Thursday, 16 July 2020

ඉන්දියාවේ පියගැට පොකුණු Stepwells

අපේ අසල්වැසි ඉන්දියාවේ විවිධ ස්ථානවල පිහිටා තිබෙන මනස්කාන්ත පඩිපෙල් වලින් සමන්විත ලිං හා පොකුණු ප්‍රෞඩ ඉතිහාසයක් මෙන්ම නෙත් පිනවන දසුනක්ද ගෙන එන නිසා ලොවේම අවධානය දිනාගැනීමට සමත්වෙමින් සිටියි. පන්සල්, කෝවිල්, දේවස්ථාන අසල ජල මුලාශ්‍රයක් තිබීම ඓතිහාසික හා සම්ප්‍රදායික පෙරදිග  ලක්ෂණයකි.  දේවස්ථානය පවිත්‍ර කිරීම, පුජා ද්‍රව්‍ය පිරිසිදු කිරීම ආදිය උදෙසා කලාත්මක අංගයන්ගෙන් අනුනව සාදා ඇති ලිං හා පොකුණු වැඩිපුර භාවිතයට ගත්තේ දඹදිව රාජකීයයන් හා උසස් පවුල්වල අය බව පැවසේ. පිහිටි ප්‍රදේශයේ බාවිතා වන භාෂාව අනුව ඒවා තීර්ථ, කල්‍යාණි, පුෂ්කරණි, පුඛුරි, තලබ් වැනි නම් වලින් හඳුන්වයි. පොලව මට්ටමට තරමක් පහලින් පිහිටි මේවට බැසීමට හැකිවන සේ අලංකාර පියගැටපෙළ සමුහ නිර්මාණ කර තිබීම පොදු ලක්ෂණයකි.
Hampi හි පුෂ්කරිණි 
දෙව්ලොව හා පොලව අතර සීමාව තීර්ථය(ජලය) ලෙස බොහෝ හින්දු කතාවල අරුත් ගැන්වේ. පවිත්‍ර කිරීමේ හා ප්‍රතිසංස්කරණයේ අගයට අමතරව වන්දනීය හා කැපකිරීමේ අරුතින්ද ජලය භාවිතා වේ. මේ සමහර ලිං පොකුණුවලින් නෑමෙන් රෝග නැසෙන බවට මතයන් ඇති නිසා ඒවා වඩා ජනප්‍රියය. අතීත ශිෂ්ඨාචාරයන්හි Great bath of Mohendajaro වැනි ස්ථානද ප්‍රචලිතයි. වසර පන්දහසකට පෙර ඉදිකරන ලද මුල්ම Stepwell එකෙන් පසු මධ්‍යකාලින  යුගයේ වැඩිම ප්‍රමාණයක් ඉදිව ඇත. අතීත සමෘද්ධිමත්  යුගයන්හි පියගැට පෙළ සහිත නිර්මාණාත්මක ලිං සහ පොකුණු 3000ක් පමණ ඉන්දියාව පුරා විසිර තිබෙන්නට ඇත.

එදවස පටන්ම ජනාකීර්ණව  පැවති දිල්ලිය වැනි ප්‍රදේශවලත්,  වෙනත් ජනාකීර්ණ ප්‍රාන්තවලත්  ඉතිරිව ඇති පොකුණු ආශ්‍රිත ඉදිකිරීම් වලින්  පෙනී යන්නේ ජල සංරක්ෂණයට හා බෙදාහැරීමටත්, ආගමික කටයුතුවලටත්, එදිනෙදා භාවිතයටත් අමතරව ගම් වැසියන්ගේ ප්‍රජා මධ්‍යස්ථාන ලෙස මෙම පරිසරය යොදාගෙන ඇති බවයි. සමහර පඩිපෙල් පොකුණු  පාරවල්  අසල ඉදිකර තිබීමෙන් මගීන්ට විවේකය සපයන ස්ථාන ලෙස භාවිතා කල බව පැහැදිලි වේ.
මොධෙරා හි Surya Kund 
මෝසම් හා වියලි කාලගුණය අතර දෝලනය වන ඉන්දියාවේ සමහර පෙදෙස්වල  ජලය ගබඩා කර තබාගැනීම වැදගත් විය. නිසි කල වැසි නොලැබුණහොත් ඒ සමග එන සාගත හා මරණය නිසා, නොකඩවා ලැබෙන ජල සම්පතක් තිබීම ප්‍රමුදිත කරුණක් විය.

