Monday 9 July 2018

නටමින් ගයමින් ජාත්‍යන්තරය ජයගන්නා K-Pop

යුරෝපය හා ඇමරිකාවේ ගායක ගායිකාවෝ  මෙතෙක් සංගීත ලොව ජනප්‍රියත්වය ඉහලම තලයක රඳවාගෙන සිටියත්, මෑතක සිට භාෂා වෙනස්කම් අභිබවමින් ආසියාවෙන් බිහිවන පොප් සංගීත කණ්ඩායම් ලොව පුරා ජනප්‍රිය වෙමින් නැවතත් පොප් සංගීතයේ ස්වර්ණමය යුගයක් බිහි කරමින් සිටිති. ජපානයේ J POP, දකුණු කොරියාවේ K-POP, චීනයේ C-POP මෙම සංගීත කණ්ඩායම්ය
  

K- pop යනු කුමක්ද?
කොරියන් පොප් සංගීතය යන අදහසින් බිහිවන K-pop එක සංගීත කණ්ඩායමක් නොවේ.  පිරිමි හා ගැහැණු ලෙස (girl bands or boy bands )වෙනම සංගීත නිර්මාණයේ යෙදෙන කණ්ඩායම් කිහිපයකි.
කණ්ඩායමකට ගායකයින් වැඩි ගණනක් සිටින, එකවර කණ්ඩායම් කිහිපයක් ජනප්‍රියත්වයේ ඉහලින් සිටින මෙම  අදහසම සංගීත ලොවේ විශාල පෙරලියක් කර ඇත. ගායනයට පමණක් සිමා නොවී  ගායනය සමග නර්තනයේ යෙදීම (ශ්‍රව්‍ය දෘශ්‍ය) මෙම කණ්ඩායම්වල අනෙක් විශේෂත්වයයි. සමහර කණ්ඩායම් වාදනයද කරති.
 ඔවුහු එක සංගීත ෂානරයකට  කොටු නොවී බටහිර සංගීතය, රොක්, ජෑස්, ලතින්, හිප් හොප්, ශාස්ත්‍රීය, ගැමි ආදී සියලුම අංශයන්ගෙන්  නව නිර්මාණ බිහිකරති.  සම්ප්‍රදායික කොරියාවේ සංගීත නියෝජනයක් එතරම් නොමැති අතර ජනප්‍රිය බටහිර පොප් සංගීතය තුලින් තරුණ පරපුරේ ආකර්ෂණය ලබාගනිති. එහෙත් බටහිර පොප් වලින්ද වෙනස්ව එක ගීතයක් තුළ විවිධ ෂානර භාවිතා කරති. සංගීතය තුල නිරතුරු පර්යේෂණ අත්හදා බලති. එනම්, ගීතයක්  රොක් සංගීතයෙන් ආරම්භ කර, මැදකදී රැප් භාවිතා කරති.  මධ්‍යයේ සිට වෙනත් භාෂාවකින් ගයන ගීත පවා ඇත. වෙනත් රටවල ප්‍රවීනයන් සමග පවා ගායනයේ යෙදෙති.

කොරියානු සම්භවයක් තිබුනත්, ඉංග්‍රීසි හා එම භාෂාව මිශ්‍රව ගායනා කළත් ඇඳුම් පැළඳුම්, නර්තන වින්‍යාසහි පවා  ඇත්තේ බටහිර ඌරුවයි. තුරුණු ආකර්ෂණිය  ගතියයි.
K-POP  කණ්ඩායම් වල පිරිමි අයගේ  සම්මත විලාශය  රැවුල හොඳින් කැපූ සුකුමාල, ලපටි තරුණ  පෙනුමකි.  කෙට්ටු වීම අත්‍යවශ්‍ය වන අතර මස්පිඩු සහිත කඩවසම් බව සලකන්නේ මහත, නොගැලපෙන සිරුරක් ලෙස ය. සමෙහි  බටහිර සුදු පැහැය  අගයන අතර ඒ වර්ණය ලබාගැනීම සඳහා සම වර්ණ ගන්වති. අවම උස 5'6" ලෙස ගැනේ. විවිධ මෝස්තරයේ ඇඳුම් අඳිති. හිසකේ නවීන මෝස්‌තර වලට කපා වර්ණ ගන්වති.


