Tuesday 12 February 2019

විදුලි සෝපානයක (elevator/ lift ) හිරවුනොත්

පහුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් විදුලි සෝපානයක හිරවූ අවස්ථාව වාර්තා වීමත් සමග ඒ ගැන කතාබහක් ඇතිවිය.  අක්‍රිය වුණු සෝපානයකින් පනින්නට ගිය තරුණයෙක් ඊට හිරවී මියගිය අවාසනාවන්ත සිද්ධියක්ද  මෑතකදී වාර්තා විය.  විවිධ අවස්ථාවල විවිධ ගොඩනැගිලි භාවිතා කිරීමේදී අපි කාටත් විදුලි සෝපානයක් භාවිතා කරන්නට සිදු වීම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් තට්ටු වැඩි ගණනක් තියන ගොඩනැගිල්ලක වෙන විකල්පයක් නැති තරම්. එසේම සෝපානයක් අතරමගදී ක්‍රියා විරහිත වීමත්  සිදුවෙන්න සම්භාවිතාවක් ඇති දෙයක්. ඒ නිසා යම් හෙයකින් සෝපානයක් තුල සිටින අතර එය අක්‍රිය වුවහොත්  කල යුත්තේ කුමක්දැයි මේ ලිපියෙන් පැහැදිලි කෙරේ.

මුලිකම දෙය එවැනි අවස්ථාවක ඔබ මරණය අභියස ඉන්න බවට  සාධක නැත්නම්  උදව් ඉල්ලා උදව් ලැබෙන තෙක් කල්පනාකාරීව සන්සුන්ව සිටීමයි. එසේ නොකර කලබල වී සෝපානයෙන් එලියට යාමට කරන උත්සාහයන් වඩා භයානක අවස්ථාවක් ඇති කළ හැකිය. 

 නිවැරදි ක්‍රමය: උදව් ඉල්ලා සිටීම 
1. ඕනෑම කෙනෙක් සෝපානයක හිරවුණු බව දැනගත් වහාම කලබලයට පත්වීම සාමාන්‍ය දෙයක්. ඔබ තනිව නොසිටින්නේ නම් අවට සිටින අය කලබල වනු දැක ඔබ තවත් නොසන්සුන් වෙනු ඇති. එසේ කලබල වුවහොත් එය ඔබේ සිරුරට බලපා ඔබ නිවැරදි තීරණ ගැනීමේ අපහසු  තත්වයකට පත්කරයි.   දිග හුස්මක් ගෙන සිත සන්සුන් කරගැනීම මුලින්ම කලයුතුයි.

2. විදුලිබලය ක්‍රියාවිරහිත වීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා සෝපානය තුළ ආලෝකය නැත්නම් ඔබගේ දුරකථනය හෝ ටෝච් එකක් වැනි ආලෝකය සපයන උපකරණයකින් ආලෝකය සපයාගන සෝපානයේ බොත්තම් පුවරුව බලන්න. එහෙත් ලයිටර වැනි දෙයක් භාවිතා නොකරන තරමට හොඳයි. බොහෝවිට හදිසි බොත්තම් අනිත්වට වඩා තරමක් උන්නතව තිබුණත් ආලෝකයක් ඇතිනම් එය භාවිතයෙන් වඩා නිවැරදි බොත්තම තෝරාගත හැකියි.

3. Call ලෙස ඇති බොත්තම ඔබා කිසිවෙක් සම්බන්ධ කරගැනීමට උත්සාහ කරන්න. බොහෝවිට එය ගොඩනැගිල්ලේ පිළිගැනීම් කවුන්ටරය හෝ නඩත්තු අංශය හෝ සෝපාන තාක්ෂණ ශිල්පියෙක් වෙත ඔබව සම්බන්ධ කරයි. මෙය සිරවූ අය ඉවත්කරගැනීමට තිබෙන පහසුම විශ්වාසදායකම හා ඉක්මන් ක්‍රමයයි. බොහෝ  සෝපානවල සීනුවක් සඳහන් බොත්තමක් ඇත. එය අනතුරු ඇඟවීමේ සිනුවකි. එය ක්‍රියාත්මක කරන්න. 