අධි වියලි කාන්තාරමය කාලගුණයක් ඇති රාජස්ථාන හා ගුජරාට වැනි ඉන්දියාවේ වයඹ දිග පෙදෙස්වල සාදා ඇති පොලව තුලට දිවෙන පියගැට සිය ගණනක් සහිත, තට්ටු ගණනාවක් පසුකර යායුතු ලිං හා පොකුණු මගින් ජලය සැපයීමත්, ආගමික මෙහෙයක් සිදු කිරීමත් යන්නට  වඩා වැඩි යමක් සිදුවන බව පැහැදිලිය.
මේවා හඳුන්වන්නේ බවුරි (හින්දි භාෂාවෙන් ලිඳ) හෝ වව් නම්වලිනි. Stepwell නමෙන් සඳහන් පරිදිම භූගත ජල මට්ටම දක්වා දිවයන සේ පඩිපෙල් නිර්මාණය කර ඇති  මේවා සාදා ඇත්තේ පොලවේ පහල මට්ටමෙන් ජලය ලබා ගැනීමට බව පෙනී යයි. එනම් වියලි කාලගුණික තත්වයන් ඇති විට ජලය ලබාගැනීමේ විශ්වාසනිය මුලාශ්‍රයක් ලෙසයි. පියගැට  ලිංවල ප්‍රධාන අංග දෙකකි. උස් ලෙස බැඳී බිත්ති හා අතරමග නැවතුම් සහිත පඩිපෙල්. හයවෙනි හා හත්වෙනි සියවස්වල ඉතා උසස් මට්ටමකින් පැවතී බවට සාක්ෂි ඇති මෙම මානව ජල ධාරක, ජල සංරක්ෂණය සිදුකරන අතර  ගෘහ නිර්මාණ ශිල්පි ගුණයන්ද නොමදව හුවා දක්වයි.
Champaner හි helical vav 
වැසි සහිත කාලගුණයකදී ජල මට්ටම වැඩිවෙන හෙයින් වැඩිපුර පහල බැසීම අනවශ්‍ය වුවත් වියලි කාලවලදී ජලය ඉතිරිව ඇති මට්ටම අනුව බැසිය යුතු පියගැට සංඛ්‍යාව තීරණය වේ.
රාජස්ථානයේ Chand baori 
මෙම  විශේෂිත වූ සංකීර්ණ නිමැවුම් ප්‍රමාණයෙන්,  හැඩයෙන් හා සැලැස්මෙන් එකිනෙකට වෙනස්ය.  සමහර ලිං හෝ පොකුණු සරල එක ගල් පඩිපෙලක් පමණක් ඇති ඒවාය. සමහර ඒවා පැති කිහිපයකින් ලඟාවිය හැකි මට්ටම්  කිහිපයකින් යුතු සිය ගණන් පඩිපෙල් වලින් බැසිය හැකි  විශාල ආවාටයක් බඳු සංකීර්ණ ඒවාය.
ඒ අතරිනුත් සමහරක් බෙහෙවින් සැලසුම් කරන ලද, මුර්ති ආදියෙන් අලංකෘත දිගු පියගැටපෙළ සහිත ඒවාය. ගලින් නෙලා ඇති, කුලුනු සහිත තට්ටු කිහිපයකින් පසු ළඟාවිය හැකි මේවායේ ගමන්කළ හැකි කොරිඩෝර මෙන්ම  උෂ්ණත්වය වැඩි දිනවල මිනිසුන්ට විවේකිව රැඳී සිටිය හැකි මණ්ඩපවලින්ද සමන්විතයි. වඩාත් සිත්ගන්නේ සියුම් කලාත්මක කැටයම්වලින් සපිරුණු බිත්ති හා කුලුනුයි. නව ග්‍රහයන්,  වෘක්ෂය, දේව කතා, නැටුම්, ගැටුම් සටන් මෙන්ම කාන්තාවන් හිස පීරන, බටර් සාදන කැටයම්ද මේ අතර වේ.
පටන් හි Rani ki vav කැටයම් හා මුර්ති 
එයින් පැහැදිලි වන්නේ බීමට පිරිසිදු ජලය ලබාගැනීම, සතුන්ට දීම, කෘෂිකාර්මික කටයුතුවලට යොදාගැනීම හැරුනුකොට සමාජමය හා සංස්කෘතිකමය කාර්යයක්ද මෙම ජල මුලාශ්‍ර ආශ්‍රිතව සිදුව ඇති බවයි. මේවායේ උත්කර්ෂවත් යුගයේ මෙම ගොඩනැගිලි නිදහසේ රැස්වීමට, විවේක කාලය ගත කිරීමට, උෂ්නවත් පරිසරයෙන් මිදීමට සිසිල් අභයභූමියක් ලෙස යොදාගෙන තිබේ. භාවනා කිරීම් ඇතුළු ආගමික කටයුතු උදෙසා උපයෝගී කරගැනීමත් සිදුව ඇත. ඒ අතර ජලයේ ඇති වටිනාකම අවබෝධ කරදීමක්ද, ජල කළමනාකරණය හා තිරසාර සංවර්ධනයද සිදුවූ බව පෙනෙයි.

