Sunday, 17 December 2017

හිම පියල්ලක හැඩය No Two Alike: Snowflake Bentley

වසර අවසාන උත්සව සමය ආරම්භ වීමත් එක්ක සැරසිලි හා සුබපැතුම්පත්, ගේ දොර, කඩ සාප්පු, පාරවල් දිගේ, අන්තර්ජාලයේ ඉතිරෙන්න අරගෙන... සැරසිල්ලක් විදියට ඉදිරියෙන්ම තියන විසිතුරු හිමපියලි චිත්‍ර රටා සීත රටවල වගේම මේ වෙද්දී ගිම්හානය ගෙවන ඔස්ට්‍රේලියාව වගේ රටවලත්, හිම කැටයක් නොදකින අපේ වගේ ඝර්ම කලාපිය රටවලත් වෙනසක් නැතිවම දකින්න තියනව.
හිමවලට විශේෂ හැඩයක් තියනවද? සුබපැතුම් පත්වල, සැරසිලිවල තියන ලස්සණ හිම රටා මෝස්‌තර ඇත්තටම තියන ඒවාද? මන:කල්පිත නිර්මාණ ද?  කවුද එහෙම  නිර්මාණ මුලින්ම කළේ ?

සුදු පාටට අහසින් පාවෙලා එන හිම පියලි ගැන ආසාවෙන් ඒ ගැන අවධානය යොමුකළ,  අති දක්ෂ, විශිෂ්ඨ  පුද්ගලයෙක් නිසා තමයි අද හිම මෝස්‌තර ලෝකේ පුරා පැතිරිලා තියෙන්නේ. ඒවා දියදම්  දිනිතියගේ අපුර්වතම සුන්දර දායාද බව ලොවට හෙළිකළ ඔහු ගොවිපලක ජීවත්වූ තරුණයෙක්.
1865 ඇමරිකාවේ කුඩා ගමක ගොවිපලක උපන් විල්සන් බෙන්ට්ලි පුංචි කාලේ ඉඳලම හිමවලට පුදුම ආසාවක් දක්වපු කෙනෙක්. හිම වැටෙන කටුක සීතලේ ඔහු හිම අරගෙන ලෑලි උඩ තියල කුතුහලයෙන් නිරීක්ෂණය කරනවා දැක්ක ගුරුවරියක වූ මව ඔහුට අවුරුදු 15දී අන්වීක්ෂයක් තෑගි කළා. අන්වීක්ෂයෙන් හිම නිරීක්ෂණය බෙන්ට්ලිගේ හිතට සතුට මෙන්ම දුකත් ගෙනාවා. මොකද ඔහුට අවශ්‍ය ලෙස සටහන් කරගැනීමට පෙර හිම දියවී ගිය නිසා..

අවුරුදු 17දී පියා එකල සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස සැලකුණු කැමරාවක් අරන් දුන්නා. මේ දෙකේ එකතුවෙන් තමයි ඔහුම සකස් කරගත් අපුරු අන්වීක්ෂ කැමරාවකින් 1885දී ලෝකයේ මුල්ම හිම පියල්ලක ඡයාරුපය ගන්න බෙන්ට්ලි සමත් වුනේ. සිතල බන්දේසියකට එකතු කරගත් හිම, කුරුළු පිහාටුවක් හා කෙන්දක් උදව්වෙන් සීතකළ  විදුරු කදාවකට මාරු කරලා අන්වීක්ෂයෙන් බලල දියවෙන්න පෙර ඡයාරූප ගැනීම ඔහුම හදාගත් සුක්ෂම ක්‍රමයක්. අවුරුදු 19දීම  photomicrography photograph කියන ඡයාරූපකරණ තාක්ෂණයේ පුරෝගාමියා බවට ඔහු පත්වන්නේ එලෙසයි.
හිම එක්ක වැඩකට නැතිව කාලෙ නාස්ති කරනවා කියල නෑයෝ, අසල්වැසියෝ විහිළු කළත් ඔහු සීත කාලේදී හිම එකතුකරලා පින්තුර ගන්න එක නැවැත්තුවේ නැහැ. විදුලි බලය නොතිබුණු ඒ කාලේ ඔහු මේ පින්තුර ගත්තේ ස්වභාවික ආලෝකයෙන්.
ජලයම වෙනස් අවස්ථාවකින් පවතින විට ඇතිවන මේ හැඩයන් ගේ අපුර්වබව කිසිදු විද්‍යාඥයෙක් නොකළ තරමට ඔහු අධ්‍යනය කළා. "අන්වීක්ෂය තුලින් මම හිම පියලිවල ආශ්චර්යමත් අලංකාරය හා හැඩ දුටුවා. අනිත් අය ඒවා අගය නොකිරීම කණගාටුවක්."


