Wednesday, 10 July 2019

පස දුෂණය අඩුකරන නවතම තාක්ෂණය Phytoremediation

නිතර දෙවේලේ පරිසර දුෂණයත් එහි විපාකත් එයින් ගැලවීමට කල හැකි දේත් ගැන කතාකරනු දක්නට ලැබෙනවා. ගස් සිටවීම ඉන් එක පහසු ක්‍රමයක්. ගස් සිටවීමේදී එය සිටවන පරිසරය ගැනත්, ගසට එම පරිසරය කෙරේ ඇති තිබෙන වරණිය හැකියාව ගැනත් සැලකීම අත්‍යවශ්‍යයි. එම ගසෙන් වැඩි ප්‍රයෝජනයක් ගැනීමට සිටවිය යුතු ස්ථානයද සැලකිය යුතුයි.
පරිසර දුෂණයේ එක කොටසක් පාංශු දූෂණය. පස දූෂණය වෙන්න හේතු ගණනාවක් තියනව. ප්‍රධානම වෙන්නේ පසට එකතුවෙන විවිධ රසායන ද්‍රව්‍ය. කෘෂිකර්මය හා වගාවන්හිදී කෘමි නාශක, වල්පැල නාශක, පොහොර ආදී ලෙස හිතාමතා එකතු කරන රසායන ද්‍රව්‍ය වගේම, එදිනෙදා කටයුතු හා කර්මාන්ත අතුරු ඵල ලෙසත් පසට රසායනිකයන් එකතු වෙනවා. මෙම රසායන ද්‍රව්‍ය තුල තිබෙන තඹ, කැඩ්මියම්, රසදිය, ඊයම්, ආසනික් වැනි බැර ලෝහ පසේ එකතුවීමක් වෙන නිසා එය ගහකොළ සතුන්ට වගේම මිනිසාටත් අහිතකර විදියට බලපානවා.
පසෙන් අහිතකර හා විෂ බැර ලෝහ ඉවත් කරන්න පහසු ක්‍රම තියෙනව. අඩු වියදම් නවීන තාක්ෂණික ක්‍රමයක් හඳුන්වන්නේ Phytoremediation (ශාක මගින් සංතුලනය)  නමින්. මෙහිදී කරන්නේ ශාක වර්ග වවල ඒ මගින් පසේ හෝ ජලයේ තිබෙන අහිතකර ලෝහ ඉවත්කිරීම, පරිවහනය කිරීම, ස්ථාවර කිරීම හා/ හෝ විනාශ කිරීමයි.
මේ හැකියාව හැම ගස් වර්ගයටම නැහැ. ඒ නිසා එම හැකියාව තියෙන ගස් වර්ග අධ්‍යයනය කර හඳුනාගැනීම වැදගත්. (මේවට සිංහල යෙදුම් යොදන්නේ නැහැ. වඩා වැදගත් එක් එක්  ශාකය සතු හැකියාව හා සුදුසු ශාක වර්ග හඳුනාගැනීම)
1. Rhizodegradation: මෙම ක්‍රියාවලිය සිදුවන්නේ ශාක මුල් අවට ඇති පසේ හෝ ජලයේයි.  මෙහිදී ශාකය මගින් පසට දියරයක් ශ්‍රාවය කරනවා. එමගින් පසේ සිටින ක්ෂුද්‍ර ජීවින්ව  පසේ ඇති විෂ ඉවත්කිරීමට උත්තේජනය කරනවා.  එම ක්ෂුද්‍ර ජීවින් මෙම විෂ සහිත උපස්තරය  මත වැඩිලා වෙනත් අහිතකර නොවෙන ද්‍රව්‍ය බවට පත් කරනවා. පහසුවෙන් වැවිය හැකි සුරියකාන්ත මෙම හැකියාව තිබෙන ශාකයක්. ශාකය තුළට ලෝහ උරාගැනිමක් සිදු නොවෙන නිසා ශාක කොටස් (ඇට, තෙල්) ආහාරයට ගන්න පුළුවන්. චර්නොබිල් බලාගාරයේ පිපිරීම් නිසා විකිරනශීලි වූ පසේ විෂ ඉවත් කිරීමට සුර්යකාන්ත යොදාගෙන සාර්ථක වූ බව පර්යේෂණ වලින් පෙන්වා දී තිබෙනවා. මෙහිදී කර ඇත්තේ මුල් ආසන්නයේ යුරේනියම්  ලෝහ අඩංගු විකිරණ එකතුවීමට ඉඩ දී මුල් පස සමග ඉවත්කර, සෝදා වෙන්කර ගැනීමයි.
2. Phytostabilization: මෙහිදී විෂ ද්‍රව්‍ය ගමන් කල නොහැකි ලෙස පස සමග බැඳ දැමීමට ශාකය මැදිහත් වේ. බැර ලෝහ පසේ හෝ ජලයේ තිබුනත් මේ නිසා පරිවහනය වළකිනව. ගසට උරාගැනිමක් නැති නිසා අහර ලෙස ගැනීම ගැටළුවක් නැහැ. කුරුඳු වලට මේ හැකියාව තියනවා.

