Sunday 5 March 2017

භීතිකා (ෆෝබියා) සහ බය යනු එකක්ද? Phobia

යමකට බියවීම අපි උපතින්ම ගෙනෙන දෙයකි. අපට අනාරක්ෂිත ලෙස හැඟෙන අවස්ථාවල බියවීමට ඉබේම උගනි. බිය යනු ඇත්තෙන්ම අපව අනතුරුවලින් ආරක්ෂා කරගැනීමට ඇති ස්වභාවික ප්‍රතික්‍රියාවකි. උදා. කළුවරට බිය වීම නිසා රාත්‍රියේ එළිමහනේ හැසිරෙන සතුන්ගෙන් ආරක්ෂා වේ. අප ක්‍රමයෙන් වැඩෙන විට ස්වභාවික තත්ත්ව වටහා ගත් පසු  අප බිය දක්වන දේ ක්‍රමයෙන් වෙනස් වේ.
නමුත්, සමහර අයට මේ බිය අනවශ්‍ය ලෙස පවතීනම් එය භිතිකා (phobia) තත්වයක් ලෙස ගැනේ. ඒ කියන්නේ හේතුවක් නොමැතිව දෙයකට, තැනකට, සිදුවීමකට දක්වන සාතිශය බිය, භීතිකා ලෙස ගැනේ. අපව ආරක්ෂා කරන බිය වෙනුවට මෙතන ඇත්තේ සාමාන්‍ය ජිවිතයට බාධා කරන තරමේ බලවත් අසාමාන්‍ය තත්වයකි.
භිතිකාවල ලක්ෂණ:
1. බොහෝ දෙනෙක්ට ගණන් ගත යුතු නැති තරම් සරල සිදුවීම් හෝ දේවල් කෙරේ දක්වන අධිකතර බිය හා කනස්සල්ල.
2. තදබල ශාරීරික ප්‍රතික්‍රියා සමග ඇතිවන කාංසාව, දහදිය දැමීම, වෙව්ලීම,හද ගැස්ම වේගවත් වීම වැනි ලක්ෂණ
3. එම සිදුවීමෙන් මගහැර යාමට දැඩි ලෙස පෙළඹීම
උදා. මකුළුවන් කෙරේ භිතිකා තත්ත්ව ඇති අය නිවසේ දැල් බඳින ඉතා කුඩා මකුළුවෙක් දුටු පමණින් ඉහත ලක්ෂණ දක්වා කෑ ගසමින් ඉවතට දුවයි.

ජනගහනයෙන් 5%කට පමණ භිතිකාමය තත්ත්ව පවතී.

මෙයින් ලොව වැඩිපුරම දක්නට ඇත්තේ සමාජ භිතිකා (social phobia) ය. එනම්, අන් පුද්ගලයින් සමග කතා කිරීමට හෝ අන්තර් ක්‍රියා කිරීමට ඇති බය. මෙය ගුරුවරයෙක් සමග කතා කිරීමට, පන්තිය ඉදිරියට ඒමට තදබල ලෙස අකමැතිවීම දක්වා වර්ධනය විය හැකිය.
Agoraphobia :එළිමහන්, සෙනග ගැවසෙන, පොදු ස්ථානවලට යාමට ඇති බිය. මෙය උග්‍ර වූ විට නිවසෙන් එලියට යාමටත් අකමැති වේ.
Apiphobia : මි මැස්සන්ට ඇති අධි බිය
Arachnophobia : මකුළුවන්ට ඇති අධිබිය
Acrophobia : උස තැන්වලට දක්වන අධි බිය
Aviophobia : ගුවන් ගමන් වලට ඇති අධි බිය
Cynophobia : බල්ලන්ට ඇති අධිබිය
Dendrophobia :විශාල ගස් හා වනාන්තරවලට ඇති අධි බිය
Katsaridaphobia : කැරපොත්තන්ට ඇති අධිබිය
Ophidophobia : නයින්ට ඇති අධි බිය

මෙවැනි තවත් බොහෝ ඒවා ඔබ දන්නවත්, අත්දැකත් ඇති.
සමහර භිතිකා කුඩා කලදී වැඩිවී, වැඩිහිටි වීමත් සමග නැතිවී යයි. ඒත් ඒවා එන්න එන්නම අන් අයටත්, පුද්ගලයාගේ ජීවිතයටත් කරදරයක් වන තරමට ආ විට ප්‍රතිකාර ගත යුතුයි.