ඔහු පෙන්වා දුන්නේ හිම කියන්නේ අයිස් ස්පටිකයක් බවයි. ඒ හැම ස්පටිකයක්ම ෂඩාශ්‍රාකාර තලයක තියන පැති හයක් ඇති තරුවක්. සෑම තරු අක්ෂයක්ම තවත් සිහින් මෝස්තරවලට බෙදිලා. ඒවත් හැම අක්ෂයේම එකම විදියයි. මේ නිසා හිම පියල්ලකට සමමිතික අක්ෂ හයක් තියනව. (1/6ක් බ්‍රමණය කලවිට සමපාත වෙනවා).
 සාමාන්‍යයෙන් ලොව පවතින අනෙක් සමමිතික දේ සරලයි. වෙන කිසිම ඝනයක නැති සංකීර්ණ සුන්දරත්වයක් පිරිලා තියන සෑම හිම මොස්තරයක්ම ස්වභාව ධර්මයේ විශිෂ්ඨ නිර්මාණයක්. එකිනෙක හිම පියල්ලක එයටම ආවේනික වූ මෝස්තරයක් තිබෙන බවත්  කිසිම හිම මෝස්‌තර  දෙකක් එක සමාන නොවන බවත් තම නිරීක්ෂණ ඇසුරෙන් බෙන්ට්ලි පෙන්වා දුන්නා. No Two Alike. අද්විතීයයි. අනන්‍යයි .කිසිම හැඩයක් නැවත වෙනත් හිම මලක හමුවෙන්නේ නැහැ. හිම පියල්ලක් දියවී යාමත් සමගම ඒ හා ඇති අසිරිමත්  සුවිශේෂී මෝස්තරය කිසිදු සලකුණක් නොතබා සදහටම තුරන් වී යනවා.

මද හිම පතනයකදී වුවත් හිම පියලි ට්‍රිලියන ගණනක් පොලවට පතිත වෙනවා. මේ හැම එකක්ම අතිශය අලංකාර වූ, සොබා දහම නිමවූ මනහර කලා  කෘතියක්..
බෙන්ට්ලි එක හිම කුණාටුවකදී පින්තුර 70- 75ක් බැගින් ගත්තා වගේම ඒ එක එක පින්තුර ගත්තු උෂ්ණත්වය, ඒ වෙලාවේ කාලගුණ තත්වය, වලාකුළුවල ස්වභාවය, සුළං තත්වය ආදියත් සටහන් කරගත්තා. මිට අමතරව තුහින, මීදුම ආදී වායුගෝලීය තත්ත්වයන්ද රූප ගතකර තොරතුරු ලිව්වා. මේ සටහන් විවිධ ආයතනවලට ඉදිරිපත් කළත්, නිසි අධ්‍යාපනයක් නොලද ගොවියෙක් කරන මේ වැඩගැන  උගතුන් උනන්දු වුයේ නැහැ. එහෙත් බෙන්ට්ලිගේ  සටහන්වල විද්‍යාත්මක ස්වභාවය දැක්ක University of Vermont හි මහාචාර්ය පර්කින්ස්, බෙන්ට්ලි සමග එක්ව 1898දී හිම ස්පටික ගැන අධ්‍යයන වාර්තාවක් පලකළා.
බෙන්ට්ලි අතින් ඇඳි හිම මෝස්‌තර තැපැල් පත්වල අලවා නෑයන්ට, යාළුවන්ට සුබපැතුම්පත් ලෙස යැව්වා. එහෙත් අගය කිරීමක් ලැබුවේ කලාතුරකින්. අනිත් අයගේ අධෛර්යය කිරීම්වලින් නොසැලී  දිගටම සඟරා හා පුවත්පත් වලට ලිපි සැපයීමත්, දේශනා පැවැත්වීමත්, ඔහුගේ ආවේනික හිම පර්යේෂණ අධ්‍යයනත් සිදුකළා.

NewYork Times පුවත්පතේ දැන්වීම්වල මේ ෂඩශ්‍රාකාර රමණීය හිම මෝස්‌තර පළවීමත් සමග ඒ ගැන වෙළඳපොල උනන්දුවක් හා ඉල්ලුමක් ඇතිවුනා. බෙන්ට්ලිගේ සුපරික්ෂාකාරී දෙනෙතට හසුව දියවී නොගිය සුන්දරත්වය ලොව පුරා පැතිරෙන්න පටන්ගත්තේ ඉන් පසුවයි. ඔහුට snowflakes Bentley යනුවෙන් නමක්ද පටබැඳුණා.
බෙන්ට්ලි ඇමරිකාවේ කාලගුණ අධිකාරියට ඉදිරිපත් කළ තාක්ෂණික වාර්තා අගයකළ එහි ප්‍රධාන කාලගුණ විද්‍යාඥ ආචාර්ය හම්ප්‍රි ඔහු සමග එක්ව 1931 නොවැම්බර් මස Snow Crystals නම් පොතක් පලකළා. එහි විවිධ හිම පියලි මෝස්‌තර 2400ක පමණ පින්තුර අඩංගු වුනා.  ඒ සමග නිකුත්කළ Snowflakes in Photographs පොතේද තවත් ඡයාරූප 850ක් සහිතයි.
ඉන් මසකට පසු සිතල කාලගුණයේ හිම අධ්‍යනයට ගිහින් අසනීප වූ මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිභාවන්තයා ලෝකයාගේ එතරම් අවධානයක් නොලබාම 1931 දෙසැම්බර් 23දා මියගියා. ඔහුව මිහිදන් කළ දිනයේ සොබාදහම හිමමල් තුහින එම බිම පුරාම ඇතිරුවා.




