Monday, 30 March 2020

කැනඩාවේ COVID තතු 1

ලොවම මුහුණ දීල ඉන්න වසංගතයක තත්වය ගැන එක එක රටවල අය විස්තර කරද්දී මටත් හිතුන කැනඩාව COVID-19 වසංගතයට මුහුණ දෙන හැටි ලියන්න.
ජනවාරි මාසය
අපිත් ලෝකේ අනිත් අය වගේම ජනවාරි මාසේ ඉඳන්ම කොරෝනා වයිරසය ගැන, චීනයේ එය පැතිරෙන විදිය ගැන බලාගෙන හිටියා. කැනඩාවේ පළමු රෝගියා හමුවුණේ ජනවාරි මාසයේ. ඔහු වූහාන් ප්‍රදේශයේ සංචාරයකින් පසු පැමිණි කෙනෙක්. ජනවාරි අග වෙද්දී ඔහු සුවවුණා.
තත්වය සෙලවීමකට ලක්වුණේ ජපානයට ගොස් එහි ඇතුල්වීමට අවසර නොලබා නැංගුරම් ලා තිබුණු ප්‍රින්සස් ඩයමන්ඩ් සුඛෝපභෝගී නෞකාවේ කැනේඩියනුවන් කිහිප දෙනෙක් සිටිය නිසා. ඔවුන්ට සියලු පහසුකම් ලැබෙන බවත්, කැනඩා ජාතිකයන් හොඳින් ඉන්න බවත්, ඔවුන්ව රෝගය ගැන දැනුවත් කරමින් තිබෙන බවත් දිනපතා කිව්වේ. නමුත් ක්‍රමයෙන් එහි ආසාදිතයන් ගණන වැඩිවුණු අතර කැනේඩියානු අයත්  රෝගි වුණා. (ඉන් එක අයෙක් පසුව ජපානයේ රෝහලකදී මියගියා).

පෙබරවාරි මාසය
සාමාන්‍ය ජන ජිවිතයේ වෙනසක් වුනේ නැහැ. පුද්ගලික ස්වස්ථතාව ගැන අවධානය වැඩිවුණා. අධික සිතල නිසා එලියට යද්දී හොඳට වැහෙන්න ඇඳුම් ඇඳගෙන, ග්ලව්ස් දාල, බූට්ස් දාල යන නිසා බාහිර පරිසරය කෙලින්ම අතපත ගෑම කොහොමත් අඩුයි.
පෙබරවාරි වල වූහාන් සිටි 150 පමණ ගෙන්වාගත් අතර ඒ කිසි කෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා ගත්තේ නැහැ. හැම දෙනාටම කිව්වේ නිවසේ දින 14ක්  ස්වයං නිරෝධායනය වෙන ලෙසයි. වැඩි පිරිසක්  නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා ඒවාට පහසුකම් සැපයීමේ සුදානමක් තිබුනේ නැහැ. එසේ ස්වයං නිරෝධායනය වෙන අයව දිගටම නිරීක්ෂණය කළා. තමන්ටම රෝගය වැලඳී ඇතිදැයි නිර්ණය කරගත හැකි assessment එකක් එලි දැක්වූවා. වඩා සැක අය රෝගයට අදාල පරීක්ෂණයෙන් තහවුරු වී රෝගීන් වුණත් රෝහලට ඇතුලත් කළේ දින ගණනාවක් රෝග තත්ත්ව පෙන්නුම කළ පසුවයි. ඒ කාලය තුළ අවශ්‍ය උපදෙස් ලැබෙනවා.

ක්‍රමයෙන් රට තුළ රෝගීන් වාර්තා වෙන්න ගත් අතර, වැඩි දෙනෙක් එකිනෙකින් දුරස්ව තිබුණු ප්‍රාන්ත දෙකකිනුයි හමුවුණේ. ඒ හැම දෙනාම පිටරට සංචාරවලින් පසු ආ අය.


පෙබරවාරි මාසයේ කැනඩා රජයේ වෙබ්සයිට් එකේ health කොටසට කොරෝනා ගැන විස්තර ඇතුලත් පිටුවක් ආරම්භ වුණා. සියලු තොරතුරු ප්‍රධාන භාෂා දෙකෙන්ම ලබාගත හැකි වුණා. මේ වෙබ් පිටුව නිතිපතා update වුණා. මේ පිටුවේ අද වනවිට තිබෙන සබැඳියා මෙහෙමයි.
     * COVID-19 අලුත්ම  තත්වය               * අවදානම හා වලක්වා ගැනීම
     * රෝග ලක්ෂණ හා ප්‍රතිකාර             * සුදානම් වන අයුරු
     * ගමනාගමන උපදෙස්                         * කැනඩාවේ ප්‍රතිචාර
මේ එක එක ලින්ක් එකෙන් ගොස් ඒවායේ සබ් ලින්ක් වලින් බොහෝ තොරතුරු ඕන කෙනෙක්ට ලබාගන්න පුළුවන්. මේ ලිපියේ උදව් කොටසේ එම පිටුවේ වෙබ් address එක තියනව.