සුන්දර හා අසුන්දර ඉතිහාසයන් කැටිකරගත් පියගැට ලිං අතර රාණි රූප්බා බිසවගේ අනුවේදනීය කතාවද ලියවී ඇත. අහමදාබාදයට උතුරින් මෙම ලිඳ ඉදි කෙරෙමින් පවතින අතරතුර සිදුවූ මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් රණ වීර් සින්ග් රජු මරා දැමුණි. රජතුමා මියයාමෙන් පසු තම අත පැතූ මුස්ලිම් රජු ලවාම ඒ වනවිට ඉදිකෙරෙමින් පැවතුනු ලිඳ නිමකරවා, එය පරික්ෂා කරන අයුරින් ඉහල මාලයටම ගිය සුරූපී බිසව, අඩලාජ් නම් වන ලිඳටම  පැන දිවි තොර කරගත්තාය. ඉන්පසු සාමාන්‍ය මිනිසුන්ගේ අයිතියට පැවරු මෙහි  බිත්තිවල එම ආදර කතාව අත්‍යාලංකාර පද්‍ය අයුරින් කැටයම් කර තිබේ.

රාජස්ථානයේ ෂපුරා පඩිපෙල් ලිඳ 
වසර දහස් ගණනක් තිස්සේ වයඹ දිග ඉන්දියාවේ උසස් ඉන්දීය  සම්ප්‍රදායික සංස්කෘතිකාංගයක් ලෙසින් පියගැට පොකුණු දහස් ගණනක් නිර්මාණය වී ඇතත් එයින් වැඩි ප්‍රමාණයක් දැනට භාවිතා කල නොහැකි මට්ටමේ ඇත. නොසලකා හැරිම නිසා වියලි ගිය ලිං හැරුණු විට, කර්මාන්ත සඳහා භූගත ජලය යොදාගැනීම නිසා ජල මට්ටම් පහත වැටීමත්,  දැනට පවතින ජල මට්ටමට ඉහලින් ලිං පිහිටීමත් නිසා සිඳී ගිය අවස්ථාද දක්නට ඇත. මේ ප්‍රදේශවල පසුගිය කාල වකවානුවේ ඇතිවූ දරුණු නියඟ තත්වයන්ද මෙම විනාශ තීව්‍ර කර තිබේ.
වසර 5000ක් පැරණි Dholavira ලිඳේ නටබුන් 
ප්‍රතිසංස්කරණය ගැන අවධානයක් නොයෙදවීම නිසා විනාශයට පත්වූ ඒවා මෙන්ම වටිනාකම හා අගය නොදැන අවභාවිතය නිසා වැනසෙමින් පවතින ලිං ද ඇත.

විදෙශිකයන්ගේ දැඩි අවධානයක් යොමුවෙමින් පවතින ගුජරාට් ප්‍රාන්තයේ ඇති පියගැට පොකුණු සංරක්ෂණය කිරීමේ වැඩ සටහන් වර්තමානයේ ක්‍රියාත්මකයි. ප්‍රාන්තය පුරා ඇති පොකුණු නැවත පිළිසකර කිරීමට විවිධ සටහන් දියත් වෙමින් පවතී.



පටන්වල ඇති ඇති සුක්ෂ්ම් කැටයම් 500 කින් සමන්විත, ජලයෙන් යට ඇති තට්ටු දෙකත් ඇතුළුව තට්ටු නමයකින් සමන්විත  Rani ki vav හෙවත් රැජිනගේ පොකුණ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර ඇත. 11වන සියවසේ උදයමති රැජින විසින් ඉදි කරවන ලද මෙය 13වන සියවසේ ගංවතුරකට හසු වුවත් 1960දී නැවත ප්‍රතිස්ථාපනය කරන ලදී. ඉතා විශාල හා සියලු සම්ප්‍රදායික මෝගල් හා ඉන්දීය මනස්කාන්ත සියුම් කලා ශිල්පයන්ගෙන් සමන්විත සුවිසල් පොකුණ මෙම විඩියෝවෙන් නරඹන්න.


මානව වර්ගයාගේ පැවැත්මට ජලයේ ඇති වටිනාකම නොමදව වටහා දෙන මෙම සුවිශේෂ කලා නිර්මාණ සමුහය, වසර සිය දහස් ගණනක ගෘහ නිර්මාණ ශිල්පයේ විශ්මය දක්වන අතර ඓතිහාසික ශිෂ්ඨාචාරයන්හි කලාත්මක ශිල්පිය දක්ෂතාද රමණියව පෙන්නුම් කරදෙයි.

උදව්:
www.ancient-origins.net/history/beautiful-utilitarian-stepwells-india-are-danger-becoming-extinct-
https://indianexpress.com/article/cities/mumbai
https://www.hampionline.in/city-guide/stepped-tank-in-hampi
www.travelplanet.in/down-the-steps-and-into-indian-history-top-10-stepwells
www.indianeagle.com/travelbeats/rani-ki-vav-the-queen-of-stepwells-in-india/
www.ancient-origins.net/history/