ඇත්තෙන්ම බෙන්ට්ලි ඔහු ජීවත්වූ සමයට වඩා අනාගතයේ ජීවත්වූ මිනිසෙක්. හිමකැට ගැන ඔහු අධ්‍යයනය කර ඉදිරිපත් කළ කරුණු තහවුරු වුනේ අවුරුදු 30කට පස්සේ. හිම, තුහින හා ජල බින්දු ඇසුරෙන් කරන ලද පර්යේෂණ මගින් කාලගුණ දත්ත ලබාගැනීම නිවැරදි බව දැනගත්තේ අවුරුදු 40කට පස්සේ.
බෙන්ට්ලි ඔහු හඳුනාගත්  හිම රටා වගේම අසමසම ප්‍රතිභාපුර්ණ විශිෂ්ඨයෙක්. වේගයෙන් බිමට වැටි විනාශ වී යන හිම ගැන මෙවන් විශ්වකර්ම අධ්‍යයනයක් කරන්නට අනිත් අයට නැති ඉවසීමක්, උවමනාවක්  හා අවබෝධයක් තිබු නිසාවෙන් ඔහු ලොව කිසිවෙක් නොදුටු සෞන්දර්යයක්  දුටුවා පමණක් නොවේ ඒ මනහර දර්ශණ නොමසුරුව ලොවටත් දැක්වූවා.
අද සැරසිලි, ඇඳුම්, චොකලට්, සුබපැතුම්පත්, ෂොපින් බැග්, කුෂන් කවර, රෙදි, තෑගි දවටන, කේක්  ආදී හැමතැනම පැතිරිලා තියෙන්නේ ඔහු අධ්‍යනය කර සටහන් කරගන ඉතිරි වූ පන්දහස් ගණනක් වූ පින්තුර හෝ
ඒ ඇසුරෙන් චිත්‍ර ශිල්පින් ඇඳි සංස්කරණයන් ය.
ඔබ හිම වැටෙන රටක ජිවත්වන්නේ නම් පියලි ලෙස සැහැල්ලු හිම වැටෙන දිනයක  තද පැහැති රෙදිකඩක් වැටෙන හිම වලට අල්ලා මෙතෙක් කල් ඔබේ ඇසටත් හසුනොවී දියවුණු මේ විචිත්‍ර හැඩ පියවි ඇසින් නරඹන්න.
ඒ වගේම මේ උත්සව සමයේ විචිත්‍රවත් හිම රටා දකිනවිට බෙන්ට්ලි සිහිපත් කර ඔහුගේ කැපවීමට, පරිත්‍යාගයන්ට සිතින් හෝ කෘතඥ වීමට අමතක නොකරන්න. බෙන්ට්ලි විසින් නිරීක්ෂණය කරනු ලැබ, ලෝකයට දුන් හිම මෝස්‌තර දිහා බලා හිතන්නට තිබෙන්නේ අපගේ අවධානයක් නොමැතිව වියැකී යන, අප නොදන්නා කමණිය දේ ලෝකයේ කොතෙක් ඇත්ද කියායි.









උදව්:
Snowflake Bentley : Jaqualine Briggs Martin
https://siarchives.si.edu/history
https://www.theguardian.com/science/gallery
www.snowflakebentley.com
https://www.youtube.com/watch?v=ptLmA263hlk
(2017 දෙසැම්බර් 19 දිවයින පුවත්පතේ පළවිය).

Monday, 11 December 2017

ශීත කාලය දිනන හැටි

"වැස්ස හරියට. ඒ මදිවට දෙසැම්බර් සීතලත් .. ඔහේ කොහොමද?"

" අද ඍණ හතයි. හෙට රින දහඅටට යනවලු.."
"ඍණ ?? සෙල්සියස් ඍණ ..? මට නුවරඑළි ගිහිනුත් සීතලේ වෙවුලනවා ජර්සි ඇඳලත්. ෆ්‍රිජ් එකේ දැම්ම වගේ ඔයාල කොහොමද ඉන්නේ?"
සීතල රටවල ඉන්න අයගෙන් නොවරදවා අහන ප්‍රශ්ණ.
සම ශිතොෂ්ණ රටක්වන ලංකාවේ ඉන්න අයට කටුක සිතල කාළගුණයක ඉන්න විදිය ටිකක් හිතාගන්න බැරි දෙයක්.  මිනිස්සු අචලතාපී සත්වයින්. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය අනුව සිරුරේ උෂ්ණත්වය වෙනස් කරගන්න බැහැ. සෙල්සියස් 37/ෆැරන්හයිට් 98.4 උෂ්ණත්වය සිරුරේ පවත්වා ගන්නම ඕනේ. සමකය ආසන්න රටවල ඉන්න අයට මෙය එතරම් ප්‍රශ්නයක් නෙමේ.
උතුරු ඇමරිකාවේ දෙසැම්බර් 21දින ඉර එලිය ලැබෙන
පැය ගණන 

ඒත් නිවර්තන කලාප වලින් එපිටින් තියන රටවල තද ඍතු භේදයක් තියනව. පෘථිවියේ අංශක 23 1/2 ඇලය නිසා මාස තුනක්ම සමහර ප්‍රදේශවලට හිරුඑළිය ඉතා අඩුවෙන් ලැබෙන්නේ. සීත ඍතුව ආරම්භක දිනය සේ සැලකෙන දෙසැම්බර් 21 හා ඒ අසන්න දිනවල උත්තරාර්ධගෝලයේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ඉර පායන්නෙම නැහැ. ඊට අසන්න ප්‍රදේශවලත් පැය 6කට අඩු කාලයක් ඉර එලිය ලැබෙන්නේ.
ඉරෙන් වඩාත් ඈත්ව පිහිටන නිසා සීතලෙන් ආරක්ෂාවෙන්න එහෙම නැත්නම් සිරුරේ තියන  උෂ්ණත්වය රැකගන්න විශේෂයෙන් ක්‍රියා කරන්නම වෙනවා.