මාර්තු මාසය
සාමාන්‍යයෙන් මිනිස්සු සතුටින් ඉන්න, වැඩිපුර එලි පහලියට එන කාලේ. සීතල ටික ටික  තුරන්වෙලා, හිම වැටීම අඩුවෙලා, උණුසුම වගේම ඉර පවතින වෙලාව වැඩිවෙමින් තිබෙන කාලය.
මාර්තු මාසය එළඹීමත් එක්ක බොහෝ වෙබ්වල, පාසල්වල, පුස්තකාල ආදියේ  කොරෝනා වයිරසය, එහි බෝවීම හා රෝගය ගැන දැනුවත් කිරීම් ඇරඹුනා.
තවත් කැනේඩියානුවන් රැගත් නෞකාවක් රෝගීන් නිසා ඇමරිකාවේ වරායක නිරෝධායනයට ලක් කිරීමත් සමග cruise ship වල ගමන් යාමෙන් වලකින ලෙස ඉල්ලීම් කළා. බොහෝවිට මේ සුඛෝපභෝගී නෞකාවල ගමන් කරන්නේ වැඩිහිටි අය. ඒ සමගම විදේශිකයන්ට අත්‍යවශ්‍ය නොවෙන දේවලට කැනඩාවට පැමිණීමේ තහනමක් පැනවුවා.

පාසල්වල වසන්ත නිවාඩු සතිය හෝ සති දෙක ලැබෙන්නේ මාර්තු මාසේ මැද. මේ වසරේ ඒ නිවාඩුව යෙදී තිබුනේ මාර්තු 13 සිට.  මේ නිවාඩුවේදී බොහෝ දෙනෙක් විනෝද චාරිකා සහ පිටරට චාරිකා යනවා. රජය ඒ ගැන දැඩි අවධානය යොමුකළා.
පිටරට යන අයගෙන් නැවත රෝගය පැතිරීමේ අවදානම නිසාත් රෝගීන් 60 ඉක්මවීම නිසාත් 12 දා සවස ප්‍රාන්ත රජයෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළා. ඒ අනුව,
  • පාසල් නැවත ආරම්භ කරන දිනය සති දෙකකින් කල් දැමුවා. ඒ පිටරටකට ගියහොත් නැවත පැමිණි පසු නිරෝධායනයට ඉඩ සලසමින්. 
  • විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වසා දැමුවා..
  • හැකි සෑම කෙනෙක්ටම නිවසේ සිට රැකියාව කරන්න ඉල්ලීමක් කළා.
  • සියලුම දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දමනු ලැබුවා.
  • පුස්තකාල, සිනමා ශාලා, නාට්‍යශාලා ඇතුළු මහජනයා ගැවසෙන අත්‍යවශ්‍ය නොවන ආයතන වසා දැමුවා 
  • පාසල් නිවාඩු කාලීන කෑම්ප්, විනෝද ස්ථාන, කොන්සර්ට්  සියල්ල නොපවත්වන බව නිවේදනය කළා 
  • පොදු දෙයකට රැස්විය හැකි වැඩිම සංඛ්‍යාව 5කට සිමා කළා.
මෙහිදී මුළු සමාජයම කැළඹුනා. එදා සවස සියලුම වෙළඳසල් පාරිභෝගිකයන්ගෙන් පිරි ඉතිරි ගියා. රෝගය ගැන වගක් නැතිව රැස්වෙලා ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගත්තා.
මේ කලබලය තිබුණේ දින දෙකතුනක් පමණයි. 13 දා පාසල් පවත්වා නිවාඩු දීමෙන් පසු රජයේ ඉල්ලීම පරිදි ජනතාව හැකිතාක් නිවෙස් තුළම කාලය ගතකළා. ඒ නිසා ඇඳිරි නිතිය වැනි දැඩි ක්‍රියාමාර්ග වෙත එළඹෙන්න වුනේ නැහැ.
අත්‍යවශ්‍ය අහර ද්‍රව්‍ය ගන්න වෙළඳසල්, බැංකු, ඉන්ධන පිරවුම්හල් සේවා කාලය අඩු කර දිගටම ක්‍රියාත්මක වෙනවා.
මේ නීති රීති හා ඉල්ලීම් ඇත්තටම මට්ටම් තුනකින් ක්‍රියාත්මක වුණේ. මධ්‍යම රජයෙන්, ප්‍රාන්ත රජයෙන් හා නාගරික (municipal) මට්ටමෙන්.

