Saturday 11 February 2017

මායා ශිෂ්ඨාචාරය: ඇමරිකාවේ ආදී වාසින් 6

මායාවරුන් කියූ පමණින් බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ 2012 දෙසැම්බර් 21 දින සිදුවෙතැයි සිතු ලෝක විනාශයක් ගැනයි. ඔවුන්ද, කලින් ලිපිවල කියවූ පරිසරයත්  සමග සහයෝගයෙන්, පරිසරයට ආදරය කරමින් ජිවත්වූ ස්ක්වොමිෂ් ගෝත්‍රිකයන් හා ඉතා ඉහල තාක්ෂණික දියුණුවක් සමග උසස් මට්ටමේ පාලනයක් ගෙනගිය ඇස්ටෙක්, ඉන්කා වැනි ගෝත්‍ර සමුහයන් මෙන්  යුරෝපින් විසින් ඇමරිකා මහාද්වීපය 'හොයාගන්න' කලින් ජීවත්වූ තවත් දියුණු සම්භාව්‍ය ශිෂ්ඨාචාරයක්. ක්‍රිස්තු පූර්ව 2600 සිට දැනට ගෝතමාලා, හොන්ඩුරාස්, එල් සැල්වදෝර් තියන ප්‍රදේශවල වර්ධනය වෙමින් පැතිර තීබු මිලියන 2ක ජනගහනයක් විසු සශ්‍රික රාජ්‍යයක්.

මොකද්ද මේ ලෝක විනාශ කතාව? මායාවරුන් ඉතා උසස් තාරකා විද්‍යා දැනුමක් තිබු අයයි. දුරේක්ෂ වැනි නවීන උපකරණ භාවිතා කල බවට සාක්ෂි නැතත් ඔවුහු  සුර්යයා, චන්ද්‍රයා, ග්‍රහලෝක හා තාරකා චලනයන් අධ්‍යනයෙන් සැකසු විශ්ව දිනදර්ශන 17ක් භාවිතා කළා.
ලෝක විනාශය ලෙස සිතු දිනය ඇත්තටම වර්ෂ 26000කින් සමන්විත එක් දින දර්ශනයක අවසානයක්.  සුර්යයා අප අයත් ක්ෂිරපථයේ සමකය සමග සමපාතව සිටින දිනයයි 2012 දෙසැම්බර් 21 ලෙස මේ දින දර්ශනයේ සටහන් කර ඇත්තේ.
එය ලෝක විනාශයක් ගැන සටහනක් යයි 'දියුණු' ජාතින් මුලාවුණත්, මායා ගෝත්‍රික නායකයෙක් 2012 නොවැම්බර් මස සාකච්ඡවකදී කියා තිබුණේ, එය සූර්ය වර්ෂයක් අවසන් වී නව වර්ෂයක් ලබන්නා සේ එක් විශ්ව වර්ෂයක් අවසන් වී තව එකක ඇරඹීමක් පමණක් බවයි. වසර දහස් ගණනකට පෙර මෙවන් ගණනය කිරීමක් සිදුකර වසර 26000කට වරක් පැමිණෙන නිශ්චිත දිනයක් ගැන කීමට තරම් ඔවුන් තාරකා ශාස්ත්‍රය හා ගණිත හැකියාවෙන් කෙතරම් ඉහල මට්ටමක සිටින්නට ඇත්ද?

චන්ද්‍ර මාසය පිලිබඳ මායා ගණනය කිරීම්, නවීන තාරකා විද්‍යා උපකරණ හා දැනුම ඇසුරෙන් කළ ගණනය කිරීම්වලින් වෙනස් වන්නේ තත්පර දශම ගණනකින් පමණයි. නවීන තාරකා විද්‍යාඥයින්, ජ්‍යොතිශාස්ත්‍රඥයින්, භූ විද්‍යාඥයින් හා ගණිතඥයන් එකතුව කළ හැදෑරීම් මගින් දැනට මායා දිනදර්ශන තුනක ගණනය කිරීම්  වටහාගත හැකිව තිබෙනවා.
Teotihaucan පිරමිඩය 

