Thursday 30 November 2017

ධ්‍රැව අපවර්ති වලාකුළු හා ප්‍රභා කුළුණු : විශ්වයේ චිත්තාකර්ෂණිය සංසිද්ධි 7

පසුගිය දිනෙක අහසේ දුටු අලංකාර දර්ශනයක ඡයාරුපයක් පලකල විට ඒ ගැන  විවිධ මත පළවූ නිසා  වැඩිපුර සෙවීමේදී මේවා  මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන වලාකුළු වර්ගයක් වියහැකි බව තොරතුරු සොයාගත්තා. අලංකාර වර්ණ නිසා අව්රෝරා වැනි ස්වභාවික සංසිද්ධි සමග වරදවා වටහාගත හැකි මුත් පරිසර දුෂණය හේතුවෙන් දර්ශනය වන  සංසිද්ධි දෙකක් ගැනයි මේ ලිපියෙන් දක්වන්නේ. ඒ වගේම මේවා දැකිය හැකි වන්නේත් ලෝකයේ සීමිත ප්‍රදේශවල පමණයි. පරිසර දුෂණය බොහෝවිට අපට අයහපතක්ම කළත්, ඉඳහිට මෙවැනි දැකුම්කලු දසුන් මගින් සතුටක්ද ලබාදේ.

 ධ්‍රැව අපවර්ති වලාකුළු Nacreous Clouds / Mother of Pearl clouds 

විශ්වයේ සමහර ස්වභාවික සංසිද්ධි  ඉතාම චිත්තකර්ශනිය ඒවා. අව්රෝරා, ද්විත්ව දේදුණු වැනි  නෙත් පිනවන, සිත් සනසන, පරිසරයට අලංකාරය එක කරන සංසිද්ධි අතරේ  කලාතුරකින්දැකිය හැකිවන අත්‍යාලංකාර මුත් විනාශකාරී සංසිද්ධියක් ධ්‍රැව අපවර්ති වලාකුළු කියන්නේ. නම වගේම වලාකුළු වර්ගය ඇතිවන ආකාරයත් තරමක් සංකීර්ණයි.
 

අව්රෝරා මෙන්ම පෘථිවියේ සමහර ප්‍රදේශවලට පමණක්‍ පෙනෙන, ඊට වඩා දුර්ලභ, විවිධ වර්ණයන්ගෙන්  දිදුලන මෙම වලාකුළු හටගන්නේ  උත්තර හා  දක්ෂිණ අර්ධගෝලයේ අංශක 60ත් 90ත් අතර ඉහල උන්නතාංශයකයි. පොලව මට්ටමට අඩි  49000ත් 82000ත් ( 16km 24km ) ඉහලින් එනම් සාමාන්‍ය ගුවන් යානා ගමන්ගන්න උස මෙන් දෙගුණයක් උසකින් Nacreous වලාකුළු ඇතිවන්නේ. එයමයි මෙම වලා ජිවින්ට අහිතකර ලෙස බලපෑම් කරන්නට හේතු වන්නේත්. 
සුර්යයාගේ සිට එන අහිතකර කිරණ වළක්වමින් පෙරනයක් ලෙස ක්‍රියාකරන ඕසෝන් ස්ථරය තිබෙන්නේත් මෙම මට්ටමේ. (Stratosphere) 
සූර්යයාගෙන් පැමිණෙන  අහිතකර UV කිරණ ඍජුවම පෘථිවියට පතිත වුවහොත් එය මිනිසාට සෞඛ්‍ය ගැටළු ඇතිකරයි. සම රැළි වැටීම, සම පිළිස්සීම, සමේ හා වෙනත් පිළිකා ඇතිවීම, ඇසේ සුද ඇතිවීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියට බාධාකිරීම, ජාන විකෘති විම් ඒ අතර වේ.  පාරිසරික වශයෙන් ගෝලීය උණුසුම ඉහළ යාම, ‍‍ජෛව විවිධත්වයට හානි සිදුවීම මෙන්ම ප්‍රබල දේශගුණික වෙනස්වීම්වලටත් බලපෑම කෙරේ.ඕසෝන් ස්ථරයෙන් අහිතකර කිරණ කපා හැර පෘථිවිය ආරක්ෂා කරයි.