Saturday, 27 June 2020

බිත්තර හා කිරි නොමැති ආහාර සැදීම

බිත්තර නැතිව කෑම සෑදීම 
අනුන් උයන ඒවා හොඳට කාල බිල හිටපු මට විවාහවෙලා ගිය ගෙදර මස්, මාළු බිත්තර  නැති කෑමට හුරුවෙන්න වුණා. උයන්න ටිකක් හොර මම ඒ වෙනසට කැමතිවුනා. ඒත් ඉතින් වෙන වෙන රසකැවිලි හදන්න, බේක් කරන්න ගියාම තමයි අභියෝගය ආවේ. බිත්තර නැතුව කේක් හදන්නේ කොහොමද? ඒ කාලේ ඉන්ටනෙට් තිබුනෙත් නැහැනේ. තරුණි, සිරිකත පත්තර පෙරළන් බැලුවත් ලැබුනෙ නැහැ උදව්වක්. අහම්බෙන් අම්මගේ කුකරි පොතක වෙසක් කේක් කියල රෙසිපියක් හමුවුණා. දරුවන්ගේ උපන්දින වලට නොවරදවා හදපු මෝස්‌තර කේක් කරලියට ආවේ එහෙමයි.
ඒ රෙසිපියේ බිත්තර හා සිනි වෙනුවට condensed milk හෙවත් උකුකිරි/ටින්කිරි  යොදාගත්තේ.
බිත්තරවලින් කෙරෙන්නේ මොකක්ද?
1. binding :ද්‍රව්‍ය එකට බඳවා තැබීම
2. leavening :අමුද්‍රව්‍ය අතර වාතය රඳවා ආහාරය පිපුම් ගතියක් ලබාදීම
3. moisture : තෙතමනය රඳවා ගැනීම
4. රස හා පෙනුම ලබාදීම

මේ සියලු දෙය රසේ හෝ පෙනුමේ වෙනසක් නොදැනෙන්න උකුකිරි මගින් ලැබුණා. කවුරුත් විශ්වාස කලෙත් නැහැ බිත්තර නොයොදා හැදුවේ කියල.
පසු කාලෙක වෙනත් දේවලුත් බිත්තර වෙනුවට ආදේශක ලෙස යොදාගන්න පුළුවන් බව දැනගත්තා.
  •  🍌 🥑   පොඩිකරගත් ඉදුණු කෙසෙල් හෝ ඉදුණු අලිපේර : බිත්තරයක් වෙනුවට මේවයින් ග්‍රෑම් 65ක් ප්‍රමාණවත්. කෙසෙල්වල රස තරමක් එන අවස්ථා තියනව. 
  •  සෝයා කර්ඩ්/ ටෝෆු  : ඒ කියන්නේ ඝන සෝයා කිරි. මේවත් එක බිත්තරයක් වෙනුවට 60g ප්‍රමාණවත්. ඔම්ලට් වුනත් හදන්න පුළුවන්. 
  •  විනාකිරි හා බේකින් සෝඩා : බේකින් සෝඩා තේ හැන්දකට විනාකිරි මේස හැන්දක් මිශ්‍ර කළාම බොහෝ ආහාරවල බිත්තර වෙනුවට ගන්න පුළුවන්. මේවා මිශ්‍ර කරන්න ඕන බැටර් එක තුලදිමයි. 
  • යෝගට් හෝ බටර්මිල්ක් : කේක්, කප් කේක් වලට කදිමයි. 
  •  හුලංකිරිය පිටි (Arrowroot powder) : බිත්තරයක් වෙනුවට හුලන්කිරිය පිටි මේස හැඳි දෙකක්  වතුර මේස හැඳි තුනක දියකරලා ගන්න.
  • කවුපි, කඩල, මුං ඇට තම්බපුවම ඉතුරුවෙන වතුර (aquafaba): බිත්තරයක් වෙනුවට දියර මේස හැඳි තුනක් ඇති. මාෂ්මෙලෝස්, බ්‍රවුනිස් එහෙම හදන්න නියමයි.

Apple sauce 
  •  🥜 පීනට් බටර්, ආමන්ඩ් බටර් : බිත්තරයක් වෙනුවට මේවා මේස හැඳි තුනක් යොදාගෙන බිස්කට් එහෙම හදන්න පුළුවන්.  
  • ඇපල් මදය පොඩිකරල සීනි එක්ක උණු කරලා හදන ඇපල් පියුරි/ ඇපල් සෝස්  කෙසෙල් වගේම යොදාගන්න පුළුවන්. වෙනස් රසක් එන්නෙත් නැහැ.
  • Flex seed කුඩු දාන්න පුළුවන්. බිත්තරයක් වෙනුවට ෆ්ලෙක්සිඩ් තේ හැන්දක  ප්‍රමාණයක් සමග එළවලු තෙල් ටිකක් යොදන්න පුළුවන්. 
  •  සෝඩා වතුර දාන්නත් පුළුවන්.
  •  Egg Replacer නමින් කඩෙන් ගන්න තියනව. අර්තාපල් පිටි හා තවත් ද්‍රව්‍ය වලින් හදල තියෙන්නේ. 
from Amma 's recipe book 

බිත්තර allergy අයට හා බිත්තර නොකන වෙජිටේරියන් අයට මේ ක්‍රම අත්හදා බලන්න පුළුවන්.                  .   🥐🥞🍰 🍩🥮 🥪🧀🍪🧁🍩🍹