මායා ශිෂ්ඨාචාරය ලෝක ඉතිහාසයේ දීර්ඝතම කලක් පැවතුණු ශිෂ්ඨාචාරයයි. ඉන් පෙර තිබු ඔල්මෙක් ශිෂ්ටාචාර උරුමයන් හා අදහස් අනුව යමින් බිහිව, වසර 3500ක් පැවති මෙහි තිබු දැවැන්ත නගරවල නටබුන් ගෝතමාලාවේ හා මෙක්සිකෝවේ දක්නට ඇත.
මායා අධිරාජ්‍යයක් නොවේ. ස්වාධින ජනපද 50කින් යුතු රාජ්‍යයකි. සෑම ජනපදයකටම ප්‍රධාන නුවරක් තිබු අතර, ඒවායේ විභූතිමත්, විසිතුරු ගෘහනිර්මාණ හා කලා ශිල්පවලින් අනූන පන්සල්, මාලිගා, පිරමිඩ ආදී ගොඩනැගිලි තිබුණා.  මායාවරු  කෘෂිකාර්මික කටයුතු සඳහා උපකාරවන හිරු, සඳු, වර්ෂාව මෙන්ම බඩඉරිඟු සඳහාද වූ දෙවියන් ගැන වගේම අද්භුත බලවේගත්, අපායත් විශ්වාස කර තිබෙනවා. සෑම ප්‍රධාන නගරයකම පිරමිඩ තනා තිබු අතර ඒවායේ මුදුනේ විවිධ දෙවිවරුන් උදෙසා වූ දේවාල තිබෙනවා. මායා පිරමිඩ  සියල්ලක්ම තරප්පු සහිත ඒවාය. ටෙයෝටිහෝකන් නගරයේ ඇති 'හිරුගේ දෙවොල' පිරමිඩය මිසරයේ ගීසාහි පිරමිඩයට ප්‍රමාණයෙන් සමානයි.

ගණිත ක්ෂේත්‍රයෙන් බැලුකළ මායාවරුන්ට රෝම, ග්‍රීක හා ඊජිප්තු ජාතිකයන්ට වඩා බෙහෙවින් වැඩි ප්‍රයෝගික දැනුමක් තිබු බව පැහැදිලියි. මායාවරුන් ශුද්ධ විද්‍යාවේ නිපුණයන් වුයේ බටහිර අනෙක් ජාතීන්ට වඩා වසර දහස් ගණනකට පෙරයි. බින්දුව අංකයක් ලෙස භාවිතා කළේ, යුරෝපා ජාතින් අරාබි උගතුන්ගෙන් එය දැනගන්නට වසර 1700කට පෙරයි. ගණිතය පිලිබඳ මහත් වූ දක්ෂතා තිබී ඇති අතර සංකීර්ණ ගණිත ගැටළු විසඳීමේ දක්ෂයෝ වුණා.

ඔවුහු ශාක කොටස්වලින් ලියන්නට හැකි පත්  නිපැයූ අතර, ඔවුන් විසින්ම වර්ධනය කරගත් ලේඛන ක්‍රම මගින් නොයෙක් දේ ඒවායේ ලියා තැබුවා. මේ අක්ෂර සංඛේත, මානව හා සත්ව රුප, දිව්‍යමය දේ, වියුක්ත මෝස්‌තර ඇතුලත් සංකීර්ණ ඒවාය. ඉලක්කම් සඳහා ද රුප සංඛේත භාවිතා කර තියෙනවා. කොළවලට අමතරව, ගල්කණු මත, සොහොන් මත, මැටි බඳුන් මත හා වහල වල පරාල මතත් සටහන් තබා තියෙනවා.

දැනට ලෝක ජනගහනයෙන් 60% අනුභව කරන ආහාර වර්ග මුලින්ම වගා කිරීමට පටන්ගත්තේ මායාවරුන්. බඩඉරිඟු, කජු, රටකජු, කොකෝවා, බෝංචි, වට්ටක්කා, බතල, දුම්කොළ, මිරිස්, අන්නාසි, කපු ඔවුන්ගේ ශෂ්‍ය වගාවන්ට අයත් වුණා. හාවන්, මුවන්, කලුකුමන් දඩයම් කර ඇති අතර ආහාර පිණිස තාරාවන් හා කලුකුමන් ඇතිකර තිබෙනවා.
මායා ඉංජිනේරුවන් ජලය රැස්කිරීමට, රඳවා ගැනීමට හා පෙරහන් කිරීමටත්, වසර පුරා කෘෂි කර්මාන්තයට හා පානයට ජලය පවත්වාගෙන යාමටත් දියුණු, උසස් තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කරගෙන තිබෙනවා. වැසිජලය ගබඩා කරගැනීමට විසල් භූගත ජලාශ සාදා තිබෙනවා. වගා කටයුතුවලදීත් වඩා උසස් කෘෂි ක්‍රම උපයෝගී කරගෙන තිබෙනවා.
ගැහැණු අය මැටි භාණ්ඩ නිර්මාණයත්, කපු හා සත්ව හම්වලින් රෙදි නිර්මානයත් කර තිබෙනවා.