ගැහැණු අය ඉතා කෙට්ටු සිරුරකින් යුක්ත වීම සම්මතයයි.  දිගු හිසකෙස් වර්ණ ගැන්වීම නිතර සිදු කරති. ඇඳුම් බොහෝවිට ඉතා කෙටි  ඒවාය. ඇඳුම් හා ශරීර ස්වභාවයෙන්  විලාසිතා ලොව ඉහල තැනක් ගන්නා global top model ස්වරුපයක් දැකිය හැකිය.
දෙපාර්ශවයම සංගීතමය දක්ෂතා ඇතත් මෙම බාහිර ස්වරූපය නැත්නම් ප්ලාස්ටික් සැත්කම් මගින් අවශ්‍ය රූ සපුව  ලබාගැනේ. සමහර අවස්ථාවල එලි දක්වන සංගීත වීඩියෝව අනුවත් රූ ස්වභාවය වෙනස් කිරීමට මැලි නොවෙති.

මෙහි යම් ආකාරයක සුපර් ස්ටාර් තරගවල සමානකමක් පවතියි. එනම්, මෙහිදී සුපිරි ගායන තරු බිහිකිරීමක් සිදුවේ. එහෙත් එය තනි තනිව ගායනා හැකියාවේ සිට තෝරාගැනීමක් නොවේ. කණ්ඩායම් බිහිකිරිමකි. ඒ තුලින් ඒකල ගයක ගායිකා ප්‍රතිරුප ඇතිවුවත් ඔවුහු දිගටම කණ්ඩායමේ රැඳී සිටිති. එනම්, ප්‍රතිරූපයක් ඇතිකරගෙන idol කෙනෙක් වීමට කණ්ඩායමක සිටීම අත්‍යවශ්‍ය දෙයකි. වඩාත්ම සැලකිය යුතු කරුණ වන්නේ ඔවුහු නිදහස් ගායකයින් නොවේ.

මේ සියලු ගායක ගායිකාවන් කොරියාවේ සංගීත කර්මාන්තයේ (music industry) යෙදෙන සංගීත සමාගම්  යටතේ පාලනය වේ. JYP, YG හා SM Entertainment නමින්  කෝටිපති ව්‍යාපාරික සමාගම් තුනක්ද, වත්කම් අඩු සමාගම් සිය ගණනක්ද කොරියාවේ සංගීත කර්මාන්තයේ යෙදෙති. මෙම සමාගමක් තුළ ගායක ගායිකාවෝ  පමණක් නොව, ගීත රචකයින්, සංගීතඥයෝ, සංගීත අධ්‍යක්ෂවරු,  නර්තන වින්‍යාස නිර්මාණකරුවෝ, නර්තන පුහුණුකරුවෝ, රූප ලාවන්‍ය ශිල්පීහු, කණ්ඩායම් කළමනාකරුවෝ  ඇතුළු වෙනත් වෘත්තිකයෝ සේවයේ යෙදෙති.