ඇඳුම්:   සීත කාලයේදී ඊට ඔබින ලෙස ඇඳුම් ඇඳීම සෞඛ්‍යය රැකගැනීමට ඉතාම වැදගත්. සිරුරේ තිබෙන උෂ්ණත්වය රැකගන්නත්, පිටතින් එන සිසිල සිරුරට නොදැනෙන්නත් සිරුර ආවරණය කරගැනීම වැදගත්.මෙහිදී ඇඳුම්වල රෙදි වර්ගය, ඇඳුම් කිහිපයක් එක උඩ ඇඳීම, හිස අත්පා ගෙල ආවරණය ගැන වැඩි සැලකිල්ලක් දෙනවා.
නයිලෝන්, පොලියෙස්ටර් වගේ කෘතීම රෙදිත්, වූල් රෙදිත් තමයි වඩා යෝග්‍ය. කපු ඇඳුම් ගුණ නැත්තේ ඒවාට සිතල උරාගන්නා නිසයි. මුලින්ම සිරුරට තද ඇඳුම් ගෙල සිට පාද දක්වා අඳිනවා. තද සීතලට ඔරොත්තු දෙන්න thermal underwear නමින් ටිකක් ඝනකම් ඇඳුම් තියනව. මේවා අවශ්‍ය ඍණ ගණන් සීතලට. දෙවෙනියට අඳින්නේ සැහැල්ලු  තුනී ඇඳුමක්, ඒ කියන්නේ එදිනෙදා අඳින කමිස කලිසම්. ඊට උඩින් ස්වෙටර් එකක් හෝ සිත කබායක් අඳිනවා. සිතල අනුව මෙම තට්ටු ගණන තව වැඩි කරගන්න පුළුවන්. ඇඳුම් තට්ටු ගණන වැඩි කරගැනීමෙන්  බලාපොරොත්තු වෙන්නේ ඇඳුම් අතර පරිවාරක වායු ස්තරයක් සිරවීමෙන් පිටත සීතල සිරුර වෙත ගමන් කිරීම වැලැක්වීමයි.
කකුල්වලට මේස් දමා සපත්තු පැළඳීමේනුත්, අත්වලට වූල් හෝ ලෙදර් අත්වැසුම් දැමිමෙනුත්, ගෙල වටා ඝනකම් ස්කාෆ් එකක් ඔතා ගැනීමෙන් හෝ ගෙල වැසෙන උස්‌ කොලර් සහිත ඇඳුම් ඇඳීමෙනුත් සීතලට සංවේදී සිරුරු කොටස් ආවරණය කර ගැනෙනවා.
අපේ සිරුරේ උෂ්ණත්වය වැඩිපුරම හානිවෙන ස්ථානයක් හිස. කන් සීතලට සංවේදියි. කන් වැසෙන සේ හිස්වැසුම් පැළඳීම වැදගත් වන්නේ එනිසයි. හිස් ආවරණයක් සහිතව එන hoodie කියන ජර්සි විශේෂය ජනප්‍රියයි. සිත කබාත් හිස් ආවරණ සහිතව එනවා.
අලි මදිවට හරක් කියන්න වගේ හිමත් වැටුනොත් තෙතමනය උරා නොගන්නා හිම කබායක් ඇඳීම හා  කැමතිනම්  snow pants කියන දිග කලිසම් ඇඳීම කරනවා. මේවා වතුර උරා නොගන්න රෙදි වර්ග වලින් සැකසිලා තියෙන්නේ. හිම කබා තුළ ෆෝම් වැනි දෙයක් හෝ කුරුළු පිහාටු තිබෙන නිසා අමතර පරිවාරක  ආවරණයක් සපයනවා.
හිම සපත්තු (snow boots ) පැළඳීමත්  කරන්න ඕනේ. ඒවත් සැකසී තියෙන්නේ පාද උණුසුම රැකගන්නා අතර පිටත සිසිල හා හිම නොගැටෙන  පරිද්දෙන්. අඩිය හොඳින් කට්ටා කපා තියෙන්නේ. ඒ සමගම ඝනකම් මේස් පැළඳීම හෝ මේස් ජෝඩු දෙකක් පැළඳීම කල යුතුයි. තදබල සීතලට අත්මේස් වෙනුවට මිට්න් කියා හැඳින්වෙන අත්වැසුම් දැමීම උණුසුම රැකගැනීමට වැඩි උදව්වක්. මේවයේ ඇඟිලිවලට වෙනම කොටස් නැතිව එක පොදියට අත තියන නිසා ඇඟිලි නිරාවරණ ක්ෂේත්‍රඵලය අඩුවීමෙන් ආරක්ෂාව සපයනවා..
මිට අමතරව ඇස් හා නාසය පමණක් නිරාවරණය වන සේ හිස වැසෙන්නට මේස් වැනි රෙදිවලින් ආවරණත් තියනව. හිතාගන්න.. මේවා ඔක්කොම ඇන්දාම ලෙහෙසි නැහැ  තමයි. ගමනක් යන්න වැඩිපුර වෙලාවක් අරන් ලැහැස්ති වෙන්න ඕනේ. ගමන වාහනේක ගියත් පයින් ගියත් හිමින්.

