Monday 25 December 2017

නාසය රතු පිණිමුවා ගේ සැබෑ කතාව Rudolf


"එකමත් එක කාලෙක දිලිසෙන රතුපාට නහයක් තියෙන පිණිමුවෙක් හිටියා. ලෝකෙන්ම ඒ වගේ එකම පිණිමුවා හින්ද මිනිස්සු ඔහුට කිව්වේ 'රුඩොල්ෆ් නහය රතු පිණිමුවා' කියලයි" මේ විදියට පටන් අරගෙන ලෝකෙම ළමයින්ගෙත් ඔවුන්ගේ දෙමාපියන්ගේත් ආදරය දිනාගත් කතාව, නත්තලේ බලාපොරොත්තුව පිලිබඳ කතාවයි. එය නත්තල් සතුටට එකතුවුනේ කොහොමද කියන එක  බොහෝ දෙනා නොදන්නා දෙයක්.
මේ කතාව  ඇරඹුණේ මිට අවුරුදු 75 කටත් පෙර ඇමරිකාවේ චිකාගෝ නුවර සිතල දෙසැම්බරයේ තම දියණියගේ පැනයකට පිළිතුරු දී ගත නොහැකි වූ තරුණ පියෙක්ගෙන්.
" තාත්තේ, ඇයි අපේ අම්ම අනිත් අම්මලට වඩා වෙනස්?" අවුරුදු හතරක් වයසැති බාබරා පියාගේ ඔඩොක්කුවේ සිට අහද්දී පියා රොබට් මේ (Robert May ) කම්පා වුනේ තමන්ගේ පවුලට පැමිණි විපත දියණියට තේරුම් කරන්නේ කොහොමද කියලයි.
පිළිකාවකින් බැටකමින් දැඩි ලෙස රෝගාතුරව ඉන්න තම තරුණ බිරිය දෙස බලා සුසුම්ලමින් ඉන්නා ඔහුට දැනුනේ තමන් මෙන්ම කුඩා දියණියත් වේදනා විඳින බවයි.
අනිත් අයට වඩා 'වෙනස්වීමේ' දුක කුඩාකළ සිටම රොබට් අත්දැක තිබුණා. තම කුඩා, දුර්වල සිරුර නිසා ඔහු අන් අයගේ සිනහවට හා නින්දාවට ලක්වුයේ වරක් දෙවරක් නොවේ. උසස් අධ්‍යාපනය  ලබද්දී පවා ඔහු කාගේ හෝ බාල සොයුරෙක් බව වරදවා සිතු අය එමට.  සමකාලීනයන් උසස් අධ්‍යාපනයෙන් පසු ඉහල පෙලේ රැකියා වලට ගියත් සිරුරෙන් මෙන්ම සිතිවිලි වලින්ද හැකිලී උන් ඔහුට  නිව්යෝක් නගරයේ වෙළඳ සමාගමක පිටපත් රචකයෙක් වීමෙන් සෑහිමට පත්වෙන්න වුණා. 1935 දී චිකාගෝ හි ප්‍රමුඛ අලෙවි සමාගමක දැන්වීම් හදන රැකියාවක් ලැබුණත්, ඒ සමගම සිදුවූ බිරිඳ ගේ රෝගාතුර වීමත් සමග ඔහු දැඩි මානසික ඇදවැටිමකටත්, ණය බරෙන් මිරිකිමටත්  ලක්වුණා.
රොබට් මේ 

දියණියගේ ප්‍රශ්න කිරීම්වලින් ගැලවෙන්නට ඔහු කළේ කතා නිර්මාණය කරමින් ඇය සැනසීමයි. බොහෝවිට කතා නායකයා වුනේ බාබරා ආශා කරන සතෙක් වන පිනිමුවෙක්. දියණියගේ හිස උරහිසේ හොවා පිරිමදිමින් ඇයට තේරුම් ගතහැකි, ධෛර්යමත් කතා ගොතමින් පැවසුවා.
" එක පිනිමුවෙක් එයාගේ ලොකු රතු නහය හින්ද හරිම දුකෙන් හිටියේ. අනිත් මුවෝ විතරක් නෙමෙයි අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ පවා එයාව කොන්කළා එයා අනිත් අය වගේ නෙමෙයි කියල.
'ඇයි මට අමුතු නහයක් ලැබුණේ ?' ඔහු අඬමින් හිතුවා. " මේ විදියට කතා ගොතමින් කියන අතරේ දෙවියන්ගේ සමහර නිර්මාණ 'අමුතු හා වෙනස්' වුණත් ඒවායේ අනිත් අය පිනවන යහපත් දෙයක් ඇතිබව අමුණමින් කතාව අවසන් කළේ.

