Thursday 12 January 2017

සියැටෙල් කවුද? පරිසරවේදියෙක්ද? :ඇමරිකාවේ ආදි වාසීන් 4

... සුනිල දිය ගලන ගංගාවන් අපගේ පිපාසය නිවන සොයුරන්මය. ඔවුහු අපගේ ඔරු පාරු රැගෙන යති. කිසියම් ලෙසකින් අප මේ බිම් ඔබහට විකිනුවහොත් ඔබ ඔබලාගේ දරුවන්ට ගංගාවන් අපගේ මෙන්ම ඔබගේත් සොයුරන් බව කියාදිය යුතුය. ඉන් මත්තට අප ඔවුන්ට දැක්වූ කරුණාව ඔබ විසින් උන්ට දිය යුතුය...
Chief Seattle (1780- 1866)
යුරෝපීයයන් ඉන්දියාව ලෙස සිතා ඇමරිකාව 'සොයා ගැනීමත්', ඉන්පසු එම බිම අත්පත් කරගැනීමට එහි මුල් පදිංචි කරුවන් සමූල ඝාතනයට ලක්කළ අන්දමත් කලින් ලිපිවල  කියෙව්වනේ. මුල් පදිංචිකාර ගෝත්‍රිකයන් අතරේ 'සියැටෙල්' නාමය විශේෂිතව අද දක්වාම තියෙනවා. ඒ යම් අවස්ථාවක ඔහු සිදුකළ ප්‍රකාශයක් හෝ ලියූ ලිපියක් නිසයි.

සියැටෙල් යනු ඇමරිකා එක්සත් ජනපදයේ වයඹ කෙලවරට වන්නට පිහිටි වොෂින්ටන් ප්‍රදේශයේ වසර  දස දහස් ගණනක් ජිවත් වූ Suquamish ගෝත්‍රිකයන්ගෙන් කෙනෙක්. මෙම ගෝත්‍ර නාමයෙහි තේරුම පිරිසිදු ලවන ජලයේ ජීවත්වන්නෝ යන්නයි. සුක්වමිෂ් ගෝත්‍රිකයෝ මසුන් මැරීමෙන්, බෙරී හා අල වර්ග වැවීමෙන්, තාරාවන් වැනි දියෙහි වෙසෙන කුරුල්ලන් හා මුවන් වැනි ගොඩබිම සතුන් දඩයම් කිරීමෙන් ජිවත් වූ ගෝත්‍රයකි.
සෙඩාර් ලී වලින් සැදු නිවසක්.

ශීත කාලයට සිඩාර් ලෑලි වලින් සැදූ නිවෙස්වල ජිවත් වූ මොවුහු, අනිත් කාලයට දඩයමේ යද්දී ශාක කොටස්වලින් සැදූ කුඩාරම් වල කාලය ගෙව්වා.
ජල මුලාශ්‍ර ආශ්‍රිතව ජීවත්වූ නිසා ගමන් කළේ පාරුවල.

සිඩාර් මුල්වලින් සෑදු කූඩ ජලය ගෙනයන්නත්, උයන්නත් උපයෝගී කරගත්තා. සුප් වර්ග හා අලවර්ග උයාගෙන තියෙන්නේ රත්කළ ගල්කැට මේ කූඩවල පිරවූ ජලයට දමා ජලය රත් කිරීමෙන්. ඔවුන් පරිසරය සමග සහයෝගයෙන් ජිවත් වූ ආකාරය වෙනම කියන්න තරම් ලොකු කතාවක්.
සිඩාර් කූඩයක් 

