Saturday 27 June 2020

බිත්තර හා කිරි නොමැති ආහාර සැදීම

බිත්තර නැතිව කෑම සෑදීම 
අනුන් උයන ඒවා හොඳට කාල බිල හිටපු මට විවාහවෙලා ගිය ගෙදර මස්, මාළු බිත්තර  නැති කෑමට හුරුවෙන්න වුණා. උයන්න ටිකක් හොර මම ඒ වෙනසට කැමතිවුනා. ඒත් ඉතින් වෙන වෙන රසකැවිලි හදන්න, බේක් කරන්න ගියාම තමයි අභියෝගය ආවේ. බිත්තර නැතුව කේක් හදන්නේ කොහොමද? ඒ කාලේ ඉන්ටනෙට් තිබුනෙත් නැහැනේ. තරුණි, සිරිකත පත්තර පෙරළන් බැලුවත් ලැබුනෙ නැහැ උදව්වක්. අහම්බෙන් අම්මගේ කුකරි පොතක වෙසක් කේක් කියල රෙසිපියක් හමුවුණා. දරුවන්ගේ උපන්දින වලට නොවරදවා හදපු මෝස්‌තර කේක් කරලියට ආවේ එහෙමයි.
ඒ රෙසිපියේ බිත්තර හා සිනි වෙනුවට condensed milk හෙවත් උකුකිරි/ටින්කිරි  යොදාගත්තේ.
බිත්තරවලින් කෙරෙන්නේ මොකක්ද?
1. binding :ද්‍රව්‍ය එකට බඳවා තැබීම
2. leavening :අමුද්‍රව්‍ය අතර වාතය රඳවා ආහාරය පිපුම් ගතියක් ලබාදීම
3. moisture : තෙතමනය රඳවා ගැනීම
4. රස හා පෙනුම ලබාදීම

මේ සියලු දෙය රසේ හෝ පෙනුමේ වෙනසක් නොදැනෙන්න උකුකිරි මගින් ලැබුණා. කවුරුත් විශ්වාස කලෙත් නැහැ බිත්තර නොයොදා හැදුවේ කියල.
පසු කාලෙක වෙනත් දේවලුත් බිත්තර වෙනුවට ආදේශක ලෙස යොදාගන්න පුළුවන් බව දැනගත්තා.
  •  🍌 🥑   පොඩිකරගත් ඉදුණු කෙසෙල් හෝ ඉදුණු අලිපේර : බිත්තරයක් වෙනුවට මේවයින් ග්‍රෑම් 65ක් ප්‍රමාණවත්. කෙසෙල්වල රස තරමක් එන අවස්ථා තියනව. 
  •  සෝයා කර්ඩ්/ ටෝෆු  : ඒ කියන්නේ ඝන සෝයා කිරි. මේවත් එක බිත්තරයක් වෙනුවට 60g ප්‍රමාණවත්. ඔම්ලට් වුනත් හදන්න පුළුවන්. 
  •  විනාකිරි හා බේකින් සෝඩා : බේකින් සෝඩා තේ හැන්දකට විනාකිරි මේස හැන්දක් මිශ්‍ර කළාම බොහෝ ආහාරවල බිත්තර වෙනුවට ගන්න පුළුවන්. මේවා මිශ්‍ර කරන්න ඕන බැටර් එක තුලදිමයි. 
  • යෝගට් හෝ බටර්මිල්ක් : කේක්, කප් කේක් වලට කදිමයි. 
  •  හුලංකිරිය පිටි (Arrowroot powder) : බිත්තරයක් වෙනුවට හුලන්කිරිය පිටි මේස හැඳි දෙකක්  වතුර මේස හැඳි තුනක දියකරලා ගන්න.
  • කවුපි, කඩල, මුං ඇට තම්බපුවම ඉතුරුවෙන වතුර (aquafaba): බිත්තරයක් වෙනුවට දියර මේස හැඳි තුනක් ඇති. මාෂ්මෙලෝස්, බ්‍රවුනිස් එහෙම හදන්න නියමයි.

