Tuesday 24 December 2019

නත්තල් සීයාගේ නිල නිවස Rovaniemi

සාමය, සතුට, බලාපොරොත්තු සමගම නත්තලත් එක්කම එන තව දේ අතර නත්තල් ගස්, තෑගි, නත්තල් සීයා ප්‍රමුඛයි. විවිධාකාරයෙන් නත්තලට සම්බන්ධ වූ මේ දේවල් ඇත්ත දේට සම්බන්ධ කිරීම ලොව පුරා සිදුනවා.
නත්තල් සීයා ගැන හැමදෙනාම තුල තියෙන්නේ බලාපොරොත්තු පොදි බැඳගත් ආදරයක්. උතුරුකරයේ ලස්සන තැනක ඉන්න නත්තල් සීයා තෑගි බෙදන්න පිනිමුවන් බැඳපු කරත්තෙන් එනකල් බලා ඉන්න සිඟිත්තෝ ලොව පුරාම ඉන්නවා. නත්තල් සීයා තෑගි දෙන්න  පිටත්වෙන්න කලින් ගිහින් ඔහුව බැහැදකල එන්න පුළුවන් නත්තල් සීයාගේ ගමක් තියන බව දන්නවද? නත්තල් සුරංගනා කතාවකින් ගත්ත වගේ හිමෙන් වැසුණු ගස්, හිම පිරුණු පාරවල්, හිමෙන් ආවරණය වෙච්ච වහලවල් තියෙන, පිණිමුවන් ඉන්න පින්තුරයක් වගේ පළාතක ඔහු ඇත්තටම ඉන්නවා.

