Sunday, 26 August 2018

සීත රටක ගෙවතු වගාව

අව්රුද්දෙ වැඩි දවසක් සීතලෙන් තියන රටවල කෘෂිකාර්මික කටයුතු කෙරෙනවා. වසර පුරා සිදුකරන්න බැරිවුණත් සුළුවට කෙරෙන ගෙවතු භෝග වගා වගේම මහා පරිමාණයේ වතු යායවල ගොඩ ගොවිතැනත් කරනවා.  උතුරු අර්ධගෝලයේ උතුරින් පිහිටන රටක රසායන ද්‍රව්‍ය නොයෙදා විවෘත පරිසරයක ගෙවතු එළවලු වගා කරන ආකාරය අත්දැකීම් ඇසුරෙන් ලියන්නම්.

පාත්ති සකස් කිරීම:
නොවැම්බර් මාසේ මුල වන විට පාත්ති සකස් කරන්න ඕනේ.  අලුත් පාත්ති සෑදීමට අඩියක් පමණ ගැඹුරට  පස් ටික පෙරලා ඒ මතින් කොම්පෝස්ට් තට්ටුවක්, අළු දමා පස් සමග මිශ්‍ර කරනවා. පස් පිරවීමක් තමයි වෙන්නේ. (raised vegetable bed).  පාත්ති වට කරන්නේ ලෑලිවලින්. කොන්ක්‍රීට් දමා හෝ ගඩොල් අල්ලා වට කිරීමත් කරන්න පුළුවන්. සිතල දැඩි වෙන්න පෙර මෙය කරන්න ඕන සිතල වුනු ගමන් පස උදැල්ලක් ගහන්න බැරිවෙන තරමට හයිවෙන නිසයි. මෙසේ පිරවූ පාත්ති වියලි තණකොළ, වියලි කොළ පිදුරු හෝ පරණ කපු රෙදිවලින් ආවරණය කරනවා.
සමහරු ඔක්තෝබර් මැදකදී පරණ වගාව ඉවත්කොට පස සකසා කෙටි කාලයකින් හැදෙන මෑ, බෝංචි වැනි රනිල කුලයේ ශාක වර්ග වර්ග ඉන්දනවා. එම ශාක ආවරණ වගාවක් ලෙසයි යොදාගන්නේ. ඒ කියන්නේ සීතලට ඒවා මැරි ගියාම ඒ කොටස් මගින් පස ආවරණය වෙනවා. වගාවට නයිට්‍රජන් එකතුවීමත්, පස බුරුල්ව පවත්වාගත හැකි වීමත් මෙහිදී අමතර වාසියක්.

සකස් කළ පස ඊළඟට මාස පහ හයක් සීතලට හා හිමට නිරාවරණය වෙන්න අරිනවා. සාමාන්‍ය රීතිය පොහොර යෙදීමත්  එළවලු පැල සිටුවීමත් අතර මාස හයක්වත් තැබිය යුතුයි කියලයි. මේ රීතිය විශේෂයෙන්ම අමුවෙන් ආහාරයට ගන්න කොළවර්ග සිටුවීමේදී වැදගත්.  මෙහෙම සීතලට මුහුණ දීම නිසා පස තද වීමට අමතරව පසේත් කොම්පොස්ට්වලත් තියන දිලිර, බැක්ටීරියා ඇතුළු විෂබීජ විනාශ වෙලා, කෘමි ජිවන චක්‍රයේ අවස්ථා විනාශ වෙලා යන නිසා වගාවට පහසුයි. තද සීතල හා හිම පතනය අඩු වසරවල රසායනික පොහොර හා කෘමි නාශක නොයොදන වගාවන් නිසරු වෙන්නේ වගේම කෘමි හානි සිදුවෙන්නේ සීතල නිසි ප්‍රමාණයට නොලැබීම නිසයි.

පැල තවාන් දැමීම: මෙය නිවෙස තුළ හෝ ආවරණයක් හා උණුසුම ඇති තැනක සිදු කරන්නේ.
සාමාන්‍යයෙන් පැල සිටවිමට සති හයකට පෙර ඒ සඳහා සකසා ගෙන පස් පුරවාගත් පෝච්චි හෝ පොලිතින් බෑග්වල ඇට වර්ග තවාන් දමන්නේ. මේ සඳහාම විශේෂිත කුටීර වෙන්කළ දිරන ප්ලාස්ටික් බඳුන්ද තියෙනව. එළිමහනේ කාලගුණය උණුසුම් වන තෙක් මතුවන  පැලවලට අවශ්‍ය තරම ජලය දමමින් රැක බලාගැනීම කරනවා. ඒ කියන්නේ මාර්තු මාසේ මැද සතිවල තමයි තවන් දැමීම වඩා සුදුසු.
බොහෝ දෙනා මේ සඳහා එතරම් කරදර නොවෙන අතර පැල තවන් වලින් නිසි ප්‍රමාණයට වැඩුණු පැල මිලදී ගැනීමට  යොමුවෙනවා.
අප්‍රේල් මාසය වනවිට උණුසුම වැඩිවෙමින් යන අතර හිම වැටීමත් එතරම් සිදුවන්නේ නැහැ. ක්‍රමයෙන් වැස්ස ආරම්භවීමත් සමග මෙතෙක් පස් යට සිටි ගැඩවිල් පනුවන් මතුවෙන්න ගන්නවා. එයින් තරමක් පස බුරුල් වුණත් පසේ තද ගතිය අඩු නැහැ.