මේ අයට මුලින්ම බ්‍රිතාන්‍ය ජාතිකයන් හමුවුනේ 1792දී. සුදු මිනිසුන් ඇවිත් ගස් කපල ඉරුම් මඩු සදනකොටත් කපන්න සුදුසු ගස් සොයා දී මොවුන් උදව් කළා. වනයේ මැරුණු ගස්වල කොට ගෙනත් දුන්නා. කලින් ලිපියේ කිව්වා වගේ වහලුන් ලෙස යොදා ගත්තත්, මේ අහිංසක මිනිස්සු ඒවා කළේ උදව් විදියට. ඔවුහු අවුරුදු 50ක්ම සුදු මිනිසුන් කරන වෙනස්කම් දෙස බලමින්, අන්‍යොන්‍ය ගෞරවය දක්වමින්, ඔවුන් හා වෙළඳ ගනුදෙනු කරමින් ජීවත්වුණා. අනිත් ගෝත්‍ර වලට වගේම මොවුන්ටත් මිෂනාරි බලපෑම්, රෝග ආදියත් නොඅඩුව ලැබුණා. අලුත් තාක්ෂණය හා මුදල් භාවිතය මෙන්ම ඔවුන් අතර කිසි දා නොතිබුණු පුද්ගලික ඉඩම් කියන සංකල්පයටත් යම් මට්ටමකින් අනුගත වෙන්නට වුණා.

1850 දී කොන්ග්‍රසය Oregon Donation Land Claim Act කියලා එකක් ඉදිරිපත් කරලා සුක්විමිෂ් හා අනිකුත් ගෝත්‍රවලට කිව්වා සංක්‍රමණිකයන්ට ඉඩම් දීල අයින් වෙන්න කියල. ඒ ඔවුන්ට රේල් පාරවල් හා ගොඩනැගිලි හදන්න. එතකොට තමයි ගෝත්‍රිකයන්ට මොවුන් සමග සහයෝගයෙන්, සහජීවනයෙන් ජීවත්වෙන්න බැරිබව වැටහුනේ.
ඒ වනවිට සුක්විමිශ් ගෝත්‍ර නායකයා වුනේ සියැටෙල්. ඔහු අවුරුදු විසි ගණන්වලදීම ගෝත්‍රික නායකයෙක් බවට පත්වූ අයෙක්. ඔහු ජීවත්වූ Central Puget Sound ප්‍රදේශයට වෙනත් ගෝත්‍රිකයන්ගෙන් සිදුවූ හොරකම්, කරදර වලට නිර්භීතව, එඩිතරව මුහුණ දුන් නිසයි අඩු වයසින්ම නායකත්වය ලැබී තියෙන්නේ. වසර දස දහස් ගණනක් ඔවුන් ජිවත් වූ භූමියට ඔවුන්ගේ ඇති අයිතිවාසිකම් කෙරෙහි සියලු මානව වර්ගයාගේ වගකීම හා ගරුත්වය ලබාගැනීම පිලිබඳ පාරිසරික ලියමනක් වන  ඔහුගේ ලෝක ප්‍රසිද්ධ කතාව සටහන් වෙන්නේ මේ අවස්ථාවේදීයි. එහි හොඳ පරිවර්තනයක් මෙතනින් බලන්න.
 (මෙය ඔහු විසින් ඉදිරිපත් කර ඇත්තේ ඔවුන්ගේ ආවේනික භාෂාවකින්. අදටත් ස්ක්වමිෂ් ඇතුළු තවත් ගෝත්‍ර ගණනාවක් පරිසරය පිලිබඳ මෙම අදහස් දරන්නන්. මෙය ඉංග්‍රීසි නාට්‍යයක කොටසක් බවට ප්‍රචාරයන් ගෙනගියත් එම නාට්‍යයට මේ අදහස් ඇතුලත් කර පෙළ ගස්වා ඇතිබවයි පෙනෙන්නේ).

මෙයින් සියටෙල් අදහස් කල දේ අදවත් තේරුම් ගන්නවාදැයි සැකයි.

සංක්‍රමණිකයන් කළේ "නුඹලා දරු සම්පත් ලබා වැඩි වර්ධනය වී, පොලව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහිද, අහසේ පක්ෂීන් කෙරෙහිද, සියලු සතුන් කෙරෙහිද බලය පවත්වන්නැයි ඔවුන්ට වදාල සේක."(උත්පත්ති 1:28) යන බයිබල් වචනය පරිසරය වැනසීමට දුන් බලපත්‍රයක් ලෙස ගෙන පරිසර හිතකාමී ස්වදේශිකයන්ගේ නිජබිම්, සංවර්ධනයේ නාමයෙන් වනසා දැමීමයි.
සමහර ගෝත්‍ර යුධ වැදුනා. ඒත් දිනන්න බැරි වූ තැන ඉඩම් දීලා යන්න වුණා. සියැටෙල් තම ගෝත්‍රයේ ආරක්ෂාවත්, කාරුණික බවත්, දිගුකාලීන මිත්‍රත්වයත් සලකා ඉතා අකමැත්තෙන් වුවත් ඔවුන්ගේ ප්‍රදානයන් අරගෙන පසුබෑවා. රජය ඉඩම් හිලව්වට සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය දුන්නා. ගෝත්‍රිකයන්ට මසුන් මැරීමේ හා දඩයම් කිරීමේ අයිතිය 'පිළිගත්තා'. අධ්‍යාපනය කිව්වත් ඉංග්‍රීසි හා ආගම් අධ්‍යාපනය මිස ඔවුන්ගේ ගෝත්‍ර භාෂාව හා ජීවත්වීමට අදාල අධ්‍යාපනය නෙවේ.