සීත කාලෙට නිදාගන්නකොටත් උණුසුම රැකෙන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඇඳන් වලට මෙට්ට තට්ටු දෙකක් තිබෙනවා. පහල තියන එක ඇත්තටම මෙට්ටයක් නෙමෙයි වටේ ආවරණය කරපු පෙට්ටියක් වගේ. කියන්නෙත් box කියල. ඒකෙනුත් යම් රස්නයක් රැකෙනවා. උඩ මෙට්ටයත් උසයි. එය ඝනකම් රෙද්දකින් ආවරණය කර ඇඳ ඇතිරිලි ඒ මත එලන්නේ.ඇඳ ඇතිරිලිත් තරමක් ඝනකම් ඒවා භාවිතා කරන්නේ.
සාමාන්‍ය සැහැල්ලු පොරවන වෙනුවට මැදට ස්පොන්ජ් යොදා ක්විල්ට් මෙන් මැසූ comforter නමින් හැඳින්වෙන පොරවන භාවිතා කරන්නේ.  විදුලි බලයෙන් උණුසුම් වෙන ඇඳ ඇතිරිලිත් තියනව.
රෙදි සේදීම හා වේලාගැනීම: අඳින ඇඳුම් ආදිය කුණු දුවිලි නැති නිසා එතරම් කිලිටි නොවුනත් රෙදි සේදීමත් කරන්නම ඕනනේ. සීත කාලයට  නිවසෙන් පිටත අව්වේ රෙදි වෙලීමක් කරන්න බැහැ. හැම නිවෙසකම රෙදි සෝදන යන්ත්‍රයක් හා රෙදි වියලන යන්ත්‍රයක් තිබෙනවා. ඒවා එකවර ඇඳුම් විශාල ප්‍රමානයක් දාන්න හැකි තරමක් විශාල ඒවා. පොරවන ආදියත් ඝනකමයි නේ. අතේ සෝදාගන්න ඒවා වුනත් මේ විදියට වියලා ගන්නේ. මේ කාලයට නිවෙස් උණුසුම් කරන නිසා රැක්වල දමා ඒ උණුසුමෙන් වුනත් සැහැල්ලු රෙදි නිවෙස් තුළදී වියලා ගන්න පුළුවන්. කාසි දමා රෙදි සෝදා වේලාගන්න පුළුවන් මෙවැනි යන්ත්‍ර සවිකර තිබෙන කඩත්  තියෙනවා.

නිවාස හා ගොඩනැගිලි : ධ්‍රැවාසන්න රටවල නිවස හා ගොඩනැගිලි තැනීමේදී ප්‍රමාණවත් උණුසුම සැපයුමක් ලැබෙන ලෙස  විධිවිධාන යෙදීම නීතිමය අවශ්‍යතාවක්. බොහෝවිට ප්‍රධාන ස්වභාවික වායු සැපයුමක්
ලබාගැනීම සිදුවෙනවා. පාරේ සැපයුමෙන් වතුර ගන්නවා මෙන් බට යොදා එම සැපයුම ලබාගැනීම කෙරෙයි. විදුලිබලයෙන් තාපය සපයාගන්න අවස්ථාත් තියනව. ගල් අඟුරු හෝ දැව දැවීමෙන්  තාපය නිපදවා ගැනීමත් සමහර ප්‍රදේශවල හා නිවෙස්වල තවමත් සිදුකෙරෙනවා.
මේ රුපයේ තිබෙනවා වැනි උපකරණ මගින් වායු දහනය කර තාපය නිපදවෙන අතර නිපදවෙන තාපය ගොඩනැගිල්ලේ අනෙක් කොටස්වලට සැපයීම ඒ සඳහා විශේෂිත වූ බට මගින් සිදුකෙරෙනවා. නිවස වයරින් කරනවා මෙන් පළපුරුදු අයයි මේ බට එලීම්  කරන්නේ. ගොඩනැගිල්ලේ සෑම කොටසක් තුලම  තාපය නිකුත්වීමට කුඩා කවුළු වැනි විවර පොලවේ හෝ සිවිලිමේ තිබෙනවා. විශාල ගොඩනැගිලිවල නම් බිත්තියට සවිකර ඇති උපකරණ මගින් රත්වූ වාතය ලැබෙන්නේ. ගොඩනැගිල්ල තුළ උෂ්ණත්වය අවශ්‍ය පරිදි පාලනයට පාලක උපකරණ තිබෙනවා.
නිවෙස් තුල තාපය ආරක්ෂා කරගැනීම උදෙසා පිටතට විවරවන  ජනෙල් දොරවල් කිසිදු විවරයක් නොතිබෙන ලෙස ඉතා තදින් සීල් කර තිබෙන්නේ. සමහර විට එක උළුවස්සට දොර/ ජනෙල් දෙක බැගින් තිබෙනවා. හැකිතාක් අවම වශයෙන් දොර ජනෙල් විවෘත කර තැබීම වැදගත්ය.  ඝන තිරරෙදි යෙදීමෙන්ද බිමට ඝන බුමුතුරුණු යෙදීමෙන්ද උණුසුම ආරක්ෂා කරගැනෙනවා.
බිත්ති ස්ථර දෙකකට සාදන අතර, ස්ථර මැද තාප පරිවාරක ද්‍රව්‍ය පුරවන නිසා තාප හානිය වැළකෙයි. මෙයින් එක ස්ථරයක්වත්  හාඩ්බෝඩ් හෝ තුනිලැලි විශේෂයක්. වහලයද මෙලෙස ස්ථර දෙකකින් සාදා පරිවාරක පුරවයි. වීදුරු දෙකක් අලවා ඒ අතරට නිෂ්ක්‍රිය වායු පුරවා ඒවා බිත්ති ලෙස යොදාගන්න අවස්ථාද වෙනවා.