ඕසෝන් ස්තරය මට්ටමේ ධ්‍රැව අපවර්ති වළා හටගන්නේ කෙසේද කියාත්, එය ජිවින්ට අහිතකර වන්නේ කෙසේද කියාත් බලමු.
පොළවෙන් මේ තරම් ඉහල මට්ටම වලාකුළු සැදීමට අවශ්‍ය සිසිල් ජලය හෝ අයිස් ස්පටික තිබිය නොහැකි තරම් වියලියි. ශීත ඍතුවට ඉතා අඩුවෙන් ඉර එලිය ලැබෙන ධ්‍රැව ප්‍රදේශවල ශක්තිමත් ධ්‍රැව සුළිසුළං ඇතිවන අතර එමගින් උණුසුම් වාතය සිරකිරීමක් සිදුවේ. මෙමගින් ඉහල වායුගෝලයේ අසාමාන්‍ය අධිශීත තත්වයක් ඇතිවේ. එය -85͒ C පමණ පහල උෂ්ණත්වයකි. මේ හේතුවෙන් එම මට්ටමේ ඇති ජලවාෂ්ප, අධිශීත ජලය බවට පත්වේ. මේ ජලය  මානව ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට මුදාහැර ඇති CFC (ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්) බිඳ වැටීමෙන් ඇතිව තිබෙන හයිඩ්‍රක්ලොරික් අම්ලය, ක්ලෝරීන් නයිට්රේට් වැනි රසායන ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කිරීම සඳහා   උපස්තරයක් ලෙස ක්‍රියාකරයි. 

දන්නවනේ CFC වායු  තීන්ත වර්ග නිෂ්පාදනයේදී ත් ශිතකරනවල හා වායුසමීකරණ වල සිසිල්කාරකයක් ලෙසත්, පරිවාරක ලෙස භාවිතා කරන ෆෝම් වර්ගවලත් යොදාගන්නා අතර, පලිබෝධ නාශක භාවිතයේදීත්, සුවඳ විලවුන් භාවිතයේදීත් පරිසරයට එකතුවෙනවා. වසර සියයක් පමණ දක්වා පැවතිය හැකි මේ වායු ඉහල පරිසරයේ එක් රැස්වී, ඉහත ලෙස ඉහල වායුගෝලයේදී වලාකුළු සාදා  ඉර එලිය ලැබුණු විගස  එහි තිබෙන රසායන ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කර,  ක්ලෝරීන් වායුව මුදාහරිනු ලබනවා. මෙම ක්ලෝරීන් වායුව ඕසෝන් ස්තරය ඇතිවීම වළක්වනවා මෙන්ම, සැදී ඇති ඕසෝන් ස්ථරය බිඳ වැට්ටවීමක් ද සිදු කරනවා. 

ඉහත ලෙස ඉතා ඉහල වායුගෝලයේ නිර්මාණය වූ අම්ල, ක්ලෝරීන්, කාබනික රසායන ද්‍රව්‍ය අඩංගු වලකුලුවලට බැසයන හිරුඑළිය පතිත වූ විට වර්තන හා  පරාවර්තන හේතුවෙන් අත්‍යාලංකාරව දිදුලන වර්ණ දැකිය හැකිවේ. 
ධ්‍රැව අපවර්ති වලාකුළු ඇතිවන්නේ ධ්‍රැවාසන්නයේ නිසා එයද දැකිය හැකිවන්නේ අව්රෝරා මෙන්ම ධ්‍රැවසන්නව පිහිටි රටවලදී පමණි. සුර්යයා බැසගිය වහාම ඇතිවන සාමාන්‍ය වර්ණවත් වලාකුළුවලින් මේවා වෙනස් වන්නේ ගොම්මන් කාලයේ  සාමාන්‍ය වළා අඳුරු පැහැව ගිය පසුවත් වඩා දීප්තියෙන් බැබලෙමින් ඉහල අහසේ දැකිය හැකිවීමෙනි. 
සාමාන්‍ය වලාකුළු හා අව්රෝරා වලින් වෙනස්ව මේවා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවී, ඒවාට සමච්චල් කරමින් ඕසෝන් ස්තරයට හානි ගෙනදෙමින් අසිරියෙන් දිලේ.


ස්වභාවික ප්‍රභා කුලුණු : Light Pillars 

කෘත්‍රිම හෝ ස්වභාවික ආලෝකය පොලවට ආසන්න මට්ටමේ ඇති කරන තවත් නෙත් පිනවන සංසිද්ධියකි, ආලෝක කුළුණු, ප්‍රභා කුළුණු  හෝ අයිස් කුළුණු ලෙස හැඳින්වෙන්නේ. නමින් පැහැදිලිවෙන ලෙසම ඍජු වර්ණවත් පටි ලෙස දකින්නට ලැබෙන මෙම මනහර ආලෝක දර්ශනය අයිස් මිදෙන  ශීත කාලගුනයකදී ඇතිවේ.