අවුරුදු 12-13 තරම්  ළමා වියේ සිට පුහුණුවීම සඳහා මෙවන් සමාගමකට බැඳෙන අයද සිටිති. Audition එකක් සමත්වීම සුපිරි තරු තරගයක ඊළඟ වටයට යන තරම් පහසු දෙයක් නොවේ. සමාගම් නාමය ප්‍රචලිත තරමට, සමාගමෙන් ජනප්‍රිය සංගීත කණ්ඩායම් බිහිවී ඇති තරමට  බඳවාගැනීම් පරීක්ෂණ සමත්වීම අසීරුය.
පරීක්ෂණ  සමත්වූ වහාම සමාගම සමග කොන්ත්‍රාත්  අත්සන් කල යුතුය. එදින සිට එහි නීති රීති වලට  අනුකුලව කටයුතු කරමින් ගායනය, නර්තනය හා රඟපෑම මෙන්ම භාෂා පුහුණු පන්තිවලට සහභාගී විය යුතුවේ.
බොහෝවිට පාසල අවසන් වූ වහාම පුහුණුවීම් සඳහා යා යුතු අතර දිනකට පැය හතරකට වඩා  පුහුණුවේ යෙදිය යුතුය.
පුහුණු කාල සටහන් සමාගම අනුව වෙනස් වේ. සමහරවිට උදැසන පහේ සිට පැවැත්වෙන පන්තිද ඇත. පාසලේ ඉහල ශ්‍රේණිවලට යත්ම මෙය අසීරු ඉලක්කයක් වේ. එහෙත් ජනප්‍රිය වීමේ රැල්ල හා තම හැකියාව දියුණු කරගැනීමේ ආශාවෙන් මඩනා ලද තරුණ තරුණියෝ  දැඩි කැපකිරීම් කරමින්  නොකඩවා පුහුණුවේ යෙදෙති.  ජපන් ජාතිකයන් මෙන්ම වෙහෙසවී වැඩ කිරීමට හා කැපකිරීම් කිරීමට නොපසුබට කොරියන් ජාතිකයන්ට මෙය එතරම් අභියෝගයක් නොවන බව පැවසේ. පුහුණුව  අතරතුර තම සිරුරේ හැඩයත්, බරත් නිසි ලෙස පවත්වාගෙන යා යුතුය. හැකියාව මෙන්ම කායික යෝග්‍යතාවද නිරතුරු, බොහෝවිට මාසිකව, ඇගයීමට ලක්වේ.