පැල හා ඇට එළිමහනේ සිටවීම:
මෙය ඇත්තටම එක එක එළවලු වර්ගය අනුව වෙනස්. මැයි 21 වනතෙක් ඕනෑම වෙලාවක හිම වැටෙන්න පුළුවන් නිසා ඒ වනතෙක් සංවේදී පත්‍ර තියන පැල එළිමහනේ සිටවන්න සුදුසු නැති බවත් අසා තිබෙනවා. ගස් හා ඇට සිටුවිමට පෙර නැවත වරක් මුල්ලු උදැල්ලකින් පස බුරුල් කරනවා.
 රාබු, ලීක්ස්, අර්තාපල්, සලාද කොළ වගේ තවාන් නොදමන, සීතලට ඔරොත්තු දෙන වර්ග යන්තම් පස් තද ගතිය අඩුවෙනකොට බිම්ගත කරන්න පුළුවන්.
තවන් පැල බිම්ගත කරන්න පෙර එළිමහනේ සෙවන තැනක දින 10ක් පමණ තැබීම කරනවා. මේ වනවිටත් පරිසරය සිතල වුනත් මැයි මාසය ආරම්භ වනවිට දීර්ඝ දිවා කාල තිබෙන නිසා ශාක අව්වට හා එළිමහනට හුරුකරවිමක් වෙනවා.
 මැයි මාසේ අග වෙනකොට උෂ්ණත්වය 20C ට වැඩිවන නිසා බොහොමයක් පැල හා ඇට වර්ගබිම්ගත කරන්න පුළුවන්. ශාකය වැඩීමට අවශ්‍ය අව්ව, සෙවන අනුව සුදුසු ස්ථාන තෝරා සිටුවන්නේ. මේ වනවිට කලින් වසරේ සිටුවා හෝ ඇට වැටී හෝ සීතලට සැඟවී සිටි ලීක්ස්, මිංචි, සූදුරු, කොත්තමල්ලි, තම්පලා, රුබාබ් වගේ පැලත් මතුවෙනව. රසායන ද්‍රව්‍ය භාවිතා නොකරන කාබනික ගොවිතැනේදී සුදුළුණු, මිංචි, ලෙමන් ග්‍රාස් වැනි ස්වභාවික කෘමි විකර්ෂක පාත්තිවල සිටවනවා.

ඉන් පස්සේ තියෙන්නේ වතුර දමමින්, වල් නෙලමින්, වැල් වලට ආධාරක මැසි ගසමින් නිසි සාත්තු සප්පායම් දෙමින් රැකබලා ගැනීමයි. ජුනි, ජුලි, අගෝස්තු මාසවල පැය 14කට වැඩි දීර්ඝ දිවාකාලත් තද හිරු රශ්මියත් තියෙන නිසා ශාක ඉක්මණින් වැඩෙනවා වගේම වේගයෙන් ඵල දරනවා.
ඒ නිසා දිනපතා සැලකිල්ලෙන් ඵල නෙලීම කරන්න ඕනෙ.
ඵල දරා අවසන් වෙන ශාක පාත්තිවලින් ඉවත් කිරීමත් ඒ අතරතුර සිදුවෙනවා.

වස විස නැති නැවුම් එළවලු රස විඳිමින්, බෙදා හදාගනිමින්  සිටින අතර ඔක්තෝබර් මාසය   වෙද්දී ක්‍රමයෙන් ඉර එලිය වැටෙන කාල සිමාව, උණුසුම වගේම ඵලදාවත් අඩුවේගෙන යනවා. පරිසරයට අනුගතව දුකෙන් වුනත් භෝග වගාවට සමුදෙන්න සුදානම් වෙනවා. සමහරු නම් සීතලට හා හිමට ඔරොත්තු දෙන බෝග වගා කරන්න ගන්නවා.
ඔක්තෝබර් අවසානය වෙද්දී අල ගලවා, කැරට් බීට් උගුලා, සියලුම භෝග වගේ ඵල නෙලා අවසන් වෙනවා. පස තද වෙමින් යන අතර ගස්වල ප්‍රාණවත් ගතිය නැතිවෙනවා. ඒ අතර හිම රැල්ලක් ගියොත් එහෙම සීතලට ඔරොත්තු දෙන කේල් වගේ පැල ඇරුණම අනිත් ගස් ඔක්කොම වගේ කලුවෙලා මැරිලා යනවා. තවත් පස් තදවෙන්න පෙර පරිසර වෙනස්කම් වලට හිස නමමින් මේ ගස් ඉවත් කරලා සීත ඍතුවට පෙර ඊළඟ ගිම්හානයට පස සකස් කිරීම කරන්න ඕනෙ.
ඔන්න ඔහොමයි තදින් ඍතු වෙනස්වීම් සිදුවෙන රටවල ගෙවතු භෝග වගා කරන්නේ. දේසේ හැටියට බාසේ ..


උදව්:
ගෙදර ගොවි මහතා ප්‍රදීප්
www.growveg.com/guides/5-ways-to-build-soil-in-winter/
blog.gardeners.com/2013/11/cover-crops/
h2obungalow.com
www.almanac.com/starting-seeds-indoors

