Monday 23 January 2017

ගෝත්‍රිකයන් නූගත්, නොදියුණු කොට්ඨාශයක්ද? :ඇමරිකාවේ ආදි වාසීන් 5

මායා, ඇස්ටෙක් හා ඉන්කා ශිෂ්ඨාචාර,  වසර දහස් ගණනක් ක්‍රමයෙන් ඇමරිකා මහාද්වීපයේ දකුණු දෙසට සංක්‍රමණය වෙමින් ගිය ආදි වාසි සමූහ අතුරෙන් කැපී පෙනෙන දියුණුවක් තිබුණු ඒවා. නිරක්ෂය අවට පදිංචි වූ අය, අනෙක් ගෝත්‍රිකයන්ට සාපේක්ෂව වේගවත් දියුණුවක් හා සාර්ථකත්වයක් ලැබූ  පෙනී යනවා. 

ඇස්ටෙක් Aztec: දැන් එක්සත් ජනපදයට පහලින් මෙක්සිකෝව පවතින ප්‍රදේශයේ Mexica නමින් මේ ගෝත්‍රික අධිරාජ්‍ය පැතිර තිබුනේ. (ඇස්ටෙක් නම දැම්මේ යුරෝපින්). මෙම අධිපතිවාදී (hejamonic) රාජ්‍යය ත්‍රිත්ව සන්ධානයක් ලෙසයි පැවතී ඇත්තේ. Tenochtrtlan, Texcoco, Tlacopan නමින් වෙනම පළාත් තුනක ගෝත්‍ර ජීවත්වුණා.මෙයින් Tenochtrtlan දැන් මෙක්සිකෝ නගරයයි.  මේ පළාත් ත්‍රිත්වයට ඔවුන්ගේම වූ නීති තිබුනත්, ඒවා අධිරාජ්‍යයේ ප්‍රධාන නීති අනුගමනය කළා.

මේ එක් කොටසක ගෝත්‍ර 17ක් පමණ ජීවත්වුණා. ඇස්ටෙක් සමාජයේ පරිපාලන ව්‍යුහය පවුල මුලික වූ ඒකකයක්. මෙහි Calpulli කලාපිය මට්ටමේ සංවිධානයයි. ගෝත්‍ර මගින් රජයට ගෙවීම් සිදුකර තිබෙනවා.

විශාල ප්‍රදේශයක පැතිර සිටි මිලියන ගණනක් ජනයා පාලනය කළහැකි සේ සැලසුම් සහගත නගර තිබුණා. මුළු අධිරාජ්‍යය තුලම සැපයුම් හා ගමනාගමනය පවත්වාගෙන යා හැකි මාර්ග පද්ධතියක් තිබුණා. ඉතාම දියුණු, උසස් තත්වයේ මෙම මාර්ග ජාලවල සිදුවූ, ක්‍රමවත් ප්‍රවාහන ක්‍රම ඔස්සේ ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකාර්මික නිෂ්පාදන විධිමත් ලෙස වෙළඳපොළට පැමිණියා. නිසි සේ භාණ්ඩ හුවමාරු වන උසස්තම වෙළඳපොල ක්‍රමයක් ද පැවතී තිබෙනවා.
නගරවල නොකඩවා ජලය සැපයෙන ජල සැපයුම් පද්ධතියක්ද තිබු බව පැහැදිලියි.
ඇස්ටෙක් නටබුන් 
මේවා සැලසුම් කිරීමට උසස්තම ඉංජිනේරු ඥාණයන් ඔවුනට තිබිය යුතුයි.

ඇස්ටෙක් දින දර්ශනයක් 
ඇස්ටෙක්වරු දින විස්සේ මාස 18ක් හා අවාසනාවන්ත යයි සැලකු දින 5ක් ඇතුලත් දින 365 දින දර්ශනයක් භාවිතා කළා. මෙය ඍතු හතරකට බෙදා තිබුණා. කෘෂිකාර්මික කටයුතු සඳහාත්, කාලගුණ අනාවැකි පැවසීම සඳහාත් මේ දින දර්ශනය උපයෝගී කරගත්තා. රාශි 20ක් හා ඉලක්කම් 13ක් අඩංගු සතියකට දින 13ක් අඩංගු දින 260 දින දර්ශනයක්ද භාවිතා කර තිබෙනවා. අවුරුදු 52 කට වරක් මෙම දින දර්ශන සමපාත වෙනවා.

