Friday 8 February 2019

ගූගල් ඩූඩල් පෙබරවාරි 8: ක්‍යුබෙක් ශිශිර සැණකෙළිය

සීතල දැඩි වුණාම හිම වැටෙනකොට මිනිස්සු පුළුවන් ඉක්මනින් ගෙවල්  ඇතුලට ගිහින් විවේක සුවයෙන් ඉන්නවා කියලද හිතන්නේ? ඔව්. සීතලෙන් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් තරම් උත්සහ ගන්නවා. හැබැයි එහෙමයි කියල මාස තුන හතරක් කම්මැලිකමේ ඉන්නත් බැහැනේ. සොබාදහම දුන් දේවල් විඳිනවා. එහෙම රසවත්ව සොබා දහම වින්දනය කරන උත්සවයක් ගැන අද ගුගල් ඩූඩල් හි සඳහන් වෙන Quebec Winter Carnival.
කියුබෙක් කියන්නේ කැනඩාවේ විශාලම ප්‍රාන්තය වගේම විශේෂ ප්‍රාන්තයක්. ඒ ගැන කෙටි විස්තරයක් කළොත් ආසියාව හොයාගෙන නැගෙනහිර දෙසට ගිය යුරෝපින් ඇමරිකා මහද්වීපයට ගොඩ බැස්සානෙ. මුලදී පෘතුගාලය, එනගලන්තය, ප්‍රංශය, ස්පඥ්ඥය  ඔය කොහෙන් ආවත් ඇති තරම් ඉඩ තියෙන මහාද්වීපය හිතු හැටියේ අල්ලගත්තා. පහු වෙනකොට තමන්ට කියල කොටස් වෙන් කරගන්න පටන් ගත්තා. උතුරු ඇමරිකාවේ කැනඩාව තියන ප්‍රදේශයේ මුල ඉඳන්ම පදිංචි වුණේ ප්‍රංශයෙන් හා බ්‍රිතාන්‍යයෙන් ආ අයයි. මේ නිසා රටවල් දෙකම අයිතිවාසිකම් කියන්න ගත්තා. යුරෝපයේ තිබුණු වෙළඳ තරගයත් මෙයට හේතුවක් වුණා. 1756 ඉඳල 1763 වෙනකල් මේ රටවල් දෙක කැනඩාව තමන්ගේ කරගන්න විශාල යුද්ධයක් කළා.
බ්‍රිතාන්‍යය එයින් දිනුව නිසා ඔවුනට රට අයත් වුණත් 1774 දී පනතක් මගින් ප්‍රංශ ජාතිකයන් වැඩිපුර වාසය කළ ක්‍යුබෙක් ප්‍රදේශයේ අයට කතෝලික ආගම අදහන්නත්, ප්‍රධාන භාෂාව විදියට ප්‍රංශ භාෂාව භාවිතා කරන්නත්, ප්‍රංශ සිවිල් නිතිය ක්‍රියාත්මක කරන්නත් අවසර දුන්නා. වෙන් වෙන් කොටස් ලෙස තිබුණු මෙම ප්‍රාන්ත කැනඩාව නමින් එක රටක් බවට පත්වූ 1867, මුලින්ම එම රටට එක්වූ ප්‍රාන්තයක් ක්‍යුබෙක්. ඉන්පසු දෙවරක්ම කැනඩාවෙන් වෙන්ව වෙනම රටක් බවට පත්වන්නට කැමැත්ත විමසා ජනමත විචාරන තිබුණත් සුළු බහුතරයකින් එම අදහස පරාජය වූ නිසා තවමත් ක්‍යුබෙක් ප්‍රාන්තය කැනඩාවේ කොටසක් ලෙස පවතිනවා.

දැන් අපහු ශිශිර සැණකෙළිය දිහාට හැරුණොත්, අධික ශිතලක් තිබෙන හිම වැටෙන පෙබරවාරි මාසේ මැද පැවැත්වෙන මේ උත්සවය 1894දී ආගමික උත්සවයක් විදියටයි  ආරම්භ වෙලා තියෙන්නේ. ලෝකයේ වැඩියෙන්ම හිම වැටෙන නගරයක් වන ක්යුබෙක් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ක්‍යුබෙක් සිටි හි  1955 හිම මිනිසෙක්ගේ මැස්කොට් එකක් සමග දිගටම පවත්වන්නට පටන්ගත් මෙම උත්සවය 65 වන වරටයි අද ආරම්භ වන්නේ. දින දහයක් පුරා පැවැත්වෙන මෙය ලෝකයේ වැඩිම දෙනෙක් සහභාගී වෙන විශාලම ශීත ඍතු උත්සවය ලෙසටයි  සලකන්නේ .
Bonhomme maskot 
දිව රාත්‍රී පෙරහැරවල්, අයිස් වලින් සැදූ මූර්ති, අයිස් මාලිගාවක්, විවිධ ආලෝක සැරසිලි,  ආදිය සහිත මෙම උත්සව මාලාව ශීත සමයේ ආවේණික  අලංකාරය පිළිබිඹු කරන හිම විශ්මලන්තයක් වගේ  ප්‍රීති උළෙලක්. නගරයේ ප්‍රධාන මාවත් සියල්ලක්ම පාහේ විවිධ සැරසිලිවලින් අලංකෘත වෙනවා.  මේ කාලයට තිබෙන - 20℃ ටත්  අඩු  සීතලට සුදුසු ඇඳුමෙන් සැරසුණු නගරයේ මිනිස්සු වගේම සංචරකයොත් එළිමහනට ඇවිත් විවිධ සැණකෙළි අවස්ථාවලට සහභාගී වෙනවා. ආරම්භක උත්සවය හා අවසන් කිරීමේ උත්සවය නගරයේ ප්‍රධාන පුරවැසියා අතින් හිම මාලිගාවෙදී  සිදුවෙන්නේ.

