Saturday 19 January 2019

40 වසරක් සේයාරූ 40ක් ගත් Brown Sisters

මේ දවස්වල මුහුණු පොතේ ජයටම අවුරුදු දහයකට පෙර පින්තුරයක් හා අද පින්තුරයක් පළකරන චැලේන්ජ් එකක් යනවා. ෆේස්බුක් මගින් එය කිසිදු විශේෂ හේතුවක් නැතිව ආරම්භ කළත්, පලකරන මුහුණු  ජංගම දුරකථන හා සමාජ ජාලා සමාගම් මුහුණු පරික්ෂා ආරක්ෂණ ක්‍රමවේදය වැඩි දියුණු කරන්න දත්ත ලෙස යොදාගන්නවා කියලත් තිබුණා. කාලය සමග සිදුවන මුහුණේ වෙනස්වීම මෙමගින් නිරීක්ෂණය කර දත්ත ලබා ගැනීමක් කරන බවයි කියවෙන්නේ.
මේ බව කියවද්දී මට අපුරු සිදුවීමක් මතක් වුනා. ඒ අවුරුදු 40ක් නොකඩවා එකම ලෙසට සිට පින්තුර ගත් සොයුරියන් හතර දෙනෙක් ගැනයි.

මෙය ආරම්භ වෙන්නේ 1975දී ඇමරිකා එක්සත් ජනපදයේ මැස්චුසෙට් ජනපදයේ නිකොලාස් නික්සන් ඡායාරුප ශිල්පියා තම බිරිඳගේ නිවසට ගිය අවස්ථාවක විශේෂ හේතුවකින් තොරව "සහෝදරියෝ හතර දෙනාගේ පින්තුරයක් ගනිමුද"  ඇසීමෙන්. ප්‍රතිඵලය වුණේ ගස් හා තණ පිටියක් පසුබිම්ව ගිම්හාන කාලයට සුදුසු ඇඳුමින් සැරසුණු බ්‍රවුන් සොයුරියන්ගේ සරල ඡායාරුපයක්.
1975. Connecticut
ඊළඟ වසරේ එක සොයුරියකගේ උපාධි උත්සවයකට ඡායාරූපයක් ගන්න නික්සන්ට ඇරයුම් ලැබුණා. පින්තුරය ගන්න  සුදානම් වෙන ගමන් නික්සන් ගිය වසරේ පිළිවෙලටම හිටගෙන පින්තුරය ගනිමුද අසා තිබෙනවා. ඔවුන්ගෙන් විරෝධතාවක් ඇවිත් නැහැ.
1976 , Hartford 
ඒ ඡායාරූපය මුද්‍රණයෙන් පැමිණි පසු සැම වසරකම මෙලෙස සේයාරුවක්  ගැනීමට ඔහුට අදහසක් ඇතිවී තිබෙනවා. බිරිඳ ඇතුළු සොයුරියන්ද ඊට කැමතිවී තිබෙනවා.
ඉන්පසු වසර 40ක් පුරා නොකඩවා සෑම වසරකම එකම පිළිවෙලට සිටින සොයුරියන්ගේ සේයාරූ ගැනීම සිදුවුනා. ස්වභාවික ආලෝකයෙන්, විශේෂ සුදානමක් හෝ ඉරියව්වක් නැතිව, casual ලෙස ගත් ඒ සෑම කළු සුදු ඡායාරූපයකම  පාහේ සොයුරියන් කැමරාව දෙස බලා සිටින අතර, සිනාවෙන් තොරව සිටින්නේ. නික්සන් වසරකට මුද්‍රණය කළේ ඔව්න්ගේ එක සේයාරුවක් පමණයි. වමේ සිට පිලිවෙලින් ඒ අය Heather, Mimi, Bebe  හා Laurie. මුල් පින්තුරය ගනිද්දී ඔවුන්ගේ වයස පිලිවෙලින් 23, 15, 25 හා 21ක් විය. නික්සන්ගේ බිරිඳ වැඩිමහල් Bebe ය.

1985, Massachusetts 
"අපි අඳින්න ඕන ඇඳුම කතා කරගත්තේ නැහැ. එදාට හිතෙන එකක් ඇඳගෙන පින්තුරේට පෙනී හිටියේ" බීබි කියයි. එසේම කාලයක් ගතවන විට රැකියා හා වෙනත් හේතු නිසා ඔවුනට ලොව පුරා යාමට සිදුවුවත්, වාර්ෂික ඡායාරූපය ගැනීමට සියලු දෙන වසරකට වරක් හමුවුණා.

