Monday 16 January 2017

තක්කාලි ජෑම් හා තක්කාලි සෝස් හදන විදිය

හදාගන්න ලෙහෙසි, එහෙත් ගොඩක් දෙනෙක් හදන විදිය ගැන එතරම් දන්නේ නැති ආහාර වර්ග දෙකක් තක්කාලි ජෑම් හා තක්කාලි සෝස් කියන්නේ. ගිම්හාන කාලේ ගෙවත්තේ වගා කරන මට හොඳ තක්කාලි අස්වැන්නක් ලැබෙන නිසා පසුගිය වසරවල මේ කෑම හදන එක අත්හදා බලල, යාලුවන්ටත් දීල කවුරුත් හොඳ කියූ නිසා රෙසිපිය බෙදාගන්න හිතුණා.

ඉස්සෙල්ලම බලමු ආහාර වර්ග දෙකම පිළියෙළ කිරීමේදී කරන්න ඕන දේ.
මුලින්ම හොඳ තක්කාලි තෝරා ගැනීම. ඉදුණු එහෙත් බෙරී නොවුණු තක්කාලි තමයි වඩා සුදුසු. මම වර්ග කිහිපයක් වගා කළා. මේ හැම එකෙන්ම හදන්න පුළුවන් වුනත්, ලොකු තක්කාලි සෝස් සඳහා සුදුසුයි. පුංචිම චෙරි තක්කාලි ජෑම් වලට හොඳයි. හදන්නත් ලෙහෙසියි.

 මේවා කල් තබාගන්න පුළුවන් ආහාර නිසා ගබඩා කරන්න බෝතල් ලැහැස්ති කරගන්න ඕනේ. පරණ ජෑම් බෝතල් හොඳයි. භාජනයකට වතුර පුරවලා  උතුරවන්න. පිරිසිදු කරගත් බෝතල හා මුඩි උතුරන වතුරේ  ගිල්වා තව මිනිත්තු 5ක් විතර නටවන්න. රත්වී තිබියදීම ප්‍රවේසමින් පිටතට ගෙන පිරිසිදු රෙදිකඩක් උඩ මුනින් අතට තියන්න.

දැන් බලමු තක්කාලි සකස් කරගන්න විදිය. ලොකු තක්කාලි නම් පොත්ත ඉවත් කරගන්න ඕනේ. ඒකට උණුවතුරයි, අයිස් වතුරයි ඕනේ. තක්කාලි ගෙඩි හොඳින් සෝදා නැට්ට පැත්ත නෙමේ අනිත් පැත්තේ කතිරයක් කපන්න. අඟල් 1/4ක් තරම් ගැඹුරට කැපුම් යොදන්න ඕනේ.

 දැන් වතුර භාජනයක් උණුකර මේවා කිහිපය බැගින් දාන්න. මිනිත්තුවක් විතර උණු වතුරේ තියෙද්දී පොත්ත රැලි ගතියක් එනවා. පරිස්සමින් හැන්දක් ආධාරයෙන් මේවා එක එක අයිස් වතුර භාජනයට මාරු කරන්න. පොත්ත ලෙහෙසියෙන් ගැලවිලා යනවා. 
චෙරි තක්කාලි වලට මේ දෙය කරන්න ඕනේ නැහැ. (කරන්නත් බැහැ චුටියට අතට අහුවෙන්නෙත් නැහැනේ). 
දැන් ඔන්න සුදානම්.



තක්කාලි ජෑම් 
තක්කාලි ග්‍රෑම් 500
සීනි        ග්‍රෑම්  300
දෙහි යුෂ මේස හැඳි   2
ඉඟුරු      තේ හැඳි    1
සූදුරු කුඩු තේ හැඳි  1/4
කරාබුනැටි තේ හැඳි 1/4
කුරුඳු පොතු 

දැන් අර කලින් කිවූ විදියට පොතු ඉවත් කරගත් තක්කාලි හෝ චෙරි තක්කාලි බ්ලෙන්ඩර් එකක දමා පොඩි කරගන්න. නැත්නම් දැල් පෙරනයක පොඩි කරගන්න. ටිකක් ලොකු කැලි තිබුනත් කමක් නැහැ. රත් වෙද්දී පොඩි කරගන්න පුළුවන්. 

