Saturday 28 January 2017

චීන නව වසර

ගුගලේ ඇරපු ගමන් කුකුලෙක් එක්ක මෝස්තරයක් දැක්කම බලද්දී අද චීන නව වසර ලබනවා. ටිකක් හොයල ඒ ගැන ලියන්න හිතුවා.
මෙය චීන ජාතිකයන්ගේ වසන්ත උළෙල ආරම්භවන දිනයයි. ඔවුන්ගේ චන්ද්‍ර සුර්ය දින දර්ශනවලට අනුව අලුත් වසරක් ඇරඹෙන දිනයයි. මේ ආරම්භක දිනය වසරින් වසරට වෙනස් වෙනවා. ඒකට හේතු තිබෙනවා. 
චීන චන්ද්‍ර දින දර්ශනය දින 29 හෝ 30කින් යුතු මාස 12ක් හෝ 13ක් විය හැකියි. වසරකට තිබෙන පෝය ගණන අනුවයි මෙය වෙනස් වෙන්නේ. පෝය 13ක් තිබෙන වර්ෂවල මාස 13ක් ඇති අධික අවුරුද්දක් ලෙසයි ගැනෙන්නේ. 
සුර්යයාත්, චන්ද්‍රයාත් දෙකම සලකා කරන සංකීර්ණ ගණනය කිරීමකින් තමයි ඉස්සර මේ දිනය තීරණය කර තිබෙන්නේ. දැන් නව සුර්ය වසරේ ප්‍රථම නව සඳ දකින්නට ලැබෙන දිනයයි අලුත් අවුරුදු උදාව ලෙස සලකන්නේ. ඊට එක දිනකට පෙර ආරම්භවන උත්සව දින 15කින් පුරහඳ ඇතිවන දිනය දක්වා පැවැත්වෙනවා.

චීන මිනිසුන් දින 365 සුර්ය දින දර්ශනය ක්‍රි. පූ. 2357 සිට භාවිතා කල බව කියවෙනවා. චන්ද්‍ර වර්ෂ ක්‍රමය වසර 4500ක් මුළුල්ලේ භාවිතා කරනවා. 
සුර්ය වර්ෂය වසන්ත, ග්‍රීෂ්ම, සරත්, සිසිර ලෙස ඍතු අනුව කොටස් හතරකට බෙදා ඇති අතර, ඒ එක කොටසක් නැවත හයකට බෙදීමෙන් සම්පුර්ණ කොටස් 24ක් ඇති එකක්. එම දින දර්ශනය අනුව සිසිරය සඳහා සුර්යයා මුදුන් වන්නේ නොවැම්බර් මාසයේ දිනකයි. එදින සිට චන්ද්‍ර මාස දෙකකින් එළඹෙන නව සඳ නව වසර ආරම්භය ලෙසයි පෙර ගණනය කර තිබෙන්නේ. ඒ අනුවයි නව වසර ජනවාරි අගට හෝ පෙබරවාරි මුලට යෙදෙන්නේ.මෙය සමහර විට නව දින දර්ශන සඳහා ගැලපීමේ ඇතිවූ වෙනස්කමක් විය හැකියි. 


සෑම වසරක්ම යම් සතෙක්ට අයිති වසරක් ලෙස සැලකෙනවා. මෙලෙස හැම වසරක්ම අදාල සතුන් 12න්  එකකට අයත් වෙනවා. මේ අනුව 2017 වඳුරාගේ වසර පසුකොට කුකුලා ගේ වසරටයි පිළිපන්නේ.









ඉතා පැරණි, දිව්‍යමය කඳන් 10කුත්, භෞමික ශාකා 12කුත්, රුප හා සංකේතත් අඩංගු දින දර්ශන ක්‍රමය අනුව වර්ෂවලට පමණක් නොව මාස හා දවස්වලටත් අධිපති සතුන් හා සංඛේත තිබෙනවා.

එක් එක් පුද්ගලයා ඉපදුනු වර්ෂය අනුව ඔවුන්ගේ ගතිගුණ කියවෙන ජ්‍යෝතිෂ ක්‍රමයකුත් තියනව.  තමන් උපන් වසරට අයත් වසරක් නැවත එළඹෙන විට (වසර 12කින් එනවනේ.) ඒ වසර ඒ අයට අසුබ ලෙස සැලකෙනවා. අසුබ මග හැරිම උදෙසා කරන්නේ රතු පාටින් ඒ වසරට අයත් සත්ව රුපය සටහන් යට ඇඳුම් ඇඳීමයි. ඉතින් මේ දවස්වල චීන මිනිසුන් ගැවසෙන කඩ සාප්පුවල කුකුල් රූප ඇති රතු යට ඇඳුම් දැක්කොත් පුදුම වෙන්න එපා.