සත්ව කිරි නැතිව කෑම සෑදීම
සර්ව භක්ෂක ඉඳල ශාක භක්ෂක වුනු මට ඊළඟ ආහාර අභියෝගය එන්න තව වසර ගණනාවක් ගියා. දුව පොඩිකාලේ සිටම සතුන්ට හරිම ආදරෙයි.  2015 යාපනේ ගිය වෙලාවේ නැවතිලා හිටි ගෙදර එළදෙනුන්ගෙන් කිරි ගන්න විදිය දැකල හරිම සතුටු වුනා. එයා කිව්වේ එලදෙනවත්, ඉන්න තැනත් පිරිසිදු කරලා, පැටියටත් දීල ඒ වගේ කිරි ගන්න එක ඒ සතුන්ගේ වාසනාවක් කියල. මම කිව්වා අපි පොඩිකාලේ බිව්වේ එහෙම ගන්න කිරි කියල.
කලක සිටම වානිජමය කිරි නිෂ්පාදනයේදී  සතුන්ට සිදුකරන කරදර ගැන කියමින් හිටියා. එළදෙනුන් නිතර බලෙන් ගැබ් ගැන්වීම, පැටවුන් ඉතා කුඩා කළම මවගෙන් ඈත් කිරීම, පිරිමි පැටවුන් කුඩා කල මසට ගැනීම, මෙලෙස ශාරීරික හා මානසික වධයන්ට ලක් කරන මව්දෙනගේ ප්‍රජනන හැකියා අඩුවෙත්ම සැලකිලි අඩු කර පසෙක දැමීම වැනි නිෂ්පාදන ක්‍රියාවලියේ සත්ව හිංසන ගැන නිතර පැමිණිලි!
ඇමරිකන් හා යුරෝපා රටවල වගේම ජපානයේත් සත්ව ආහාර වලින් වැලකීම ගැන උනන්දුවක් වේගයෙන් පැතිර යනවා. කිරිවලට ආදේශක ගැන කලක සිටම පර්යේෂණ සිදු කරනවා. මුලින් ගෝවා ගැන පර්යේෂණ කළත් පෝෂණය හා අනෙකුත් ගුණ සැලකු විට ආදේශක ලෙස වඩා සුදුසු සෝයා හා ආමන්ඩ් ලෙසයි නිර්දේශ වී තිබෙන්නේ. කැනඩාව රටක් විදියටම කිරි නිෂ්පාදන ආහාර ගැනීම අඩු කරන්න මෙවර food guide එකෙන් යොමුවුණා.
ගිය වසර අග දුව කිව්වා ඊළඟ වසරේ ඉඳන්  vegan වෙනවා කියල. ඒ කියන්නේ සත්ව කිරි බොන්නේ හෝ කිරිවලින් සාදන ආහාර ගන්නේ නැහැ කියල. ඒ සඳහා සාධාරණ හේතුත් කිව්වා. අපි හැමදෙනාම එයාගේ අදහසට ගරුකරලා එයට ඉඩ දුන්නා. නමුත් ආහාර වර්ග හදද්දී ආයේ ලොකු අභියෝගයක්.
හැබැයි මම මුලින් වෙජිටේරියන් වුනු කාලේ වගේ අමාරු නැහැ. දැන් හුඟක් අය වීගන් ආහාර ක්‍රම අනුගමනය කරන හින්ද ආහාර වර්ග වගේම රෙසිපිත් හොයාගන්න පුළුවන්. හැම අසුරුමේම 'අඩංගු දේ' සඳහන් හින්ද තෝරගන්නත් පහසුයි.
දුව එයාට ඕනකරන ආහාර තෝරාගෙන ආව. මුලින් තනියම එයාගේ ආහාර හදාගත්ත. ගෙදර අනිත් අය විගන් වුනේ නැහැ. කොරෝනා කාලේ හැමෝම ගෙදර ඉන්න වුනාම විශේෂ ආහාර හැදීමත් වැඩිවුණා. මටත් ක්‍රම හොයන්න වුණා කාටත් කන්න පුළුවන් වර්ග හදන්න.
දැනට අපි යොදාගන්න ක්‍රම මේවයි.
1. සෝයා කිරි, හේසල්නට් කිරි  හෝ ආමන්ඩ් කිරි භාවිතය: රසයේ තරමක වෙනසක් තිබුණත් බොන්නත්, කිරි යොදාගෙන හදන ආහාර හැම එකක්ම හදන්නත්  පුළුවන්. මේවට සිනි එකතු කරන අවස්ථා තියන නිසා මිලට ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.
2. ඕට්ස් කිරි: හුඟක් ආහාර හදද්දී කිරි වෙනුවට රෙසිපියේ සඳහන් ප්‍රමාණයට වඩා අඩුවෙන් භාවිතා කරන්න පුළුවන්.
3. රයිස් මිල්ක්: රතු හාල්වලින් හදන කිරි වෙළඳ පොලේ තියනව.  ඇත්තටම මම හාල්වලින් කිරි හදන්න පුළුවන් කියල දැනගෙන හිටියේ නැහැ. මේවට ඉහල ඉල්ලුමක් තියනව.
4. සත්ව කිරි නොවෙන බටර්, චීස් ආදියත් වෙළඳ පොලේ තියනව. සාමාන්‍ය කජු, ආමන්ඩ් හා මැකඩමියා කියන කජු වර්ග වලින්  මෙම බටර් හා චීස් හදන්නේ.  සත්ව කිරි හා සමානම පෝෂණ කොටස් තියනවා වගේම සිරුරට ගුණදායක HDL කොලෙස්ටරෝල් තියෙන නිසා රෝග සැදීමේ අවදානම අඩුයි. පීසා, ලසඥ්ඥ, රැප්ස් වගේ චීස් අවශ්‍ය ආහාර ඒවායින් හදාගන්න පුළුවන්.
5. සෝයා ටෝෆු භාවිතය.
6. බටර්මිල්ක් අවශ්‍ය රෙසිපි වලට ඒ වෙනුවට ලෙමන් යුෂ, විනාකිරි, cream of tartar, ටෝෆු භාවිතය
8. රටකජු කිරි (peanut milk) භාවිතය
7. ග්වෝකමොලි: අලිපේර උපයෝගී කරගෙන හදන බටර් වැනි දෙයක්. සැලඩ් සඳහා වගේම බටර් වෙනුවටත් ගන්න පුළුවන්
8. පොල් කිරි භාවිතය 🙂🙂


