Friday 22 February 2019

ගූගල් ඩූඩල් පෙබරවාරි 22: සොඳුරු කිඹුල් දඩයම්කරු

The Crocodile Hunter : ස්ටීව් අර්වින්
විශාල උරගයන් හා වෙනත් සතුන් ගැන තමාගේ රැකියාවෙන් මෙන්ම  රුපවාහිනී වැඩසටහන් මාලාවකින් ලෝකයාගේ ඇස් ඇරවූ පරිසර සංරක්ෂකයෙක්, විද්‍යා අධ්‍යාපනඥයෙක්, සත්ව ගවේෂකයෙක්  වූ  Steve Irwin වෙනුවෙනුයි අද ගුගල් ඩූඩලය slide show එකක්ම කර තිබෙන්නේ.

ඔහුගේ 57 වන උපන්දිනය වෙනුවෙන් ඔහුට ගෞරව දැක්වීමට හා ඔහු සහ පවුලේ අය ලෝකයේ වනජීවීන් හා වනජීවීන් වෙසෙන ස්ථාන සංරක්ෂණයට කරන ලද කැපවීම් වෙනුවෙන් මේ දිනය වෙන්කරන බව ගුගල් ඔවුන්ගේ සටහනේ කියා තියෙන්නේ.

1962 පෙබරවාරි 22 දා ඔස්ට්‍රේලියාවේදී පරිසරයට හා සතුන්ට බෙහෙවින් ආදරය දැක්වූ අර්වින් පවුලේ ඉපදුනු ස්ටිවන් රොබර්ට්ට  හයවන උපන්දිනයට තෑගි ලැබුණේ ෆ්‍රෙඩ් නම් අඩි 11ක් දිග පිඹුරෙක්. 70 දශකයේ මුල් භාගයේ එම පවුල ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයට සංක්‍රමණය වී උරගයන් සඳහා කුඩා Beerwah Reptile Park ආරම්භ කළා.
ළමාවියේ  සිටම කිඹුලන් ඇතුළු උරගයන් ඇසුරේ හැදුනු වැඩුණු ස්ටීව් තම දෙමාපියන්ගෙන් උරගයන් ගැන බොහෝ දැනුම ලබාගත්තා. තම පවුලේ උරග උද්‍යානයේ කටයුතු සඳහා සහභාගී වූ ඔහු එහි සතුනට ආහර දීම අනෙකුත් පාලන කටයුතු ආදී සියල්ලට සහය වුණා.
නමවන වියේදීම ක්වීන්ස්ලන්ඩ් හි කිඹුලන් පරිපාලන ව්‍යාපෘතියකට ස්වේච්චාවෙන් සහභාගි  වූ ඔහු ලොව වෙසෙන විශාලතම උරගයන් වන මුහුදු කිඹුලන් අල්ලා ඔවුන් නිරුපද්‍රිතව වඩා හොඳ පරිසරයකට මුදාහැරීමේ කටයුතුවල නිරතවුණා.

ක්‍රමයෙන් ව්‍යාප්ත වූ ස්වකිය උද්‍යානයේ සම්පුර්ණ පාලනය 1991දී ස්ටීව්ට භාරවුනි. ක්‍රමයෙන් පුළුල් වෙමින් 1998දී නම වෙනස්කළ එය අධ්‍යාපනික හා සංරක්ෂණ කටයුතුවල යෙදෙමින් දැන් හඳුන්වන්නේ ඕස්ට්‍රේලියා සත්ව උද්‍යානය Australian Zoo නමින්.
ඔහුගේ උද්‍යානය නැරඹීමට ඇමරිකාවේ සිට පැමිණි ස්වභාව විද්‍යාඥ ටෙරී රෙයින්ස් සමග විවාහ වුනු ඔවුන්ට මධුසමයේ දී කිඹුලන් දඩයම් කරන්නන්ගෙන් කිඹුලන් බේරාගැනීමේ මෙහෙයුමක යෙදෙන්න වුණා. එම වීඩියෝ දර්ශණ  The Crocodile Hunter නම් රුපවාහිනී වාර්තා වැඩසටහන් මාලාවක පළමුවැන්න වුණා. ඕස්ට්‍රේලියාවෙත් උතුරු ඇමරිකාවෙත් තවත් රටවල් 130කත්  විකාශය වූ මෙම වැඩසටහන් මාලාවේ සාතිශය ජනප්‍රියත්වයට ස්ටීව් ගේ ව්‍යක්ත, ආදරණිය  හා ප්‍රීතිමත් ඉදිරිපත් කිරීමේ විලාශයත් දායක වුණා. ඔහු ඉතා සාර්ථක ඉදිරිපත් කරන්නෙක්.
මිනිසුන්ගේ එතරම් අවධානයක් නොමැති කිඹුලන් හා වෙනත් සත්වයින් පිලිබඳ අවධානය ලබාගෙන එම සතුන් සංරක්ෂණය උදෙසා මෙම වැඩසටහන් මාලාවෙන් අනගි සේවයක් ඉටුව තිබෙනවා. තම කුඩා දරුවන්ද  කිඹුලන් සිටින අවස්ථා රූගත කිරීම්වලට සහභාගී කරවාගෙන තිබෙනවා. කුඩා පුතු වඩාගෙන කිඹුලන්ට ආහාර දෙන දර්ශනයක් විවේචනයට පවා ලක්වුණා.
ක්‍රොකඩයිල් හන්ට් වැඩසටහන්වල  සාර්ථකත්වය නිසා වෙනත් ස්වභාව වනජීවී රුපවාහිනී වැඩසටහන් හා චිත්‍රපටවලට දායකත්වය දීමටත් ඔවුන්ට අවස්ථාව ලැබුණා.
2006 සැප්තැම්බර් 4වෙනිදා ක්වින්ස්ලන්ඩ් මුහුදු තීරයක නවතම වැඩ සටහනක් වන Ocean's  Deadliest  රූ ගත කිරීම අතරතුර stingray නම් මඩුවෙක්ගේ වල්ගා ප්‍රහාරයකින් අනතුරට ලක්වූ ස්ටීව්, පරිසරලෝලින්ගේ අපරිමිත ශෝකයට හේතුවෙමින් මරණයට පත්වුණා.