රට කම්පනයට පත් තව කරුණක් තිබුනා. එක්සත් රාජධානියේ සමුළුවකට සහභාගී වී පැමිණි අගමැති ට්රුඩෝ බිරිඳට COVID-19 රෝගය වැළඳී තිබීමයි. මේ නිසා ඇය self isolate වුනු අතර, අගමැතිතුමාත් නිවසේ සිට රැකියාව කරන බව පවසමින් ඇය සමගම ස්වයං නිරෝධායනයකට යොමුවුණා. අප අයත් නාගරික සිමාවේ නගරාධිපතිත් කොරෝනා රෝගියෙක් හා සමීපව ඇසුරු කළ නිසා නිවසේ නිරෝධායනය වුණා.

ජාත්‍යන්තර ගුවන් තොටුපල 17ක් ඇතුළු ගුවන් තොටුපළවල් 500ක් තිබෙන කැනඩාවේ මිනිසුන්ගේ ගමනාගමනය සීමාකිරීමේ නීති පැනවීම පහසු නැහැ. නමුත් ක්‍රමයෙන් මධ්‍යම රජය මගින් ගුවන් තොටුපල එකින් එක වසා දමන්නට පටන්ගත්තා. දැනට ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර ගුවන් තොටුපල 4ක් පමණයි.

ක්‍රමයෙන් මහජනතාවගෙන් හා සෞඛ්‍ය අංශවලින් එන ඉල්ලීම් සලකමින්
  • රෙස්ටුරන්ට්, කැෆේ ඇතුළු ජනතාව රැඳී ආහාර ගන්න ස්ථාන වසා දැමුවා. නවතින්නේ නැතිව ආහාර රැගෙන යා හැකි ස්ථාන තවමත් විවෘතයි. 
  • සැලෝන්, ජිම් ආදිය වසන්නට නියෝග කළා.
  • මහජන උද්‍යාන වසා දැමුවා. 
  • පිටරටක සිට පැමිණෙන හැමදෙනට දින 14ක ස්වයං නිරෝධායනය අනිවාර්ය කළා 
  • රෝහල් සහ අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදෙන අයගේ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන කිහිපයක් නැවත විවෘත කළා. 
  • පොදු ප්‍රවාහන සේවා තරමක් අඩු කිරීම හා ඒවා තුළ එකිනෙකාගෙන් ඈතින් ගමන් කිරීමට ක්‍රමෝපාය ක්‍රියාත්මක කළා.  
  • පාසල් හා උසස් අධ්‍යාපන ආයතන විවෘත කිරීම දින නියමයක් නැතිව කල් දැමුවා. 
මේ සියල්ල සිදුකරන අතර රෝහල් සඳහා අත්‍යවශ්‍ය ග්ලවුස්, පිරිසිදුකිරීම් දියර, මාස්ක් ආදිය නිෂ්පාදනය වැඩි කිරීමට ඒ සඳහා පහසුකම් ඇති වෙනත් දේ නිපදවන කම්හල් යොදා ගනිමින් තියනව. වාහන නිෂ්පාදන ආයතන ඇඳන් හා ventilator නිෂ්පාදනය සඳහා යොමුකර තිබෙනවා. 
වසංගත තත්වය නිසා රැකියා හා අදායම් මාර්ග අහිමි වූ අයටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මුල්‍ය හා වෙනත් ආධාර සැපයීම ආරම්භ කළා. 
මේ සියලු තත්ත්ව මැද දැනට කැනඩාවේ COVID-19 රෝගීන්ගේ තත්වය


උදව්:
https://www.canada.ca/en/public-health/services/diseases/coronavirus-disease-covid-19.html

Monday, 23 March 2020

COVID -19 හා ස්පාඥ්ඥ උණ එක බඳුද ?

මාර්තු 22 උදේ මේ ලිපිය globalnews.ca වෙබ්සයිට් එකේ දුටු වෙලාවේ ඉඳලම මෙය පරිවර්තනය කරන්න හිත කිව්වා. දෙගිඩියාවකින් හිටියේ මේක සෞඛ්‍යය ජර්නල් එකක් නොවෙන නිසා. එහෙත් හවස් වෙද්දී ටිකක් වෙනස් විදියක කොරෝනා වයිරස් මරණ දෙකක් ටොරොන්ටෝ නගරය තුලිනුත්, ඒ ආසන්න නගරයකිනුත් වාර්තා වුනා.
එක්කෙනෙක් ඇමරිකාවේ සංචාරය කර පැමිණි 70 වියැති කෙනෙක්. රෝගී බවක් දැනුනු නිසා පරික්ෂා කරවාගත් විට කොරෝනා බව දැනගෙන නිවසේ isolate කළ කෙනෙක්. (කැනඩාවේ අමාරු වෙනකල් රෝහල්ගත කරන්නේ නැහැ). නැවත රෝග තත්ත්ව වැඩි නිසා රෝහල්ගත කරලා පැය 24 ගතවෙන්නත් පෙර මියගොස්.
අනිත් තැනැත්තිය පසුගිය දින කිහිපයේම ප්‍රංශය හා ටහිටි රටවල සංචාරය කර ඊයේ පැමිණි 72 හැවිරිදි කාන්තාවක්. රෝග පරීක්ෂාවක් වත් කරගෙන නැහැ. අද හදිසියේ ගෙදරදීම මියගොස්. ඇයට කොරෝනා තිබුණු බව සොයාගෙන තියෙන්නේ ඉන් පසුවයි.
මේ ගැන ප්‍රකාශයක් කල Infection disease specialist කෙනෙක් වෙන Dr. Isaac Bogoch පැවසුයේ මේ රෝගය උත්සන්න වන ආකාරය රෝගියාගෙන් රෝගියාට වෙනස්විය හැකි බවත්, රෝගයේ  වෙනස් ආකාර එළඹිය හැකි බවත්.
ඒ බව ප්‍රවෘත්ති ප්‍රකාශයකින් දැනගත්තම මේ ලිපිය පරිවර්තනය කළ යුතුයි කියා හිතුණා.