රථවාහන : සීතලට හා හිමවලට ඔරොත්තු දෙමින් ගමන් කිරීමට අවශ්‍ය අංගෝපාංග වාහනවලද ඇතුලත්ය. පොදු ප්‍රවාහන මාධ්‍ය වන බස් හා දුම්රිය සියල්ලක්ම වැසිය හැකි දොරකවුළුවලින් යුතු අතර තාපය සපයන පද්ධති ඇත.
හිම ඇතිවිට ගමන් කළහැකි වැඩිපුර කට්ටා යෙදු  ටයර්, වාහනවල සිත කාලයට භාවිතා කරන අතර, දැඩි හිම පතනයක් සිදුවන ප්‍රදේශවල ටයර්වලට දම්වැල් යොදා ඝර්ෂණ බලය වැඩිකර ගනියි.
නවීන වාහනවල තාපන පද්ධතියක් තිබීම අනිවාර්ය වන අතර, ආසන වෙන වෙනම උණුසුම් කළහැකි පහසුකම් (heated seat) පවා ඇත.

සීතලෙන් මතුවන ගැටළු:
ජල සැපයුම් බට තුල ජලය මිදීම: මෙය වැලැක්වීමට පොලව යට සැපයුම් බට වටා නිතර  තාපය සැපයෙන පරිදි සකස් කර තිබෙන්නේ. ගොඩනැගිලිවල පිටතින් ඇති ජලකරාම තාවකාලිකව ක්‍රියා විරහිත කෙරෙනවා.
Frostbite: දැඩි සීතලට  නිරාවරණය වීම නිසා සමේ පටක පිලිස්සී, විනාශවී යන අවස්ථා frostbite නම් වෙනවා. අත්පා, කන්, නාසය, කම්මුල් වැනි සියුම් පටක ඇති තැන් මෙයට ගොදුරු වීමට වැඩි ඉඩක් තියෙන්නේ. වැඩි වෙලාවක් අධික සීතලට නිරාවරණය හේතුවෙන් අත්පාවල ඇඟිලි ඉවත්කිරීමට සිදුවන අවස්ථාද තිබෙනවා.

සම වියලීම: නිතර කෘත්‍රිම තාපයට නිරාවරනයත්, අඩු උෂ්ණත්වය හේතුවෙන්  ජලය වාෂ්ප වීම අඩුනිසා පරිසරයේ ආර්ද්‍රතාව අඩුවීමත්, ජලය පාන අවශ්‍යතා අඩුවීමත් නිසා සම අධික වියලිමකට ලක්වීම සියලුදෙනා පාහේ මුහුණපාන ගැටලුවකි. වැඩිපුර දියර වර්ග පානයත්, තෙල් සහිත ක්‍රිම්වර්ග සිරුරේ, විශේෂයෙන් මුහුණේ හා අත්පාවල අලේප කිරීමත්  මේ සඳහා ඇති විසඳුමයි. තොල් වියලී, පුපුරායාම වැලැක්වීමට තොල් ආලේපන භාවිතයද අත්‍යවශ්‍යය.
නිවෙස් නැති අයගේ ගැටළු: ශීත ඍතුවට නිවාස නොමැති පාරේ ජිවත්වන පුද්ගලයන් උදෙසා නොමිලේ ඉඳුම්හිටුම් සපයන ස්ථාන ක්‍රියාත්මක වනවා. දැඩි සිත දිනවල දවස පුරාමත්, සාමාන්‍ය සීත දිනවල රාත්‍රී කාලයටත් මේවා අසරණයන් උදෙසා විවෘතයි.


උදව්:
www.thebugoutbagguide.com/cold-weather-survival
www.youtube.com/watch?v=ECtY46WlkQE
www.ehsdb.com/first-aid---frostbite.php
පින්තුර සියල්ල අන්තර්ජාලයෙන්.

Thursday, 30 November 2017

ධ්‍රැව අපවර්ති වලාකුළු හා ප්‍රභා කුළුණු : විශ්වයේ චිත්තාකර්ෂණිය සංසිද්ධි 7

පසුගිය දිනෙක අහසේ දුටු අලංකාර දර්ශනයක ඡයාරුපයක් පලකල විට ඒ ගැන  විවිධ මත පළවූ නිසා  වැඩිපුර සෙවීමේදී මේවා  මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන වලාකුළු වර්ගයක් වියහැකි බව තොරතුරු සොයාගත්තා. අලංකාර වර්ණ නිසා අව්රෝරා වැනි ස්වභාවික සංසිද්ධි සමග වරදවා වටහාගත හැකි මුත් පරිසර දුෂණය හේතුවෙන් දර්ශනය වන  සංසිද්ධි දෙකක් ගැනයි මේ ලිපියෙන් දක්වන්නේ. ඒ වගේම මේවා දැකිය හැකි වන්නේත් ලෝකයේ සීමිත ප්‍රදේශවල පමණයි. පරිසර දුෂණය බොහෝවිට අපට අයහපතක්ම කළත්, ඉඳහිට මෙවැනි දැකුම්කලු දසුන් මගින් සතුටක්ද ලබාදේ.