සංක්‍රමණිකයන් හා සහයෝගිව සිටි නිසා සියටෙල්ට පිළිගැනීමක් ලැබී ඔවුන් සිටි පෙදෙස සියැටෙල් ලෙස නම් කළා.
එහෙත් ඔවුන්ගේ ඉඩම් කොල්ලකෑම හා පරිසරය විනාශ කිරීමත්, මුල් පදිංචිකරුවන්ට හිරිහැර කිරිමත් නැවැත්තුවේ නැහැ.

1998 සිට විවිධ අවස්ථාවල කැනඩාවේ හා ඇමරිකාවේ දේශපාලන නායකයන් මේ සියලු සිදුවීම් ගැන විධිමත් සමාව අයැදීම් සිදු කළත්, විනාශ වූ දෙයට අලගු තියන්නටවත් එයින් නොහැකියි.
 එදා සංක්‍රමණිකයන් වූ අද ඇමරිකානුවන්ගේ තාඩන පීඩනවලට ලක්වෙමින්, උතුරේ මුල්ලට තල්ලු වෙමින් තවමත් මේ ගෝත්‍ර තම අභිමානය රැකගනිමින් ජිවත් වෙනවා.

2010 කැනඩාවේ පැවති ගෝත්‍රික උත්සවයකදී
රැඟුම් දැක්වූ සුක්වමිෂ් කණ්ඩායමක් 
සියැටෙල් හා සියලු ආදි වාසි ගෝත්‍රිකයන් දැන සිටියා මිනිසා පරිසරයේ කොටසක් බව. මිනිසාට පරිසරය 'ජයගැනීම' කළ නොහැකි බව. මේ ආදිවාසීන් පරිසරය කුමක්ද, මිනිසා කවුරුන්දැයි ඉහල අවබෝධයකින් යුතුව සිටියා. ඒ බව පැහැදිලි වෙනවා සියැටෙල් ගේ මේ කීමෙන් "" මිනිස් වර්ගයා පරිසර ජිවන දැල වියා නැත. මිනිසුන් එම දැලේ එක නුලක් පමණි. හැමදේම එකට බැඳී, සම්බන්ධ වී ඇති දේය. අප ඒ දැලට කරන මොනයම්ම දෙයක් වේද, එය අප අපටම කරගන්න දෙයකි. ..""

ඔවුන්ට පරිසරය ගැන තිබු ඥාණය හා දැනුමෙන් දාහෙන් පංගුවක්වත් නැති අය දැන් 'පරිසරවේදීන්' වී සියැටෙල් ඒ ගොඩට දා ගැනීම විහිළුවක්.

ගෝත්‍රිකයන් නුගත්, නොදියුණු කොටසක් ද? ඊළඟ ලිපියෙන්.

රසුදැල් හඬවන්න උදව්:
http://www.greenworldtrust.org.uk
www.historynet.com  
http://www.californiaindianeducation.org/famous_indian_chiefs
google maps

5 comments:

  1. වටිනා ලිපි පෙළක්.බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ලිපි පෙලම බලන්න. ස්තුතියි දිරියට

      Delete
  2. ලොව සිසාරා ඇවිද ගිය එක් මිනිසුන් කොටසක් තවත් මිනිසුන්ට කළ අපරාධයට නිදසුන් සැපයෙන තවත් වටිනා පියවරක්

    ReplyDelete
  3. Very important article for the students.

    ReplyDelete