සමහර සාමාජිකයන්ට කෙටි  කාල සීමාවක් තුළ බර අඩුකරගැනීම වැනි අභියෝගවලට මුහුණ පෑමට සිදුවේ.මේවට ඔරොත්තු දීගත නොහැකිව පුහුණුව සමග තම සිහිනයද අතහැර දමන අය මෙන්ම, අපේක්ෂිත කුසලතා වලට එළඹෙනු නොහැකිව සමාගමෙන් ඉවත් කරනු ලැබෙන අයද,  අධික වෙහෙස නිසා කායිකව හා මානසිකව රෝගී වී  ඉවත්වන්නට සිදුවන අයද සිටිති.
කලඑළි දැක්ම හෙවත් මංගල ගීතය නිකුත් කිරීමට  පෙර සාමාන්‍යයෙන් වසර හතරක්වත් පුහුණු විය යුතුවේ. ඒ අතර පැවැත්වෙන ඇගයීම් සමත්විය යුතුය. ගායක කණ්ඩායම තෝරා ස්ථාපිත කරන්නෙත්, පුහුණු කරන්නේත් වෘත්තිකයන් විසිනි. සාමාන්‍යයෙන් එක කණ්ඩායමක ගායකයන් හෝ ගායිකාවන් 4- 15 දක්වා ගණනක්  විය හැකිය. කලාකරුවෙක් ලෙස කළඑලි දැක්වෙන ගීතය අසාර්ථක වුවහොත් හෝ කුසලතා මට්ටම මද බවට තීරණය වුවහොත් සමහර සාමාජිකයන් නැවතත් පුහුණුවට යොමු කෙරෙනු ලැබේ. මාස ගණනක කෙටි පුහුණුවකින් සංදර්ශන සඳහා එළඹුණු අය සිටියත් එසේ වන්නේ  කලාතුරකිනි. කලඑළි දැක්මට පෙර වසර දහයක කාලයක් පුහුණුවල යෙදෙන්නට වූ අය ගැනද අසන්නට තිබේ.
Shinee සංගීත කණ්ඩායම 
කණ්ඩායමක් නිර්මාණය කළ පසු කොරියානු සංස්කෘතියේ ආකාරයට එහි නායකයා කවරෙක් වුවත් වැඩිමහල් තැනැත්තාට ගරුකළ යුතු අතර පෙරලා ඔහු කණ්ඩායමේ වගකීම් දැරිය යුතුවේ.  පුහුණුව ආරම්භ කළදා සිටම සියල්ලන්ගේම හැසිරීම තරයේ නිරීක්ෂණය කෙරේ. ඔවුහු  ආචාරශීලි වියයුතු අතර, දිව්රීම් තහනම්ය. කිසිදු රහසක් නොතිබිය යුතුවේ. විනෝදාත්මක හා සන්දර්ශනාත්මක වීම අත්‍යවශ්‍ය ය. කුඩා දරුවන්ගේ පවා අවධානය ලැබෙන නිසා දුම්බීම තහනම්ය. ආගම ඇදහීම කල හැකි වුවත් ඒ ගැන කතාබහ කිරීමක් අනුමත නොකෙරේ. මුළු පුහුණු කාලය තුලම ආලය බැඳීම් තහනම්ය. කලඑළි දැක්මෙන් පසුව වුවද සැහෙන කලක් යනතෙක් ප්‍රසිද්ධියේ ආදරය ප්‍රකාශ කිරීම හා මාධ්‍යවලට ඒ ගැන පැවසීම නොකරති.  දැඩි නීති, පුහුණුව හා කාලය මදකම නිසා ඔවුනට බාහිර සමාජය සමග මිතුරු  සම්බන්ධතා අඩුය.
මුල් කාලයේදී ගීත සියල්ල සමාගමේ නිර්මාණ වූ අතර දැන් හැකියාව ඇති සාමාජිකයන්ට ගී ලිවිම හා තනු නිර්මාණයට අවසර දෙයි. එහෙත් ඇඳුම් නිර්මාණ හා විලාසිතා සියල්ල සමාගමේ රුප ලාවන්‍ය ශිල්පින්ගේ උපදෙස් අනුව පමණක් සිදුවේ.
SNSD හෙවත්  Girls Generation කණ්ඩායම  
වෘත්තීය ගායකයෙක් ලෙස සංදර්ශනවලට සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේත්, මුදල් ඉපයීමට අවස්ථාව ලැබෙන්නේත් කලඑළි ගීතයෙන් පසුවයි. ඉන්පසු අනිවාර්යයෙන්ම සමාගම විසින් සපයන නේවාසිකාගාර කාමරයක කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් සමග  වාසය කළයුතු වේ. ඇල්බමයක් නිකුත් කළහොත් මුල් මාස දෙකේ නිදි වරාගෙන එහි ප්‍රචාරක කටයුතු, ෆොටෝ ෂූට් ආදිය උදෙසා සහය දිය යුතුවේ.  සමහර ගායකයන් කියන අයුරින් මේ කාලයේදී දිනකට පැය දෙක තුනක නින්දකින් සැහීමට පත්වීමට සිදුවේ.

මේ කැපකිරීම් සියල්ලේ අවසන් ඵලය වන්නේ සංදර්ශන සඳහා ආරාධනා ලැබෙමින් ප්‍රසිද්ධියට පත්වීමයි. යුටියුබ් වීඩියෝ නිකුත කළවිට නරඹන්නන් වැඩි වීමයි. උන්මාදයක් වන තරමට ජනප්‍රියත්වය ලැබෙන කණ්ඩායම් සාමාජිකයන්ට ඉතා ඉහල අදායමක් සමග විදේශ සංචාර සඳහා ඇරයුම් ලැබේ. කණ්ඩායමේ හෝ ගායකයාගේ නම කි පමණින් ඔහු පසුපස හඹා එන රසිකයන්ගේ අඩුවක් නැත. ඇල්බම් වල You tube  වීඩියෝ සාතිශය ජනප්‍රියත්වයට පත්වන අතර, BTS කණ්ඩායමෙහි Fake Love  ගීත වීඩියෝව නිකුත් කර මුල් සතිය තුල මිලියන 300ක් නැරඹීමෙන් ලොව පුරා ඔවුනගේ ජනප්‍රියත්වය මොනවට පැහැදිලි වේ. එම ගීතය ඔබත් නරඹන්න. ගීතය, අර්ථය හා නර්තනයේ සබැඳියාව විඳින්න.