අපේ අලුත් අවුරුද්ද වගේම මෙය සම්ප්‍රදායික දේ බොහොමයක් ඇතුලත් උත්සවයක්. වසරක් වෙහෙසී වැඩකළ අය ගිමන් නිවීමක් ලෙසත්, පවුල්වල අය එකතුවී සතුටුවන දින ලෙසටත්, නව වසර යහපත් හා සුබ වීමට ප්‍රර්ථනා කිරිමටත් මේ දින යොදා ගන්නේ.
මේ සඳහා ඔවුන්ගේ වාසනාවන්ත වර්ණය වන රතු හැකිතාක් යොදාගැනීමට වගබලා ගන්නවා. නිවෙස්, ගොඩනැගිලි, පාරවල් රතු වර්ණ සැරසිලිවලින් පිරෙනවා.
හැකිතාක් පන්සල්වලට ගොස් නව වසර සුබ සිද්ධි  සලසන ලෙස ප්‍රර්ථනා කරනවා.

 නව වසර ලැබූ පසු එළඹෙන මුල් දින 15ට ඔවුන්ගේ විශේෂිත සම්ප්‍රදායික දේ තියෙනවා. ඊට පෙර දින රාත්‍රී නොනිදා සිට අලුත් අවුරුද්ද රතිඥ්ඥා දල්වමින් පිලිගන්නවා.
නව වසර ලබන දින බෙහෙත් පිළියෙළ කිරීම, හිස සේදීම, ඇඳුම් සේදීම, අයහපත් ලෙස සලකන්නේ. ඒ විතරක්ද ගෙවල් අතුගාන්නෙත් නැහැ වාසනාව අතු ගැවෙනවා කියා. එදිනට පිහි, කතුරු වැනි තියුණු ආයුධ භාවිතා කරන්නෙත් නැහැ. කාන්තාවන් ගෙයින් පිටතට යාම හෝ ඉරුණු ඇඳුම් ඇඳීමත් අසුබ ලෙසයි හිතන්නේ.

අවුරුදු ලබා සත්වෙනි දවස Yan Yat සියලු දෙනාගේම උපන්දිනය ලෙසයි සම්ප්‍රදායිකව සලකන්නේ. ඒ කියන්නේ එදාට පුද්ගලික උපන්දිනය තැකීමකින් තොරව හැමදෙනාගේම ජිවිතයේ ඊළඟ වසර ලබනවා. එදාට වර්ණ හතකින්  අමු මාළු හෝ yee sang සලාද පිළියෙළ කර කෑමට එක් කරගන්නවා.

අනිත් දින බොහෝවිට යෙදවෙන්නේ පන්සල් යාමටත්, නෑදෑ හිත මිතුරන් බැහැ දකින්න යාමටත්.
නව වසර ඇරඹි 15 වන දින පෙරහැර පැවැත්වීමත්, ආලෝකමත් ලන්තෑරුම් ප්‍රදර්ශනයත් සිදු කරනවා. දස දහස් ගණනින් ආලෝකමත් පහන් දල්වා උත්සව පවත්වන මේ දිනයෙන් නව වසර සැමරීම අවසන් වෙනවා.
















උදව්:
http://www.chinahighlights.com
factsanddetails.com/china
telegraph.co.uk/news
visitourchina.com/blog

8 comments:

  1. ලෝකේ කොයි සංස්කෘතියේත් බලන් යනකොට එක සමාන චාරිත්‍ර මොනතරම්ද? සඳේ ඉරේ වෙනස්කම්, නෑගම් යාම වගේ දේවල්..මෙහෙත් චීන නගරය අද සරසල තියෙන්නේ රතුපාට වෙසක් කූඩු එල්ලලා ..

    ඒ කියන්නේ මේ අවුරුද්ද චිනේ ඉන්න කුකුලන්ට සුබ පල දායකයි කියන එකද?

    ReplyDelete
    Replies
    1. අපේ අවුරුද්ද වගේ වසන්ත සැණකෙළිය තමයි.

      Delete
  2. ලස්සන ලිපිය අර කථාවක් තියෙනවනේ හරකෙක් වෙනවා නම් ඉංදියාවේ කුකුළෙක් වෙනව නම් චීනේ කියලා.... අනේ වාසනාවන් ...

    ReplyDelete
    Replies
    1. හැමදේම කන චීන්නු කුකුල්ලු නොකැවොත් පුදුමයි

      Delete
  3. යී සැන්ග් එකක් හදාගෙන කන්න හිතුනා. මේ චීන චාරිත්‍ර වගේම චීන කෑමත් හරිම රසයිනේ. අපේ ගමෙත් හොඳ චීන අවන්හලක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ලේසි වගේ නේද? පාට හතකින් එළවලු තෝරාගන්න එකනේ

      Delete
  4. ඒ අයගෙ උත්සව ලස්සනට සමරනවා අපේ ඇයි ඒ විදියට සැරසිලි කරන්න බැරි 🤔🤔🤔🤔🤔??

    ReplyDelete
    Replies
    1. අපිත් සරසන්නේ වෙසක්වලට.

      Delete