Thursday, 16 August 2018

කොලෙන් පිසදැමීමේ කතාව

වැසිකිලි යාමෙන් පසු සබන් යොදා හොඳින් අත සේදීම අපට කුඩාකළ සිටම පුරුදු කළ දෙයක්. ඊට හේතුව ශරීර කෘත්‍යයෙන් පසු වතුර හා අත භාවිතයෙන් පිරිසිදු කරගන්නා නිසා, අතේ ඉතිරිවන යම් විෂබීජයක් ඇත්නම් ඉවත් කර ගැනීමටයි.
බටහිර ජාතීන්ගේ වියලි වැසිකිලි ගැන සාකච්චාවකදී ඔවුන් වියලි වැසිකිලිවලට  හුරුවුයේ හෙවත් ජලය භාවිතා නොකරන්නේ මන්ද යන්න ගැන බොහෝ දෙනෙක් විමසිලිමත් වුනා. මෙතැනදී වියලි වැසිකිලි කියන එකෙන් අදහස් කරන්නේ ජලය කිසිසේත් භාවිතා නොකිරිම නොවෙයි. එහෙම වැසිකිලි වර්ගයකුත් තියෙනව. ඒවායේ මලපහ කෙලින්ම ප්‍රතිචක්‍රීකරණය කෙරෙනවා. කතාවට ලක් වුණේ ශරීර කෘත්‍යයෙන් පසු සෝදා ගැනීමට ජලය නැතිව කඩදාසි භාවිතා කරන වැසිකිලි ගැනයි. දැන් දැන් ලංකාවෙත් මෙවැනි වැසිකිලි  බහුල වෙමින් යනවා.
ආසියානු අපට හුරුවෙන්න අපහසු දෙයක් වියලි වැසිකිලි.  බටහිර අය එහෙම හුරුවෙන්න ඇත්තේ ඇයිද කියල ඉතිහාස තොරතුරු හෙවිම ලෙහෙසි නැති වුනත්,  අධ්‍යාපන ආයතනයකින් ගිය චාරිකාවකදී ඒ ගැන කෙලින්ම නොකියවුණත් යම් අදහසක් ගන්න පුළුවන් වුනා.
යුරෝපින් ඇමරිකා මහද්වීපයට ඇවිත් මුලින් විශාල ඉඩම් හිතු මනාපෙට අත්පත් කරගත්තා. ගොවිතැනට පහසුවෙන්න හින්ද ජලය තියන තැනකට ආසන්නව උස බිමක තමයි ගෙවල් හදාගෙන තියෙන්නේ. විශාල කොටන් දෙකට පලා ඒවා බිත්ති විදියට යොදාගත් log house වල  මුලින් සාමාන්‍ය මිනිසුන් ජීවත්වෙලා තියෙන්නේ.
කුඩා කාමරයක් හෝ දෙකක්ද,  සාලය හා කුස්සියට භාවිතා කරන එක කොටසකින්ද  යුතු ගෙවල්වල සමහරවිට දරුවන් සමග හත් අටදෙනා ජීවත්වෙලා තියනව. කුඩා නිවසක් වීමේ වාසියකුත් තිබිල තියෙනවා. සිතල කාලයට නිවස රත් කරගන්න එතරම් දර එහෙම වැයවෙන්නේ නැහැනේ. නිවස උණුසුම් කරගැනීමට භාවිතා කළ උදුනෙන්ම තමයි ඉවුම් පිහුම් හා වතුර රත් කරගැනීමත් සිදුවෙලා තියෙන්නේ.
වතුර කියන දෙය තරමක් හිඟ දෙයක් විදියටයි සලකන්නේ. ජලය සමීපයේ විසුවත් නිවසට ජලය වෙනම සපයාගත් යුතු නිසා. බාල්දි හෝ  ඒ සඳහා සකස් කළ කූඩ වලින් වතුර ඇදල තියෙන්නේ. මේ විදියට ගෙනෙන වතුර බොහොම අරපරිස්සමින් පාවිච්ච් කරලා. කොච්චර පරිස්සම්ද කියනවනම් නාන්නේ කලාතුරකින්.

සීතල කාලෙට උදේම ලොකු භාජනයකට වතුර උණු කිරීම පටන් ගන්නව. විශාල ලෝහ භාජනයකට වතුර පුරවා එය උදුන මත තබා උයන පිහන අතරේ එය රත්වීමට සැලසීම එක විදියක්.  කුඩා උදුන් තියන අය ලෝහ බාල්දිවල හෝ  කේතල්වල ජලය ටික බැගින් උණුකර නාන ලි බේසම පිරවීමයි කර තිබෙන්නේ. නිවසේ කුඩා ළමයි ඉන්නවනම් උදුන යකඩ බටවලින් වටකරලා තියෙන්නේ. ඒ උඩත් යකඩ තහඩුවක් තියල ඒ මත භාජන තියා රත් කරගැනීම හා ඉවීම කරලා තියෙනවා. ගිම්හාන කාලයේ නිවසෙන් පිටත තැබූ බඳුනට කෙලින්ම ගඟෙන් ගෙනෙන ජලය පුරවා තිබෙනවා.



තරමක් මුදල් තියන අය නාන බේසම විදියට ලෝහ බේසමක් පාවිච්චි කරල තියෙන්නේ.
හවසට ගෘහ මුලිකයා ගොවිබිමෙන් හෝ දඩයම් කර පැමිණි විට ඔහු අර පිරිසිදු උණුසුම් ජල බේසමට බැහැල  ඇඟපත සෝදා ගන්නවා. ඊළඟට වැඩිමහලු  සිට බාල අය දක්වා එකිනෙකා අර වතුරටම බැහැල පිරිසිදු වෙනව. අවසානයේ කුඩාම අත දරුවාව අර සියල්ලන් බැහැල අපිරිසිදු වූ ජලයෙන් සෝදනව. ඒ කියන්නේ වතුර ටික විසි කිරීමට පෙර එයින් උපරිම ප්‍රයෝජන ගන්නවා.
ජල භාජනයේ පිරිසිදුවීම දිනපතාම කෙරුණු දෙයක් නොවේ. සතියට එක දිනක් නාල අනිත් දවස්වලට තෙත රෙදි කැබැල්ලකින් මුහුණ, කිහිලි හා පසු ප්‍රදේශය පිසදා ගැනීමක් කර තිබෙන්නේ.

