Tuesday 31 January 2017

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හා අවට භූමිය : කැනඩාවේ සුවිශේෂ ස්ථාන 4


වික්ටෝරියා රැජින විසින් තෝරාදුන් උස භූමියක ගොඩනැගු කැනඩා පාර්ලිමේන්තුව තිබෙන්නේ ඔටාවා අගනුවරයි. මෙම ස්ථානය Parliament Hill කියලයි හඳුන්වන්නේ. පාර්ලිමේන්තුව නැගෙනහිර කොටස, බටහිර කොටස හා මධ්‍ය ප්‍රධාන ගොඩනැගිල්ල ලෙස ගොඩනැගිලි තුනකින් යුක්තයි. මේවා බ්‍රිතාන්‍ය උසස් ගොතික් ගෘහනිර්මාණ ශිල්ප මැනවින් නිරුපණය කරමින් ගොඩනැගු ඒවාය.

ප්‍රධාන ගොඩනැගිල්ලට ඇතුල්වන විට ඇති රොටුන්ඩා හි උස සීලිම් හා එක් එක් ප්‍රාන්ත නියෝජනය කරන කැටයම් සහිත කුළුණු පැමිණෙන අමුත්තන් පිළිගැනීමට සැදී පැහැදී සිටිනු වැනිය.
මේ ශාලාව මගින් පාර්ලිමේන්තුව රැස්වන තැනත්, සෙනෙට් සභාවත් වෙන්වෙනවා. මෙහි කෙලවර පුද්ගල මුර්ති සාදා තිබෙනවා.







         පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වැදගත් ස්ථාන
1. පාර්ලිමේන්තුව රැස්වන ස්ථානය House of Common
දෙපස මහජනතාවගේ චන්දයෙන් පත්වන පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීන් සඳහා ආසනත්  මැද කථානායක අසුනත් පිහිටා තිබෙන මෙහි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙන් කොළ පැහැති ආසන පනවා ඇත. සිවිලිමේ ලිනන් කැන්වස් මත කැනඩාවේ ජාතික සංඛේත ඇඳ ඇත. බිත්ති සුදු ඕක් ලීයෙන් හා පොසිල හුනුගල්වලින් නිර්මිතය.

2. සෙනෙට් සභාව රැස්වන ස්ථානය
ප්‍රධාන ගොඩනැගිල්ලේ නැගෙනහිර පස පිහිටන රතු පලස් හා රන්වන් කැටයම් සහිත වහලෙන් අලංකෘත උත්තුංග රාජකීය ප්‍රෞඪත්වය පෙන්නුම් කරන තැනකි. බිත්ති මත ඇති ලෝක යුද්ධය නිරූපිත තිරවලට පහලින් කැනඩාවේ ශාක හා සතුන් ලි හා ගල්වලින් නිර්මාණය කර ඇත.
අගමැතිතුමා ගේ උපදේශකත්වයෙන් ආණ්ඩුකාරවරයා විසින් පත්කරන සෙනෙට් සභාව රතු ආවරණ යෙදු ආසන මත වාඩිවී තීරණ ගැනීම සඳහා රැස්වෙති.

3. පාර්ලිමේන්තු පුස්තකාලය
1849 සිදුවූ මහා ගින්නකින් පැරණි පුස්තකලයේ පොත් 11000ක් පමණ විනාශ විය. ගොඩනැගිලි නිර්මාණ ශිල්පයේ අපුර්වත්වය විදහාපාන  වර්ණ, වයනය, හස්ත කර්මාන්ත, මුර්ති ආදියෙන් සමන්විත තට්ටු 5කින් යුත් නව පුස්තකලයේ මැද වික්ටෝරියා රැජිනගේ කිරිගරුඬ පිළිරුවක් ඇත. පොලවට වීදුරුත්, වහලට තඹත් යොදා ඇති මෙය ඓතිහාසික හා සංස්කෘතික අගයන් රැකෙන ලෙස නිමවී ඇත. ඉතා අනර්ඝ පොත්පත් සඟරා, වාරික, රජයේ ලියවිලි, CD, වීඩියෝ, හා අනෙකුත් තොරතුරු එකතුන් රැසක් ඇති මෙහි පාර්ලිමේන්තු කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීම, පර්යේෂණ පහසුකම් හා ලිපි පරිහරණයට සියලු පහසුකම් ඇත.
පුස්තකාල වහල 

4.Peace Tower : සාම ඔරලෝසු කණුව
ප්‍රධාන ගොඩනැගිල්ලේ මැද පිහිටා ඇති 98m උස ඔරලෝසු කනුව පළමු ලෝක යුද්ධයෙන් මිය ගිය කැනේඩියානු සෙබළුන් සිහි කිරීම උදෙසා 1927දී බ්‍රිතාන්‍යයෙන් ලද ත්‍යාගයකි.
පැය 1/4කට වරක් නාදවන සීනු හඬ පාලනය වනුයේ කුලුන මැද හරියේ ඇති කාමරයක යතුරු පුවරුවකිනි. සීනු 53න විශාලම එක 10160kg ක් බර අතර කුඩාම සිනුවේ බර 4.5kg වේ.  සතියේ දිනවල දිනපතා මෙහි ජාතික කොඩිය අඩකුඹු කර ඔසවන අතර, කණුව ඇතුලතින් ඉහලට ගොස් නැරඹීමට අවස්ථාව තිබේ.