ලිපිය ලිව්වේ Rachael D' Amore
National Online journalist
COVID -19 හා ස්පාඥ්ඥ උණ අතර සමානතා
වසර 100 කට පෙර අද මෙන්ම ලොවේ වසංගත තත්වයක් ඇතිවිය.  එය ලොව ඉතිහාසයේ  අතිශය මාරාන්තික තත්වයක් විය. ලොව පුරා මිනිසුන් මිලියන 500 කට (එවක ජනගහනයෙන් 1/3 ) අසාදනය වී 55 000 කට මරණය අත්කර දී තිබේ. එයින් වැඩි හරියක් වැඩිහිටි තරුණ අයයි.
1918 දී පැතිරුණු එම ස්පාඥ්ඥ උණ, ලෝකයේ වසංගත තත්වයන් දෙස බලන ආකාරය, වසංගත වලට මුහුණදෙන ආකාරය හා ප්‍රමාණිකරණය කරන ආකාරය පිලිබඳ මිනුම් ලකුණක් (benchmark) බඳු විය.
COVID 19 වයිරසය ලොව පුරා පැතිරෙමින් උත්සන්න වීමත්, යුරෝපය හා උතුරු ඇමරිකාවේ එහි බලය පැතිරවීමත් සමගම විද්‍යාඥන් හා ඉතිහාසඥයින් එය 20 වන සියවසේ උණ සමග ඇති සමානතා විමසන්නට පෙළඹුනත් වෙනස්කම්ද ඇතිබව වටහා ගත්හ.
"බිය ගෙනදෙන සමානතාත්, හිතට සහනය දෙන අසමානතාත් තිබෙනවා" ජනමාධ්‍යවේදී හා September 1918: War, Plaugue, And The World ලියු ස්කිප් දෙස්හර්ද  කියයි.
'දැනට තියන වෛද්‍ය විද්‍යාවේ ප්‍රවණතා සියල්ල සලකා බැලුවත්, වසංගත තත්වයක් දැන් ලොවේ භයංකාරයි. අපි දැන් ලෝක ප්‍රජාවක්. මිනිස්සු වසර 100 කට එහාදී තිබුනට වඩා ඉතා වේගයෙන් ලොව පුරා ගමන් ගන්නවා. එය වසංගත ඉතාම වේගයෙන් පැතිරෙන්නට පහසුවක් ".

1918 මාර්තු මාසයේ පළමු ලෝක සංග්‍රාමය සමයේ ස්පාඥ්ඥ උණ ආරම්භ වුයේ කොතනදැයි පැහැදිලි නැත. මුල් අවස්ථාව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ සහිත එකකි. එහෙත් අගෝස්තු මාසයේ දෙවැනි රැල්ල භයානක විය. සමහරු රෝගය වැළඳී පැය  කිහිපයක් තුළ සිරුර නිල් පැහැ ගැනෙමින්, පෙනහළු තුළ දියර පිරෙමින් හුස්ම ගත නොහැකිව  මිය ගියහ.
තුන්වෙනි රැල්ල සිසිර ඍතුව තුළ පැතිරුණු අතර 1920 අවසන් වනතෙක් තුරන් කළ නොහැකිවිය.