3. Phytoextraction : මෙහිදී ශාකය පසෙන් ජලය හා ලවන උරාගන්නා විට ඒ සමග පසේ තිබෙන බැර ලෝහත් උරාගන්නවා.  ලෝහය විනාශවීමක් නොවෙන අතර, ශාකයේ මුල්, කඳ  හා පත්‍ර දක්වා ගමන් කරනවා. ඒ කියන්නේ ශාකය තුළ බර ලෝහ අඩංගු වෙනවා. ජෙරනියම් නමින් හඳුන්වන වවිධ වර්ණ මල් පිපෙන ශාකය මෙය සිදුකරනවා. විෂ සහිත පස්වල මෙම පැල වවා, පසුව උගුල්ලා වේලා දහනය කර අළුවල ඇති ලෝහ නිස්සාරණය කරගැනීම හෝ පැල අනතුරුදායක අපද්‍රව්‍ය ආකාරයට විනාශකර දැමීම සිදු කිරීම සිදුකරනවා.

4. Phyto_volatilization: පසේ ඇති කාබනික හා අකාබනික රසායන අඩංගු ජලය උරාගෙන ශාකය තුළදී වායු බවට පරිවර්තනය කර, වායු ලෙස ශාකයෙන් පරිසරයට මුදා හැරෙනවා. පොප්ලර් ගස් හා විලෝ ගස්, ජලයේ හා ගැඹුරු පසේ තැන්පත්ව ඇති ඇති කෘෂි රසායන, කෘමි නාශකවල විෂ ද්‍රවයන් උරාගෙන විෂ නොවෙන  වායු බවට පත්කරන බවට පර්යේෂණ දත්ත දක්වා තිබෙනවා. විලෝ ශාක ඩීසල්වලින් අපවිත්‍ර වූ භුමි පවිත්‍ර කිරීමට සාර්ථක ලෙස යොදාගන්නවා.

5. Phytodegration:  රසායන ද්‍රව්‍ය සහිත දුෂිත ජලය ශාකයට උරාගෙන ශාක පටක තුළදී ඒවා බිඳ හෙලීමේ හැකියාව සහිත ශාකවල මෙය සිදුවෙනවා. පොප්ලර් ගස් තුලදී මෙම ක්‍රියාවලියත් සිදුවෙනවා. අබ කුලයේ (brassicaceae) ශාක  බොහොමයක්ම මෙය සිදුකරන බව පර්යේෂණ අනාවරණ දක්වනවා. මේ ශාකවල පොලවට අසන්න කොටස්වල බැර ලෝහ අඩංගු වෙන්න හැකියාව තියෙනවා.

6. Phytohydraulics : මෙහිදී  සිදුවන්නේ ශාකයේ ස්වභාවික ක්‍රියාවලියේදී ඉතා විශාල ජල ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නා නිසා භූගත ජලය චලනයන්ට උපකාර වීමයි. භූගත ජල මට්ටම දක්වා මූල පද්ධති විහිදුවන බොහෝ ශාක මේ ක්‍රමයෙන් ජලය පිරිසිදු කරනවා. ගංගා නිමනවල වැඩෙන විශාල ශාක මගින් මේ ක්‍රියාවලිය සිදුවෙනවා.
දිය හබරල, ජපන් ජබර, වැලිස්නේරියා, සැල්වීනියා, හයිඩ්රිල්ලා වැනි ජලජ ශාකත්, ජලාශ්‍රිත සමහර පන් වර්ගත් ජලයේ ඇති විෂ ද්‍රව්‍ය උරාගන්නව. ගිරිතිල්ල කුලයේ ශාකත්, සමහර පර්නාංග හා දිලිර වර්ගත්  පස ශෝධනය කරන බව අනාවරණය කරගෙන තියනවා.