හිම වැටෙන කාලයට මේ විදිය වෙනස් වෙන්නේ වතුර ගෙනෙන්න ගඟට යන්න ඕනේ නැති නිසා. ගේ වටේ වැටෙන හිම එකතු කරලා උණු කරගන්නවලු. ඉතින් එතකොට ඕනතරම් වතුර තියෙනවනේ කියල හිතන්න පුළුවන්. එහෙත් වතුර උණු කරන්න භාවිතා කරන දර ප්‍රවේසම් කරගත යුතු නිසා දවසකට එක බේසමක් මිස ඊට වඩා උණු කරන්නේ නැහැ. ඒ නිසා අනික් කාලවල වගේමයි සීත කාලයේ වතුර භාවිතයත් අර පරෙස්සමින්. මේවා විස්තර කළේ දැනට සංරක්ෂනය කරලා තියෙන ලොග් හවුස් එකක් ඇති කෞතුකාගාරයක මග පෙන්වන්නෙක්.

උණුසුම් කාලෙටවත් ගඟෙන්, ඇල දොලෙන් නා ගන්න පුළුවන් නේද කියල හිතෙනවා නේද? ඒකත් සිද්දවෙලා නැහැ හේතු දෙකක් නිසා. එකක් ගඟකින් නෑවම ලෙඩ වෙනවයි කියල මතයක් තිබුණු නිසා.  එකල බොහෝ නිවෙස්වල රාත්‍රියට මළමුත්‍ර කිරීම සඳහා බාල්දියක් තිබිල තියනව. එය දිනපතා හිස් කරලා තියෙන්නේ ගඟටයි.  ඉතින් විෂබීජ ශරීර ගතවෙලා රෝගී වෙන්නත් ඇති. 20 වන සියවසේත්  දිනපතා ලන්ඩන් නගරයේ වැසිකිලි බාල්දි එකතුකර ඉවත ලා ඇත්තේ තේම්ස් නදියටයි. පාර්ලිමේන්තුවේ ඒ පැත්තට විශේෂ තිරත්  දාල තියෙනවා ගන්ධය ඇතුලතට නොඑන්න.  අනිත් හේතුව ගංගාවල ජලය උණුසුම්ව තියෙන්නේ වසරකට මාස දෙක තුනක් පමණයි. වතුරේ අධික සිතල නිසා ගඟෙන් ඇල දොලවලින් පිරිසිදු වීමේ හුරුවක් තිබිල නැහැ. ආගම් මගිනුත් යම් තහංචි තිබිල තියනව. මුළු සිරුරම සේදීමෙන් කාමය උද්දීපනය වන නිසා එය නොකළ යුත්තක් බව කියා දී තිබෙනවා. ඒ යුගයේ කන්‍යාරාමවල වෙසෙන පැවිදි කාන්තාවන්ට මුහුණ හා අත් හැර සිරුරේ කොටස් සේදීම තහනම්ව පැවතුණා.

 ස්පාඥ්ඥයේ ඉසබෙලා රැජින ඇගේ අවුරුදු 50ක ජිවිතේ නාල තියෙන්නේ එක දිනයිලු. අවුරුද්දකට එක දිනක් නෑම මධ්‍යකාලින යුරෝපයේ සාමාන්‍ය පිලිවෙතයි.  කාන්තාවන්ගේ වාර්ෂික ස්නානය යෙදිලා තියෙන්නේ මැයි මාසෙට නිසාලු ජුනි මාසයේ June Bride ලා ජනප්‍රිය. මනාලිය මල් කළඹක් ගෙනියන්න හුරුවුණේ සිරුරේ ගන්ධය අන් අයට දැනීම අඩු කරගන්නයි. ප්‍රංශ ජාතිකයන් සුවඳ විලවුන් හදන්න හා නිවෙස්  වටා සුවඳ හමන සයිප්‍රස් වැනි ගස් වර්ග වවන්න පෙළඹිලා තියෙන්නෙත් ඒකයි.
ජනයා රැස්වන තැන්වල  පුද්ගලයෙක් සුවඳ හමන මල්, ගස්වල කොටස්, දොඩම්වල රැන්දු කරාබුනැටි ආදිය රැගෙන යනවලු. ඔහුව හඳුන්වල තියෙන්නේ Nose-gay හෙවත් නහය සතුටින් තියන තැනැත්තා කියල. මිනිස්සු ටිකකට නැවතිලා ඒවායෙන් සුවඳ උරාගෙන තියෙනවා.
පොහොසත් මිනිසුන්ගේ නිවෙස් තුල නාන කාමර හා නාන බේසම් තිබීමෙන් ඔවුන් වඩා සෞඛ්‍ය සම්පන්නව සිට ඇති බව පෙනී යනවා. රාත්‍රියට වැසිකිලි යාම අවශ්‍ය වූ විට ඒ සඳහා පියන සහිත එනැමල් භාජනයක් යොදාගැනීම නිවෙස් ඇතුලත වැසිකිලි ඉදි කෙරෙන තෙක් ලොව පුරාම සිදුවුණා.
මේ ලිපිය ලියන්න හේතුවුණේ බටහිර රටවල අය මලපහ කිරීමෙන් පසු සිරුරේ පශ්චාත් භාගය පිරිසිදු කරගත්තේ කොහොමද කියන එකත්, එය කඩදාසි කැබලි වලින් පිස දැමීම කරන අද දක්වා ව්‍යාප්ත වුනේ කොහොමද කියන එකත් විමසීමටයි.
අතීතයේ කැලෑවට ගොස් කටයුත්ත නිමවා ගස් කොළවලින් පිසදැමිමයි කර තිබෙන්නේ. මේ සඳහා බූව රහිත, ස්පන්ජිමය, වතුර ගතියක් ඇති ශාක පත්‍ර වර්ග අද දක්වාම යුරෝපයේ හා දකුණු ඇමරිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල භාවිතා කරනවා.