මේ ජනගහනයෙන් වැඩිදෙනෙක් භාවිතා කළේ අදටත් භාවිතාවන Nahauti නම් එකම භාෂාවක්. ඔවුන්ගේම වූ ලේඛන කලාවක්ද තිබුණා. ඔවුහු සංගීතයට ඉතා ප්‍රිය බව කියවෙනවා.
ඇස්ටෙක් නැටුමක් 
ක්‍රමවත් අනිවාර්ය අධ්‍යාපන ක්‍රමයක් තිබු බවත්, එමගින් කලා ශිල්ප හා තාක්ෂණය දියුණු වෙමින් පවත්වා ගන්නට ඇති බවත් පැහැදිලි වෙනවා.
ගෘහ නිර්මාණ ශිල්පය, මැටි භාණ්ඩ නිෂ්පාදනය උසස් මට්ටමක පැවතුණා. ලෝහ බහුල ලෙස තිබු මේ ප්‍රදේශවල ලෝහ උණු කර ලෝහ භාණ්ඩ, කාසි හා ආභරණ නිෂ්පාදනය ද, ඔප ගැන්වූ ලෝහවල විවිධ නිර්මාණ සාර්ථක ලෙස සිදුකළ බවටද  සාක්ෂි තිබෙනවා.
ඉතාම හොඳින් මෙහෙයවූ,  ක්‍රමවත් ලෙස පාලනය වූ ආයුධ සන්නද්ධ යුධ හමුදාවක් තිබූ ඇස්ටෙක් අධිරාජ්‍යය 16වන සියවසේ ස්පාඥ්ඥ ආක්‍රමණවලින් බිඳ වැටෙන්නේ යුධ ශක්තියේ හෝ පණිවිඩ හුවමාරු දුර්වලතාවක් නිසා නොවේ.  යුරෝපින් හිතා මතා බෝ කළ වසුරිය, පැපොල, සරම්ප වැනි රෝගවලට ගොදුරු වී, ජනගහනයෙන් 65% -90% මහා පරිමාණයෙන් මිය යාමෙනි.



ඉන්කා Inca : ක්‍රි. පූ. 10000ත්, 3000ත් අතර දකුණු ඇමරිකාවට සේන්දු වී, අති විශාල අධිරාජ්‍යයක් නිර්මාණය කළ ඉන්කාවරුන් ද  ඇස්ටෙක්වරුන් මෙන්ම විවිධ අංශවලින් උසස් තලයක දිවි ගෙවා ඇත. දැන් පිරු, චිලී, ඉක්වදෝරය, ආර්ජන්ටිනාව තිබෙන දැවැන්ත පෙදෙසක පැවතුනු අධිරාජ්‍යය, රජ කෙනෙක් සමහරවිට රජවරු දෙදෙනෙක් මගින් පාලනය වී ඇත.

Quechua නම් එකම රාජ්‍ය භාෂාවක් කතාකළ ගෝත්‍රිකයන් එකිනෙකා ජීවත්වූ පෙදෙස් හා සම්බන්ධ වූයේ අති උසස් මාර්ග පද්ධතියක් මගිනි. කෘෂි හා සත්ව පාලන සිදුවූ ප්‍රදේශවල නිෂ්පාදන, අධිරාජ්‍යය පුරා සාධාරණ ලෙස බෙදා හැරීමට මෙම විධිමත් මාර්ග උපයෝගී කරගෙන තිබුණා. විශාල පෙදෙසක පැවතී වගාවන්ගේ අස්වනු සුරක්ෂිතව පවත්වා ගැනීම සඳහා විශාල ලෙස ගබඩා පහසුකම් තිබුණා. ඇස්ටෙක් රාජ්‍යයේ මෙන්ම ඉහල මට්ටමේ ජල ප්‍රවාහන පද්ධතියක් තිබු බවට සාක්ෂි තිබෙනවා.
වසරකට වරක් හැම වැඩිහිටියෙක්ම මාර්ග ඉදිකිරීම්, පාලම් තැනීම වැනි ව්‍යාපෘතිවල සේවය කලයුතු වුණා. mita නමින් යුතු රජයට බදු ගෙවීමේ සංකීර්ණ  ක්‍රමයක් පැවතුණා. මුදල් භාවිතයක් නොතිබුණු ඔවුහු බදු ගෙව්වේ වටිනා ලෝහ, රෙදි, ආහාර ආදියෙනි.