මේවට අමතරව ජෙලටින් කුඩුවල සත්ව ඇටකටු කොටස් අඩංගු නිසා moss jelly/ Agar agar භාවිතා කරනවා. Agar කියන්නේ මුහුදු ඇල්ගී පැලෑටියක්. ඒවා වියලා වියලි පැළෑටි කොටස් ලෙස හෝ කුඩු ලෙස පැකට් කර විකුනන්න තියනවා. ජෙලටින්වල සිසිල් ගුණය හා ප්‍රතිශක්තිකරණ ගුණ නිසිලෙස තිබෙන්නේ එම මුහුදු ඇල්ගීවලයි. උණු වතුර දාල හැදුවම සාමාන්‍ය ජෙලටින්වලට වඩා ටිකක් ඝනයි.

 බඩු ගන්න කඩේ ගියාම භාණ්ඩ හැම එකේම කිරි හෝ සත්ව කොටසක් ගෑවිලා තියනවද කියල පරික්ෂා කරන එකට සැහෙන කාලයක් යොදවන්න වෙනවා. 🧐  මාගරින් වල පවා කිරි හෝ කිරි කොටස් අඩංගු විය හැකිය කියල තියනවනේ. හොයල හොයල ගෙනාවමත් may contain milk කියල තියනව. එහෙම තියෙන්නේ එකම කර්මාන්ත ශාලාවේ යන්ත්‍රවලින් සත්ව කිරි අඩංගු ආහාරත් හදන නිසාලු.
ලෝකෙම මිනිස්සු සත්තුන්ගෙන් කිරි ගන්න එක නැවත්තුවම ඒවා හරියයි.  🤔

උදව්:
විකල්ප ආහාර පිලිබඳ කියා දුන් සැමට
www.healthline.com/nutrition/egg-substitutes
www.huffingtonpost.ca/2016/06/16/aquafaba-recipes
www.peta.org/living/food/everything-you-need-to-know-about-vegan-cheese/
www.mybluprint.com/article/milk-substitutes
www.purewow.com/food/vegan-buttermilk-substitute






Monday, 25 May 2020

එම්බ්‍රොයිඩර් හා විෂිවන්කා දිනය Vyshyvanka

මේ පින්තුරේ ඉන්නේ කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඉවාන් බේකර්. ඔහු යුක්රේනියානු ජාතික පරම්පරාවකින් පවත එන්නෙක්. ඔහු විෂිවංකා දිනය සමරන්න ඇඳගෙන ඉන්නේ අවුරුදු ගණනකට පෙර ඔහුගේ ආච්චිඅම්මා සහ සීයා එම්බ්‍රොයිඩර් කරලා ඔහුට තෑගි දුන්නු කමිසයක්.