ඉන්පසු මේ පොඩි කරගත් තක්කාලි ලොකු නොන් ස්ටික් පෑන් එකකට හෝ මැටි බඳුනකට දාන්න. ලෝහ භාජන නොගන්නවනම් තමයි හොඳ. සිනි, ඉඟුරු, සුදුරු හා කරාබුනැටි ත් එකතු කරන්න. මේ මිශ්‍රණය එකවර ඉහල උෂ්ණත්වයකට රත්කර, නටන මට්ටමේ මිනිත්තුවක් පමණ තබා එකවර උෂ්ණත්වය හොඳටම අඩු කරන්න. 

මද ගින්නේ/ උෂ්ණත්වයේ මිනිත්තු 30- 45 අතර කාලයක් හෙමින් හිඳෙන්නට අරින්න. මේ අතර කුරුඳු ටිකක් ග්‍රේටර් එකකින් ගාමින් එකතු කරන්න.

 ලී හැන්දක් භාවිතයෙන් ලොකු තක්කාලි කෑලි ඇත්නම් පොඩි කරන්න. චෙරි තක්කාලි භාවිතා කළොත් පොතු තියනව. කමක් නැහැ. 
හිඳීගෙන  එනකොට ජෑම් වගේ හැන්දට එකතු වෙමින් එනවා. පාට තද වෙනවා.
 ඉතින් පදම හරි. ලිප නිවන්න. දෙහි යුෂ එකතු කරල ටිකක් හැඳි ගාල ඕනනම් චුට්ටක් අරන් පාන් පෙත්තක ගාල රස බලන්න. රස්නෙන් තියෙද්දීම කලින් විෂබිජ හරණය කරගත් බෝතල් වලට දමන්න. 
මූඩිය යන්තම් වසා පරිස්සමින් රෙදි කඩකින් වටේ අල්ලාගෙන නටන ජලය භාජනයක භාගයක් පමණ ගිල්වා, මිනිත්තුවක් පමණ තියන්න. එතකොට බෝතලේ වාතය අයින් වෙනවා. වතුරේ තියෙද්දීම මූඩිය තද කරන්න. නිකම්ම මූඩිය සීල් වෙනවා. ( මේ කොටස කරන්න ෂුවර් නැත්නම් නොකළත් කමක් නැහැ. ෆ්‍රිජ් එකේ තියා කල් තියාගන්න පුළුවන්).


තක්කාලි සෝස් 
ලොකු තක්කාලි ගෙඩි 10
දෙහි යුෂ කෝප්ප 1/4 හෝ විනාකිරි මේස හැඳි 2
ලුණු තේ හැඳි 2
වියලි මිරිස් කුඩා කෑලි මේස හැඳි 1
සුදුළුණු ලොකු ගෙඩියක් කුඩාවට කපා 
(කැමතිනම් ලූනු  මේස හැන්දක් කුඩාවට කපා)
කරාබුනැටි තේ හැඳි 1/2
කුඩු කරගත් කරපිංචා කොළ 3
පොල්තෙල්/ ඔලිව් තෙල් මේස හැඳි 2 

කලින් කියා ඇති ලෙස පොත්ත ඉවත් කරගත් තක්කාලි හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න. භාජනයකට තෙල් දාල සුදුළුනු හා ලූනු එකතු කරන්න. ඒවා රන්වන් පාට වනවිට කෑලි මිරිස් දමා ටිකකින් දෙහි යුෂ හැර අනිත්වා එකතු කරන්න. 
එකවර උෂ්ණත්වය වැඩි කර, විනාඩියක් පමණ නටන්නට හැර, උෂ්ණත්වය අඩු කරන්න. 