ඔවුන් ජීවත්වුණ ප්‍රදේශවල ලෝහ නොතිබුනත්, යකඩ වලටත් වඩා ශක්තිමත්, තියුණු උපකරණ ගල්වලින් සාදාගෙන තිබෙනවා. උල්කාපාත වැටුණු තැන්වල ඇති ඝන පාෂාණ මේ සඳහා යොදාගෙන තිබෙන්නේ.
ඒ වනවිට දකුණු ප්‍රදේශයේ විසු සමහර ගෝත්‍ර ලෝහ උපකරණ භාවිතා කළත්, මායාවරුන් භාණ්ඩ හුවමාරුවෙන් ලද ලෝහ භාවිතා කර ඇත්තේ අලංකාරයටත්, මුදල් ලෙසත් පමණි.
ප්‍රදේශයේ තිබු ස්වභාවික සම්පත් උපයෝගී කරගෙන විවිධවූ දේ සිදුකර තිබෙනවා. හුණුගල් වලින් ගොඩනැගිලි නිර්මාණය හා හැඩගැන්වීමත්, හක්ගෙඩි, වර්ණවත් කුරුළු පිහාටු හා ජේඩ් ගල්වලින් ආභරණ හා විසිතුරු භාණ්ඩ නිපැයිමත්සිදුකර ඇති අතර, ලුණු ආහාර ලෙස හා භාණ්ඩ හුවමාරු ද්‍රව්‍යක් ලෙසත් යොදාගෙන තිබෙනවා.


දිගු වර්ෂා සමයන්හි මඩ පොළොවේ, කැලැ මැදින් යාම අසීරු නිසා නගර අතර ගමනාගමනයට පොළවෙන් අඩි තුනක් උස, අඩි 30ක් පළල ගල් ඇල්ලූ මාර්ග සාදා තිබෙනවා. Sacbs නමින් හඳුන්වන සුදු පාට මෙම පාරවල් 50ක් පමණ දැනට අනාවරණය කරගෙන තිබෙනවා. එක ජනගහන මධ්‍යස්ථානයක සිට තවත් මධ්‍යස්ථානයකටත්, බෙදාහැරීම් ස්ථානවලටත් භාණ්ඩ එහා මෙහා ගෙනගොස් තිබෙන්නේ මිනිස් දම්වැල් වලින්. මේ සඳහා සමාජයේ පහල ස්තරවල මිනිසුන් හා වහලුන්ව යොදාගෙන තිබෙනුයේ. අඩි 50ක් පමණ දිග ලීවලින් තැනූ පාරු ද භාණ්ඩ ප්‍රවාහනයට උපයෝගී කරගෙන තිබෙනවා. රෝද ගැන දැන සිටියත්, ප්‍රවාහනයේදී රෝද යොදාගත් බවට සාක්ෂි නැහැ.

යුරෝපින් ටයරය නිර්මාණයට බොහෝ කලකට පෙර, රබර් කිරි හා ශාක යුෂ මිශ්‍ර කර තැනු පොලාපනින බෝලවලින් මායාවරුන් ක්‍රීඩා කර තිබෙනවා. අත් භාවිතා නොකර, ඉඟ, කලවා හා බාහු භාවිතයෙන් සිදුකල පන්දු ක්‍රීඩාවක් ප්‍රචලිතව තියෙනවා. මිනිසුන් ක්‍රීඩා කර තිබෙන්නේ  I අකුරේ හැඩයට තැනූ සෙල්ලම් පිට්ටනිවලයි.
ක්‍රි. පූ. 300දී මායාවරුන් සිමෙන්ති නිෂ්පාදනය කර, ඒ ඇසුරින් තැනු ගොඩනැගිලි අදත් පවතිනවා. පැරණි ලෝකයේ දිගම එල්ලෙන පාලම මායා නිර්මාණයක්.

7වන සියවසේ, එනම් මායාවරුන්ගේ සම්භාව්‍ය යුගයේ කොටසක දී පාලකයා වූ යෝධයෙක් බඳු මහා පැකල් රජුගේ සොහොන වටා ඇති පිරමිඩයේ ගල් කැටයම් පිටසක්වල හා සබඳතා පැවතී බවට සාක්ෂි සපයන බවට සමහරු සැක කරනවා.

