Friday, 6 January 2017

පාවෙන මිතුරන්ට වූ දෙයින් හිතන්නට යමක්

Friendly Floatees 

හොංකොං සිට ඇමරිකාව බලා ගමන් කරමින් තිබු රබර් සෙල්ලම් තාරාවන්, කොලපාට සෙල්ලම් ගෙම්බන් හා බිවරයන් 29 000ක් අඩංගු පෙට්ටි සහිත නැවක් 1992 දී පැසිෆික් මුහුදේ අතුරුදහන් විය. එදා සිට අදත් අවුරුදු විසි ගණනාවක් ලෝකයේ විවිධ මුහුදු තිරවලින් හමුවන මේ සෙල්ලම් සත්තු ලෝකයට පාඩම් ගණනාවක් කියා දෙමින් සිටිති.

නැව අතුරුදහන් වී දින කිහිපයකින් හවායි දුපතෙන්ද, මාස 10කට පසු සැතපුම් 2000ක් එපිටින් පිහිටි ඇලස්කාවෙන් ද මේ තාරාවන් හමුවීමත් සමග සාගර දියවැල් අධ්‍යයනය කරන සාගර විද්‍යාඥයන් දෙදෙනෙක් වන Curtis Ebbesmeyer හා James Ingraham මේ ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තා.
එබ්ස්මෙයර් හමු වූ සතුන් කිහිපදෙනෙක් සමග 
සාමාන්‍යයෙන් සාගර මතුපිට දියවැල් අධ්‍යයනය පිණිස වසරකට පාවෙන බෝතල් 500-1000 අතර ප්‍රමාණයක් මුදා හැරියත්, ඒවා ආපසු වාර්තාවීම ඇත්තේ 2% තරම් සුළු ප්‍රමාණයක්. පා කර යවන බෝතල්වලට වඩා වැඩි වාසි සහගත තත්වයන් ගණනාවක් මේ තාරා පැටවුන්ගේ ඇතිබව ඔවුන් දුටුවා.

29000ක් තරම් විශාල ගහනයක් නිසා දත්ත වැඩි ගණනක් සපයා දීම, දියේ නොගිලී පාවී යාම, පහසුවෙන් හඳුනා ගත හැකිවීම, වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වීම, නරක් නොවීම ප්‍රධාන වාසිය.
මේ අනුව ලෝකයේ සාගර දියවැල්වල ගමන් මාර්ගය පිළිබඳව විප්ලවීය අවබෝධයක් ලබාගැනීමට මේ අතරමං වූ රබර් සත්තු සහාය වෙමින් සිටිති.

එම රබර් සතුන් අඩංගු කර තිබූ කන්ටේනර්වල සඳහන් වූ Friendly Floatees නමින්ම ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යනයේ යෙදෙන විද්‍යාඥයන්ට දකුණු ඇමරිකාව, ඔස්ට්‍රේලියාවේ නිරිතදිග පැසිෆික් වෙරල තිරයේ මෙන්ම ආක්ටික් අයිස් අතර සිරවී සිටි පාවෙන මිතුරන් හමුවී තිබෙනවා. වසර විසි ගණනකට පසු අදත් කැනඩා පෙරදිග වෙරල තිරයේත්, අත්ලාන්තික් සාගරය තරණය කර ස්කොට්ලන්ත වෙරල තීරයේත් මොවුන් හමුවෙනවා. තවම වාර්තා නොවූ 2000ක් පමණ කොහේ හෝ ඇති.
දැන් විශ්‍රාමිකව සිටින මෙම විද්‍යාඥයන් පවසන්නේ විවිධ ප්‍රදේශවල මිනිසුන් එවන පින්තුර දුටු පමණින් එය මෙම කණ්ඩායමේ බව තමනට කිවහැකි බවයි. එම සතුන් හමුවුනොත් http://www.flotsametrics.com නම්  website එකට වාර්තා කළ හැකියි.
තාරාවන් පා වී ගිය මාර්ගය 
ජපානය හා ඇලස්කාව අතර පිහිටන උතුරු පැසිෆික් දියසුළිය එක්වරක් පරිභ්‍රමණය වීමට වසර තුනක් ගතවන බව සොයාගත්තේ මේ රබර් සතුන් අධ්‍යනයෙන්. ආක්ටික් අයිස් තට්ටු ගමන් කරන වේගය සොයාගන්නත් ඔවුන් ප්‍රයෝජනවත් වුණා. 










රබර් සතුන් ගැන ලස්සණ කතා කිහිපයක් ලෝක සාහිත්‍යයට එකතු වීමත්, NASA ආයතනය ග්ලැසියර් අධ්‍යයනයට ඔවුන්ගේ විශේෂිත රබර් තාරාවන් යොදා ගැනීමට යොමු වීමත් තවත් පලදායි ප්‍රතිඵලයන්.
ජපානයත්, පැසිෆික් සාගරයේ අනෙක් රටවලත් සුනාමි හා අනෙකුත් ස්වභාවික විපත්වලින් මුහුදට එක්වන මහා පරිමාණ කුණුකන්දල් ගමන් කරන මාර්ගය සොයාගත්තෙත් මේ මගින්.
උතුරු පැසිෆික් දියසුලිය අතිවිශාල ප්ලාස්ටික් ප්‍රමානයක් අඩංගු කුණු හට්ටියක් බව අනාවරණ වීමෙන් ඒ ගැන අවධානය යොමු වීමත් වැදගත් ඵලයන්.
මේ රබර් සතුන් ගෙනගිය නැව මෙන් ප්ලාස්ටික් බෑග්, රසායන ද්‍රව්‍ය, තෙල්, සිගරට්, සපත්තු, රබර් හා ප්ලාස්ටික් උපකරණ අඩංගු තවත් නැව්  මුහුදේ ගිලී හෝ අතුරුදහන් වී තිබෙනවා. මේ මගින් මුහුදේ සිදුවන මහා පරිමාණ ප්ලාස්ටික් දුෂණය හා ඒවා ශරීර ගතවීමෙන් සමුද්‍ර ජිවින්ට දීර්ඝ කාලීනව වන විනාශය ගැන සිතන්නට යොමු කෙරෙන ඉතාම වැදගත් උදාහරණයක් මේ පුංචි සතුන් සපයන්නේ.
අප සිතාමතා හෝ නොහිතාම මුහුදට දමන කුණු කසල අතුරුදහන් වී, නැතිවී නොයන බවත් දීර්ඝ කාලීන ප්‍රතිඵල දෙන බවත් මේ පාවෙන මිතුරන් අපට කියාදෙන පාඩමයි.


 රසුදැල් හඬවන්න උදව්:
The  Old  Salt  blog
What can rubber duckies teach :Bryan Nelson
  www.flotsametrics.com

4 comments:

  1. මාාර කතාවක්්නේ මෛම්්ක

    ReplyDelete
    Replies
    1. ඇත්ත ම්ාමාරයි තමයි

      Delete
  2. අලුත් අදහස් තොගයක් ඉදිරිපත් කරන ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. සත්‍යය ප්‍රබන්ධයට වඩා සුන්දරයි. ඒත් මේ කතාවෙ ඇතුලෙ භයානක කමයි තේරුම් ගන්න ඕනෙ.

      Delete