යුරෝපයේ හෝ ඇමරිකාවේ මළපහ කිරීමෙන් පසු වතුර භාවිත කළ බවක් සඳහන් වන්නේ අඩුවෙන්. ශාක පත්‍ර, තණකොළ වර්ග, පිදුරු, පර්ණාංග කොළ, ලයිකන වර්ග, පලතුරු පොතු භාවිතයෙන් පිසදාගෙනයි පිරිසිදුව ඇත්තේ. හිම තිබෙන කාලයට හිම ටිකක් උදව්වෙන් පවිත්‍ර වී තියෙනවා.
පැරණි රෝමයේ වැසිකිලි එකිනෙකාගෙන් ආවරණය වූ ඒවා හෝ ගැහැණු, පිරිමි ලෙස වෙන්කර තිබු ඒවා හෝ නොවේ. ගලා යන ඇල මාර්ගයකට ඉහලින් ලෑල්ලක් සවිකර එය සිදුරුකර එහි වාඩිවී ශරීර කෘත්‍යය කරගැනීමට පහසුකම් සලසා තියෙන්නේ. කර්තව්‍යයෙන් පසු කෝටුවකට සවි කරන ලද මුහුදු හත්තක් වැනි ස්පොන්ජ් එකක් භාවිතා කර පශ්චාත් ප්‍රදේශය පිසගෙන තිබෙනවා. එය ලුණු වතුර හෝ විනාකිරි දැමු බාල්දියක දමා තිබී ඇත්තේ.  පොදු වැසිකිලිවල භාජනවල දැමු මේවා පොදුවේ පාවිච්චි කර තිබෙන්නේ. භාවිතයෙන් පසු හොදින් සෝදා මිරිකා අනෙකාට භාවිතයට බාල්දියට දැමීම යහපත් පුරුද්දක් ලෙසයි සලකල තියෙන්නේ.
දේශ ගවේෂකයන්  ඉවතලන ලෝමත්, ධනවත් හා බලවත් පුද්ගලයන්  ලෝම හෝ භාවිතා කළ රෙදි කැබලි යොදාගෙන පවිත්‍ර වී ඇත්තේ. මේ සියල්ල වියලි තත්වයෙනුයි ප්‍රයෝජනයට ගෙන තිබෙන්නේ.
18වන සියවසේ එංගලන්තයේ හා ඒ අසන්න රටවල එකල සුලබව තිබී ඇති සිප්පිකටු හා බෙලිකටු ආධාරයෙන් පිරිසිදු කරගත් බවත්, ග්‍රීසියේ පිඟන් කටු කුඩු  හා සුමට ගල් වර්ගත්, ජපානයේ අයිස්ක්‍රීම් කෝටු වැනි පැතලි ලි වර්ගත්  භාවිතා කළ බවට සාක්ෂි තිබෙනවා.
බඩ ඉරිඟු කරලේ මදය මෑතක් වනතෙක්ම මළ මාර්ගය අග පිස දැමීමට භාවිතා කරලා තියෙනව. එක වරකට ඉරිඟු කරල් දෙකක්වත් අවශ්‍යයි. රතු කරලක් මුලින් පිස දැමීමටත්, සුදු කරලක් සම්පුර්ණයෙන් පිරිසිදු වෙලාදයි  පරික්ෂා කිරීමටත් යොදාගෙන තියෙනවා.  නිවසෙන් ටිකක් ඇතට වෙන්න ආවරණය වූ තනි වැසිකිලියක් සැදීම (out house) පටන් ගත් පසු එහි ඉරිඟු බඩ දැමූ බාල්දියක් තබා තියෙනවා පිසදා ගැනීමට. මෙයින් පෙනී යන්නේ අතීතයේ සිටම බටහිර ජාතින් වියලි පවිත්‍ර කරගැනීමකට හුරුව  සිට ඇති බවයි.
Outhouse 
වැසිකිලි යාමෙන් පසු පිරිසිදු කිරීමට කඩදාසි කොළ යොදාගැනීම චීනයේ 6වන සියවසේ සිටම කර තිබුනත් එම පුරුද්ද යුරෝපයට පැමිණ තිබෙන්නේ 19වන සියවසේදීයි. තෙතමනය සහිත හතරැස් කඩදාසි ගොනු ලෙස විකිණීමට තිබුණත්, ඒ ගැන එතරම් අවධානයක් යොමුවී නැහැ.
විවිධ දේ මුද්‍රණය කළ පුවත්පත් හා සඟරා කඩදාසි, වෙළඳ ප්‍රචාරක කැටලොග් වැසිකිලි යාමෙන් පසු භාවිතය පසුගිය සියවසේ 90 දශකය දක්වාම යුරෝපයේත් ඇමරිකාවෙත් සිදුකර තිබෙනවා. Outhouse වල හතරැස් කඩදාසි, බඳුනක ලා හෝ එල්ලා තබා ප්‍රයෝජනයට ගැනීමත් සමග ඉරිඟු මද යොදාගැනීම අභාවයට ගොස් තිබෙනවා. ඒ සඳහාම විශේෂිත කොළ රෝල් විකිණීම 50 දශකයේ  සිටම තිබුණත් සාමාන්‍ය නිවෙස්වල භාවිතා වී ඇත්තේ පොත් හා පුවත්පත්වලින් ඉරා වෙන්කර ගත් මුද්‍රිත කඩදාසියි.
යටත් විජිත යුගයේ ආසියානු රටවල ජනතාව උපයෝගී කරගන්නා ජලයෙන් සෝදා පිරිසිදු කිරීමේ ක්‍රම දැක, ඒවා වඩා සෞඛ්‍යාරක්ෂිත බව පිළිගෙන ඇතත් ඒ අදහස් බටහිර රටවලට හඳුන්වා දීම පහසු වී නැහැ. ජල මුද්‍රිත වැසිකිලියක් තුළ සෝදා ගැනීමට වෙනම බිඩේ බේසම් සවි කිරීම 80 දශකයේ ප්‍රංශයට හඳුන්වා දී ඇතත් එය ජනප්‍රිය වී නැහැ.  ජලය භාවිතා කිරීම ගැන ජනතාව පුදුම වූ බවත්, ඒ නිසාම  හුරුව ඇතිකිරීම අපහසු වූ බවත් පෙනී යන්නේ.
ඉතා අඩු වැයකින්,  නිවෙස් තුල භාවිතා කරන වැසිකිලි උපකරණවලටම බිඩේ ෂවර් එකක් සවි කිරීම හඳුන්වා දීමට උත්සහ කර ඇත. ඒ මගින් වැසිකිලිය වියලි තත්වයේ තිබියදීම පුද්ගල පවිත්‍රතාව සිදුකල හැකි බව ආදර්ශනය කර ඇතත්, ඒවා සාර්ථක වී නැත්තේ වියලි පවිත්‍ර කිරීමටම පුරුදු  වී ඇති නිසයි.
වසරකට  ඇමරිකා එක්සත් ජනපදය  තුළ ඩොලර් බිලියන හතක්  toilet papers සඳහා වැය කෙරෙනවා. මේවයින් සිදුවන පරිසර හානිය ගැන කතාබහට ලක්ව ජල භාවිතය පිලිබඳ අවධානය යොමුවෙමින් තිබෙනවා.