4. පිළිතුරක් නොලැබුණොත් හදිසි ඇමතුම් අංකයකට හෝ ඔබ ළඟ අංකය  ඇත්නම් පොලිසියකට කතා කරන්න. ගිනි නිවන අංශවලත් මේ සඳහා පුහුණු තාක්ෂණ නිලධාරීන් සිටිති. නැවතත් වරින් වර සීනුව සඳහන් බොත්තම ඔබන්න. සම්බන්ධ වන පළමු තැනැත්තාට ස්ථානය හා ඔබ සමග සිටින සංඛ්‍යාව පවසන්න.

5. දොර අරින්නට ඇති බොත්තම ඔබන්න. සෝපානය නැවතී තිබෙන්නේ මහලක බිමක් හා සමපාතව නම් හා දොර විවෘතවන  බොත්තමේ දෝෂයක් පමණක් නම් එය විවරවීමේ සම්භාවිතාවක් ඇත. ඔබට යාමට අවශ්‍ය මහලේ අංකය නොව, සෝපානය නතර වී ඇති ආසන්නම  මහලේ අංකය එබිමත් ප්‍රතිඵලදායක විය හැකියි.
දොර පියන් විවර වෙන තැනින් යම් ආලෝකයක් පෙනෙන්නේ නම් ඔබ සිටින්නේ මහල් දෙකක් අතරමැද නොවේ. නැවතී තිබෙන මහල නිවැරදිව නොදන්නේ නම් වරකට එක බැගින් මහල් සඳහා ඇති බොත්තම ඔබා දොර විවර කිරීමේ බොත්තම ක්‍රියාත්මක කරන්න. පියවර අතර පරතරයක් තබමින් සියලු මහල් සඳහා මෙය සිදු කරන්න.

6. මේ සියලු දේ සිදුකළත් කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නැතිනම් සෝපානය අසල යන එන අයගේ  අවධානය ගැනීමට සපත්තුවක් වැනි දෙයකින් දොරට තදින් තට්ටු කිරීම හෝ දොර අතර ඇති ඉඩෙන් උදව් ඉල්ලා හඬ නැගීම සිදුකරන්න.
සෝපාන තුල ඔක්සිජන් මදි වේයයි සමහරු හිතුවත් සෝපාන සම්පුර්ණයෙන් වායුරෝධක කර නැත. ඒ නිසා හොඳින් හුස්මගෙන හඬ නගා ආධාර ඉල්ලා, කාගේ හෝ අවධානය ලබාගන්න. අනවශ්‍ය ලෙස කෑ ගැසීමෙන් සිත නොසන්සුන් විය හැකි බැවින් කල්පනාකාරී වන්න.

7. මේ සියල්ලෙන්ම ගොඩනැගිල්ල තුල සිටින පිටස්තරයෙක්ගේ අවධනය ගැනීම අපහසුනම් දුරකථනය භාවිතයෙන් සමීපතමයෙක් දැනුවත් කරන්න. සමාජ ජාල භාවිතයෙන් අසල ස්ථානයක  සිටින විශ්වාසවන්ත කෙනෙක්ට පණිවිඩයක් යවන්න.

8. ආධාර ලැබෙනතෙක් සන්සුන් වන්න. තවත් අය සෝපානය තුළ සිටියිනම් ඔව්න් සමග කතා කරමින්  සැහැල්ලු වීමට උත්සහ ගන්න.
ඔබ තනිව සිටින්නේ නම් අතේ ඇති පොතක් හෝ කියවීමට උත්සහ කරන්න. ආනාපානසති භාවනාව හුරුනම් එය කරන්න. අවධානය යොමු කරමින් සෙමෙන් හුස්ම ගන්න. නුදුරු අනාගතයේ සැලැස්මක් පිළිබඳව සිතන්න. ආහාරයක් ඇත්නම් ගන්න. මේ කිසිවක් කිරීමට සිත නොදේ නම් හැකිතාක් සන්සුන්වන්න.  දුරකතනයේ බැටරිය ආරක්ෂා කරගත යුතු නිසා එය භාවිතය අඩු කරන්න. 

9. පිටස්තරයෙක්ගේ උදව් නොමැතිව ඉබේ දොර ඇරුණහොත් පිටතට අඩිය තැබීමට පෙර STOP බොත්තම ඔබන්න. එවිට යම් හෙයකින් සෝපානය නැවත ගමන් කිරීම වැළකේ.

විදුලිබලය ක්‍රියා විරහිතවිමක් නිසා සෝපානය නැවතුනේ නම් නැවත විදුලිය ලැබීමත් සමග එය ක්‍රියාත්මක වේ.