රජ පවුලේ අය වටිනා, අලංකාර ඇඳුම් ඇන්දා. රන්, රිදී කැටයම් දැමු ආභරණත්, පාවහනුත් පැලඳුවා. රන්, රිදී බඳුන්වල ආහාර ගත්තා. රජ මාලිගා හොඳම වර්ගයේ රෙදි හා පලස්වලින් අලංකාර කර තිබුණා. රජවරු මළ පසු සිරුරු මමිකරණය කර දේවාලවල තැන්පත් කළා.

ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම අධ්‍යාපනය අනිවාර්යව පැවතුණා.  මෙය පාලකයන්ට එක ආකාරයකටත්, සාමාන්‍ය ජනයාට වෙනස් ආකාරයකටත් ලැබ දී ඇත්තේ. පාලකයන්ගේ පිරිමි දරුවෝ  කස්කෝහි පාසල්වලට ගොස් භාෂාව, ආගම, ඉතිහාසය, ක්‍රීඩා, ගණන් තබන ක්‍රම උගත්තා. ඉන්කා ගණිත ක්‍රම මෙට්‍රික් ක්‍රමයට සමානයි. දක්ෂ ගැහැණු දරුවන් තෝරා ඔවුනට ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්,  රෙදි විවීම, ආගම ඉගැන්වුනා. ඉතාම දක්ෂ කිහිප දෙනෙක් පමණක් තෝරා දර්ශනය, ශිල්ප කලා වැඩිදුර අධ්‍යාපනය දී තිබෙනවා. මේ සියල්ල ක්‍රියාවෙන් හා කටපාඩමින් මිස අකුරු ලිවීමක් තිබුනේ නැහැ.
ප්‍රයෝගික තාරකා විද්‍යාව, කෘෂි හා සත්ව පාලනය, ආහාර සුරක්ෂිතතාව ගැන දැනුමත්, රන්, රිදී, ලෝහ නිර්මාණ කුසලතාත් පරපුරෙන් පරපුරට ගෙනගියා.
ගැහැණු අයට දිග කෙස් තිබු නිසා කොණ්ඩ මෝස්‌තර දමා ඇත. විවීම, රෙදි මැසිම සිදුකර ඇත. කලාත්මක හැකියාවෙන් යුතු වූ ඉන්කාවරුන්ගේ ආගමික ස්ථානවල මෙන්ම, වෙනත් තැන්වල ගල්වල අකුරු හා පින්තුර කෙටිම, වර්ණ ගැන්වීම සිදුකර ඇත.

ලෝහ බහුලව තිබු ප්‍රදේශයක් බැවින් ලෝහ සම්බන්ධ කර්මාන්ත ඉහලම මට්ටමක තිබී ඇත. දැන් තිබෙන යන්ත්‍ර සුත්‍ර හෝ විදුලිය වැනි පහසුකම් නොමැතිව ලබාගන්නා ලෝහ පස්වලින් ලෝහ වෙන් කරගෙන, ආභරණ, පැතලි ලෝහ උපකරණ, කැටයම් භාණ්ඩ ආදිය සැදුවේ කෙසේදැයි තවමත් පැහැදිලි ලෙස අවබෝධ කරගත නොහැකිය.
ඉන්කා ප්‍රධාන නගරය වන Cuzco ආගමික හා පරිපාලන මධ්‍යස්ථානයයි. 150 000ක පමණ ජනගහනයක් විසූ මෙහි රන් හා රිදී පත්‍රවලින් අලංකාර කෙරුණු සුර්ය දේවාල දෙකද, විශාල කඩ සාප්පු, උද්‍යාන, වතුරමල්, ඇළමාර්ගද  මගින් ඉන්කා ගෘහ නිර්මාණ ශිල්පයේ පොහොසත්කම කියා පායි. නගර නිර්මාණයේදී ජ්‍යාමිතික හැඩතල නිවැරදි ලෙස යොදාගත් බව පෙනී යයි.
ගොඩනැගිලි තැනීමට යොදා ඇති ගල් එකිනෙකට සවි කර ඇත්තේ ඒවා සවිකළ පසු ඉඩ නොසිටින පරිදිය.
සිදුරු හා ඊට ගැලපෙන නෙරුම් සහිත අගුල් යතුරු ක්‍රමයයි  භාවිතා කර තිබෙනුයේ. එකල තිබෙන්නට ඇති සිමිත උපකරණ?? යොදා ගනිමින් දැවැන්ත ගල් පර්වත උස ස්ථානවල නිවැරදිව තැන්පත් කර ඇති ආකාරය විශ්මය ජනකය. මාලිගා බැමිවල ගල්  මතුපිට ඉතා මටසිලුටු ලෙස සකසා ඇත.