5.පිටත භුමියේ මුර්ති
වර්ග මිටර් 88840ක පැතිරුණ පාර්ලිමේන්තු භුමියේ තැනතැන ඉතිහාසයේ වැදගත් අවස්ථා හා වැදගත් පුද්ගලයන් දැක්වෙන මුර්ති නිර්මාණය කර ඇත. තද පාටින් යුතු මේ මුර්ති ප්‍රධාන ගොඩනැගිල්ල වටා ඇවිදිමින් නැරඹිය හැකිවේ.
1929 කාන්තාවන්ට සමතැන් දීමේ අවස්ථාව පෙන්වන මුර්තියක් 













6. පොලිස් හා සාමය රකින නිලධාරී ස්මාරකය
1804 සිට රටේ නීතිය හා සාමය වෙනුවෙන් දිවිදුන් සියලුම පොලිස් නිලධාරීන්, දේශසීමා සේවා නිලධාරීන්, ප්‍රාන්ත සහ රටේ නිතිය සුරකින සංවිධානවල නිලධාරීන් සිහිකිරීම උදෙසා ඇති, ඔවුන්ගේ නම් කෙටු පුවරු ඇති ස්මාරකයද පාර්ලිමේන්තු භුමියේ පසෙක ඇත. සෑම වසරකම සැප්තැම්බර් මස අන්තිම ඉරිදා ඔවුන්ගේ සේවය අගය කිරීම හා ගෞරව දැක්වීම උදෙසා මහජන හමුවක් පැවැත්වේ.

 6. ශතක ගිනි සිළුව Centannial Flame
1966 සිදුවූ කැනඩාවේ ශත සංවත්සරය සමරනු සඳහා පිහිටවූ වෘත්තාකාර වතුර මලක් මත පිහිටි ගිනිසිළුව තවත් අපුරු නිර්මාණයකි.  විෂ්කම්භය අඩි 10ක් වන වෘත්තාකාර ඉදිකිරීමක් වන මෙහි වතුරට ඉහලින් ගිනි සිළුවක් තිබීම අපුර්වත්වයකි. ගෑස් වලින් ක්‍රියාකරන ගිනිසිළුව පිහිටන පලිහ මත ප්‍රාන්ත 10 හා පළාත් 2 නිරුපනය කරන සංඛේත ඇත. වතුරමල්වලින් දැක්වෙන්නේ පැසිෆික් සාගරයේ සිට අත්ලාන්තික් සාගරය දක්වා විහිදුනු කැනඩාවේ එකමුතු බවයි. ගිනිසිළුව හේතුවෙන් සීත කාලයේ පවා වතුරමල මිදීමකින් තොරව ක්‍රියාත්මක වේ.
මෙය නැරඹීමට එන අය වාසනාව ප්‍රර්ථනා කරමින් විසි කරන කාසි එකතුකර අවුරුදු පතා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයෙක්ටත්, ඔවුන් වෙනුවෙන් පර්යේෂණ කරන ආයතනයකටත් ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකෙරේ.

පාර්ලිමේන්තුවේ වැදගත් සංදර්ශණ
1. ආරක්ෂක නිලධාරීන් හුවමාරුව
එංගලන්ත බකිංහැම් මාලිගයේ ආරක්ෂක සෙබල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පාර්ලිමේන්තු ආරක්ෂක භටයන් හුවමාරු වෙන අවස්ථාව ගිම්හාන කාලයේ දිනවල උදේ 10ට ආරම්භ වේ.
 තුර්යවාදන හා ආචාර පෙළපාලියත්, සංදර්ශනයත් නෙත් ප්‍රියකරන දසුන් වේ.

2.Sound and Light show - MosAika
පාර්ලිමේන්තු මධ්‍ය ගොඩනැගිලි බිත්තිය තිරයක් ලෙස භාවිතා කරමින්  ඉදිරිපත් කරන කැනඩාවේ ඉතිහාසය දක්වන MosAika වැනි සංදර්ශනයක් ලොව කිසි තැනක ඇත්දැයි සැක සහිතය. අඩි 470ක් දිග, තට්ටු 30ක් උස තිරයක මැවෙන දසුන් සිතාගත හැකිද?  ජුලි සිට සැප්තැම්බර් දක්වා රාත්‍රීයේ  පැය භාගයක කාලයක් තුල digital technology, ප්‍රොජෙක්ටර් 17ක්, සුවිශේෂ software හා පාලක උපක්‍රම, LED තිර, ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් පාර්ලිමේන්තු බිත්තියේ පතිතවන, ඉංග්‍රීසි, ප්‍රංශ භාෂා ද්වයෙන්ම විස්තර කෙරෙන චිත්‍රපටය, ඉදිරිපස තණනිල්ල මත වාඩිවී නැරඹීම ඉතා අපුර්ව අත්දැකීමකි.



උදව්:
ප්‍රදීප් හා පුතා
Discover the Hill : Outdoor Self-guiding Booklet
තොරතුරු කියා දුන් parliament guide
www.lop.parl.gc.ca
http://cpoma.ca/memorial_History.html
http://www.tpsgc-pwgsc.gc.ca



2 comments:

  1. හොද තොරතුරු ටිකක්

    ReplyDelete
    Replies
    1. ඔව්. තව ගොඩක් දේ තියනවා. දැනුමට මේ ඇතිනේ.

      Delete