එහෙත් නිසි ලෙස පිරිසිදු කරගන්න අපටත් වියලි කොළවලින් පිස දැමීම හුරු කිරීමයි වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ.

උදව්:
Scarborough Museum and facilitators
Black Creek Pioneer Village
apioneerlife.blogspot.com/home-life.html
www.quora.com
www.historyundressed.com/history-of-hygiene-bathing-teeth
www.todayifoundout.com/index.php/toilet-paper

Thursday, 9 August 2018

පළඟටි රෑන් වසංගතේ Locust Swarm

මහන්සියෙන් වවා හදාගෙන ඵල නෙලන්නට ඔන්න මෙන්න තියන වගාබිමක් වැහෙන්න වලාකුලක් වගේ මහ විශාල කෘමි රෑනක් ඇවිත් දවස් දෙක තුනක් ඇතුලත සියල්ල කා දමා විනාශ කළොත් මොකද හිතෙන්නේ?  හිතන්නවත් ඉඩ නොතියා සිදුවෙන මේ සිදුවීම බයිබලයේ පවා සඳහන් වෙන වසංගතයක් බඳු තත්වයක්. එදා සිට අද දක්වා ඉතිහාසය පුරා වරින් වර මිනිසුන්ට මුහුණ පාන්නට වන මෙය හඳුන්වන්නේ Locust Swarm කියල. වාසනාවකට ලංකාව වගේ රටවලට බලපෑමක් නැතිවුණත් ලොව බොහෝ රටවල් මෙයින් පීඩා විඳිනවා.

 මේ ගැන මුලින්ම කියෙව්වේ ලෝරා ඉන්ගල්ස් ගේ Little House කතා මාලාවේ On the Banks of Plum Creek  පොතෙන්. (මිදි ඔය අසබඩ කියල සිංහලට පරිවර්තනය වෙලා තියනව). එයාල  මාස ගණනක් මහන්සි වෙලා වගා කරපුවා පළඟටියන් වැනි කෘමි රෑනක් ඇවිත් දවස් තුන හතරක් තුල ගිල දමා ඉගිල ගිය හැටි ඒ පොතේ විස්තරාත්මකව තියනව. 1870 ගණන්වල වුනු ඒ සිදුවීමෙන් පස්සේ ලෝරලා ජීවත්වූ ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රදේශයට එවන් ආක්‍රමණයක් වාර්තා වෙලා නැතත් ලොව පුරා සෑම වසරකම රටවල් කිහිපයකින්ම අසන්නට ලැබෙන ව්‍යසනයක්, ලොකස්ට් රංචු වසංගතේ.

රැහැයියන් හෝ පළඟටියන් බඳු පියාපත් සහිත කෘමි විශේෂයක් ලෝකස්ට් කියන්නේ.
රැහැයියන් අයිතිවෙන Acrididae කුලයටයි අයිති වෙන්නේ. කන්නෙත් කොළ වර්ග හා ධාන්‍ය වර්ගයි. පාද එකිනෙක ඇතිල්ලීමෙන් හෝ පියාපත් ඇතිල්ලීමෙන් හඬ නිකුත් කරන්නේ. පිටුපස පාද ආධාරයෙන් පැනීම කරනවා. තනිව සිටියොත් පළඟටි මෙන්ම පාඩුවේ හානියක් නොකර ජිවත්වන්නේ. මිනිසුන්ට හෝ සතුන්ට විෂ ඇතුල් කිරීමක් හෝ විදීමක් කරන්නේද නැහැ. පලාපෙත්තන්ගෙන් උන් වෙනස් වන්නේ ගහණයේ ප්‍රමාණය හා පරිසර තත්ත්ව අනුව උන්ගේ  ශරීර වර්ණය, හැඩය හා හැසිරීම වෙනස්වන නිසයි.  තමා වෙසෙන පරිසරයේ කුමක් සිදුවූවත් පලාපෙත්තන් කිසිදු වෙනස්කමක් නැතිව තමන්ගේ පුරුදු ආකාරයට ක්‍රියා කරන අතර තැනින් තැනට ගමන් කරන්නේ නැහැ. එහෙත් ලෝකස්ට් වර්ග පරිසර තත්ත්ව  අනුව තම චර්යා වෙනස්ව ප්‍රදර්ශනය කර  රංචු පිටින් දිගු දුරක් සංචරණය කරන  සත්ව විශේෂයක් බවට පත්වෙනවා.