හිම මාලිගය 2014
උත්සවයේ පැවැත්වෙන විවිධ තරග අතරට අයිස් හා හිම මුර්ති තරග, හිම බල්ලන් විසින් ඇදගෙන යන ස්ලෙඩ් තරග, අයිස් හොකී තරග, ලෝරන්ස් ගඟේ කැනොයි පැදීම  ආදිය ඇතුලත්.  වොඩ්කා, බ්‍රැන්ඩි වගේ මත්පැන් අළෙවිසල් වගේම හොට් චොකලට් වැනි උණුසුම් පාන අලෙවිසල්, විවිධ ආපන ශාලා, උණුසුම් ආහාර අලෙවි සැල් ආදිය රාත්‍රියටත්  විවෘතයි.
හිම මුර්ති අඹන ආකාරය දැකගැනීමටත්, අශ්වයින් විසින් අදින ස්ලේ එකක රවුමක් යන්නත් අවස්ථාව තියෙනවා. හිම මත ලිස්සා යාමේ ක්‍රීඩා කිරීම වගේම ස්නෝබෝඩ් ක්‍රීඩාවේ නිරතවෙන්නත් ස්ථාන සකස් කරලා තියනව. මේපල් ගහකින් මේපල් සිරප් එලියට වැගිරෙනකොටම මිදෙන හැටි බලන්නත් පුළුවන්. මේ සීතලේ නාන ඇඳුමින් සැරසී හිම නෑම කරන අයත් ඉන්නවා! පවුලේ සියල්ලන්ට සහභාගී වෙන්න පුළුවන් විවිධ විනෝද ක්‍රීඩා, ගී ගායනා, නැටුම් සංදර්ශණ, ඩාන්ස් පාටි දිවා රෑ   පුරා පැවැත්වෙනවා.
ස්වභාව ධර්මය දෙන දෙයෙහි අගුණ කියමින් කන් කෙඳිරි ගාන්නේ නැතිව සීතල, හිම වගේ දරාගන්න බැරි කාලගුණ තත්වයන් පවා සුවයකට හරවාගෙන එහි රස විඳින හැටිනම් අගය කරන්න ඕනේ.

උදව්:
www.thecanadianencyclopedia.ca/en/article/seven-years-war
www.flightcentre.ca/blog/winter-carnival-in-quebec-city/
www.thetravelempire.com/a-celebration-of-winter-at-the-57th-carnaval-de-quebec/
www.canada.ca/en/canadian-heritage
happytowander.com/quebec-winter-carnival/

4 comments:

  1. මටනම් හිතෙන්නේ හැමදාම එකම වගේ ඇඳුම් ඇඳගෙන අව්ව වැස්ස දාඩිය දූවිලි හැර වෙන කිසිම වෙනසක් නැති කාලගුණයක ඉන්නවට වඩා අවුරුද්ද්ට අඩු ගණනේ තුන් පාරක්වත් වෙනස් විදිහේ ඇඳුම්, වෙලාවල්, ගමනාගමනය සහ සමහරවිට කෑම/බීම වෙනස් වෙන විදිහට ඉඳීම හුඟක් ඉන්ටරෙස්ටින් කියලයි. හැබැයි ඒවාට මුහුණදෙන්න පහසුකම් හා සල්ලිත් ඕනෙ

    ReplyDelete
    Replies
    1. අපේ රට whole year summer country එකක් කිව්වම මෙහෙ කෙනෙක් ඇහුව boring නැද්ද කියල 😃

      Delete
  2. Dear Madam, very interesting blog.Surprised to see your name under and wish you more courage and strength to produce more articles in future.

    ReplyDelete
    Replies
    1. Thank you so much Roshan. Don't be surprise. Hidden talent 😅

      Delete