Massachusetts College of Arts and Design හි ඡායාරූපකරණය පිලිබඳ ආචාර්යවරයෙක් වූ නික්සන් විසින් තම වෘත්තීය ජීවිතය පුරාම වාර්ෂිකව ගත් මෙම ඡායාරූප ව්‍යාපෘතිය, 2011 දී The Brown Sisters නමින් ලොව පුරා කලාගාර වල ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළා. එම සේයාරූ වලට වෙනම නම් නොතිබූ අතර රැගත් වර්ෂයත් ස්ථානයත් පමණක් සඳහන්. දැන් මේ ඡායාරුප මැසචුසෙට්හි Museum of Modern Art හි ප්‍රදර්ශනය වෙන අතර, 40 වසර සපිරුණු 2014දී පොතක් ලෙසත් එළිදැක්වූවා.
මෙම රූ පෙළ ඡායාරුප ක්ෂේත්‍රයට ඉතා වැදගත් සේම අනෙක් ක්ෂේත්‍රවලත් නොමද අවධානයට යොමුවෙලා තියෙනව.

මේ පින්තුර පෙළ බලාගන්න කැමති අයට මෙතනින් ක්ලික් කර ඒවා සියල්ල වෙනම බලාගන්න පුළුවන්.
තොරතුරු වැඩි ගණනක් තියන මෙතන ක්ලික් කර එන ලිපියට ගියොත්  පින්තුර සියල්ල එකවර බලාගන්නත්, එක සේයාරුවකට ක්ලික් කර එය විශාල වූ පසු, පැත්තෙන් එන  > ලකුණ උපයෝගී කරගෙන ඊළඟ ඡායාරූපවලට  යමින් පිලිවෙලින් බලාගන්නත් හැකියාව තියනව.
කැමතිනම් මෙම වීඩියෝ එකෙනුත් විනාඩි තුනකදී ඡායාරුප 40 සහ ඊළඟ ඡායාරුප තුනත් බලාගන්න පුළුවනි.

 කාලීන වෙනස්කම් මෙන්ම සමාජීය සාධක පවා අධ්‍යයනයට මේ සේයා රු උදහරණ  කරගත හැකිබව මේ ගැන තියන විවිධ විචාරවලින් පෙනී යන්නේ. මේ රූප පෙළින් ඕනෑම කෙනෙක්ට කාලය අපගේ ජිවිතවලට හා සම්බන්ධතාවලට කෙතරම් බලපෑමක් කරයිද යන්න දැකිය හැකිවා මෙන්ම ජීවිතය පිලිබඳ විවිධ අංශවලින් දකින්නත් වේදිකාවක් සපයනවා.
පරම්පරාවක්  පුරා වෙනස් වූ ඇඳුම් මෝස්‌තර, කොණ්ඩා මෝස්‌තර ආදියත්, වයස්ගතවීම නිසා සිරුරේ සිදුවන වෙනස්කම් ආදියත්  කදිමට පිළිබිඹු වෙන මෙම ඡායාරූප පෙළ, සොයුරු පෙම පිලිබඳ සමීප දැක්මකට  උපයෝගී කරගන්න පුළුවන්.

1995, Marblehead, Massachusetts 
සොයුරියන් ගේ සමානකම් මෙන්ම විවිධතා ද පැහැදිලි මෙම රූ වලින් කාලයත් සමග මුහුණුවල සිදුවන වෙනස්කම් සමීපව දැකගත හැකියි. මුහුණේ රැලි මතුවීම, ඇස් වටා හා නළලේ රැලි, සිරුරේ නහර පෑදීම, සමේ වියලි ගතිය හා  පැල්ලම් ඇතිවීම වසරින් වසරට වෙනස්වන ආකාරය කිසිවෙක්ට ප්‍රතික්ෂේප කළ  නොහැකි සත්‍යයයි.  වියපත් වීම යනු මෙයයි.