නත්තල් සීයාගේ ගෙදර තියෙන්නේ පින් කරපු අය ඉන්න පින්ලන්තේ. ඔහු ඉන්නේ උත්තර ධ්‍රැවයේ කියලනේ අපි අහල තියෙන්නේ. ඒක තරමක් දුරට හරි. හරියටම කිව්වොත් පින්ලන්තයේ හෙල්සින්කි නගරයේ ඉඳල කිලෝමීටර් 822 කට උතුරින් තියෙන Rovaniemi  නගරයේ තමයි නත්තල් සීයාගේ ගෙදර තියෙන්නේ. ලැප්ලෑන්ඩ් ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන රෝවියනෑමි නගරයෙන් කිලෝමීටර් 8ක් උතුරට ගියාම නත්තල් සීයාගේ ගෙදර ඇතුලත් ගම තියෙනවා.
පහන් පෙලට ඉහලින් තියෙන නිල් පාට රේඛාවෙන්
සංඛේතවත් කරන්නේ ආක්ටික් චක්‍රයයි
ආක්ටික් චක්‍රය ලෙසින් ලෝක සිතියමේ හඳුන්වන අක්ෂාංශ 66͒ තිබෙන චක්‍රය ඒ ගම හරහා යනවා.  ආක්ටික් චක්‍රයට ඉහලින් පිහිටන භුමි ප්‍රදේශ ගිම්හානයේ මුළු දවස පුරාම වගේ ඉර දක්නට ලැබෙන අතර ශිශිර කාලයේ ඉතා දිගු රාත්‍රී කාල සහිතයි. පැයක් දෙකක් තරම් සුළු වෙලවකටයි ඉර පායන්නේ. දෙසැම්බර් මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය රින 10͒ C ත් - 20͒ C ත් අතර. අඩුම උෂ්ණත්ව වාර්තා වෙන්නේ ජනවාරිවල.
රෝවියනෑමි නගරයේ ගුවන් තොටුපලක් තියන නිසා හෙල්සින්කි නුවර ඉඳන් ගුවන් මගින් යන්න පුළුවන්. බස් හා දුම්රිය සේවාත් තියනව. 
සංචාරකයන් සඳහා හෝටල්, tree house, AirBnB ආදී පහසුකම් තියනව. නියම නත්තල් හැඟීම් දැනවෙන නත්තල් කාලෙට ඉල්ලුම වැඩි හින්ද අනිත් කාලවලට වඩා ටිකක් මිලයි. පිටත හෝටලයක නැවතිලා ගම බලන්න එන්න කැමති අයට ඒ සඳහා බස් සේවා තියනව.
Santa Clause Village එකට යන්න මුදලක් අය කරන්නේ නැහැ. විනෝද වෙන්න බොහොමයක් අවස්ථා ඒ වටපිටාවේ තියනවා.
හැබැයි නත්තල් සීයාගේ ගෙදරදී ඔහුව මුණ ගැහෙන්න කලින් වෙලාවක් වෙන් කරගන්න ඕන. පුංචි දොරවල් ජනෙල ඇති නත්තල් සීයාගේ ගෙදරට ඇතුල්වෙලා ඒ තුලින් ගමන් කරන එක පුංචි දරුවෙක්ට කෙතරම් සතුටක් ඇති කරයිද? ඒ ඇවිදගෙන යන අතරමග නත්තල්  සීයාගේ නත්තල් ආච්චි පොඩි ළමයින්ට රසකැවිලි හදමින් ඉන්නවා දකින්නත් පුළුවන්. ඒ වගේම නත්තල් සීයාගේ උදව්කාර අඟුටුමිට්ටෝ ඔවුන්ගේ කම්හලේ තෑගි සකස් කරනවා බලන්නත් පුළුවන්. සමහර වෙලාවට නත්තල් සීයා ලඟට යන්න මග පෙන්වන්න අඟුටුමිට්ටෙක් උදව් කරන්නත් එනවා. ලොව පුරා දරුවන්ගෙන් ලැබුණු ලිපි කියවමින් ඉන්න, තෑගි බෙදන්න යන්න සුදානම් වෙන නත්තල් සියා ලඟට වෙලා ඉන්න කුඩා කණ්ඩායමකට විනාඩි 5ක ඉඩක් ලැබෙනවා. පුංචි දරුවන්ගේ හීනයක් වගේ මේ අවස්ථාව ලබාගත් පියෙක් පවසා තිබුණේ " මට මගේ දුවට නත්තල් සීයා කෙනෙක් අන්දවල  පෙන්වන්න තිබුණ. මුදල් වියදම් කර පොඩි අට්ටලෙකුත් හදල අඟුටුමිට්ටෝ ටිකකුත් පෙන්වන්න තිබුණා. ඒත් මෙවන් පරිසරයක ඇත්තම නත්තල් සීයා කියල ඒත්තු ගැන්වෙන විදියට ඔහු හමුවීමට ලබා දීමෙන් ඇය ලැබූ සතුට මිල කරන්න බැරි අනගි අවස්ථාවක්".
නත්තල් සීයා මුණගැහෙන සුවිශේෂ අවස්ථාවට අමතරව තව විනෝද වෙන්න බොහොමයක් දේවල් සීයාගේ නිලලත් ගමේ තියනව. එයින් තවත් වැදගත් ස්ථානයක් ගමේ තැපැල්හල.
ලොව පුරා  සිඟිත්තෝ නත්තල් සීයාට එවන ලියුම් හුවමාරු වෙන මේ තැපල් හලෙන් එම තැපැල් හලට විශේෂ මුද්දරයක් සහිතව ලෝකේ ඕනෑම රටකට ලිපි යවන්න පුළුවන්. නත්තල කාලේදී ලිපි කටයුතු කෙරෙන්නේත් නත්තල් සීයාගේ අඟුටු මිට්ටෝ වගේ සැරසුණු අය අතින්. මේ ගමේ තෑගි, සිහිවටන, ඇඳුම්, චිත්‍ර ආදිය  ගන්න පුළුවන් කඩ සාප්පුත් තියනවා. කන්න බොන්න රෙස්ටුරන්ට් හා බීමහල් අඩුවක් නැහැ. 
ඊට අමතරව මුදල් ගෙවා හිම බල්ලන් යෙදු  හෝ පිණිමුවන් ඇදගෙන යන ස්ලේ එකක රවුමක් යන එකත් මේ ගමේදී කරන්න පුළුවන්. snowmobile එකක් කුලියට අරගෙන පැය දෙක තුනක සවාරියක් කැලැව මැද්දෙන් යන්නත් පුළුවන්.
හිමමත ලිස්සීම හිමමත ස්කෙටින්ග් වගේ සාමාන්‍ය හිම ක්‍රීඩා කරන්නත් අවස්ථාව තියනව.
හිමවලින් ආවරණය වෙච්ච Arctic Snow Hotel එකේ නැවතිලා ඉන්න අසීරුනම් දැකබලාගෙන එන්නත් පුළුවන්. වීදුරුවලින් නිර්මිත වහලක් තියන Snowman World Glass Resort සුවපහසු, සුඛෝපභෝගී නවාතැනක්.  SantaClause පාර්ක් එකේ විනෝද වෙන්නත් පුළුවන්. ඒ වගේම රාත්‍රියට අව්රෝරා බලන්න චාරිකාවක නිරත වෙන්නත් පුළුවන්.
මේ හැම දෙයක සඳහාම අය කිරීමක් කරනවා. ලබාගන්න හැකි අත්දැකීම් වලට මිලක් නැහැ.
නත්තල් සීයාගේ ගම බලන්න දැන් වසරකට ලක්ෂ පහක් පමණ සංචාරකයින් පිරිසක් එනවා. ඒක නත්තල් සීයාගේ ගම හින්ද ඔහු හැමදාම ගෙදර ඉන්නවා. ඉතින් වසර පුරාම සංචාරකයින්ට ඇවිත් ඒ කාලයට සුදුසු විනෝදාත්මක අත්දැකීම් ලබන්න පුළුවන්.

