තහවුරු වුනේ අවුරුදු 30කට පස්සේ. හිම, තුහින හා ජල බින්දු ඇසුරෙන් කරන ලද පර්යේෂණ මගින් කාලගුණ දත්ත ලබාගැනීම නිවැරදි බව දැනගත්තේ අවුරුදු 40කට පස්සේ.
බෙන්ට්ලි ඔහු හඳුනාගත්  හිම රටා වගේම අසමසම ප්‍රතිභාපුර්ණ විශිෂ්ඨයෙක්. වේගයෙන් බිමට වැටි විනාශ වී යන හිම ගැන මෙවන් විශ්වකර්ම අධ්‍යයනයක් කරන්නට අනිත් අයට නැති ඉවසීමක්, උවමනාවක්  හා අවබෝධයක් තිබු නිසාවෙන් ඔහු ලොව කිසිවෙක් නොදුටු සෞන්දර්යයක්  දුටුවා පමණක් නොවේ ඒ මනහර දර්ශණ නොමසුරුව ලොවටත් දැක්වූවා.
අද සැරසිලි, ඇඳුම්, චොකලට්, සුබපැතුම්පත්, ෂොපින් බැග්, කුෂන් කවර, රෙදි, තෑගි දවටන, කේක්  ආදී හැමතැනම පැතිරිලා තියෙන්නේ ඔහු අධ්‍යනය කර සටහන් කරගන ඉතිරි වූ පන්දහස් ගණනක් වූ පින්තුර හෝ
ඒ ඇසුරෙන් චිත්‍ර ශිල්පින් ඇඳි සංස්කරණයන් ය.
ඔබ හිම වැටෙන රටක ජිවත්වන්නේ නම් පියලි ලෙස සැහැල්ලු හිම වැටෙන දිනයක  තද පැහැති රෙදිකඩක් වැටෙන හිම වලට අල්ලා මෙතෙක් කල් ඔබේ ඇසටත් හසුනොවී දියවුණු මේ විචිත්‍ර හැඩ පියවි ඇසින් නරඹන්න.
ඒ වගේම මේ උත්සව සමයේ විචිත්‍රවත් හිම රටා දකිනවිට බෙන්ට්ලි සිහිපත් කර ඔහුගේ කැපවීමට, පරිත්‍යාගයන්ට සිතින් හෝ කෘතඥ වීමට අමතක නොකරන්න. බෙන්ට්ලි විසින් නිරීක්ෂණය කරනු ලැබ, ලෝකයට දුන් හිම මෝස්‌තර දිහා බලා හිතන්නට තිබෙන්නේ අපගේ අවධානයක් නොමැතිව වියැකී යන, අප නොදන්නා කමණිය දේ ලෝකයේ කොතෙක් ඇත්ද කියායි.









උදව්:
Snowflake Bentley : Jaqualine Briggs Martin
https://siarchives.si.edu/history
https://www.theguardian.com/science/gallery
www.snowflakebentley.com
https://www.youtube.com/watch?v=ptLmA263hlk
(2017 දෙසැම්බර් 19 දිවයින පුවත්පතේ පළවිය).

10 comments:

  1. මාර හැඩ තල ටිකක්

    ReplyDelete
    Replies
    1. බෙන්ට්ලි අල්ලාගත් සොබාදම් මවගේ අලංකාරය

      Delete
  2. හිම ගැන හිම වගේම සුන්දර ලිපියක්

    ReplyDelete
    Replies
    1. ලබාදෙන දිරියට තුති ❄️❄️

      Delete
  3. ඉතාම අනගි ලිපියක්! හරිම අලංකාර සොබාදම්-නිමැවුමක් ගැන අනාවරණය කල අය, අලංකාර ලෙස ඔබ මෙහි අනාවරණය කර තිබෙනවා! වටින තොරතුරු ලස්සන විදියට අප හමුවට ගෙනාවාට ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. අගයනු ලැබීම සතුටක් වගේම තවත් ලියන්නට දිරියක්..❄️

      Delete
  4. බොහෝ දෙනෙක්ට මග හැරෙන සියුම් දෙවල් අතලොස්සක් වු විශේෂ පුද්ගලයන් ග්‍රහනය කරගන්නා හැට පුදුමයි.

    නමුත් එතරම්මේ නිදහස්ව හිතපු ඔහුත් සොබා දහමේ ලස්සන නොපෙනෙන දෙවියෙක්ට ආරෝපණය කරන එක තමයි වැරැද්ද. බයිබල් බෙල්ට් එක උදවිය පඩයක් ගියත් "Thank you lord Jesus" කියන එක සාමාන්‍ය දෙයක් කියල මම අහල තියනව.

    ReplyDelete
    Replies
    1. ඒක දේව භක්තියම නෙමෙයි කන්ඩා ..අපි දෙයි හාමුදුරුවනේ, බුදු අම්මෝ කියනවා වගේ කටට ඉබේ එන එකක්. වෙන ආගම්වල අය පවා ඔ ජීස් කියනවා අහල තියනව..අහසින් එන අදහන්න බැරි අතිශය අලංකාර දෙයක් දෙවියන්ට බාරදීමත් ඒ වගේ.
      එහෙත් බෙන්ට්ලි ඒවා දැක ඇත්තේම විද්‍යානුකුලව හා සුන්දරවයි..ඔහු ගැන දැනගන්නකල් මමත් හිම දැක්කේ සුදුපාට දෙයක් විදියට විතරයි. දියවී යන මනහර දසුන බලන්න පෙළඹුනෙත් ඉන් පස්සේ.

      Delete