"මගේ රැකියාව, මගේ මෙහෙවර මේ ලෝකයට බිහිවීමේ හේතුව වනජීවීන් රැකීමට කියල මම හිතන්නේ" ඔහු වරක් පැවසුවා. ස්ටීව් මේ වදන් පවසා බලා සිටියේ නැහැ. ඔහුගේ Wildlife Worriers ස්වේච්ඡා ආයතනය, ලොව පුරා සියගණන් ප්‍රදේශ වනජීවී සංරක්ෂණ ප්‍රදේශ බවට පත්කරන්නට දායක වුණා. අදටත් එමගින් සුමාත්‍රා කොටි, කාම්බෝජ අලි, කෝලා වලසුන් ඇතුළු විවිධ සතුන් සංරක්ෂණය කිරීමේ වැඩසටහන් දියත් කරමින් තියෙනව.
ඔහුට වනජීවීන් ගැන හිත කරදර කරගන්න හේතු තිබුණා. ලෝක වනජීවී අරමුදලේ වාර්තා අනුව 1970 සිට මේ වනවිට ලෝකයේ පෘෂ්ඨවංශි (උභයජීවී, උරග, පක්ෂි, ක්ෂීරපායි) සත්ව ගහනය 60% කින් අඩුවී තිබෙනවා. මනුෂ්‍ය වර්ගයාගේ අතපෙවීම් නිසා අනාගතයේ පොලෝ තලයේ ජෛව විවිධත්වය අඳුරට යන ලකුණු පෙනෙන්නේ.
මේ අපුර්ව වූ ලෝකයේ අසිරිමත් සිදුවීම් මිනිස් අතින් විනාශ වී වියුක්ත දේ පමණක් බවට පත්වන්නට පෙර සොබා දහම තම නිවස බවට පත් කරගෙන එහි දුර්වල තත්වයන්  වඩා ආකර්ශනීය ලෙසකින් අනෙකුන්ගේ අවධානයට යොමු කිරීමේ කටයුත්ත කරන අල්පයක් දෙන අතරින් ස්ටීව් පෙරමුණේ සිටියා. ඒ සේවය අගයනු වස් ඕස්ට්‍රේලියානු රජය ඔහුට නොයෙක්වර සම්මාන හා පදක්කම් පිරිනමා තිබෙනවා. ඔහු හා පියා  විසින් සොයාගනු ලැබූ එතෙක් නොදැන සිටි ඉබි වර්ගයක් Elseya irvini ලෙස නම් කෙරුණා. සෑම වසරකම නොවැම්බර් 15 දා ස්ටීව් අර්වින් දිනය ලෙස නම්කර ඇති අතර එදින ජාත්‍යන්තර වනජීවී හා අරමුදල් රැස්කිරීමේ දිනයක් ලෙස යොදා ගැනෙනවා.

ලොව වෙනුවෙන් කරන තමාගේ කාර්යය සැඟවී යා  නොදී අනෙක් අයගේත් දෑස ඒ වෙත යොමු කරන්නට ස්ටීව් මැදිහත්ව කල කටයුතු ඉදිරියට ගෙනයාමට  ඔහුගේ පවුලෙන් සිදුවන්නේ  ඉමහත් සේවාවක්. මෙවැනි දිනයක එය ඇගයීමෙන් ගුගල්  සමාගම ද ලොව වන ජීවී සුරැකීම වෙත මානව සිත් සතන් යොමුකරවා  තිබෙනවා.
උදව්:
www.vox.com/science-and-health/2019/2/22/18234978/steve-irwin-57-birthday-google-doodle-crocodile-hunter
timesofindia.indiatimes.com/india/google-doodle-celebrates-57th-birth-anniversary-of-steve-irwin-the-crocodile-hunter/articleshow/68105486.cms
https://en.wikipedia.org/wiki/Steve_Irwin

2 comments: