Monday 25 May 2020

එම්බ්‍රොයිඩර් හා විෂිවන්කා දිනය Vyshyvanka

මේ පින්තුරේ ඉන්නේ කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඉවාන් බේකර්. ඔහු යුක්රේනියානු ජාතික පරම්පරාවකින් පවත එන්නෙක්. ඔහු විෂිවංකා දිනය සමරන්න ඇඳගෙන ඉන්නේ අවුරුදු ගණනකට පෙර ඔහුගේ ආච්චිඅම්මා සහ සීයා එම්බ්‍රොයිඩර් කරලා ඔහුට තෑගි දුන්නු කමිසයක්.

ආසියාවෙන් පැමිණි බවට සාක්ෂි ඇති එම්බ්‍රොයිඩර් කිරීම යුක්රේනයේ සියවස් ගණනක් පැවතුණා. මුලින්ම ආරක්ෂාව සලසන දෙයක් ලෙස සැළකු රෙදි එම්බ්‍රොයිඩර් කිරීම පසුව සෞන්දර්යාත්මක භාවිතා ලෙස ව්‍යාප්ත වුණා. 19 වන සියවස වනවිට ආගමික, සම්ප්‍රදායික සැරසිලි හා ඇඳුම් සඳහා ලෙස ක්ෂේත්‍ර තුනකින් වර්ධනය දකින්නට පුළුවන්. සමහරු සම්ප්‍රදායික මෝස්‌තර හා ක්‍රම අනුව මැසීම කළ අතර, සමහර අය අලුත් නිර්මාණ හඳුන්වා දෙමින් ඒවා අත්හදා බලනව. ක්‍රමශිල්ප ඉගෙනුම එතරම් අපහසුවක් නැති බවත්, කුඩාකළ සිට හුරු නොවුනහොත් ප්‍රයෝගික කුසලතා ප්‍රගුණ කළ නොහැකි බවත් ඔවුන්ගේ අත්දැකීමයි. සැමදා එකලෙස ජනප්‍රිය වූ මෙම කලාව, තාක්ෂණය හා යොදාගන්නා අමුද්‍රව්‍ය අංශවලින් ක්‍රමයෙන් වැඩි දියුණු වුණා.
ඉතාම අලංකාර මෝස්‌තර හා ක්‍රමශිල්ප පරම්පරාවෙන් පරම්පරාවට උරුම කෙරුණු අතර, ප්‍රදේශයන්ට හා ගම්වලට ආවේණිකව පැතිරුණා. මේ අනුව එම්බ්‍රොයිඩර් යුක්රේන ඉතිහාසය, සම්ප්‍රදාය හා සංස්කෘතිය සනිටුහන් කරන පාරිශුද්ධ සංඛේතයක් ලෙස සැලකෙනවා. 
යුක්‍රේන ජාතිකයන් එම්බ්‍රොයිඩර් මෝස්‌තර සඳහා යොදාගන්න ප්‍රධාන වර්ණ 6ක් තියෙනව. එම වර්ණ භාවිතා කරන්නට ඔවුන්ගේම වූ හේතුත් තියනව. 
රතු: මිනිස් ජිවිතයේ ආදරය හා විනෝදය සංඛේතවත් කරන්නේ. ගැහැණු අය හා දරුවන් ගේ කමිස බොහෝවිට රතු වර්ණයෙන් යුතුයි.
නිල්: භෞතික හා අධ්‍යාත්මික නිර්මලත්වය සංඛේතවත් කරයි. පිරිමි අයගේ සහ පිරිමි දරුවන්ගේ කමිස සඳහා මේ වර්ණය වැඩිපුර යොදනවා.
කළු: පොලව හා සරුබව නිරුපනය කරනවා.
රන්වන් (කහ): සමෘද්ධිය හා ධනවත්කම නිරුපණයට යොදාගනී.
කොළ: කාන්තා වර්ණයක් ලෙස තාරුණ්‍යය, සුන්දරත්වය මෙන්ම වසන්ත සමය නිරුපණයට යොදාගන්නේ.
සුදු:  පවිත්‍රත්වය සංඛේතවත් කරයි. අතීතයේ අවිවාහක කාන්තාවන් සුදු වර්ණයෙන් එම්බ්‍රොයිඩර් කළ ඇඳුම් ඇඳ තිබෙන්නේ.

රටේ ප්‍රදේශය අනුව එම්බ්‍රොයිඩර් සඳහා යොදාගන්නා මෝස්‌තර, ක්‍රමශිල්ප  හා වර්ණයන්ගේ වෙනස්කම් පවතිනවා. 
උතුරු හා කඳුකර ප්‍රදේශවල පැරණි ක්‍රම හා ජ්‍යාමිතික මොස්තරත්, රතු, නිල්, කළු වර්ණ අතරින් එකක් හෝ දෙකක් පමණක් යෙදීමත් දක්නට ලැබෙනවා.  
මධ්‍ය හා නැගෙනහිර ප්‍රදේශවල මල් මෝස්‌තර යොදාගැනීම බහුලයි. Outline එකකින් මෝස්තරය යොදා මැද පිරවීම මේ ප්‍රදේශයන්හි මනබඳින නිමයුම්වල දකින්නට හැකියි. මෙයිනුත් පෝල්ටාවා ප්‍රදේශයේ ලා නිල්, ලා කොළ, අළු වර්ණ මෙන්ම සුදු පසුබිම මත සුදු පැහැය යොදාගැනීම බහුලයි. Open work හෙවත් සිදුරු සහිතව එම්බ්‍රොයිඩර් කිරීමත් එම ප්‍රදේශවල ජනප්‍රියයි. 
බටහිර හා සෙසු ප්‍රදේශවල ජ්‍යාමිතික මෝස්‌තර සමගින් එකිනෙකින් කැපී පෙනෙන වර්ණ යොදාගන්නවා. සමහර ප්‍රදේශවල cross stitch යොදාගන්න අතර, curly stitch නම් ක්‍රමයකුත් ස්මෝක් කිරීමත් බහුලයි. බියුකොවිනා ප්‍රදේශයේ වර්ණ නමයක නූල් සමග වර්ණවත් පබළු වර්ග යොදා මනස්කාන්ත නිර්මාණ කරන බව ප්‍රකටයි. 

යුක්‍රේනයේ සෑම ප්‍රදේශයකම එම්බ්‍රොයිඩර් කමිස Vyshyvanka නිර්මාණ දක්නට ලැබෙන අතර,  සම්ප්‍රදායික ක්‍රමය වුණේ කමිස අතේ ඉහල කොටස (උරහිසට පහලින් කොටස) එම්බ්‍රොයිඩර් කිරීමයි. එය 10-15cm  පළල වූ අතර සමහරවිට ඊට යටින් කුඩා තීරුවක් ද ඇතුලත් කළා. කමිසයේ කොලරය, ඉදිරිපස, පහල කෙලවර, අත් අග මෝස්‌තර මුල් මෝස්තරයට අනුගතව ඇතුලත් කළා.
කමිස හැර වෙනත් ඇඳුම් කොටස් සඳහා මෝස්‌තර යෙදීම ප්‍රදේශ අනුව වෙනස්වෙනවා. බෝයිකොස් පළාතේ සායවලත්, පොලිසියාවේ ඒප්‍රන් හා විවාහක කතුන්ගේ හිස් පළඳනා වලත් අලංකෘත එම්බ්‍රොයිඩර් යොදනවා. 
මෙලෙස පළාත්, ප්‍රදේශ, නගර හා ගම අනුව මැහුම් ශිල්ප, සම්ප්‍රදායන් හා එම්බ්‍රොයිඩර් මොස්තරවල වෙනස්කම් බහුලයි.

විෂිවංකා දිනය කියන්නේ මොකක්ද? 
Lesya Voroniuk 
යුක්රේන භාෂාවෙන් විෂිවංකා කියන්නේ එම්බ්‍රොයිඩර් කළ කමිසයට. වසන්ත කාලයේදී මනබඳින  මෝස්‌තර සහිත විෂිවංකා ඇඳීම ඔවුන්ගේ ඉතිහාසය පුරාම තිබුණා. ඒ සඳහා විශේෂිත දිනයක් තිබුනේ නැහැ. 2006 දී විශ්ව විද්‍යාල සිසුවියක වන ලෙස්යා වොරෝනියුක් එකම දවසක සියලු දෙනා විෂිවංකා ඇඳුම් අඳින ලෙසට යෝජනා කළා. මුලින් විශ්ව විද්‍යාලයේ කිහිප දෙනෙක් පමණක් ඒ සඳහා යොමුවුණත්, ක්‍රමයෙන් එම අදහස වේගයෙන් පැතිරී, යුක්‍රේනය පුරාමත්, ලොව පුරා වෙසෙන යුක්රේන ජාතිකයන් අතරත් ඉතා ජනප්‍රිය වුණා. මේ අනුව ඔවුහු මැයි මාසයේ තුන්වෙනි බ්‍රහස්පතින්දා දිනය විෂිවංකා දිනය ලෙස නම්කළා.

දැන් එම දිනය ප්‍රදර්ශන, සංදර්ශන, පෙරහැර ආදිය පවත්වන ඉතා ජනප්‍රිය දිනයක්. ගැහැණු පිරිමි, ලොකු කුඩා හැමදෙන පිටතට පැමිණ මේවට සහභාගී වෙමින් සතුටුවෙනවා. ඒ වගේම විෂිවංක මෝස්‌තර ලොව පුරාම ජනප්‍රිය වීමටත් මේ දිනය හේතුවුණා.


2014 සිදුවූ රුසියානු ආක්‍රමණයත්, යුක්රේනයේ නැගෙනහිර කොටසක් වන ක්‍රිමියාව අනීතික ලෙස රුසියාව විසින් අත්පත් කරගැනීමත් වැනි අවස්ථාවල තම පරමාධිපත්‍යය රැකගැනීමට යුක්රේනියානු ජාතිකයන් දැරූ වෙහෙස ආදිය ස්මරණයත් මෙදින සිදුකිරීම පසුව එකතුවූ අංගයන්. 
එනම්, විෂිවන්කා දිනය ඔවුන්ගේ නිදහස, ප්‍රජාතන්තවාදය හා ස්වාධීනභාවය රැකගැනීමට කළ කැපකිරීම් සිහිපත් කර අගය කරන දිනයක්ද වෙනවා.


මෙම දිනයේ ලෝකයේම වෙසෙන යුක්රේන සම්භවයක් ඇති අය අලංකාර, කලාත්මක, අනබිභවනිය මෝස්‌තර සහිත කමිස ඇඳ ඔවුන්ගේ විවිධත්වයෙන් යුතු එකමුතුබව, අභිමානය සහ ආදරය ලොවට දක්වනවා.


උදව්:
.international/ukraine-top-news/vyshyvanka-day-in-ukraine-how-is-it-celebrated
112.international/article/embroidery-day-in-ukraine-ornament-of-the-age
en,wikipedia.org/wiki/Ukrainian-embroidery
www.unian.info/society/10551081-nation-code-ukrainians-celebrate-vyshyvanka-day
http://www.encyclopediaofukraine.com/

2 comments:

  1. හොදයි.මන් අහල කාරණයක්.

    ReplyDelete
  2. මට අහන්න උනා. ඔය පාට ගැන දාලා තියෙනව නේද?ඒවා ඉති ලෝකෙම ඒ සම්මතෙන්ම නේද භාවිතා කරන්නේ?

    ReplyDelete