අඩු ගින්දරේ පැයක් පමණ හිඳෙන්න අරින්න. ඒ අතර ලොකු කැලි වගේ තියනවනම් ලි හැන්දක පිට පැත්තෙන්  පොඩි කරන්න. වරින් වර හැන්දෙන් කලවම් කරන්න. තරමක් දියර ගතියකින් තිබෙද්දීම දෙහි යුෂ හෝ විනාකිරි මිශ්‍ර කර, කැමති ඝනකම් ගතියට එද්දී ලිපෙන් ඉවත්කර, බෝතල්වල අහුරන්න. 


සැ. යු. සෝස්, ජෑම් තරම් කල් තබාගන්න බැරිය. ෆ්‍රිජ් එකේ දැම්ම වුනත් ඉක්මනින් පුස් වගේ වෙන්න බලනවා. ඒ නිසා ඉක්මනින් අහර රස ගන්වන්න ගන්න. 
මේ ප්‍රමාණ මේ විදියටම අරන් අත හුරු වුණාම තමන්ට ඕන විදියට රස අනුව ජෑම් වලටනම් සීනි , සෝස් වලටනම් මිරිස් වෙනස් කරගන්න. 


මේ රසුදැල්  හඬවන්න උදව්:
පාඨලී දුව 
ස්වාමි පුරුෂයා 
රස ගුණ කියූ පුතා හා යාළුවෝ 
අන්තර්ජාලයේ recipes 

9 comments:

  1. තක්කාලි සෝස් නම් කවුරුත් දන්නා නමුත් ජෑම් නම් මේ ඇහුවමයි. හදලා බලලාම රස ගුණ කියන්නම්. බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. ගොඩක් වටින පාඩමක් .ස්තූතියි බුද්ධිනී මිස්

    ReplyDelete
    Replies
    1. පාඩම කෑමක් කරල රස විඳින්න

      Delete
  3. රසුදැල්.....මේ සෝස් රෙසිපි එකට හීනියට සීනි පොඩ්ඩක් දැම්මොත් නරකද...මොකද ලංකාවේ අපි නියම සෝස් එකයි, ketchup එකයි ටිකක් පටලවගෙන තියෙන්නේ. විශේෂයෙන් තක්කලි සම්බන්දව. මේ රෙසිපි එක ගොඩාක් දුරට tomato Concasse එකට ලඟින් යන්නේ. මගේ අදහසක් පමනයි. සීරියස් ගන්න එපා.

    ජෑම් හදලා නැහැ. නමුත් අපේ ගෙවල් ගාව සුදු ආච්චි කෙනෙක් හදනවා එක එක චැරිටි ඉවෙන්ට්ස් වලට. අපි පොඩි ඕගනික් ඉවෙන්ට් එකකට මෙයාව ඉන්ට්‍රඩියුස් කරා. මෙයාගේ චිලි ජෑම් එක ටිකක් නැගලා ගියා. ඒත් මම නම් එච්චර ආස වුනේ නැහැ. අපේ දුවගේ යාලුවෙක් (සුද්දෙක් ) එක එක මිරිස් ජාති වලින් එක එක ප්‍රොඩක්ට්ස් හදනවා ආසාවට. සමහර දේවල් මරු.

    දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි අරුණ. සමහර සෝස්රෙසිපිවල සීනි තිබුණා. රෙසිපි කීපයක් අත් හදාබලල මට හිතට ගිය විදිය මේ.මම හොඳ චෙෆ් කෙනෙක්නම් නෙමේ.:( චිලි ජෑම් අදහසට ස්තූතියි. මම මිරිස් වර්ගත් වවනවා. ඒකත් බලමු.

      Delete
  4. මමත් හැදුවා හරිම රසයි...

    ReplyDelete
  5. අපිත් ජෑම් සහ සෝස් හැදුවා....

    ReplyDelete