කාලය විසින් මුව මත අතුරන වෙනස කෙතෙක් වුවත් එකිනෙකා කෙරෙහි ඇති ආදරය නොවෙනස් වනු පමණක් නොව වයසට යනවිට එකිනෙකාට වඩා සමීප ගතියක් දනවන බවටත් මෙම රූ සාක්ෂියි. මුල් ඡායාරූපවල ඉරියව්වලින් දුරස්ථ බවකින්, ස්වාධීනව මෙන් සිටින සොයුරියෝ, වයසට යත්ම එකිනෙකාට වඩා ආසන්න ලෙස සම්බන්ධ බව අත්වලින් හා සිරුරෙන් බැඳී සිටින ස්වභාවයෙන් පෙන්නුම් කරනවා. එනම්, මෝස්‌තර, ජිවන ක්‍රමය, ආශාවන් ආදිය කාලයත් සමග වෙනස් වුවත්, පවුලේ බැඳීම් වඩා ශක්තිමත්ව වර්ධනය වන බවයි.
2005, Cataumet Massachusetts  
සැම වසරකම වඩා සුදුසු ඡායාරුපය තේරීම සිදුකරනවිට මුලදී සොයුරියන්ගේ කැමැත්ත වෙනස් වුවත් කල් ගත වෙත්ම එහි ඒකමතික බවක් තිබුණු බව නික්සන් කියනවා. ඔහුගේ කැමැත්ත වෙනත් ඡායාරූපයකට වුවත් සොයුරියන්ගේ අදහසට හිස නැමීමට සිදුවූ බව ඔහු පවසන්නේ ඔවුනගේ එක්සත් බවට ගරු කරමින්.

අනෙක් විශේෂිතම දෙය මේ සොයුරියන් අපට ඔවුන්ව නිරීක්ෂණයට ඉඩ සැලසුවත්, අවධානය ගෙන ජනප්‍රිය වීමේ ස්වභාවයක් නොමැති බවයි. ඔවුන්ගේ පුද්ගලිකත්වය පිළිබඳවද ශිල්පියා බෙහෙවින් සැලකිලිමත්ව තියෙනව.
අවසන් ඡායාරූපය කරා යනවිට මහත් සංවේගයක් ඉපදුනත්, "අපි කවුරුත් සදහටම මේවයේ ඉන්නේ නැහැ" නික්සන් පිළිගනියි.  ස්පාඥ්ඥයේ මුල් ඡායාරූප 36 ප්‍රදර්ශනය කළ අවස්ථාවේ නරඹන්නන් සංවේදීව හැඬු බව සඳහන්.

අද කොයි අත බැලුවත් සමාජ ජාලවල, කලා නිර්මාණවල, දැන්වීම්වල, පුවත්පත්වල, චිත්‍රවල කාන්තාවන්ගේ සේයාරූ අධික ප්‍රමානයක් දක්නට තිබුණත්,  කාන්තාවක වයස්ගත වන  ආකාරය නිරූපණය ඉතා විරලයි. එපමණක් නොවේ, සදාකාලික යෞවනයේ රැඳී සිටින්නට විවිධ කෘතීම උපක්‍රම යොදාගැනීම සහ ඊට පෙළඹවීමයි  පෙනෙන්නට තියෙන්නේ. එවන් යුගයක ජිවිතයේ  සැබෑ වෙනස්වීම පිලිබඳ පිලිබඳ සත්‍යය නිරාවරණය කරන මෙම රූ පෙළ වඩාත් වටිනාකමකින් ඔපවත්ව බැබලෙන බවයි හිතෙන්නේ.
2014 Wellfleet, Massachusetts 
උදව්:
www.wired.com/story/facebook-10-year-meme-challenge/
www.nytimes.com/interactive/2014/10/03/magazine/01-brown-sisters-forty-years.html
www.newyorker.com/culture/photo-booth/looking-at-nicholas-nixons-forty-third-portrait-of-the-brown-sisters
spotlightstories.co/sisters-photo-every-year-40-years/
www.inspiremore.com/4-sisters-retake-family-photograph-for-40-years/

3 comments:

  1. බුකියේ නම් නොයන දෙයක් නෑනේ.... මේක නම් ස්වභාවිකයි. කාළය මොනතරම් වෙනසක් කරනවද කියන එකයි වටින්නේ. 10 කලින් මම තරුණයි අදත් එහෙමයි කියන එකෙන් වැඩක් නෑ. අද සමාජේ ගොඩක් අය තමන් කළුයි තමන් වයසයි කියලා පෙන්නන්න අකමැතයී. එවන් අයට මේක හොඳ උදාහරණයක්.

    ReplyDelete