කිසිම විටෙක සෝපානයේ දොර බලෙන් විවෘත කිරිමට උත්සහ නොගත යුතුය. එය විවර වුනත් යම් මහලක පොලව මට්ටමේ සෝපානයේ බිම පිහිටා නැත්නම් මහලේ ඇති ශාෆ්ට්දොර විවර නොවේ. පිටතට පැනීමට ගන්න උත්සාහයකදී බිත්තියත් සෝපානයත් අතර හිරවීමට ඇති ඉඩකඩ වැඩිය. බිමට වැටුනහොත් පහලින් ඇති සෝපාන යන්ත්රෝපකරණ මත වැටීමෙන් මරණය පවා සිදුවිය හැකිය. හදිසියේ සෝපානය නැවත ක්‍රියාත්මක වුවහොත් පනින්නට හදන තැනැත්තාගේ මෙන්ම සෝපානය තුල සිටින අනෙක් අයගේ ජීවිතද අවදානමට ලක්වේ. මෙවන් අන්තරායකර උත්සාහයන්ගෙන් සිදුවන්නේ උදව් පිණිස එන වෘත්තිකයන්ට තම කාර්යය සඳහා වැඩි කාලයක් ගතවීමයි. හිරවූ අවස්ථාවක වඩා ආරක්‍ෂිත ස්ථානය සෝපානය ඇතුලත ය.
නවීන සෝපාන සියල්ලක්ම සකසා ඇත්තේ විවිධ ආරක්‍ෂක උපක්‍රම සහිතවය.

යම් හේතුවකින් සෝපානය වේගයෙන් බිමට වැටෙනු ඇතැයි බියක් ඇති කරගත යුතු නැත. එසේ වැටුනත් එය දරාගත නොහැකි වේගයෙන් නොවේ. එසේම එවැනි අවස්ථාවක මගීන් ආරක්ෂා කරගැනීමට උපකරණ තිබේ.

ගොඩනැගිල්ලක ගින්නක් ඇති අවස්ථාවක සෝපාන භාවිතා නොකළ යුතුයි. එසේම ශාෆ්ට් දොර ඇරුනත් සෝපානය නැත්නම්, දොර ඇරී තිබෙනවිට සෝපානය ගමන් කරන්නේනම්, නැවතී ඇති සෝපානය පොලව සමග සම මට්ටමක නැත්නම් හා සෝපානය තුල අඳුරුනම් එයට ඇතුළු නොවීම ඔබේ ආරක්ෂාව පිණිස වේ.
සෝපානයේ ගමන් කල හැකි උපරිම සංඛ්‍යාව ගැන විමසිලිමත් වන්න. බොහෝ නවීන සෝපාන එම සංඛ්‍යව ඉක්ම ගියහොත් දොර වැසෙන්නේ නැති අතර අනතුරු හැඟවීමේ සීනු නාදයකින් ඒ බව දන්වයි.

යම් හෙයකින්  ඔබ ගමන් ගන්නා සෝපානයක් අක්‍රිය වුවහොත් එයට මුහුණ දෙන පළමු තැනැත්තා ඔබ නොවෙන බවත්, වසරකට ලොව පුරා දහස් ගණනක් මෙම නොසතුටු අත්දැකීම ලබන බවත් මතකයට ගන්න.
අදාළ පුද්ගලයන්ට දැනුම් දීමෙන් පසු උපරිම පැයක් දෙකක් අතර කාලයක් තුළ හිරවී සිටින අය පිටතට ගැනීමේ හැකියාව ඒ සම්බන්ධ තාක්ෂණ ශිල්පීන්ට තිබේ. අලුත්වැඩියා කටයුතු කෙරෙන අතර සෝපානය ඉහල පහල යාමක් සිදුවිය හැකි වුවත් ඒ ගැන බිය විය යුතු නොවේ. පිටතට පැමිණෙන සෝපාන දොරටුව නිසි ලෙස විවර වනතෙක් සන්සුන්ව සිටීමයි වැදගත්. 

උදව්: 
www.wikihow.com/Escape-a-Stranded-Elevator
science.howstuffworks.com/transport/engines-equipment/elevator8.htm
www.youtube/.com/watch?v=-c-7mjSUiOE
newyork.cbslocal.com/2016/07/05/elevator-safety
www1.nyc.gov/assets/nycha/elevator_safety
www.quora.com/What-should-you-do-if-you-get-stuck-in-an-elevator

No comments:

Post a Comment