Apple sauce 
  •  🥜 පීනට් බටර්, ආමන්ඩ් බටර් : බිත්තරයක් වෙනුවට මේවා මේස හැඳි තුනක් යොදාගෙන බිස්කට් එහෙම හදන්න පුළුවන්.  
  • ඇපල් මදය පොඩිකරල සීනි එක්ක උණු කරලා හදන ඇපල් පියුරි/ ඇපල් සෝස්  කෙසෙල් වගේම යොදාගන්න පුළුවන්. වෙනස් රසක් එන්නෙත් නැහැ.
  • Flex seed කුඩු දාන්න පුළුවන්. බිත්තරයක් වෙනුවට ෆ්ලෙක්සිඩ් තේ හැන්දක  ප්‍රමාණයක් සමග එළවලු තෙල් ටිකක් යොදන්න පුළුවන්. 
  •  සෝඩා වතුර දාන්නත් පුළුවන්.
  •  Egg Replacer නමින් කඩෙන් ගන්න තියනව. අර්තාපල් පිටි හා තවත් ද්‍රව්‍ය වලින් හදල තියෙන්නේ. 
from Amma 's recipe book 

බිත්තර allergy අයට හා බිත්තර නොකන වෙජිටේරියන් අයට මේ ක්‍රම අත්හදා බලන්න පුළුවන්.                  .   🥐🥞🍰 🍩🥮 🥪🧀🍪🧁🍩🍹