ස්පාඥ්ඥ උණද කොරෝනාවයිරසය මෙන්ම ලොව පුරා පැතිරුනේ ගමනාගමනය නිසයි. දැන් ගුවන්යානා වෙනුවට එදා පැතිරුනේ නැව් මගිනි.
ලෝක යුද්ධයේ අවසාන කාලයේ හමුදා ඛණ්ඩවල  ගමන් හේතුවෙන් ඇමරිකාවේ මධ්‍ය බටහිර හා ගිනිකොණ ජනපදවල ඇති හමුදා කඳවුරුවල පැතිරුණු අතර, හමුදා භටයන් මගින් ප්‍රංශයට පැතිරුණු බව සිතිය හැකිය. එතනින් අනෙක් යුරෝපා රටවලත්, සාමාන්‍ය ජනතාව අතරත්  ව්‍යාප්ත විය.
"දැන් තිබෙන ගුවන් ගමන් පහසුව සමග එක මහාද්වීපයක සිට තවත් මහද්විපයකට වයිරස පැතිරීම පැය ගණනකින් සිදුවිය හැකියි" . දෙස්හර්ද පවසයි.
නව කොරෝනාවයිරසය චීනයේ වුහාන් නගරයෙන් ඇරඹී, ඉතා ඉක්මණින් අනෙක් ප්‍රාන්තවලට පැතිරුනි. දෙසැම්බරයේ ඇරඹී, ක්‍රමයෙන් දේශ සිමා හා මුහුදු පැන ගිය එය, දැන් යුරෝපය මධ්‍ය ලක්ෂය කරගෙන ඇත.
මෙලෙස වේගයෙන් පැතිරුණේ ස්පාඥ්ඥ උණ පැතිරුණු සමයේ මෙන්ම ජනගහනයට මෙම රෝගයට ප්‍රතිශක්තිය නැතිවීම නිසයි. මෙම රෝගයට කලින් නිරාවරණය වී නොතිබුණු නිසා මානවයන් තුළ  එම වයිරසයට ප්‍රතිශක්තියක් ගොඩනැගී නැත.

මේ රෝග දෙකෙහි වෙනස්කම්ද ඇත.
ස්පාඥ්ඥ උණෙන් මියගිය වැඩිදෙනා තරුණ අයයි. කොරෝනාවයිරසය තරුණ අයටත් බලපෑවත්, වඩා භයානක වන්නේ වැඩිහිටි ජනගහනයටයි.
රෝග පැතිරුණු කාල දෙකෙහි ඇති සන්නිවේදන වෙනස්කම්  තවත් කරුණකි. 1918දී රෝගය තිබුනත් වාර්තා කලේ බොහෝ වාරනයන්ට යටත්වය. ලෝක යුද්ධයේදී මධ්‍යස්තව සිටි ස්පාඥ්ඥය තත්වය නිවැරදිව වාර්තා කල නිසා රෝගයේ ආරම්භය ලෙස එම රට නම් කළත්, එහි පැතිරීමට සති ගණනාවකට පෙර, ඇමරිකාවෙත් ප්‍රංශයෙත්  රෝගය ව්‍යාප්තව තිබුණි.
"කැනඩාවේ හැලිෆක්ස්, මොන්ට්‍රියල්, ටොරොන්ටෝ, විනිපෙග් නගරවල ඉතා තදින් ස්පාඥ්ඥ උණ පැතිර තිබුණත්, පුවත්පත්වල බොහෝවිට රෝගය ගැන ලියවී තිබෙන්නේ ඇතුල් පිටුවලයි". කැනඩාවේ වෝටර්ලු විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්ය හෙදර් මක්ඩුගල් පවසන්නීය. "කොරෝනාවයිරසයේ තත්වය ඊට සාපේක්ෂව බොහෝ විනිවිද පෙනෙන ලෙස වාර්තා වෙනවා"
ඇමරිකාවෙත් ස්පාඥ්ඥ උණ රෝගය පැතිරීම හෝ වැලඳීම වැලක්වීමට මහජනතාවට  නිලධාරීන් හෝ පුවත්පත් මගින් එතරම් දැනුවත් කිරීමක් සිදුව නොමැති බව දෙස්හර්ද පවසයි.
කොරෝනා වයිරසයත් උතුරු ඇමරිකාවේ මිලියන ගණන් පුදගලයන්ට වැළඳිය හැකියි.එදාත් රෝගය වැලඳීම වැලැක්වීමට එකිනෙකාගෙන් ඈත්ව විසීම උපයෝගී කරගෙන තිබෙනවා, අද මෙන්ම.
" වැලඳෙන කාලය දුරස් කරගැනීම වැදගත්. බොහෝ දෙනෙක්ට රෝග ලක්ෂණ යන්තම් ඇතිව රෝගය වැළඳෙයි කියා බලාපොරොත්තු වෙනවා" දෙස්හර්ද පවසයි. "ටොයිලට් කඩදාසි හා පාන් හිඟ වෙලා ජීවත්වෙන එක හොඳයි, වෛද්‍යවරු  හා දැඩි සත්කාර ඒකක හිඟ වෙනවට වැඩිය".

උදව්:
https://www.cp24.com/
https://globalnews.ca/news/6707118/coronavirus-spanish-flu-comparison/

Saturday, 1 February 2020

රෝග නිරෝධායන මධ්‍යස්ථානය Quarantine යනු කුමක්ද?