හැම ශාකයම හැම බැර ලෝහයම සමග ක්‍රියා කරීමට අසමත් අතර, සමහර ශාක බැර ලෝහ කිහිපයක් ඉවත් කිරීමට සමත්. පොප්ලර්, අබ, ජෙරනියම්  හා සුරියකාන්ත ගැන බොහෝ පර්යේෂණ කර ඇති අතර එම ශාකවලින් ලෝහ වර්ග කිහිපයක්ම සාර්ථක ලෙස පසෙන් ඉවත් කරන බව සොයාගෙන තියෙනවා. සමහර ශාක ගැන තවමත් පර්යේෂණ කරමින් පවතිනවා.
එක පර්යේෂණයක් හෙළි කර ඇත්තේ භාවිතා කළ තේ කොළ පසට එකතු කිරීමෙන් ලැවැන්ඩර් ශාකයේ බැර ලෝහ උරාගෙන ඒවා ශාකය තුලදී බිඳ හෙලන ක්‍රියාවලිය ඉක්මන් වූ බවයි.
ඉතා පුළුල් පර්යේෂණ අවස්ථා මෙම නවතම තාක්ෂණික ක්ෂේත්‍රයේ තිබෙන බව මෙයින් පැහැදිලියි.

Hyper_accumilating plants ලෙස සොයා බැලුවහොත් මෙලෙස පර්යේෂණවලින් හෙළිවී ඇති ශාක විශේෂ ගැන දැනගන්නට පුළුවන්. ඒ තොරතුරුවල වැඩිපුරම තිබෙන්නේ වෙනත් රටවල ශාක විශේෂ ගැනයි.

මේ ශාක ගැන දැනගැනීමේ වැදගත්කම වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා පසට හා ජලයට එකතුවන ජීවීන්ගේ පැවැත්මට අහිතකර මුලද්‍රව්‍ය, තවත් කාර්මික ක්‍රමයක් ආධාරයෙන් හෝ විශාල ලෙස පස් ඉවත් කිරීමෙන් හෝ තොරව පරිසර හිතකාමී ලෙස
*පහසුවෙන් 
*අඩු වියදමෙන් 

*සුර්ය බලයෙන් 
*විශාල ක්ෂේත්‍රයන් තුළ, ඉවත් කිරීමේ හැකියාවයි.
Phytoremediation සාපේක්ෂව නව තාක්ෂණික යොදාගැනීමක් නිසා පරිසරයට වන බලපෑම් ගැන තවමත් ප්‍රශ්න මතුවෙනවා. ලොව පුරා විශාල ලෙස පරිසරයේත්, විද්‍යාගාර හා හරිතාගාර තුලත් පර්යේෂණ කෙරෙමින් පවතින්නේ. ලංකාවේ ඇති කුඹුක්, මී, තෘණ වර්ග, තේ හා වෙනත් ශාක පිළිබඳවද මෙවැනි පර්යේෂණ කර, ප්‍රතිඵල පිලිබඳ ගොවින් හා සාමාන්‍ය ජනයා දැනුවත් කිරීමෙන් පස හා ජලය ශාක ආධාරයෙන් පවිත්‍ර කිරීමේ හැකියාව ඔවුන් විසින්ම ලබාගෙන වරක් භාවිතා කළ පස විවිධ අවශ්‍යතා සඳහා නැවත ඵලදායි ලෙස යොදාගන්නට හැකිවෙනු ඇති.

උදව්:
http://www.unep.or.jp/Ietc/Freshwater/
https://land8.com/5-best-plants-for-phytoremediation/
https://pubs.acs.org/doi/full/10.1021/acs.est.5b04113 (2016)
www.cpeo.org/techtree/ttdescript/phytrem.
www.nature.com/scitable/knowledge/library/phytoremediation
www.thebalance.com/six-types-of-phytoremediation
worldwidescience.org/potential+phytostabilization+plant
Science Prospectives 10 Academic: Christine Adam Carr
The high potential of Pelagonium plant for phytoremediation of heavy metals: 2013Mahdieh,M. et.al
The Effect of Tea residue in promoting phytoremediation of Lavandula Angustifoli mill.: 2014 Ziarati P., Azadi B.