යුරෝපා,ආසියා, අප්‍රිකා, ඇමරිකා හා ඕස්ට්‍රේලියා මහද්වීපවල රටවල් 60කට වැඩි ගණනක හමුවන ලෝකස්ට්  මිනිසුන්ට කෙලින්ම කරදර නොකළත්, ලෝකයේ භූමියෙන් 20%ක පමණ අක්කර දහස් ගණන් වගා විනාශ කිරීම නිසා රටවලට දැඩි ආර්ථික හානි සිදුකරන සත්වයෙක්. කෘමි ලොවෙන් සිදුවන මහාම ව්‍යසනය වන මෙය වසංගතයක් වන්නේ කෙසේද කියා බලමු.

සාමාන්‍ය කෘමි ජිවන චක්‍රයක් ඇති ලොකස්ට් බිත්තර දමන්නේ පස තුළයි. සති දෙකකින් බිත්තරවලින් පිටතට එන තටු නැති  කොලපාට පෙත්තන් කිහිප විටක් හැව අරිමින් සති 4 - 6 අතර තටු තිබෙන වැඩුණු සතෙක් වෙනවා. පරිසරය සීත හෝ වියලි නම් සුහුඹුල් සතෙක් වෙන්න මිට වඩා කාලයක් ගතවෙනවා. වැඩුණු සතෙක් බවට පත්වී සති 4කට පසු ඔවුන්ට බිත්තර දැමීමේ හැකියාව ලැබෙනවා.

සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ තනි තනිව හානියක් නොකර ජිවත්වන ලොකස්ට් වසංගත තත්වයට පත්වන්නේ කෙසේදැයි මෑතක් වන තෙක්ම ගැටලුවක්. ආදිවාසීන් locust weather කියා හඳුන්වන වියලි කාලගුණයකට පසුව එන උණුසුම් දින ගණනාවක් සහ හොඳ වර්ෂාපතනයක් ඇති වසරවලයි ලොකස්ට් ගහනය වැඩිවී රංචුවක් ලෙස ඇවිත් පරිසරයේ ඇති ශාක කා දමන්නේ. මෙවැනි කාලගුණයක් ඇතිවිට ශාකත්  සරුසාරව වැඩෙනවා.
 වියලි කාලගුණය නිසා හෝ කාන්තාර වැනි ප්‍රදේශවල ජිවත්වන විට ආහාර අඩු නිසා හෝ මෙම සතුනට ආහර ඇති කුඩා ප්‍රදේශයකට කොටුවීමට සිදුවනවා. දැඩි වර්ෂාව සමග වැඩි බිත්තර ප්‍රමාණයක් ලෑම නිසා ගහනය වැඩිවීමක් පෙන්නුම් කරනව. බිත්තරවලින් පිටතට එන තටු නැති පළඟටි එකිනෙකාට කිට්ටුවෙන් සිට ඇවිදීමට පටන් ගන්නවා.  මෙලෙස කුඩා ප්‍රදේශයක වැඩි ජනගහනයක් විසීම තුලින් ඔවුන්ගේ හැසිරීමේ විශාල වෙනසක් එකවර ඇතිවනවා. ඔවුන්ගේ පාද ශක්තියෙන් වැඩිවන අතර, ශරීර වර්ණයද වෙනස් වීමට පටන්ගන්නවා.

කේම්බ්‍රිජ් වීශ්ව විද්‍යාලයේ ආචාර්යවරු දෙපලක් සිදුකල පර්යේෂණයකින් පෙනී  ගියේ මෙලෙස කාණ්ඩ ගැසීමේ දී  ලොකස්ට් කෘමීන්ගේ මොලය සාමාන්‍ය තනිව වෙසෙන ලොකස්ට් කෘමීන්ට වඩා 30%ක් විශාල වන බවත්, ඔවුන්ගේ මොලයේ පෙනීම  හා ආඝ්‍රාණයට අදාළ කොටස්ද සාපේක්ෂව විශාලව වැඩෙන බවත්ය.

කාණ්ඩ ගැසීමේදී පමණක් වෙනසක් වීමට හේතුවන්නේ කුමක්ද සෙවීමේදී මෙම  සතුන් ලඟින් සිටීම නිසා උන් ඇවිදීමේදී පසුපාද පැය ගණනක්  එකිනෙකාගේ පසුපාදවල  ඇතිල්ලීම නිසා සෙරටොනින් නම් ස්නායුක රසායනයක් නිපදවෙන බව සොයාගත්තා. මිනිසුන් ඇතුළු සමහර සතුන්ගේ මොලයේ ඇති  රසායන ද්‍රව්‍යයක් වන සෙරටොනින්, ලොකස්ට් පාද හා පියාපත් පාලනය වන ස්නායු තුළ ඇතිවී, පාද හා පියාපත් වෙනස්වීම්  වලට ලක් කරනවා. ආහාර  තිබෙන තැන සොයාගැනීමටත්  ඒ වෙත යාමේදී මුහුණ දෙන්නට සිදුවන අභියෝග ජය ගැනීමටත් මේ අනුවර්තන සියල්ල වැදගත්.  එසේම මොලයේ විශාලත්වයත් සමග අනෙක් සතුන්ටත් පණිවිඩ යවා තවත් ගහනය එක්රැස්  කරගැනීමක් ද සිදුවෙනවා.
දිනකට මීටර් දෙසීයක් සිට කිලෝමීටරයක් තරම් දුර ඇවිදින අතරම ඒ මග තිබෙන ශාක කොටස් ආහාර ලෙස ගනිමින් සති කිහිපයක් තුළ මිලියන ගණනක අති විශාල ගහණයක් එකතු කරගන්නවා.