 ධ්‍රැව අපවර්ති වලාකුළු Nacreous Clouds / Mother of Pearl clouds 

විශ්වයේ සමහර ස්වභාවික සංසිද්ධි  ඉතාම චිත්තකර්ශනිය ඒවා. අව්රෝරා, ද්විත්ව දේදුණු වැනි  නෙත් පිනවන, සිත් සනසන, පරිසරයට අලංකාරය එක කරන සංසිද්ධි අතරේ  කලාතුරකින්දැකිය හැකිවන අත්‍යාලංකාර මුත් විනාශකාරී සංසිද්ධියක් ධ්‍රැව අපවර්ති වලාකුළු කියන්නේ. නම වගේම වලාකුළු වර්ගය ඇතිවන ආකාරයත් තරමක් සංකීර්ණයි.
 

අව්රෝරා මෙන්ම පෘථිවියේ සමහර ප්‍රදේශවලට පමණක්‍ පෙනෙන, ඊට වඩා දුර්ලභ, විවිධ වර්ණයන්ගෙන්  දිදුලන මෙම වලාකුළු හටගන්නේ  උත්තර හා  දක්ෂිණ අර්ධගෝලයේ අංශක 60ත් 90ත් අතර ඉහල උන්නතාංශයකයි. පොලව මට්ටමට අඩි  49000ත් 82000ත් ( 16km 24km ) ඉහලින් එනම් සාමාන්‍ය ගුවන් යානා ගමන්ගන්න උස මෙන් දෙගුණයක් උසකින් Nacreous වලාකුළු ඇතිවන්නේ. එයමයි මෙම වලා ජිවින්ට අහිතකර ලෙස බලපෑම් කරන්නට හේතු වන්නේත්. 
සුර්යයාගේ සිට එන අහිතකර කිරණ වළක්වමින් පෙරනයක් ලෙස ක්‍රියාකරන ඕසෝන් ස්ථරය තිබෙන්නේත් මෙම මට්ටමේ. (Stratosphere) 
සූර්යයාගෙන් පැමිණෙන  අහිතකර UV කිරණ ඍජුවම පෘථිවියට පතිත වුවහොත් එය මිනිසාට සෞඛ්‍ය ගැටළු ඇතිකරයි. සම රැළි වැටීම, සම පිළිස්සීම, සමේ හා වෙනත් පිළිකා ඇතිවීම, ඇසේ සුද ඇතිවීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියට බාධාකිරීම, ජාන විකෘති විම් ඒ අතර වේ.  පාරිසරික වශයෙන් ගෝලීය උණුසුම ඉහළ යාම, ‍‍ජෛව විවිධත්වයට හානි සිදුවීම මෙන්ම ප්‍රබල දේශගුණික වෙනස්වීම්වලටත් බලපෑම කෙරේ.ඕසෝන් ස්ථරයෙන් අහිතකර කිරණ කපා හැර පෘථිවිය ආරක්ෂා කරයි.

ඕසෝන් ස්තරය මට්ටමේ ධ්‍රැව අපවර්ති වළා හටගන්නේ කෙසේද කියාත්, එය ජිවින්ට අහිතකර වන්නේ කෙසේද කියාත් බලමු.
පොළවෙන් මේ තරම් ඉහල මට්ටම වලාකුළු සැදීමට අවශ්‍ය සිසිල් ජලය හෝ අයිස් ස්පටික තිබිය නොහැකි තරම් වියලියි. ශීත ඍතුවට ඉතා අඩුවෙන් ඉර එලිය ලැබෙන ධ්‍රැව ප්‍රදේශවල ශක්තිමත් ධ්‍රැව සුළිසුළං ඇතිවන අතර එමගින් උණුසුම් වාතය සිරකිරීමක් සිදුවේ. මෙමගින් ඉහල වායුගෝලයේ අසාමාන්‍ය අධිශීත තත්වයක් ඇතිවේ. එය -85͒ C පමණ පහල උෂ්ණත්වයකි. මේ හේතුවෙන් එම මට්ටමේ ඇති ජලවාෂ්ප, අධිශීත ජලය බවට පත්වේ. මේ ජලය  මානව ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට මුදාහැර ඇති CFC (ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්) බිඳ වැටීමෙන් ඇතිව තිබෙන හයිඩ්‍රක්ලොරික් අම්ලය, ක්ලෝරීන් නයිට්රේට් වැනි රසායන ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කිරීම සඳහා   උපස්තරයක් ලෙස ක්‍රියාකරයි. 

දන්නවනේ CFC වායු  තීන්ත වර්ග නිෂ්පාදනයේදී ත් ශිතකරනවල හා වායුසමීකරණ වල සිසිල්කාරකයක් ලෙසත්, පරිවාරක ලෙස භාවිතා කරන ෆෝම් වර්ගවලත් යොදාගන්නා අතර, පලිබෝධ නාශක භාවිතයේදීත්, සුවඳ විලවුන් භාවිතයේදීත් පරිසරයට එකතුවෙනවා. වසර සියයක් පමණ දක්වා පැවතිය හැකි මේ වායු ඉහල පරිසරයේ එක් රැස්වී, ඉහත ලෙස ඉහල වායුගෝලයේදී වලාකුළු සාදා  ඉර එලිය ලැබුණු විගස  එහි තිබෙන රසායන ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කර,  ක්ලෝරීන් වායුව මුදාහරිනු ලබනවා. මෙම ක්ලෝරීන් වායුව ඕසෝන් ස්තරය ඇතිවීම වළක්වනවා මෙන්ම, සැදී ඇති ඕසෝන් ස්ථරය බිඳ වැට්ටවීමක් ද සිදු කරනවා. 