ඉන්කා නටබුන් 
 ජල මාර්ග හරවා ඔවුනට අවශ්‍ය තැනට යොමු කිරීම දක්ෂ ලෙස සිදුකර තිබෙනු දැකිය හැකියි. සමහරවිට භූගත මාර්ග පවා යොදාගෙන,  වතුර මල් ආකාරයෙන්  අපුර්ව ලෙස පිටතට ගෙන ඇත.

අඩි 15000ක් උස ඇන්ඩිස් කඳු ප්‍රදේශවල මිනිසුන් ජීවත්වූ බවට නටබුන් සාක්ෂි දරතත්, සීතල හා විජලනයට ඔරොත්තු දෙමින් ජීවත්වුයේ කෙසේදැයි රහසකි.

Terraces of Moray 
Terraces of Moray  අදටත් තේරුම් ගන්නට උත්සහ කරන ස්ථානයක්. මෙය 183m පළල, 79m ගැඹුරු, තට්ටු 12කින් යුතු තැනක්. මෙය යම් චාරිත්‍රයක් ඉටු කරන්නට ඇති ස්ථානයක් ලෙස සමහරු සැක කරන අතර, විවිධ පස්, උෂ්ණත්ව ආදියේදී පැළෑටි පිලිබඳ පර්යේෂණ පැවැත්වූ කෘෂි පර්යේෂණායතනයක් ලෙසට සමහරු සිතති.
ඉන්කාවරුන් පෙරදිග සමග සබඳතා පැවැත්වූ බවට සාක්ෂිද මේ ඉදිකිරීම් සමහරකින් හෙළි වේ.

ඉන්කාවරු තාරකා විද්‍යාව ගැන ඉහලම දැනුමක් තිබු අයයි. ආගමික උත්සව තාරකා දින දර්ශන අනුව සිදු කර තිබෙන්නේ. ඒවා කෘෂි කර්මාන්තයට ද නිරතුරුව සම්බන්ධ කරගෙන තියෙනවා. පුද පුජා  පවත්වන දේවාල සාදා ඇත්තේ කඳු මුදුන්වල, ගල් ගුහාවල හා ජලාශ ආශ්‍රිතවය.
Machu Picchu 

පිරු රාජ්‍යයේ මුහුදු මට්ටමට 3500m උස කඳුකරයේ පිහිටා ඇති Machu Picchu නම් නටබුන්වල ගෘහ නිර්මාණ හැකියා ගැන 'දියුණු' ජාතින් තවමත් විමතියෙන් පසුවන්නේ. දැනට තිබෙන මාර්ග ඔස්සේ පයින් දින හතරක ගමනකින් යා යුතු මේ 'වලාකුළු තුල පිහිටන නගරයේ'  ගොඩනැගීම් සිදුකළ ආකාරය වටහාගත නොහැකිය.
ඉන්කා රාජධානියේ බොහෝ ඉදිකිරීම් සිදුකළ Pachauti නම් රජතුමාගේ සමයේ ඉදිකර ඇති මෙය රිදී ආකර ආරක්ෂාවත්, අහස නිරීක්ෂණයත් සඳහා උපයෝගී කරගන්නට ඇත. අහස නිරීක්ෂණය සඳහා දැනට ලොව ඇති හොඳම ස්ථානයක් ලෙස ද මැචු පිචූ සැලකේ.

අහසින්ගියවිට පමණක් පැහැදිලිව දැකගත හැකි, දහස් ගණන් වූ සරල රේඛා හා සිය ගණනක් වූ ජ්‍යාමිතික රූප වලින් සමන්විත නස්කා රූප තවමත් තේරුම් ගන්නට උත්සහ කරන දෙයක්. ඉතා හොඳ සැලැස්මක් හා දහස් ගණන් මිනිසුන්ගේ උදව් නැතිව අඳින්නට නොහැකි, අති විසල් පෙදෙසක පැතිර ගිය මේ රූප, ඉන්කාවරු පිට සක්වල සමග සබඳතා පැවැත්වූ බවට සාක්ෂියක් ලෙසයි බොහෝ දෙනා සැක කරන්නේ.