නත්තල් සීයාගේ ගම කාගේ සංකල්පයක්ද?
නත්තල් සීයා ලෙස සැලකෙන සාන්ත නිකොලස් තුමා ජීවත්වුයේ තුර්කියේ. එහෙත් නත්තල් සීයා උත්තර ධ්‍රැවයේ ජිවත්වන බවට මුලින්ම නිර්මාණයක් ඉදිරිපත් කර තිබුනේ 1866 පළවූ Harper නම් සඟරාවකයි. 1927 පින්ලන්ත රේඩියෝ වැඩසටහනකදී මාර්කස් නම් වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක් ලැප්ලෑන්ඩ් හිදී නත්තල් සීයාගේ සෙල්ලම් බඩු හදන කම්හල හමුවූ බවට වැඩසටහන් කිහිපයක් කළා. දෙවෙනි ලෝක යුධ සමයේ මෙම ප්‍රදේශය දරුණු  සටන්වලින් විනාශ වී ගියා.
Roosvelt Cottege 
1950 දී ලෝක යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල චාරිකාවක නිරතවුණු එවක ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් මහතාගේ බිරිඳ වන එලිනෝර් රුස්වෙල්ට් මැතිනිය මෙම ප්‍රදේශයට පැමිණීම සනිටුහන් කරන්නට එවක ආක්ටික් චක්‍රය ගමන් කරන ලෙස සැලකු ස්ථානයක ගොඩනැගිල්ලක් ඉදිකළා.
1957 දී ඉතා උස ගස් සහිත යුරෝපයේ වනාන්තර දකින්නටත්, ගිම්හාන කාලයේ දවස පුරා හිරු දකින්නටත් සුදුසු තැන් ලෙස රෝවියනැමි නම් කළත්,  සංචාරක මධ්‍යස්ථනයක් ලෙස දියුණු කිරීමේ අදහස පින්ලන්ත සංචාරක මණ්ඩලය අනුමත කළේ 1984දියි. ඒ අනුව නත්තල් සීයාගේ නිවස, තැපැල්හල සහිතව ප්‍රදේශයක් නිර්මාණය කර, නත්තල් සීයාගේ නිලලත් ගම ලෙස ප්‍රසිද්ධියට පත්කළා. ඉන්පසු යුරෝපයේත්, ඇමරිකාවෙත් මෙම ස්ථානය පිළිබඳව ප්‍රචාර සිදුකළා.
සත්‍යය උත්තර ධ්‍රැවය අයිති වන්නේ තමන්ට බව ප්‍රකාශ කරන ඩෙන්මාර්කය ආදී රටවල් නොසතුටට පත්වුණත් දැන් ලෝකයේම ප්‍රසිද්ධ නත්තල් සීයාගේ ප්‍රධාන තිප්පල වන්නේ රෝවියනෑමි ය.
මේක ලියන්න වැඩිමනත් හේතු වුනේ දෙවෙනි ලෝක යුද්ධය කාලේ සම්පුර්ණයෙන් වගේ විනාශවෙලා ගිය, ඉතා අවාසිදායක දේශගුණික පරිසරයක් තියෙන මේ වගේ ප්‍රදේශයක්, අති සාර්ථක සංචාරක ආකර්ෂක මධ්‍යස්ථානයක් කිරීමේ සිතුවිල්ලේ සිට ක්‍රියාත්මකය දක්වා ඇති වැදගත්කම දක්වන්නයි. අධික ශීතල ආක්ටික් කලාපයේ, ශීතල කාලයක පවා සංචාරකයින් අද්දවාගෙන රටට මුල්‍ය උපදවාගැනීමේ මෙම Official Village of Santa Clause :නත්තල් සීයාගේ නිල ග්‍රාමය අදහස ඕනෙම රටක දියුණුවට ගන්න පුළුවන් ආදර්ශයක්.  

උදව්:
www.youtube.com/watch?v=JH9jCaHWkhM
how-rovaniemi-finland-became-the-official-hometown-of-santa-claus/

2 comments:

  1. විස්තරයට ගොඩක් ස්තූතියි. මේ ගැන දැනගෙන හිටියෙ නෑ. ඔය වගේ ලෝක ව්‍යාප්ත ලෙජන්ඩ් සංචාරක කර්මාන්තයට යොදාගැනීමට ලංකාවටත් අවස්ථාවක් තියෙනව. ආදම්ගේ පාරාදීසය සහ සදාතනික යොවුන් බවේ උල්පත ගැන සංකල්පය ගැන කතා බහ මධ්‍යකාලීනව ලංකාවත් ඉළක්ක කරගත්තා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. හිතනවා නම් ලංකාව තුලින් ඕනෑතරම් අවස්ථා මතු කරගන්න පුළුවන්.

      Delete