Sunday, 30 June 2019

රජුන් සඳහා නොවූ මාලිගය: Casa Loma

ශ්‍රී ලංකාව පුරා ඉපැරණි ගොඩනැගිලි අතරේ තවමත් හොඳ තත්වයේ පවතින වසර සිය ගණනක් පැරණි වලව් වැනි විශාල නිවෙස් මෙන්ම, ගරා වැටෙමින් පවතින නමුත් අතීත ශ්‍රී විභූතියෙන් තිබු සුවිසල් මන්දිරද පවතිනවා. ලොව දෙවැනි විශාල රට වුවත්, දීර්ඝ ඉතිහාසයක් නොමැති කැනඩාවේ එවැනි පැරණි නිවෙස් තිබෙන්නේ අතලොස්සකි. රාජකීයයන් ජිවත් නොවූ නිසා කැනඩාවේ හෝ ඇමරිකාවේ මාලිගා සැදුවේ නොමැති වුවත්, පොහොසත් පුද්ගලයන් විසින් ඉදිකරන ලද castle ආකාරයේ නිවෙස් හා හෝටල්  කිහිපයක් දකිනට ලැබෙනවා. රජ පවුල් උදෙසා නොව, තනි පුද්ගලයෙක් විසින් සාදවන ලද සුවිසල්ම  මාලිගය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ දක්නට ලැබෙනවා. මෙහි නම කැසලෝමා ය. (ස්පාඥ්ඥ බසින් කඳු මුදුනේ පිහිටි මාලිගය)
තම බිරිඳ වෙනුවෙන් මෙම සුරඟන කතා ආකාරයේ මාලිගය ඉදිකරන ලද්දේ සර් හෙන්රි මිල් පැලට් නම් ව්‍යාපාරිකයාය. කැනඩාවේ ඉපිද ඉගෙනුම ලැබූ ඔහු අවුරුදු 15 සිට සිය පියාගේ මුල්‍ය සමාගමේ ව්‍යාපාරික කටයුතුවලට සහභාගී විය. දක්ෂ ක්‍රීඩකයෙක් වූ ඔහු වෙඩි තැබීමට දැක්වූ දක්ෂතා නිසා රැජිනගේ රයිෆල් හමුදාවටත් නම් කෙරුණි. ඔහු එහි සක්‍රිය සේවයේ යෙදුනේ වසරක් පමණි. එහෙත් තම රෙජිමේන්තුව විවිධාකාරයෙන් දියුණු කිරීමේ කටයුතුවල නොකඩවා යෙදුනු නිසා වසර 16ක් තුළ මේජර් තනතුර දක්වා උසස්වීම් ලැබීය. 1897දී වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලියට සහභාගී වූ කැනඩා හමුදාවේ අණදෙන නිලධාරියෙක් ලෙසද ක්‍රියා කළේය.
දිගටම පියාගේ ව්‍යාපාර කටයුතුවලට සහය වූ ඔහු එහි දියුනුකිරිම්වලට දායකත්වය දැක්විය. අවුරුදු 23දී (1882) මේරි ඩොජ්සන් සමග විවාහ වූ ඔහු මධුසමය ගතකළේ යුරෝපයේ නගරවලය. 1892දී පියා ව්‍යාපාරවලින් ඉවත්වූ පසු ඒවායේ වගකීම තම අතට ගත් හෙන්රි ඒවා පුළුල් කරමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දියුණුවෙන් දියුණුවට පත් කළේය. එංගලන්තයෙන් ඔහුගේ සේවාවන් උදෙසා VII වන එඩ්වඩ් රජු විසින් 1905දී නයිට් නාමයක් පිරිනැමීම ඔහුගේ ජිවිතයේ උසස්ම අවස්ථාවක් විය.