ඊළඟට එළඹෙන්නේ පියාඹන අවධියයි. සිසිල් පරිසරයක් ඇති හවස් වරුවක ආහාර ඇති තැන ඉලක්ක කරගෙන දිනකට කිලෝමීටර් 50- 100ක් පමණ පියෑඹීම ආරම්භ කරනවා. කුඩා සතුන් වුවත්  මිලියන ගණනක් එකවිට පියාඹන විට ඇතිවන තත්වය සිතන්න. මීටර් ගණනක් ඝන, කිලෝ මීටර් ගණනක් දිග වලාකුලකින් පරිසරයම වැසී  මහා කුණාටුවක් වැනි භයන්කාර ශබ්දයක්...ඔවුහු සමුහ වශයෙන් එක්වී පියසලමින් දිනකට පැය නමයක් පමණ ගමන් කරන අවස්ථා තිබෙනවා.
 මේ විඩියෝවෙන් දැක්වෙන්නේ 2017 වසරේ රුසියාවේ ලොකස්ට් swarm එකක්.


මෙලෙස මිලියන ගණනක් එකවිට ගමන් කලත් ඔවුන් එකිනෙකා අතර ඝට්ටන ඇති නොවීමත් පුදුමයක් නේද? තවත් සතෙක් ගැටීමට එනවිට උන්ගේ ඇස් අතර ඇති විශාල නියුරෝනයක් මගින් පිපිරීමක් වැනි ශක්තියක් නිකුත් කරයි. මේ නිසා අනෙකා ලංවිම වැළකේ. මෙය මිලිතත්පර 45ක් වැනි ක්ෂණික කාලයකින් සිදුවෙන බවයි පැවසෙන්නේ. ඔවුන්ගේ සංකීර්ණ ඇස්වලට තත්පරයකදී මිනිස් ඇස දකිනවට වඩා වැඩි රුප ප්‍රමාණයක් දකින්නටත් හැකියි.
මෙසේ එකිනෙකා හා නොගැටී දුර පියාසර කරමින් තෝරාගත් ප්‍රදේශයක නැවතී වර්ග කිලෝමීටර සිය ගණනක වපසරියක් වසාගෙන පරිසරයේ තිබෙන ගහකොළ කා දමනවා.  ආහාර කා දමන විශාල යන්ත්‍රයක් මෙන් එක පෙදෙසක දින දෙක තුනක්ම සියලු ගහකොළ අවසන් වන තෙක් කා දමන මොවුහු නැවත වෙනත් ස්ථානයකට පියාඹිම අරඹනවා.
ඔවුන් ආහාරයට ගන්නා ශාක විවිධයි. බඩ ඉරිඟු, දුම්කොළ, කපු, රටකජු, තණකොළ වර්ග, දෙහි කුලයේ ශාක, එළවලු, පලතුරු ආදී වෙනස් ශාක මත යැපෙන නිසා ප්‍රදේශයන් පියඹා ගිය පසු මුළු පළාතම කාන්තාරයක් මෙන්  ප්‍රයෝජනයට ගත නොහැකි ශාක කොටස් පමණක් ඉතිරි වන්නේ. ඊළඟට සුළඟ හමන  දිශාව ඔස්සේ පියඹා තවත් ශාකවලින් සරු ස්ථානයක් තෝරා ගන්නව.

සාමාන්‍ය මතය වන්නේ එක ප්‍රදේශයක් වසංගත තත්වයෙන් විනාශ වන්නේ වසර 17කට වරක්  බවයි. එහෙත් වසර දහස් ගණනක් තිස්සේ සෑම වසරකම ලොව පුරා කොහේ හෝ ස්ථානයක රංචු ලෙස ඇවිත් මිනිසුන්ගේ ආහාර භෝගවලට හානි පමුණුවයි. මේ කරන විනාශය නිසා මෙම සතුන් විනාශ කිරීම අවශ්‍ය වුවත් ඔවුන් රංචු ගැසීම ඇරඹුණු පසු එය එතරම් පහසු නැහැ.  ආහාර ගැනීමට නවතින ස්ථානයේ වර්ග කිලෝමීටර ගණනක් පුරා රසායන ද්‍රව්‍ය ඉස උන් මියයාමට සැලසිය හැකි මුත් ඊළඟට මියගිය සතුන්  ගොදුරු කරගන්නා පක්ෂීන් ආදී වෙනත් සතුනට වෙන බලපෑම නිසා පරිසරයට තවත් අතකින්ද හානි සිදුවේ. ඒ නිසා ලොව පුරා විවිධ තැන්වල  මධ්‍යස්ථාන පිහිටුවා ලොකස්ට් රංචු ගැසීම වැලැක්වීමට නිරීක්ෂණ සිදු කෙරෙනවා. එහෙත්  ෆයිල් කටුවක් තරම් වන මේ සත්වයාගේ රංචු චර්යාව ජය ගැනීමට තවමත් මිනිස් සත්වයන්ට සම්පුර්ණ හැකියාවක් ලැබී නැහැ.


උදව්:
On the Banks of Plum Creek :Laura Ingalls Wilder
www.independent.co.uk/news/science/solved-the-mystery-of-why-locusts-swarm
sciencecases.lib.buffalo.edu/cs/files/locusts
www.researchgate.net/figure/Desert-Locust-life-cycle
blogs.bu.edu/bioaerial/the-locust-swarm-a-threat-to-the-global-economy/
http://www.fao.org/ag/locusts/common/ecg/en/