"එක නත්තල් රැයක නත්තල් සීයා එයාගේ පිණිමුවෝ අටදෙනාත් එක්ක ලෝකේ පුරා තෑගි බෙදන්න යන්න ලෑස්ති වුණා. ඒ සඳහා තෝරගත්තු මුවන්ගේ නෑයෝ බොහොම ආඩම්බරෙන් සුබ පැතුවා. ඒත් එදා තදට මීදුම. නත්තල් සීයාට ගෙවල්වල දුම් කවුළු හොයාගන්න බැරිවෙයි කියල හිතුණා. එතනට නහය රතු පිණිමුවාත් ආව. මිදුම මැද්දෙන් එයාගේ නහය දිලිසුණා. එතකොටම නත්තල් සියා දැනගත්තා එයාගේ ප්‍රශ්නෙට විසඳුමක් තියන බව. රතු නහය තියන මුවාව කරත්තේ ඉස්සරහින්ම ගැටගැහුව. එයා නහයේ එළියෙන් බලාගෙන නත්තල් සියාව බොහොම ප්‍රවෙසමට හැම ගෙදරම දුම් කවුළු ලඟට එක්කගෙන ගියා. පහන් කණුවක් වගේ දිලිසෙන එයාගේ නහය හින්දා මිදුමවත්, හිමවත්, වැස්සවත් ප්‍රශ්ණයක් වුනේ නැහැ.
 එදා දවසේ කාගේත් සතුටට හේතුවුනේ මෙච්චරකල් හංගගන්න හදපු දිලිසෙන නහය. හැමෝම ඒ ගැන කතා කරන්නත්, අගය කරන්නත් පටන්ගත්තා. මේ සිදුවීම හින්දා එයා ලෝකෙම වැඩියෙන්ම ආදරය ලබන, ජනප්‍රිය පිණිමුවා බවට පත්වුණා. එයින් පස්සේ එයා හරිම සතුටින් සාමයෙන් ජීවත්වුණා. "
රොබට්ගේ අත් අකුරින්
නම තෝරා ඇති අයුරු 
 කතාව අහලා බාබරා හරිම සතුටට පත්වුණා. හැමදාම නින්දට කලින් ඒ කතාවම කියන්න කියල ඉල්ලුවා.
 නත්තල් ලංවෙද්දී රොබට් කතාවෙන් කවි හදලා දුවට දෙන්න හිතුවා. හැම රැයකම ඒ සඳහා කාලයක් වෙන්කරලා පොඩි  පොතක් ලිව්වා. රුඩොල්ෆ් කියන නම මුව පැටියාට තෝරා ගත්තේ එලෙස බාබරාට පොත ලියන අතරේ. නත්තල් තෑග්ගක් විදියට ඒ පොත ලැබුණු බාබරා අතිශය සතුටට පත්වුණා.
ඒ වසරේ ආයතනයේ නත්තල් සාදයේදී රොබට් මෙම කවි ගායනා කරනු ඇසූ හැමදෙනා ඊට මහත් සේ  ඇලුම් කළා. බොහෝදෙනා එහි පිටපත් ඉල්ලා සිටියා.
 "ඊළඟ නත්තලට මේ කවි පොඩි පොතක් ගහල එයින් පිටපත් අපේ පාරිභෝගිකයන්ට නොමිලේ බෙදල දෙමු." එක් විධායක නිලධාරියෙක් යෝජනා කළා.
 'රතු නාසය' බීමත් මිනිසෙක්ගේ සංඛේතයක් නිසා රොබට් තරමක් පසුබෑවත් ඔහු සමග සේවය කළ ඩෙන්වර් ගිලන් චිත්‍ර ශිල්පියා සත්තුවත්තට ගොස් පිණිමුවන් දෙස බලා නිර්මාණය කළ රුඩොල්ෆ් දැක ආයතන බලධාරීන් සතුටට පත්වුණා.
1939 නත්තලට එම කවි රැගත් පොත් පිංච 2 400 000 ක් බෙදා හැරෙද්දී තම බිරියගේ වියෝවෙන් තැවෙමින්, දරුවා හදාවඩා ගන්නට වෙහෙසවෙමින්, බිරියගේ රෝහල් බිල්පත් පියවන්නට ගත් ණය ගෙවන්නට වැඩිපුර වැඩ කරමින් රොබට් හිටියේ.
කවුරුත් නොහිතු විදියට දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් අතර මහත් ජනප්‍රියත්වයට පත්වුණු පොත් පිංචට ඉන් පසු  වසරේ පිටපත් 3 000 000 ක ඉල්ලුමක් ලැබෙද්දී රොබට්ට එහි කර්තෘ ලෙස තම නම සඳහන් වීමෙන් පමණක් සෑහෙන්නට සිදුවුණා. ඔහු සේවය කළ Montgomery Ward එය නත්තල් භාණ්ඩ ප්‍රචාරක උපක්‍රමයක් ලෙස භාවිතා කරමින් අධික මුදලක් ඉපයුවත් ඔහුට ඒ වෙනුවෙන් මුදලක් ලැබුනේ නැහැ. තමන්ගේ දියණිය මෙන් තවත් මිලියන ගණනක් දරුවන් එය කියවීමෙන් සතුටක් ලබන බව සිතමින් ඔහු සැනසුණා.
රොබට් ගේ ජිවිතයට ඒ ආයතනයේ ලේකම්වරියක ලෙස සේවය කළ වර්ජිනියා නිව්ටන් එක් වෙන්නේ 1941දී. ඔවුන්ගේ විවාහයෙන් තව දරුවන් තිදෙනෙක් ලැබෙනවා.
ලෝක යුද්ධය අවසානයේදී ආයතනය තවත් රුඩොල්ෆ් පොතක් ලිවීමට රොබට් ට භාර දෙන්නේ ඔහුට කර්තෘ අයිතියත් පවරමින්. එතැන් සිට රුඩොල්ෆ් පොත් මගින් ලැබෙන අදායමෙන් කොටසක් ඔහුට අයත්වුණා.
1947 දී කතාව Rudolf the Red Nosed Reindeer නමින් පොතක් ලෙස කලඑලි බැස්සා. එහි පිටපත් 6 000 000 අලෙවි වීම නිසා මෙය ලෝකයේ වැඩිපුරම අලෙවි වූ පොත් අතරට එක්වුණා. මේ නමට ඇතිවූ අධිකතර ඉල්ලුම හේතුවෙන් රුඩොල්ෆ් නමින් සෙල්ලම් බඩු, ප්‍රහේලිකා, සපත්තු, ආභරණ, පහන්, ක්‍රීඩා  ආදිය වෙළඳ පොලට නිකුත් වෙන්නට පටන් ගත්තා.