ආසියාවෙන් පැමිණි බවට සාක්ෂි ඇති එම්බ්‍රොයිඩර් කිරීම යුක්රේනයේ සියවස් ගණනක් පැවතුණා. මුලින්ම ආරක්ෂාව සලසන දෙයක් ලෙස සැළකු රෙදි එම්බ්‍රොයිඩර් කිරීම පසුව සෞන්දර්යාත්මක භාවිතා ලෙස ව්‍යාප්ත වුණා. 19 වන සියවස වනවිට ආගමික, සම්ප්‍රදායික සැරසිලි හා ඇඳුම් සඳහා ලෙස ක්ෂේත්‍ර තුනකින් වර්ධනය දකින්නට පුළුවන්. සමහරු සම්ප්‍රදායික මෝස්‌තර හා ක්‍රම අනුව මැසීම කළ අතර, සමහර අය අලුත් නිර්මාණ හඳුන්වා දෙමින් ඒවා අත්හදා බලනව. ක්‍රමශිල්ප ඉගෙනුම එතරම් අපහසුවක් නැති බවත්, කුඩාකළ සිට හුරු නොවුනහොත් ප්‍රයෝගික කුසලතා ප්‍රගුණ කළ නොහැකි බවත් ඔවුන්ගේ අත්දැකීමයි. සැමදා එකලෙස ජනප්‍රිය වූ මෙම කලාව, තාක්ෂණය හා යොදාගන්නා අමුද්‍රව්‍ය අංශවලින් ක්‍රමයෙන් වැඩි දියුණු වුණා.
ඉතාම අලංකාර මෝස්‌තර හා ක්‍රමශිල්ප පරම්පරාවෙන් පරම්පරාවට උරුම කෙරුණු අතර, ප්‍රදේශයන්ට හා ගම්වලට ආවේණිකව පැතිරුණා. මේ අනුව එම්බ්‍රොයිඩර් යුක්රේන ඉතිහාසය, සම්ප්‍රදාය හා සංස්කෘතිය සනිටුහන් කරන පාරිශුද්ධ සංඛේතයක් ලෙස සැලකෙනවා. 
යුක්‍රේන ජාතිකයන් එම්බ්‍රොයිඩර් මෝස්‌තර සඳහා යොදාගන්න ප්‍රධාන වර්ණ 6ක් තියෙනව. එම වර්ණ භාවිතා කරන්නට ඔවුන්ගේම වූ හේතුත් තියනව. 
රතු: මිනිස් ජිවිතයේ ආදරය හා විනෝදය සංඛේතවත් කරන්නේ. ගැහැණු අය හා දරුවන් ගේ කමිස බොහෝවිට රතු වර්ණයෙන් යුතුයි.
නිල්: භෞතික හා අධ්‍යාත්මික නිර්මලත්වය සංඛේතවත් කරයි. පිරිමි අයගේ සහ පිරිමි දරුවන්ගේ කමිස සඳහා මේ වර්ණය වැඩිපුර යොදනවා.
කළු: පොලව හා සරුබව නිරුපනය කරනවා.
රන්වන් (කහ): සමෘද්ධිය හා ධනවත්කම නිරුපණයට යොදාගනී.
කොළ: කාන්තා වර්ණයක් ලෙස තාරුණ්‍යය, සුන්දරත්වය මෙන්ම වසන්ත සමය නිරුපණයට යොදාගන්නේ.
සුදු:  පවිත්‍රත්වය සංඛේතවත් කරයි. අතීතයේ අවිවාහක කාන්තාවන් සුදු වර්ණයෙන් එම්බ්‍රොයිඩර් කළ ඇඳුම් ඇඳ තිබෙන්නේ.

රටේ ප්‍රදේශය අනුව එම්බ්‍රොයිඩර් සඳහා යොදාගන්නා මෝස්‌තර, ක්‍රමශිල්ප  හා වර්ණයන්ගේ වෙනස්කම් පවතිනවා. 
උතුරු හා කඳුකර ප්‍රදේශවල පැරණි ක්‍රම හා ජ්‍යාමිතික මොස්තරත්, රතු, නිල්, කළු වර්ණ අතරින් එකක් හෝ දෙකක් පමණක් යෙදීමත් දක්නට ලැබෙනවා.  
මධ්‍ය හා නැගෙනහිර ප්‍රදේශවල මල් මෝස්‌තර යොදාගැනීම බහුලයි. Outline එකකින් මෝස්තරය යොදා මැද පිරවීම මේ ප්‍රදේශයන්හි මනබඳින නිමයුම්වල දකින්නට හැකියි. මෙයිනුත් පෝල්ටාවා ප්‍රදේශයේ ලා නිල්, ලා කොළ, අළු වර්ණ මෙන්ම සුදු පසුබිම මත සුදු පැහැය යොදාගැනීම බහුලයි. Open work හෙවත් සිදුරු සහිතව එම්බ්‍රොයිඩර් කිරීමත් එම ප්‍රදේශවල ජනප්‍රියයි. 
බටහිර හා සෙසු ප්‍රදේශවල ජ්‍යාමිතික මෝස්‌තර සමගින් එකිනෙකින් කැපී පෙනෙන වර්ණ යොදාගන්නවා. සමහර ප්‍රදේශවල cross stitch යොදාගන්න අතර, curly stitch නම් ක්‍රමයකුත් ස්මෝක් කිරීමත් බහුලයි. බියුකොවිනා ප්‍රදේශයේ වර්ණ නමයක නූල් සමග වර්ණවත් පබළු වර්ග යොදා මනස්කාන්ත නිර්මාණ කරන බව ප්‍රකටයි. 