සත්ව කිරි නැතිව කෑම සෑදීම
සර්ව භක්ෂක ඉඳල ශාක භක්ෂක වුනු මට ඊළඟ ආහාර අභියෝගය එන්න තව වසර ගණනාවක් ගියා. දුව පොඩිකාලේ සිටම සතුන්ට හරිම ආදරෙයි.  2015 යාපනේ ගිය වෙලාවේ නැවතිලා හිටි ගෙදර එළදෙනුන්ගෙන් කිරි ගන්න විදිය දැකල හරිම සතුටු වුනා. එයා කිව්වේ එලදෙනවත්, ඉන්න තැනත් පිරිසිදු කරලා, පැටියටත් දීල ඒ වගේ කිරි ගන්න එක ඒ සතුන්ගේ වාසනාවක් කියල. මම කිව්වා අපි පොඩිකාලේ බිව්වේ එහෙම ගන්න කිරි කියල.
කලක සිටම වානිජමය කිරි නිෂ්පාදනයේදී  සතුන්ට සිදුකරන කරදර ගැන කියමින් හිටියා. එළදෙනුන් නිතර බලෙන් ගැබ් ගැන්වීම, පැටවුන් ඉතා කුඩා කළම මවගෙන් ඈත් කිරීම, පිරිමි පැටවුන් කුඩා කල මසට ගැනීම, මෙලෙස ශාරීරික හා මානසික වධයන්ට ලක් කරන මව්දෙනගේ ප්‍රජනන හැකියා අඩුවෙත්ම සැලකිලි අඩු කර පසෙක දැමීම වැනි නිෂ්පාදන ක්‍රියාවලියේ සත්ව හිංසන ගැන නිතර පැමිණිලි!
ඇමරිකන් හා යුරෝපා රටවල වගේම ජපානයේත් සත්ව ආහාර වලින් වැලකීම ගැන උනන්දුවක් වේගයෙන් පැතිර යනවා. කිරිවලට ආදේශක ගැන කලක සිටම පර්යේෂණ සිදු කරනවා. මුලින් ගෝවා ගැන පර්යේෂණ කළත් පෝෂණය හා අනෙකුත් ගුණ සැලකු විට ආදේශක ලෙස වඩා සුදුසු සෝයා හා ආමන්ඩ් ලෙසයි නිර්දේශ වී තිබෙන්නේ. කැනඩාව රටක් විදියටම කිරි නිෂ්පාදන ආහාර ගැනීම අඩු කරන්න මෙවර food guide එකෙන් යොමුවුණා.
ගිය වසර අග දුව කිව්වා ඊළඟ වසරේ ඉඳන්  vegan වෙනවා කියල. ඒ කියන්නේ සත්ව කිරි බොන්නේ හෝ කිරිවලින් සාදන ආහාර ගන්නේ නැහැ කියල. ඒ සඳහා සාධාරණ හේතුත් කිව්වා. අපි හැමදෙනාම එයාගේ අදහසට ගරුකරලා එයට ඉඩ දුන්නා. නමුත් ආහාර වර්ග හදද්දී ආයේ ලොකු අභියෝගයක්.
හැබැයි මම මුලින් වෙජිටේරියන් වුනු කාලේ වගේ අමාරු නැහැ. දැන් හුඟක් අය වීගන් ආහාර ක්‍රම අනුගමනය කරන හින්ද ආහාර වර්ග වගේම රෙසිපිත් හොයාගන්න පුළුවන්. හැම අසුරුමේම 'අඩංගු දේ' සඳහන් හින්ද තෝරගන්නත් පහසුයි.
දුව එයාට ඕනකරන ආහාර තෝරාගෙන ආව. මුලින් තනියම එයාගේ ආහාර හදාගත්ත. ගෙදර අනිත් අය විගන් වුනේ නැහැ. කොරෝනා කාලේ හැමෝම ගෙදර ඉන්න වුනාම විශේෂ ආහාර හැදීමත් වැඩිවුණා. මටත් ක්‍රම හොයන්න වුණා කාටත් කන්න පුළුවන් වර්ග හදන්න.
දැනට අපි යොදාගන්න ක්‍රම මේවයි.
1. සෝයා කිරි, හේසල්නට් කිරි  හෝ ආමන්ඩ් කිරි භාවිතය: රසයේ තරමක වෙනසක් තිබුණත් බොන්නත්, කිරි යොදාගෙන හදන ආහාර හැම එකක්ම හදන්නත්  පුළුවන්. මේවට සිනි එකතු කරන අවස්ථා තියන නිසා මිලට ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.
2. ඕට්ස් කිරි: හුඟක් ආහාර හදද්දී කිරි වෙනුවට රෙසිපියේ සඳහන් ප්‍රමාණයට වඩා අඩුවෙන් භාවිතා කරන්න පුළුවන්.
3. රයිස් මිල්ක්: රතු හාල්වලින් හදන කිරි වෙළඳ පොලේ තියනව.  ඇත්තටම මම හාල්වලින් කිරි හදන්න පුළුවන් කියල දැනගෙන හිටියේ නැහැ. මේවට ඉහල ඉල්ලුමක් තියනව.
4. සත්ව කිරි නොවෙන බටර්, චීස් ආදියත් වෙළඳ පොලේ තියනව. සාමාන්‍ය කජු, ආමන්ඩ් හා මැකඩමියා කියන කජු වර්ග වලින්  මෙම බටර් හා චීස් හදන්නේ.  සත්ව කිරි හා සමානම පෝෂණ කොටස් තියනවා වගේම සිරුරට ගුණදායක HDL කොලෙස්ටරෝල් තියෙන නිසා රෝග සැදීමේ අවදානම අඩුයි. පීසා, ලසඥ්ඥ, රැප්ස් වගේ චීස් අවශ්‍ය ආහාර ඒවායින් හදාගන්න පුළුවන්.
5. සෝයා ටෝෆු භාවිතය.
6. බටර්මිල්ක් අවශ්‍ය රෙසිපි වලට ඒ වෙනුවට ලෙමන් යුෂ, විනාකිරි, cream of tartar, ටෝෆු භාවිතය
8. රටකජු කිරි (peanut milk) භාවිතය
7. ග්වෝකමොලි: අලිපේර උපයෝගී කරගෙන හදන බටර් වැනි දෙයක්. සැලඩ් සඳහා වගේම බටර් වෙනුවටත් ගන්න පුළුවන්
8. පොල් කිරි භාවිතය 🙂🙂