කොරෝනා වයිරසය ආසාදනය නිසා තනි කිරීමකට ලක්වූ චීනයේ වූහාන් ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකික සිසුන් රැසක් සැලසුමක් ඇතිව ලංකාවට රැගෙන විශේෂ රෝහලක රැඳවීම අද දවසේ ප්‍රධාන මාතෘකාවක්. මෙවැනි ස්ථානයක් නිරෝධායන මධ්‍යස්ථානයක් Quarantine Centre ලෙස හැඳින්වෙන්නේ. මේ ගැන කවුරුත් දැනුවත්වීම වැදගත් කියල හිතුන.
Quarantine is
1 : isolation of people, animals, or things (as plants) out of a certain area to prevent the spread of disease or pests. 
2 : a period during which a person or animal with a contagious disease is isolated.
( Merriam- Webster Dictionary)

1. යම් රෝගයක් හෝ පළිබෝධයක් පැතිරවීම වැලැක්වීම උදෙසා මිනිසුන්, සතුන් හෝ පැළෑටි වැනි දේ යම් ප්‍රදේශයකට ඇතුළුවීමෙන් වැලැක්වීම.
2. පැතිරයන රෝගයක් වැලැක්වීමට මිනිසුන් හෝ සතුන් අන් අයගෙන් වෙන්කර තනිකර තැබීම.


වඩා විස්තරාත්මකව කිවහොත් රෝගයක් හෝ පලිබෝධයක් පැතිරවීම වැලක්වීම උදෙසා පුද්ගලයින්, ශාක හෝ භාණ්ඩ චලනයට සිමා පැනවීම. මිනිසුන් මගින් සම්ප්‍රේෂණය වන රෝගයක් උදෙසානම් මෙය රෝගය වැළඳුන බව සායනිකව තහවුරු නොකළ, එහෙත් රෝගයට නිරාවරණය වී යයි සිතිය හැකි පුද්ගලයින් වෙන්කර  රඳවා ගැනීමක් විදියට හඳුන්වන්න පුළුවන්.
රෝගය වැලඳී ඇති බව තහවුරු කල පුද්ගලයන් වෙන්කර තැබීම හඳුන්වන්නේ isolation කියයි. මේ දෙකේ වෙනසක් තිබෙන බව පැහැදිලි ඇති.
උදාහරණයක් විදියට ලාදුරු රෝගයට ඖෂධ සොයාගෙන නොතිබුණු කාලයේ රෝගය  පැතිරීම වැලැක්වීමට රෝගය වැළඳුනු පුද්ගලයන්ට ප්‍රදේශයක් වෙන්කර, පිටස්තර පුද්ගලයන්ට එම ප්‍රදේශයට යාම තහනම් කිරීම. එවැන්නක් හඳුන්වන්නේ Isolation කියල.
 රෝගයට නිරාවරණය වූ බවට සැක, නමුත් රෝගය වැලඳී ඇති බවට තහවුරු නොවූ නිරෝගී පුද්ගලයන් රඳවාගැනීම ක්වොරන්ටින් එහෙම නැත්නම් නිරෝධායනය කියන්නේ. මේක රෝගයක් පැතිරීම වැලක්වීමට ගන්න පූර්ව උපාය මාර්ගයක් කියන්න පුළුවන්.  