යුක්‍රේනයේ සෑම ප්‍රදේශයකම එම්බ්‍රොයිඩර් කමිස Vyshyvanka නිර්මාණ දක්නට ලැබෙන අතර,  සම්ප්‍රදායික ක්‍රමය වුණේ කමිස අතේ ඉහල කොටස (උරහිසට පහලින් කොටස) එම්බ්‍රොයිඩර් කිරීමයි. එය 10-15cm  පළල වූ අතර සමහරවිට ඊට යටින් කුඩා තීරුවක් ද ඇතුලත් කළා. කමිසයේ කොලරය, ඉදිරිපස, පහල කෙලවර, අත් අග මෝස්‌තර මුල් මෝස්තරයට අනුගතව ඇතුලත් කළා.
කමිස හැර වෙනත් ඇඳුම් කොටස් සඳහා මෝස්‌තර යෙදීම ප්‍රදේශ අනුව වෙනස්වෙනවා. බෝයිකොස් පළාතේ සායවලත්, පොලිසියාවේ ඒප්‍රන් හා විවාහක කතුන්ගේ හිස් පළඳනා වලත් අලංකෘත එම්බ්‍රොයිඩර් යොදනවා. 
මෙලෙස පළාත්, ප්‍රදේශ, නගර හා ගම අනුව මැහුම් ශිල්ප, සම්ප්‍රදායන් හා එම්බ්‍රොයිඩර් මොස්තරවල වෙනස්කම් බහුලයි.

විෂිවංකා දිනය කියන්නේ මොකක්ද? 
Lesya Voroniuk 
යුක්රේන භාෂාවෙන් විෂිවංකා කියන්නේ එම්බ්‍රොයිඩර් කළ කමිසයට. වසන්ත කාලයේදී මනබඳින  මෝස්‌තර සහිත විෂිවංකා ඇඳීම ඔවුන්ගේ ඉතිහාසය පුරාම තිබුණා. ඒ සඳහා විශේෂිත දිනයක් තිබුනේ නැහැ. 2006 දී විශ්ව විද්‍යාල සිසුවියක වන ලෙස්යා වොරෝනියුක් එකම දවසක සියලු දෙනා විෂිවංකා ඇඳුම් අඳින ලෙසට යෝජනා කළා. මුලින් විශ්ව විද්‍යාලයේ කිහිප දෙනෙක් පමණක් ඒ සඳහා යොමුවුණත්, ක්‍රමයෙන් එම අදහස වේගයෙන් පැතිරී, යුක්‍රේනය පුරාමත්, ලොව පුරා වෙසෙන යුක්රේන ජාතිකයන් අතරත් ඉතා ජනප්‍රිය වුණා. මේ අනුව ඔවුහු මැයි මාසයේ තුන්වෙනි බ්‍රහස්පතින්දා දිනය විෂිවංකා දිනය ලෙස නම්කළා.

දැන් එම දිනය ප්‍රදර්ශන, සංදර්ශන, පෙරහැර ආදිය පවත්වන ඉතා ජනප්‍රිය දිනයක්. ගැහැණු පිරිමි, ලොකු කුඩා හැමදෙන පිටතට පැමිණ මේවට සහභාගී වෙමින් සතුටුවෙනවා. ඒ වගේම විෂිවංක මෝස්‌තර ලොව පුරාම ජනප්‍රිය වීමටත් මේ දිනය හේතුවුණා.


2014 සිදුවූ රුසියානු ආක්‍රමණයත්, යුක්රේනයේ නැගෙනහිර කොටසක් වන ක්‍රිමියාව අනීතික ලෙස රුසියාව විසින් අත්පත් කරගැනීමත් වැනි අවස්ථාවල තම පරමාධිපත්‍යය රැකගැනීමට යුක්රේනියානු ජාතිකයන් දැරූ වෙහෙස ආදිය ස්මරණයත් මෙදින සිදුකිරීම පසුව එකතුවූ අංගයන්. 
එනම්, විෂිවන්කා දිනය ඔවුන්ගේ නිදහස, ප්‍රජාතන්තවාදය හා ස්වාධීනභාවය රැකගැනීමට කළ කැපකිරීම් සිහිපත් කර අගය කරන දිනයක්ද වෙනවා.


මෙම දිනයේ ලෝකයේම වෙසෙන යුක්රේන සම්භවයක් ඇති අය අලංකාර, කලාත්මක, අනබිභවනිය මෝස්‌තර සහිත කමිස ඇඳ ඔවුන්ගේ විවිධත්වයෙන් යුතු එකමුතුබව, අභිමානය සහ ආදරය ලොවට දක්වනවා.


උදව්:
.international/ukraine-top-news/vyshyvanka-day-in-ukraine-how-is-it-celebrated
112.international/article/embroidery-day-in-ukraine-ornament-of-the-age
en,wikipedia.org/wiki/Ukrainian-embroidery
www.unian.info/society/10551081-nation-code-ukrainians-celebrate-vyshyvanka-day
http://www.encyclopediaofukraine.com/