Monday 20 March 2017

රීඩූ ඇල මාර්ගය :කැනඩාවේ සුවිශේෂ ස්ථාන 6

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අසහාය මානව ඉංජිනේරු නිර්මාණයක් වන රීඩු ඇල මාර්ගය ජලය, ගුරුත්වය, මිනිස් ශක්තිය, ලීවර හා ගියර් පද්ධති ඇසුරෙන් ජල යාත්‍රා එක ජල මට්ටමක සිට තවත් ජල මට්ටමකට ගෙන යා හැකි ලෙස තැනු අපුර්ව නිර්මාණයකි.
1812 සිදුවූ ඇමරිකා- කැනඩා යුද්ධය නිම වීමෙන් පසු,  නැවත යුද්ධයක් ඇති වුවහොත් සැපයුම් මාර්ග අවහිරවීම වැලැක්වීම උදෙසා මෙම ඇල මාර්ගය සැලසුම් කෙරුණි. ඇමරිකා- කැනඩා මායිමේ පිහිටි ශාන්ත ලෝරන්ස් නදිය ඔස්සේ සැපයුම් නැවැත්වීම ඇමරිකවට පහසුවෙන් කල හැකිව තිබිණි. මේ නිසා රට මැද පිහිටි මොන්ට්‍රියල් සිට පංච මහා විල් දක්වා ඇමරිකා තුවක්කු සිමාවෙන් එපිට සම්බන්ධතාවක අවශ්‍යතාව පැන නැගුණි. එම ප්‍රදේශයේ භූ විෂමතා අනුව ගොඩබිම් මාර්ග අතිශය දුෂ්කර වූ නිසාත්, එකල යුද්ධයේ ප්‍රධාන ශක්තිය වුයේ නාවික බලය නිසාත්, අන්ත∶ ජල මාර්ග පද්ධතියක් කෙරේ අවධානය යොමුවිණි. ඒ අනුව ඔටාවා ගඟේ සිට ඔන්ටාරියෝ විල දක්වා ගමන් කරන සේ රීඩු ඇල මාර්ගය යෝජනා විය.


මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය වූ මෙම ඇල මාර්ගය සැදීම පහසු කටයුත්තක් වුයේ නැත. ඝණ කැළෑ, මඩ වගුරු, විශාල ගල් සහිත මාර්ගයේ මිනිස් අතින් කණිමින් දහස් ගණන් කම්කරුවන්, පෙදරේරුවන්, වඩුවන්, කම්මල්කරුවන් මෙන්ම ගවයින්, අශ්වයින් යොදාගනිමින් සහසක් බාධක ජයගැනුමට සිදුවුණි. භුමිය විවිධ තලවල පිහිටි නිසාත්, ඉහල සිට පහලට මෙන්ම පහල සිට ඉහළටත් නාවික ගමනාගමනය සිදුවිය යුතු නිසාත් සිමෙන්ති අගුල් (lock ) 47ක් හා වේලි 52ක් නිර්මාණය කිරීමට සිදුවිය.

 මෙම අගුල් විශේෂිතය. ජල අගුලක් (lock) යනු එක් ජල මට්ටමක සිට ඊට ඉහල හෝ පහල ජල මට්ටමකට යාමේදී දෙපසින් ජලය යා නොහැකි ලෙස දොරටු යොදා සෑදු, චතුරශ්‍රාකාර වහලක් නැති කාමරයක් වැන්නකි. යාත්‍රාව එක ජල මට්ටමකට පැමිණි විට අගුලේ ජලය ඒ මට්ටමට ගෙන ඒ පැත්තේ දොර විවර කර නැව අගුලට ඇතුළු කරයි.
ඉන්පසු එම දොර වසා, වැල්ව විවර කර ජලය පිරෙන්නට හෝ ඉවත් කිරීමට හැර අනෙක් පැත්තේ ජල මට්ටමට සමාන කරයි. ඉන්පසු දොර හැර යාත්‍රාව ඉදිරියට යාමට ඉඩ සලසයි.
රීඩු ඇල මාර්ගයේ අගුලු ක්‍රියා කරවන්නේ මිනිස් බලයෙනි.                                                                                                                              


රීඩු ඇල වසර දෙකකින් නිම කිරීමට සැලසුම් කර තිබුනත්, 1832 දී මෙය නිම කරන විට වසර හයක් ගතව තිබුණි. මැලේරියාව, අනෙකුත් රෝග හා අනතුරු නිසා අහිමි වූ ජිවිත සංඛ්‍යාව 22කි.

1815 සමයට එළඹීමෙන් පසු මේ වනතෙක් නැවත යුද්ධයක් ඇති නොවුණු නිසා කිසිදු දිනෙක රීඩු ඇල මාර්ගය එහි මුලික අරමුණ වූ යුධ සැපයුම් ප්‍රවාහනයට යෙදවුනේ නැත. විවෘත කිරීමෙන් පසු කලක් වාණිජ නැව්, බෝට්ටු ගමනාගමනය සඳහා උපයෝගී කරගත් මෙය අද විනෝදාස්වාදය උදෙසා යොදාගන්න ජල පද්ධතියක් වී ඇත. ඇල මාර්ගයේ ගල් බිත්ති, පොකුණු හා පාලම් ඔටාවා නගරයට අපුර්ව සුන්දරත්වයක් එක්කර ඇත.

එක අගුලක ජලය පිරීමට සැහෙන කාලයක් ගතවන බැවින් ඉතා අලස ලෙස කාලය ගෙවන්නට සුදුසු එහෙත් බලා සිටීමෙන් නෙත පිනවන දසුනකි.

ජල සංචාරකයන්ගේ නොමද ඇගයීමට ලක්ව ඇති මේ උත්කෘෂ්ට නිර්මාණය සියවස් දෙකක් සාර්ථකව ක්‍රියාත්මක වන, තවත් සියවස් ගණනාවක් වුවද සක්‍රිය තත්වයේ පවත්වා ගතහැකි සැබෑ ලෝක උරුමයකි.


උදව්:
Discover Canada's Capitol Region map
www.rideau-info.com
www.thecanadianencyclopedia.ca

4 comments:

  1. බොහොම රසවත් ලිපියක් ඔය වගේම නොවෙතත් ඔය සමාන ක්‍රමයක් තමා මෙහෙ හුඟක් අල මාර්ග වල තියෙන්නේ , ඉස්තුත්යි විස්තරයට.

    ReplyDelete
    Replies
    1. බලන් ඉද්දි කම්මැලි හිතෙනවා..හදන්න මහන්සි වෙන්න ඇති .ස්තුතියි සූරී

      Delete
  2. අදයි මේ පැත්තෙ ආවෙ. වටිනා තොරතුරු දැනුම ගෙනෙන බ්ලොග් සටහන්. පරණ ඒවත් කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. ආවට ස්තුතියි. වෙලාව අරන් ඔක්කොම කියවන්නකෝ. හොඳ නරකත් කියන්න.

      Delete