සාමාන්‍යයෙන් ක්වොරන්ටින් සඳහා නිශ්චිත කාලසීමාවක් තියනවා. කොරෝනා වයිරසයේ  බීජෞෂණ සමය වන දින 14 තුළදීයි රෝග බීජ ඇති කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා රෝගයට නිරාවරණය වූ බවට සැක සහිත අය හෝ රෝගීන් ඇසුරු කල පුද්ගලයන් වෙන්කර තැබිය යුත්තේ දින 14ක්. ඉබෝලා වයිරසය සඳහා මෙම කාලසීමාව දින 40ක් වුණ අතර, ඇන්ත්‍රක්ස් රෝගය සඳහා එය විෂබිජහරණ යන්ත්‍රයක් යටින් ගමන් කිරීම හා ඊට පෙර ඇඳ සිටි ඇඳුම් විනාශ කිරීම ප්‍රමාණවත් වුණා.
මෙහිදී සැලකිය යුතු කරුණ වෙන්නේ ක්වොරන්ටින් එකක ඉන්නේ නිරෝගී පුද්ගලයන් බවයි. ඒ අයට අවශ්‍ය පහසුකම් සැපයීම, වෙනත් රෝගයක් වැළඳුනහොත් ප්‍රතිකාර සැපයීම මෙන්ම නිරතුරු ඔවුන් පරික්ෂාවට ලක් කිරීම කල යුතුයි. ඒ නිසා එම නිරෝධායන ප්‍රදේශය ඇසුරු කරන්නට හෝ එහි සේවය කරන්නට සිදුවන පුද්ගලයන් උදෙසා වෙනම ආරක්‍ෂිත ඇඳුම් හා විෂබීජ නාශන ක්‍රියාවලියට ලක් වීම සිදුවෙන්නවා. අද කාලයේ දුරකථන හා අනෙකුත් මාධ්‍ය තිබෙන නිසා නිරෝධයනයක ඉන්න පුද්ගලයන්ට තම පවුලේ අය සමග සම්බන්ධතා පැවැත්වීම එතරම් අපහසුවක් නැහැ.
 ඇත්තෙන්ම බැලුවහොත් නිරෝධායන මධ්‍යස්ථානයකට පහසුකම් සැපයීමයි වඩා අභියෝගාත්මක වෙන්නේ. එහි ඉන්නේ බොහෝවිට එකිනෙකා නොහඳුනන පුදගලයන්. ඔවුන්ගේ අවශ්‍යතා හා ප්‍රමුඛතා විවිධයි. මෙවන් මධ්‍යස්ථනයක පුද්ගල සංඛ්‍යාව වැඩිවත්ම ගැටළු වැඩිවෙන්නට ඉඩ තියනවා. පහසුකම් සපයන පුද්ගලයන්ට, ඉතා කුඩා අවශ්‍යතාවකට උදව් කරන්නට වුණත් වෙනම ඇඳුම් පැළඳුම් හා ආවරණ වලින් යුක්තව සැරසෙන්න වෙනවා.අනිත් අතට ඒවායේ ඉන්න සිදුවෙන පුද්ගලයින්ටත් තරමක මානසික පීඩනයක් සහිත දෙයක්. තමන් නිරෝගී වුණත් රෝගී වෙයිද බිය සහ නිරෝගිව සිටිමිනුත් අන් අයගෙන් වෙන්වී සිටීමට සිදුවීම නිසා හිත කරදරෙන් ඉන්න වෙන්නේ. නමුත් මේ සියල්ල වැඩි දෙනෙක්ගේ යහපත පිණිසයි.
බොහෝ රටවල මෙවැනි මධ්‍යස්ථාන සලකුණු කරන්න කහ වර්ණ කොඩියක් ඔසවනවා. එහෙම නැත්නම් කහපාට දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කරනවා. අපේ රටට අලුත් දෙයක් වුනාට සමහර රටවල රෝහල්වලට අනුබද්ධිතව හදිසියකදී මේ සඳහා වෙන් කරන්න පුළුවන් ඉඩක් වෙන් කරලා තියෙන්නේ. ඒ කොටස කහ වර්ණ කරලා තියෙනව සමහරවිට.