ගායකයන් විසින් ගොඩනගාගන්නා ප්‍රතිරූප තවත් තහවුරු කිරීමට සමාගම් විසින් විවිධ මාතෘකා යටතේ ඔවුන්ගේ සම්මුඛ සාකච්ඡා, සංචාරවල ආකර්ශනීය තොරතුරු ආදියද යු ටියුබ් වෙත යොමු කරයි. ඔවුහු කණ්ඩායම් ලෙස හෝ තනිව වීවිධ වෙළද භාණ්ඩ ප්‍රචාරණයට ද යොදාගැනේ. විදේශ සංචාරවලදී ඉහලම වෙළඳ නාම ප්‍රචාරණය සඳහා ඔවුන්ට ඇඳුම් පැළඳුම් හා අනෙක් පහසුකම් සැපයීමට ලොව නමක් දිනා සිටින වෙළඳ ආයතන ඉදිරිපත් වෙති.
කොරියාවේ පැවති සිසිර ඔලිම්පික් උළෙලේදී රට නියෝජනයට සන්නාම තානාපතිවරයෙක් ලෙස Big Bang  කණ්ඩායමේ Teayang  නම් ගායකයා තෝරාගැනීමෙන් ඔවුන්ට රටේ ඇති පිළිගැනිම  තහවුරු වේ.

නම කී පමණින් කණ්ඩායමේ සියලු තොරතුරුත් ගායක ගායිකාවන් පිළිබඳවත් දන්නා රසිකයෝ  ලොව පුරා විසිරි සිටිති. තම රටට කණ්ඩායමක් එන බවට තොරතුරු ලද සැනින් සංදර්ශන සඳහා ප්‍රවේශපත් විකිණී අවසන් වන තරමට එම ජනප්‍රියත්වය පතලවී ඇත. යුරෝපිය හා ඇමරිකානු රටවල් මෙම කණ්ඩායම් පුහුණුකිරීමේ රොබෝ ස්වභාවය ගැන විවේචනය කරමින් රසිකයන් අධෛර්ය කළත්, සංදර්ශනයකට ඇති ඉල්ලුම සැලකීමේදී ඒවා ව්‍යර්ථ වී ඇති බව පෙනීයයි. ලොව පුරා ගීත දර්ශකවල මුල් අංක අතරේ සති ගණන් රැඳී සිටීමට සමහර ගීත සමත්ව ඇත.
පිලිපීන කාන්තා  Kpop කණ්ඩායම Tem5ive 
මෙම අධික ජනප්‍රියත්වය, පිළිගැනිම හා මුදල් නිසා පිටරටවල ජිවත්වන කොරියන් තරුණයෝ සියරට පැමිණ සමාගම්වලට එක්ව පුහුණුවීම බහුලය. ඊට අමතරව කොරියානුවන් නොවන වෙනත් රටවල අයද සමාගම්වලට බැඳී K-pop කණ්ඩායම් සෑදීමට ඉදිරිපත් වෙති.

කණ්ඩායමක නර්තනයේ යෙදෙමින් ගී ගැයීමේ කොන්ත්‍රාත් අවසානය වන්නේ වයස අවුරුදු  30ට එළඹීමයි. ඉන් පසු ඒ වනවිට තමන් ගොඩනගාගත් ප්‍රතිරූපය සමග තව දුරටත් කණ්ඩායම් හෝ ඒකල ගායකයෙක් (solo artist)  ලෙස සමාගම සමග රැඳී සිටීමට හෝ ඉවත්ව ගොස් තනිව ගී නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ.
මිලියන ගණනක රසික පිරිසක් නැරඹු, යූ ටියුබ් වීඩියෝවෙන්  පමණක් ඩොලර් මිලියන අටකට වඩා ඉපැයූ, කාලයක් මුළුල්ලේ වැඩිම පිරිසක් බලන වීඩියෝව බවට වාර්තා තැබූ,  2012/13 ලොව පුරා සාතිශය ජනප්‍රියත්වයට පත් ගන්ගම් ස්ටයිල් ගීය මතකද? එය YG entertainment සමාගම නිෂ්පාදනය කළ K-pop ගීයක් වන අතර එය ගැයූ Psy,  කණ්ඩායමක් සමග ගායනා කර, වයස ඉකුත්වූ පසු තනි ගායනාවලට යොමුවූ ඒකල K-pop ගායකයෙකි!