රන්, රිදීවලට ආශාවෙන් පැමිණි යුරෝපා ජාතින් බලෙන් දුන් රෝගවලට ගොදුරු වී සමුල ඝාතනය නොවන්නට මේ විශාලතම, පොහොසත්, බලවත් රාජ්‍යයත්, එහි මානවයා සතුව තිබු තාක්ෂණයත් විනාශ මුඛයට නොයනු ඇත.

ඉදින්, මෙවැනි උසස් පරිපාලන ක්‍රමයක්, දියුණු යයි සිතන බොහෝ අංගෝපාංග වලින් සමන්විත ඉදිකිරීම් හා තවමත් වටහාගත නොහැකි ඉහල තාක්ෂණ ක්‍රම මගින් පරිපුර්ණව සිටි ගෝත්‍රිකයන් නුගත්, නොදියුණු යයි ඔබ සිතනවාද?


මායා ශිෂ්ඨාචාරය ගැනත් බලමු.


උදව්:
Aztec Civilization- Mark Cartwright: Ancient History Encyclopedia
Inca Civilization - Mark Cartwright :Ancient History Encyclopedia
Peru Travel diary
http://www.kaltoursperu.com
davidpratt.info
www.history.com/astec

10 comments:

  1. පුදුමාකාර නිර්මාණ....

    ReplyDelete
    Replies
    1. ලෝකෙ පුරාම දියුණු ශිෂ්ඨාචාර තිබිල තියනව

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අදහගන්නත් බැරි තරම් තාක්ෂණයක් ඔවුන් සතුව තිබෙන්නට ඇති.නමුත් රෝග සදහා බෙහෙත් ඔවුන් සතුව නොතිබුණා ද

    ReplyDelete
    Replies
    1. විවිධ ඖෂධත්, රෝග නිවාරණ ක්‍රමත් භාවිතා කළ බව කියවෙනවා. ශාක කොටස්වලින් බෙහෙත් හදාගෙන තිබෙනවා. දුම්කොළ දුම්, රාජාලි පිහාටු ඇසුරෙන් කෙම් වගේ දේත් ශාන්ති කර්ම වලට සමාන දේ කර තිබෙනවා

      Delete

  4. ටිටිකාකා යනු පූමා කියන ව්‍යාඝ්‍රයාට කියන නමක්. ටිටිකකා විල අහස සිට බලන විට පේන්නේ පුමා කියන වාඝ්‍රයා විදියට නිසා, ටිටිකකා විල යන නම අතීතයේ තබා තියෙනවා. එහෙත් එකල අහසේ සිට විල දැක්කේ කොහොම ද කියන එක ප්‍රශ්නයක්. ඒ නිසා අනුමාන කෙරෙනවා මේ ආදි වාසින් පිටසක්වලින් ගුවන් මගින් ආ පිරිසක් කියා. ඔවුන් ඒ අනුව නම තබා තියෙනවා. එහි ගල් ගුහාවල ගුවන් යානාවල කටු රූපත් ඇද තිබුණා කියා මා ලිපියක කියා තිබෙනවා. ඒ මුලාශ්‍රය හොයලා පළ කළොත් අගෙයි. මම දේශනවල දී කියන තව දෙයක් තමයි ලෝක රූප රුජන තරගවල දී වැඩි ම ජය ලබන පිරිස ඉන්නේ දකුණු ඇමරිකාවේ. ඒ පිටසක්වලින් ආ අමුතු ලස්සනක් ඇති කණ්ඩායමක පරමිපරාගත ලක්ෂණයක් නිසා වන්න පුඵවන්. මා මේ ගැන කැනඩාවේ සී එන් කුඵණත් ගාව ගෙන පොඩි ලිපියක් ලියා ගෙන යනවා. ඒකේ කොටසක් තමයි මේ කිව්වේ.

    ReplyDelete
  5. ලොව පුරාම යම් යම් යුගයන්හි පැවති මෙවැනි දියුණු ශිෂ්ටාචර සතුව පැවති විශ්මිත ඥාන සම්භාරය නූතනයාට අහිමිව ගිය බවක් පෙනීයාම ලොකු ඛේදවාචකයක් නේද බුද්ධිනී?

    ReplyDelete
    Replies
    1. හැමතැනම වගේ කෙරුනේ යුරෝපා ජාතින් ඒවා විනාශ කිරීම නේද?

      Delete
  6. ගොඩක් වටිනවා

    ReplyDelete