මෙවැනි තත්වයක් ඔබට හෝ පව්ලේ කෙනෙක්ට ඇත්නම් ලජ්ජා විය යුතු නැහැ. ප්‍රකට පුද්ගලයන්ට පවා තිබෙන දෙයක් නිසා.
තෝමස් අල්වා එඩිසන් : කළුවරට අධි බිය Nyctophobia
මැඩෝනා : අකුණු වලට අධිබිය Brontophobia
ඔපෙරා වින්ෆ්රි : චුවින්ගම්වලට අධි බිය Chiclephobia

මේ භිතිකා මග හැරවීමට කරන එක සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ ක්‍රමයෙන් එයට නිරාවරණය වන්නට හැරීමයි.
නයින්ට බිය ඇති අයෙක්ට මුලින් නාගයින් ගැන ලියවුනු පොත් කියවන්නට දීමෙන් ඇරඹිය හැකිය. ඊළඟට පින්තුර, ෆොටෝ බලන්නට දීම, සත්ව උද්‍යානයකට ගොස් නයින් නැරඹීමට දීම ආදී ලෙස ක්‍රමයෙන් අසීරුතාව වැඩිවන ලෙස නිරාවරණයට සැලසු විට ඉන් අහිතකර තත්වයක් නොවන බව උගනී. එම පුද්ගලයා කැමතිනම් අත්වැසුම් යුගලයක් දමා නයෙක් ඇල්ලීම හා සත්‍ය ලෙස නයෙක් අතින් ඇල්ලීම දක්වා ප්‍රතිකාර දීර්ඝ කල හැකිය.
ප්‍රතිකාරයෙන් භීතිකාව නැතිවීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
බොහෝ දෙනෙක්ට භිතිකා වලින් තොරව සාමාන්‍ය ජිවිතයක් ගත කිරීමට හැකි තත්වයක් උදා කරගත හැකියි.

උදව්:
phobialist.com
www.mentalhealth.org
Fear and Anxiety : P.J. Lang, M.Davis

12 comments:

  1. බලන් යනකොට ප්‍රකට පුද්ගලයන්ටත් තියෙනවානේ, බිය. වටිනා ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ හින්ද අපිට තිබුනට කමක් නැහැ නේ..

      Delete
  2. රසු අර නයාගේ ප්‍රතිකාරේනම් ටිකක් භායානකයි
    හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. එහෙම එකපාර කරන එකක් නෙමේනෙ රස්ති... නයි අල්ලන්න යන්නේ පුරුදු කෙනෙක් එක්ක...

      Delete
  3. මාත් පණ බයයි කැරපොත්තට ;)

    ReplyDelete
    Replies
    1. Katsaridaphobia ගොඩක් දෙනෙක්ට තියනවා..

      Delete
  4. බොහොම වටිනා ලිපියක් රසුදැල් මා ෆලෝ කරන එකක් වුනත් ඒ ඔබ බව සිහිවුනේ දැන්

    ReplyDelete
  5. මටත් තියෙන්නේ හර්ෂගේ කතාවේ කොස්තාපල්වරියට තියෙන ෆොබියාවම තමයි..

    ඒ කාලේ අපේ වත්තේ ගැරඬි හරියට පුංචි පහේ එවුන් නෙමෙයි පත වුන්.. හප්පේ දැනුත් මගේ කකුල් දෙක පණ නැහැ

    ගිය සිංහල අවුරුද්දට ලංකාවේ ගිය වෙලාවේ මං ලිඳේ වතුර බලන්න ලිඳට එබුනා පත ගැරඬියෙක් ළිං ගැට්ටේ තව ඩින්ගෙන් අතේ ගෑවෙනවා

    කියපු හුවට වටපිට ගෙවල් කිපෙකම මිනිස්සු දුවන් ආවා 😂😂😂😂

    කොහොමින් හරි ඒ වෙලාවේ තව දෙයක් මතක් වුනා මේ රටවල මැරිලා දින ගණන් කවුරුත් නොදැන මිනි කුණුවෙන අවස්ථා හරි සුලබයි

    කිසිකෙනෙක් තමන්ගේ අල්ලපු ගෙදර කෙනෙක් ගැන බලන්නේ නැහැ. නමුත් අපේ රටේ කරදරයක් වුනාම පිහිටට අසල්වැසියෝ දුවගෙන එනවා


    ReplyDelete
  6. සිරාවටම මාත් උස තැන් වලට මාරම බයයි.. 😐

    ReplyDelete
  7. ශබ්ධ වලට තියන බයට මොකද කරන්නෙ

    ReplyDelete
    Replies
    1. ශබ්දවලට තියන බයට කියන්නේ misophonia කියල. ඒ සඳහා තෙරපි තියනව. හිත සැනසෙන ස්වභාවික ශබ්ද වාදනය වෙන හෙඩ්ෆෝන් භාවිතයෙන් පිටතින් එන ශබ්ද වැලැක්වීම/ අඩු කිරීම එක ක්‍රමයක්. වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීමයි හොඳම.

      Delete