උදව්:
K-pop නැරඹීමට මා යොමුකළ හා බොහෝ තොරතුරු සපයා දුන් K-pop රසික පාඨලී දුව
www.rampages.us/fiswagazine/the-difficult-life-of-becoming-a-kpop-star/
www.rojakdaily.com/entertainment/article/
https://edition.cnn.com/sport/big-bang-taeyan
www.filipinotimes.net/entertainment/
www.universitytimes.ie/
www.youtube.com

7 comments:

  1. ඕනෑම දෙයක් සාර්ථක කර ගැනීමට දැඩි කැපවීමක් අවශ්‍යමය.
    එම කැපකිරීම කරන කාලයද බොහෝ දුෂ්කර විය හැක.
    ගායනයේදී පමණක් නොව සිය රට දියුණුව කරා ගෙනයාමේදී කොරියානුවන් කළ කැපවීම ලඝු කළ යුතු නැත.
    සමනළයා විචිත්‍ර වන්නේ උපන් අවස්ථාවේදී නොවේ.
    කීට අවස්ථාවේදී මෙන්ම කෝෂ අවස්ථාවේදීද දැඩි කැපවීමක් කරන්නා වූ එම අවලක්ෂණ ප්‍රාණියා අවසානයේ වෛවර්ණ සමනළයෙකු සේ ලෝකය හමුව්ට පැමිණෙන්නේද එම කැපකිරීම නිසාමය.
    K.pop ගායක කණ්ඩායම ගැන රසවත් විස්තරයක් සමගින් ව්‍යංගයෙන් ඉතා වැදගත් පාඩමක් කියා දුන් ඔබතුමියට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

    ReplyDelete
    Replies
    1. කොරියානුවන් තුල කැපවීම මෙන්ම නිර්මාණශීලි බවත් තියෙනවා. වර්ණවත් කොමෙන්ටුවකින් ලිපිය රස ගැන්වූ ඔබට තුති.

      Delete
    2. පර්යේෂණ මට්ටමේ වැදගත් ලිපියකි. නව තොරතුරු සොයා යාම සඳහා ඔබගේ ඇති හැකියාව අගය කරමි.
      කොහොමත් බටහිර ලෝකයේ ඇති 'සරුව පිත්තල' ආකල්ප වලට වඩා පෙරදිග රටවල ජනනය වන බොහෝ දේ (සංගීතයද ඇතුළුව) සංස්කෘතියද සමග මුසුවීමක් තිබෙනවා. මේ නිසයි එවැනි නව ප්‍රවණතා ජනතාව අතර හොඳ ඇගයීමකට භාජන වන්නේ.
      තවත් මෙවැනි නව සංකල්ප එළි දැක්වීම සඳහා ඔබට ධෛර්යය සහ විවේකය ලැබේවායි පතනවා!

      Delete
    3. ස්තුතියි දයාවී. මේ කණ්ඩායම්වල පෙරදිග ස්වරුපය නම් අඩුයි.

      Delete
  2. අපේ කට්ටියට හරියට රිදිලා තිබුනා මෙයාලාට කැමති ලංකාවේ කොටසක් ඉන්නවා කියලා දැනගත්තම.

    ReplyDelete
    Replies
    1. මොකට රිදවගන්නවද? කලින් කලට මොන ක්ෂේත්‍රයේත් වෙනස්කම් වෙනවා. වෙනස්ම නර්තන, ගායන රස විඳින්න හැකි අය එහෙම කරනවා.

      Delete