මායා ශිෂ්ටාචාරයේ බිඳ වැටීම ගැනත් විවිධ මත තිබෙනවා. ආහාර හිඟය වලක්වා ගැනීමට ගත් හදිසි කෘෂිකාර්මික පිළියම් වලින් පරිසරය විනාශ වීමත්, භුමිය අධි භාවිතයත්, ක්‍රි.ව. 750ත් 910ත් අතර පුරා වසර 150ක් පරම්පරා දෙකතුනක් පැවතුනු දිර්ඝකාලින නියඟය හේතුවෙන් ජනගහනයෙන් වැඩි කොටසක් මියයාමත් ප්‍රධාන හේතු ලෙස හිතන්නේ.
ඉන්පසු ඉතිරි වූ පිරිස් Yucatan නම් උස් බිම්වල තවත් වසර ගණනාවක් නගර ගොඩනංවාගෙන ජිවත්ව තිබෙනවා. ඒ යුගයේදී ආගමික පුජකවරු අතිනුයි පාලනය සිදුව තිබෙන්නේ. ඉතිහාස කතා, තාරකා ශාස්ත්‍රය  පිලිබඳ වගකීම් දැරූ, සුර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ගැන අනාවැකි කීම පිලිබඳ ප්‍රවීණ අයයි පුජක තනතුරු දරා ඇත්තේ.
 ඒ යුරෝපිය ආක්‍රමණවලට පෙරයි. අහම්බෙන් ගොඩබට ස්පාඥ්ඥ ජාතිකයන් දේවාලවල තිබු වටිනා වස්තුන්ට ආශාවෙන් හා ආගම පැතිරවීමේ උවමනාවෙන් මායා  ප්‍රධානින් මරා දමා, පන්සල් පුළුස්සා විනාශ කිරීමෙන් පසු, ශේෂව තිබු යම් දැනුම් හා හැකියාවන් තව දුරටත් විනාශ වී ගියා. අදටත් මායා ගෝත්‍රිකයන් සමුහ ලෙස හා අන් ජාතින් හා මිශ්‍ර වී ජිවත්වුණත්, අතීතයේ දැනුම් සම්භාරය පවත්වා ගැනීමට තරම් කුසලතා සතු අය ඔවුන් අතර අඩුයි.

ඊළඟට බලමු :ඉග්ලු ගෙවල්වල ඉන්න එස්කිමෝවරු කවුද?

උදව්:
The Ancient Maya - Robert Sharer, Loa P. Traxler
www.livescience.com
www.ancient-code.com
www.crystalinks.com
www.history.com

15 comments:

  1. මයා වරුන් නම් පහුගිය කාලෙ ගොඩක් ජනප්‍රිය වුනානෙ
    කොහොම උනත් නොදන්න තොරතුරු ටිකක්

    ReplyDelete
    Replies
    1. හුඟක් දෙනෙක් නොදන්නා නිසා ලියන්න හිතුවේ. ස්තුතියි.

      Delete
  2. good post, keep it up..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මායා වරුන්ට පහලින් නේ ඉන්කා වරු හිටියේ, ඉක්වදෝරයේ, පීරු රටවල.
    කියවල නැත්නම් බලන්න නොවිජියන් ජාතික 'Thor Heyrdhal' ගේ 'Kontiki' පොත.
    ඒකෙ තියෙන්නේ පීරු වල ඉඳන් 'බල්සා' පහුරකින් පොලිනිසියාවේ තහිටි දුපත් වලට ගිය හැටි.
    ඇන්ජින් නැති ඉස්සර කාලේ 'හම්බෝල්ට් දිය වැල' ආධාරයෙන් ආදී ඉන්කා ගෝත්‍රිකයින් කිලෝ මීටර් 8000-10000 ක් යාත්‍රා කරලා පොලිනීසියාව ජනාවාස කල බව 'තුර්' ඔප්පු කළා.

    ReplyDelete
    Replies
    1. මේ ලිපි පෙළක 6වැන්නනේ. ඇමරිකාවේ ආදිවාසීන් 5 ලිව්වේ ඉන්කා හා අස්ටෙක්වරු ගැන. දියවැල් ආධාරයෙන් යාත්‍රා කල වගනම් ලිව්වේ නැහැ. ස්තුතියි.

      Delete
  5. කියෙව්වෙමි කියා ලියා තබන්නම්. ....

    ReplyDelete
  6. ස්තුතියි දෙන දිරියට

    ReplyDelete
  7. වටිනා ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  8. Keep on writing, great job!

    ReplyDelete
  9. ඔබෙන් සිදුවන්නෙ විශාල මෙහෙවරක් බුද්ධිනී. මේ දැනුම සිංහල මාධ්‍යයෙන් බෙදා හැරීම ලොකු පින්කමක් කළා වගේ වටිනවා

    ReplyDelete
    Replies
    1. හැමදාකම දිරිදෙන ඔබට බොහොම ස්තුතියි ගුණසිංහ මහත්තයා

      Delete
  10. ගොඩක් වටිනවා. මායාවරු ගැන තියෙන සිංහල පොත් මොනවද කියන්න පුලුවන්නම්..

    ReplyDelete