මේවට අමතරව ජෙලටින් කුඩුවල සත්ව ඇටකටු කොටස් අඩංගු නිසා moss jelly/ Agar agar භාවිතා කරනවා. Agar කියන්නේ මුහුදු ඇල්ගී පැලෑටියක්. ඒවා වියලා වියලි පැළෑටි කොටස් ලෙස හෝ කුඩු ලෙස පැකට් කර විකුනන්න තියනවා. ජෙලටින්වල සිසිල් ගුණය හා ප්‍රතිශක්තිකරණ ගුණ නිසිලෙස තිබෙන්නේ එම මුහුදු ඇල්ගීවලයි. උණු වතුර දාල හැදුවම සාමාන්‍ය ජෙලටින්වලට වඩා ටිකක් ඝනයි.

 බඩු ගන්න කඩේ ගියාම භාණ්ඩ හැම එකේම කිරි හෝ සත්ව කොටසක් ගෑවිලා තියනවද කියල පරික්ෂා කරන එකට සැහෙන කාලයක් යොදවන්න වෙනවා. 🧐  මාගරින් වල පවා කිරි හෝ කිරි කොටස් අඩංගු විය හැකිය කියල තියනවනේ. හොයල හොයල ගෙනාවමත් may contain milk කියල තියනව. එහෙම තියෙන්නේ එකම කර්මාන්ත ශාලාවේ යන්ත්‍රවලින් සත්ව කිරි අඩංගු ආහාරත් හදන නිසාලු.
ලෝකෙම මිනිස්සු සත්තුන්ගෙන් කිරි ගන්න එක නැවත්තුවම ඒවා හරියයි.  🤔

උදව්:
විකල්ප ආහාර පිලිබඳ කියා දුන් සැමට
www.healthline.com/nutrition/egg-substitutes
www.huffingtonpost.ca/2016/06/16/aquafaba-recipes
www.peta.org/living/food/everything-you-need-to-know-about-vegan-cheese/
www.mybluprint.com/article/milk-substitutes
www.purewow.com/food/vegan-buttermilk-substitute






9 comments:

  1. ලෝකෙ අලුත්ම වෙනස... අපිත් මීතේන් ගැන හිතල මස් මාලු කිරි ඔක්කොම නැවැත්තුව.
    පාන්පිටිත් නවත්තල දැම්ම සෞඛ්‍යයට හොඳ නැති නිසා. ලංකාවේ තේ වගාවට විතරක් ග්ලයිෆොසේට් ගහන්න අවසර දීල ඒව දාන්නෙ කියල දැනගත්ත නිසා ලංකවෙ තේත් අයින් කරලම දැම්ම.

    ඔය ආමන්ඩ් වගාව මහාපරිමාණ ව්‍යාපාරයක් විදියට ඇමරිකාවෙ ආරම්භ කලේ 2008 ආර්ථික අවපාතයේදී ඒක දත්ත විශ්ලේෂණයෙන් කලින්ම දැනගෙන මිලියනපතියන් උන අය. ඒ කාලේ ඔවුන් ඒ ආයෝජනය කරද්දි වෝල්ස්ට්‍රීට් හැමෝම හිනාවුනා පිස්සු කියල. දැන් ඊලඟ ආර්ථික අවපාතෙ එන්න කිට්ටුවෙනකොට තමයි කට්ටියට තේරුනේ ඒ මිනිස්සුන්ට අවුරුදු 10 විතර ඉදිරියට වෙන දේ ගැන මාර දැක්මක් තිබුන කියල...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිනා කමෙන්ට් එකට. ඉදිරිය වස විස නැති ලෝකයක් විය යුතුයි.

      Delete
  2. වටිනා cooking tips ටිකක් ඉගන ගත්තා, ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඇගයීමෙන් දුන් දිරියට ස්තුතියි.

      Delete
  3. අලුත් දේවල් ගොඩක් ඉගෙන ගගත්තා ...ස්තූතියි

    ReplyDelete