ඇමරිකාවේ බොහෝ ආයතන රුඩොල්ෆ් නම තම වෙළඳ භාණ්ඩයන්ට යොදාගන්න උත්සුක වුනේ එහි ඇති අද්විතිය ජනප්‍රියත්වය නිසයි. රොබට්ට සෑම ආයතනයකින්ම ඔහුගේ නිර්මාණ දායකත්වය උදෙසා මුදල් ලැබුණා.
එතැන් පටන් රුඩොල්ෆ් නමින් චිත්‍රපට, කාටුන්, ගීත, අතුරු කතා පොත්, වීඩියෝ ආදී දස දහසක් නිර්මාණ බිහිවුණා. අදටත් ඇනිමේෂන්, රුපවාහිනී නාට්‍ය, තොප්පි,  වෙස්මුහුණු, දිලිසෙන නාසා, බෝනික්කෝ, අරුමෝසම් භාණ්ඩ රුඩොල්ෆ් පිණිමුවා නමින් වෙළඳ ලොවේ ජය කෙහෙළි නංවනවා.

1976 දී මියයනවිට රොබට්, රුඩොල්ෆ් නිසාම ඉතා පොහොසත් මිනිසෙක්. එහෙත්, ඔහු මෙන්ම බාබරා දියණියත් මුදල් වලට වඩා අගය කරන්නේ රුඩොල්ෆ් අන් අයගේ සිනහවට ලක්වෙමින් සිට සැමගේ ආදර ගෞරවයට පාත්‍රවෙන්නට ආ ගමනත්, රොබට් කාගෙවත් අවධානය නොලබන පුද්ගලයකුගේ සිට ගෞරවනීය පුද්ගලයෙක් බවට පත්වීමත් ය.
එය බලාපොරොත්තු රහිතව සිටින බොහෝ දෙනාගේ ජිවිතවලට නව බලාපොරොත්තු ඇති කරනු ඇත.

උදව්:
The story behind Rudolf  the Red-Nosed Reindeer: Stanley A. Frankel
www.altogetherchristmas.com/traditions
www.history.com/news
www.npr.org: National Public Radio Inc. US

8 comments:

  1. මේ සුන්දර කතාව ඇහුවෙ අද ස්තුතියි බුද්ධිනී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුණසිංහ මහත්තය. පරණ සඟරාවක ලිපියකින් මාත් දැක්කේ.

      Delete
  2. එතකොට සැන්ටගෙ එල්ෆ් නඩය ගැනත් ලිව්වොත් ?

    ReplyDelete
    Replies
    1. ලබන නත්තලට බලමු නේද?

      Delete