විශේෂ අවස්ථාවලදී විශාල ප්‍රදේශයක් හෝ නගරයක් නිරෝධායන කල අවස්ථා අහන්න ලැබෙනවා. කොරෝනා වයිරසය වේගයෙන් පැතිරුණු චීනයේ වූහාන් නගරය දින ගණනාවක් තහනම් කලාපයක් බවට පත්කළේ ඒ අනුව.
රෝගියෙක් බවට සැක සහිත කෙනෙක් තම නිවසේම රඳවා තැබීමත් සමහරවිට අනුගමනය කරන නිරෝධායන ක්‍රමයක්. එයට කියන්නේ self quarantine කියල. ඇම්බියුලන්ස් බස් හා ජංගම බස්වල රඳවා තැබීමත් සමහරවිට කෙරෙනවා.


සමහර රටවල මේ සඳහා නීතියෙන්ම ඉඩ දීල තියනව. ඔස්ට්‍රේලියාව දැඩි නිරෝධායන නීති සහිත රටක්. ඉතා දිගුකලක් ප්‍රධාන ගොඩබිමෙන් වෙන්ව සිටීම නිසා නිර්මිත ඔවුන්ගේ විශේෂ පරිසරය රැකගැනීම උදෙසා  බොහෝ පලිබෝධ හා රෝග සඳහා නිරෝධායන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. සමහර රටවල නීති යටතේ යම් රෝග බහුලව තිබෙන රටවල සංචාරයට යන අයට ප්‍රතිශක්තිකරණ එන්නත් ගැනීම අනිවාර්ය කර තිබෙනවා. යම් රටක මිනිසුන් අතර රෝගයක් පැතිරෙමින් තිබෙන කාලයක ඒ රටේ සංචාරය කර පැමිණියහොත් වෛද්‍ය පරීක්ෂණවලට ලක්ව ප්‍රතිඵල ලබන තෙක් රඳවා ගැනීම් සිදුකිරීම සඳහා රටට ඇතුල්විය හැකි ස්ථාන වලට සම්බන්ධිත නිරෝධායන මධ්‍යස්ථාන පිහිටවා තිබෙනවා. නොයෙකුත් රටවල ආහාර හා පැළෑටි සඳහා නිරෝධායන මධ්‍යස්ථාන තියෙනවා.
අපේ රටට අලුත් දෙයක් වුණාට මානව නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වීමේ දීර්ඝ ඉතිහාසයක් තියනව. Quarantine වචනය ඉතාලි භාෂාවේ quarantia gioni: දින හතළිහක් වදන් වලින් බිඳී ආ ලෙසයි සැලකෙන්නේ. 12 වන සියවසේ යුරෝපයේ හා ආසියාවේ පැතිර තිබුණු Black Death සම්බන්ධිත වසංගත රෝගය පැතිරීම වැලැක්වීමට වෙනත් රටවලින් පැමිණෙන නැව් ගොඩ බැස්වීමට පෙර දින 40ක් මුහුදේ රඳවා තිබීම මෙම අදහසේ ආරම්භය ලෙස සලකන්න පුළුවන්.
නමුත් ඊට පෙර සිටම ආසියා හා  අප්‍රිකා රටවල යම් රෝග වැළඳුනු පුද්ගලයන් දින හතක් යනතෙක් නිවසේ වෙන්කර තැබීමේ පුරුද්ද තිබුනා. කහ සලකුණක් වෙනුවට කොහොඹ අත්තක් ගෙදර දොරකඩ එල්ලීම අපේ සිරිතක්නේ.
මොනතරම් හොඳ දේ සිදුකළත් ඒ සඳහා එන විරෝධතාත් තියෙනවා. ටයිෆොයිඩ් මේරි නමින් ප්‍රසිද්ධ අයර්ලන්ත ජාතික මේරි මැලෝන් නිරෝධයනයක වසර 26 ක් රඳවා තැබීමට සිදුවීම කාලසීමාව පිලිබඳ ප්‍රශ්න  ඇතිකළා. ඇය උණසන්නිපාත වාහකයෙක්. ඇයට රෝගය වැලඳුනේ නැතිවුණත් ඇය මගින් පුද්ගලයන් ගණනාවකට රෝගය පැතිරුණා. කිසිම කෙනෙක්ට අහර පිළියෙළ කර නොදීමේ පොරොන්දුව මත වසර තුනක් දිවයිනක රඳවා තැබුවත් ඇය පොරොන්දුව කඩකර සෑදු පුඩිමක් හේතුවෙන් තවත් අය රෝගී වීම නිසා ඇයට 1938දී මියයන තෙක් වසර 23ක් නිරෝධායන දිවයිනේ දිවි ගෙවන්නට වුණා.
වැඩි පිරිසක් නිරෝධායන ස්ථානයක තබාගෙන තිබියදී ඒ සැමට අවශ්‍ය මුලික පහසුකම් සැපයීමේ අඩුපාඩු තවත් විරෝධතා එන්නට හේතුවක්.
ඉබෝලා වයිරසය පැතිරුණු කාලයේ එම රටවල ස්වේච්ඡා සේවයට ගිය වෛද්‍ය සේවයේ සමහර අයව නැවත පැමිණි පසු දින 21ක් රඳවා ගැනීම ගැන ඇමරිකා රජයට විවේචන එල්ල වුණා.
නිරෝධායනයක තම ඥාතියෙක් හිතවතෙක් සිටියි නම් ඔවුන් සමග දුරස්තව කතාබහ කර ඔවුන් සැනසීම හිතවතුන්ට කල හැකියි. එසේම එවන් මධ්‍යස්ථාන පවත්වා ගැනීමට මුල්‍ය හා වෙනත් පහසුකම් සඳහා ආධාර සැපයීමත්, ස්වේච්ඡා සේවය සඳහා ඉදිරිපත් වීමත් අනෙක් මහජනතාවට කළ හැකියි. තත්වය තේරුම් ගෙන ඊට සහය වීමෙන් කෙටි කලක් තුළ තම රටේ අදාල රෝගය පැතිරීම වැලැක්වීමට දායක වෙන්න පුළුවන්.

මේ වීඩියෝව ඊයේ (2020 ජනවාරි 31)එක්සත් රාජධානියේ නිරෝධායන ඒකකයක සිටින කෙනෙක් BBC හරහා මුදාහැරි එකක්. මේ ලින්ක් එකෙන් බලන්න. https://www.bbc.com/news/av/uk-51332746/coronavirus-in-quarantine-after-being-repatriated-from-china

උදව්:
https://en.wikipedia.org/wiki/Quarantine
globalnews.ca/news/6479697/how-quarantines-work-in-canada/
https://www.vox.com/2014/10/28/7079655/quarantine-explainer
https://www.npr.org/sections/goatsandsoda/2014/10/30/360120406/awful-moments-in-quarantine-
www.vox.com/2014/10/28/7079655/quarantine-explainer