ඉතා දීප්තිමත් නිල්, රතු, කහ, සුදු වර්ණයන්ගෙන් යුතුව වර්ණ  වෙනස් කරමින් බැබලෙන මේ ආලෝක තීරු එකිනෙකට සමාන්තරව පොලවේ සිට ඉහල දක්වා ඇතිවේ. 
පොළොවට ආසන්නව පාවෙමින් තිබෙන තැටි ආකාර අයිස් ස්පටික මිලියන ගණනකට  කෘත්‍රිම(පහන් කණුවල අලෝකය) හෝ ස්වභාවික ආලෝකය පතිතවී, එතුලින් වර්තනය හා පරාවර්තනය වී එන කිරණ අපේ ඇසට ලඟා වීමෙන් මෙම මනස්කාන්ත දර්ශනය රස විඳීමේ හැකියාව ලැබේ. 
එනම්, ප්‍රභා කුළුණු සැදීමට වාතයේ ජලය වැඩි ප්‍රමාණයක් ඇති අවස්ථාවේ (ආර්ද්‍රතාවය වැඩිවිට) උෂ්ණත්වය අයිස් මිදෙන මට්ටමේ, 0͒ C ආසන්නයේ, තිබිය යුතුයි. සරලව කිවහොත් මීදුම ඇති අවස්ථාවක උෂ්ණත්වය පහල වැටුණු විට ඇතිවන්නක්. එවිට මිදුම මෙන් ඇති ජල අංශු, ස්පටික ලෙස වෙන් වෙන්ව මිදී පාවෙමින් පවතී. මේ අයිස් ස්ඵටික ෂඩශ්‍රාකාර පැතලි තැටි ලෙස වාතයේ නිදහස්ව එල්ලෙමින් පවතියි. මේ ස්ඵටික සියල්ල එක්වූ විට අති විශාල ප්‍රිස්මයක් බඳුව ක්‍රියාකරයි. ආලෝකප්‍රභවයත් ඇසත් අතර හරි මැදට ආසන්නව පවතින අයිස් ස්පටිකවලට ආලෝකය පතිත වී ඉහලට හෝ පහලට පරාවර්තනය වීමෙන් මේ අපුර්ව සංසිද්ධිය නිර්මාණය වේ. ඇත්තෙන්ම නම් මේ දසුන ඇතිවන අවස්ථාවේ එය නරඹන්නා වටාත් තිබිය හැකි වුනත් ඔහුට හෝ ඇයට දැකිය හැක්කේ මධ්‍ය දුරකින් ඇති ඒවා පමණි.
කෘත්‍රිම ආලෝකයෙන් ඇතිවන ආලෝක කුළුණු ස්වභාවික ආලෝකය හේතුවෙන් ඇතිවන කුලුනුවලට වඩා දිගින් වැඩිව දර්ශනය වේ. 


සමහරු මේ ප්‍රභා කුළුණු අව්රෝරා ලෙස වැරදි ලෙස වටහා ගත්තත් මේවයේ පොළවට ලම්භක ඍජු තීරු ස්වභාවයත්  අව්රෝරා මෙන් එක එක හැඩවලට ගමන් නොකරන නිසාත්  වෙන්කර හඳුනාගැනීම පහසුය.

උදව්:
cloudatlas.wmo.int/nacreous-clouds.html
www.atoptic.ca.uk 
www.cbc.ca
www.slideshare.net
weather.com 

6 comments:

  1. ඉතාම සිත් ගන්නා සුළු මේ ශෛලිය අපේ පෙළ පොත්වලට එක් වෙනවා නම් දරුවන් විදින වදයෙන් යම්තරමකට මිදීමක් ලැබේවි. ඔබේ මෙවැනි ලිපි දකින හැම විටම අපේ සිංහල පෙළ පොත් සිහි වෙන්නේ ඇයිදැයි සිතාගත නොහැකි තරම්. පාසල් දුවා දරුවනට ගැඹුරු විෂයයන් තේරුම් ගැනීමට මෙවැනි සිත්ගන්නා ශෛලියක් භාවිත කිරීමට හැකි නම් කියවන්නේ නැතැයි දොස් පවරනවාට වඩා වැදගත් විය හැකියි.

    ReplyDelete
    Replies
    1. වර්ණනාවට ස්තුතියි ගුණසිංහ මහත්මයා..කියවූ පතපොත, ගුරු දෙගුරු පිහිටෙන් දියුණු කරගත් හැකියා නිසා ඒ සියලු දෙනාට පින්...

      Delete
  2. තුති. අව්රෝරා යන පදයට සිංහල පදයක් තිබ්බා. එය මතකයට එන්නෑ.

    ReplyDelete
    Replies
    1. උත්තරාලෝක කියනවා. ඒ බව අව්රෝරා ගැන ලියු ලිපියේ සඳහන් කළා.

      Delete
  3. මරු ලිපිය. මේ වගේ සීත සෘතුව ගැන තව ලිපියක් දාන්න. කන බොන දේවල් ගැන, රෙදි හෝදන විදිය, එළිමහන් රැකියා කරන විදිය වගේ දේවල්

    ReplyDelete
    Replies
    1. ඉල්ලීම් නම් ගොඩයි. බලමු නේද?(ඇනෝ කමෙන්ට් එක දාල තියෙන්නේ 'ශීත කාලය දිනන හැටි' ලිපියට නේද? ටෙක්නිකල් fault 😉)

      Delete