ඉහත ලෙස ඉතා ඉහල වායුගෝලයේ නිර්මාණය වූ අම්ල, ක්ලෝරීන්, කාබනික රසායන ද්‍රව්‍ය අඩංගු වලකුලුවලට බැසයන හිරුඑළිය පතිත වූ විට වර්තන හා  පරාවර්තන හේතුවෙන් අත්‍යාලංකාරව දිදුලන වර්ණ දැකිය හැකිවේ. 
ධ්‍රැව අපවර්ති වලාකුළු ඇතිවන්නේ ධ්‍රැවාසන්නයේ නිසා එයද දැකිය හැකිවන්නේ අව්රෝරා මෙන්ම ධ්‍රැවසන්නව පිහිටි රටවලදී පමණි. සුර්යයා බැසගිය වහාම ඇතිවන සාමාන්‍ය වර්ණවත් වලාකුළුවලින් මේවා වෙනස් වන්නේ ගොම්මන් කාලයේ  සාමාන්‍ය වළා අඳුරු පැහැව ගිය පසුවත් වඩා දීප්තියෙන් බැබලෙමින් ඉහල අහසේ දැකිය හැකිවීමෙනි. 
සාමාන්‍ය වලාකුළු හා අව්රෝරා වලින් වෙනස්ව මේවා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවී, ඒවාට සමච්චල් කරමින් ඕසෝන් ස්තරයට හානි ගෙනදෙමින් අසිරියෙන් දිලේ.


ස්වභාවික ප්‍රභා කුලුණු : Light Pillars 

කෘත්‍රිම හෝ ස්වභාවික ආලෝකය පොලවට ආසන්න මට්ටමේ ඇති කරන තවත් නෙත් පිනවන සංසිද්ධියකි, ආලෝක කුළුණු, ප්‍රභා කුළුණු  හෝ අයිස් කුළුණු ලෙස හැඳින්වෙන්නේ. නමින් පැහැදිලිවෙන ලෙසම ඍජු වර්ණවත් පටි ලෙස දකින්නට ලැබෙන මෙම මනහර ආලෝක දර්ශනය අයිස් මිදෙන  ශීත කාලගුනයකදී ඇතිවේ.

ඉතා දීප්තිමත් නිල්, රතු, කහ, සුදු වර්ණයන්ගෙන් යුතුව වර්ණ  වෙනස් කරමින් බැබලෙන මේ ආලෝක තීරු එකිනෙකට සමාන්තරව පොලවේ සිට ඉහල දක්වා ඇතිවේ. 
පොළොවට ආසන්නව පාවෙමින් තිබෙන තැටි ආකාර අයිස් ස්පටික මිලියන ගණනකට  කෘත්‍රිම(පහන් කණුවල අලෝකය) හෝ ස්වභාවික ආලෝකය පතිතවී, එතුලින් වර්තනය හා පරාවර්තනය වී එන කිරණ අපේ ඇසට ලඟා වීමෙන් මෙම මනස්කාන්ත දර්ශනය රස විඳීමේ හැකියාව ලැබේ. 
එනම්, ප්‍රභා කුළුණු සැදීමට වාතයේ ජලය වැඩි ප්‍රමාණයක් ඇති අවස්ථාවේ (ආර්ද්‍රතාවය වැඩිවිට) උෂ්ණත්වය අයිස් මිදෙන මට්ටමේ, 0͒ C ආසන්නයේ, තිබිය යුතුයි. සරලව කිවහොත් මීදුම ඇති අවස්ථාවක උෂ්ණත්වය පහල වැටුණු විට ඇතිවන්නක්. එවිට මිදුම මෙන් ඇති ජල අංශු, ස්පටික ලෙස වෙන් වෙන්ව මිදී පාවෙමින් පවතී. මේ අයිස් ස්ඵටික ෂඩශ්‍රාකාර පැතලි තැටි ලෙස වාතයේ නිදහස්ව එල්ලෙමින් පවතියි. මේ ස්ඵටික සියල්ල එක්වූ විට අති විශාල ප්‍රිස්මයක් බඳුව ක්‍රියාකරයි. ආලෝකප්‍රභවයත් ඇසත් අතර හරි මැදට ආසන්නව පවතින අයිස් ස්පටිකවලට ආලෝකය පතිත වී ඉහලට හෝ පහලට පරාවර්තනය වීමෙන් මේ අපුර්ව සංසිද්ධිය නිර්මාණය වේ. ඇත්තෙන්ම නම් මේ දසුන ඇතිවන අවස්ථාවේ එය නරඹන්නා වටාත් තිබිය හැකි වුනත් ඔහුට හෝ ඇයට දැකිය හැක්කේ මධ්‍ය දුරකින් ඇති ඒවා පමණි.
කෘත්‍රිම ආලෝකයෙන් ඇතිවන ආලෝක කුළුණු ස්වභාවික ආලෝකය හේතුවෙන් ඇතිවන කුලුනුවලට වඩා දිගින් වැඩිව දර්ශනය වේ. 


සමහරු මේ ප්‍රභා කුළුණු අව්රෝරා ලෙස වැරදි ලෙස වටහා ගත්තත් මේවයේ පොළවට ලම්භක ඍජු තීරු ස්වභාවයත්  අව්රෝරා මෙන් එක එක හැඩවලට ගමන් නොකරන නිසාත්  වෙන්කර හඳුනාගැනීම පහසුය.

උදව්:
cloudatlas.wmo.int/nacreous-clouds.html
www.atoptic.ca.uk 
www.cbc.ca
www.slideshare.net
weather.com