අධික ධනවතෙක් වූ ඔහු 1903 දී ඒ වනවිටද කැසලෝමා නම තිබු ටොරොන්ටෝ නගරයේ ඉතා උස් ස්ථානයක පිහිටි අක්කර 25ක් විශාල ඉඩම මිලට ගත්තේ දඩයම් පිණිසයි. මුලින් එහි කෙළවරක අශ්ව ගාලක් ඉදිකළ ඔහු, තම සිහින මාලිගය ඉදිකිරිම ඇරඹුයේ 1911දිය. ඒ වනවිට ඔහු තම අති සාර්ථක ව්‍යාපාර කටයුතුවලින් මිලියන ගණන් මුදල් සපයාගෙන ඒ මුදල් වැඩි වර්ධනය කරගනිමින් සිටියේය.
සිය ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස ඊ. ජේ. ලිනොක්ස් තෝරාගත් පැලට්, අක්කර පහක් පුරා එඩ්වඩ් කාලීන මධ්‍යතන යුරෝපිය ගෘහනිර්මාණ ශිල්පය සිහි ගන්වන මන්දිරය ඉදිකළේය.
වසර තුනක් තුළ කාමර 98කින් යුතුව ඉතා උසස් නෝමන්, ගොතික් හා රෝමානු ශිල්පිය ගුණාංග වලින් පරිපුර්ණව මිල අධික වටිනා දැවයන් හා අනෙකුත් උපාංග යොදාගනිමින් මාලිගය සදා නිමකරන විට ඒ සඳහා ඩොලර් මිලියන 3.5ක් වැයවී තිබිණ. බිම් මහලත් සමග මහල් හතරකින් සමන්විත ගෘහය උදෙසා  ගෘහභාණ්ඩ, බුමුතුරුණු  හා තිර යුරෝපයේ විවිධ රටවලින් අධික මිල ගණන්වලට ආනයනය කළේය. ඒ සඳහා තවත් මිලියන 1.5ක් වැයකළ බව කියවේ.
පොත් 10000ක් තැබිය හැකි පුස්තකාල කාමරය 
මාලිගය පිටත බිත්ති අළු දුඹුරු පැහැති ගල් විශේෂයකින් නිමවා ඇත. පුස්තකාල කාමර බිම ඕක් දැවයෙන් නිමවා ඇත. පළමු මහලේ බිම ඉතාලි කිරිගරුඬ යොදා සකසා ඇති අතර, බිත්තිද කිරිගරුඬින් නිමවා තිබේ. එක මුළුතැන්ගෙයක උදුන හරකෙක් එකවර පිළිස්සීමට හැකි තරම් විශාලය.
විදුලිය හා පිරිසිදු කිරීමට වැකුම් පද්ධතියක් සහිතව එකල ඉහලම තාක්ෂණය උපයෝගී කරගෙන නිමවූ නිවසේ දුරකථන පද්ධතියේ දුරකථන 59ක් අඩංගු විය. මෙහි දිනකට හුවමාරු වූ පණිවිඩ සංඛ්‍යාව එකල මුළු ටොරොන්ටෝ නගරයේම හුවමාරුවූ පණිවිඩ වලට වඩා වැඩියෙන් පැවතුනි.
මාලිගය ඉදිකර නිමවන්නටත් පෙර පැලට් යුවල තම පුත්‍රයාද සමග 1913දී පදිංචියට පැමිණ, ඊළඟ වසර වනවිට තවත් අක්කර පහක් පුරා වූ උද්‍යාන අලංකාර සියල්ල සහිතව නිමකිරීම් අවසන් කිරීමට සමත්විය. විවිධ ඍතු අනුව විසීමට පවුලේ අයට වෙන් කාමර මෙන්ම, අමුත්තන්ට වෙනම කාමර පද්ධතියක්ද විය. කෙදිනක හෝ බ්‍රිතාන්‍ය රාජකීයයන් පැමිණියහොත් ඔවුන්ට දීමට සුදුසු හොඳම ස්ථානය මෙය බැවින් ඔවුන් සඳහා වෙන්කළ කාමර ගණනාවක්ද විය.
සියලුම කාමර ගෘහභාණ්ඩ හා අභ්‍යන්තර ගෘහ අලංකරණ සියල්ලෙන් පරිපුර්ණව පැවතුනි. නිවසේ අභ්‍යන්තර නානකාමර 30න් සමහරක් කාමරවලට සම්බන්ධ, ජලකරාම සහිත නවීන අංගෝපාංග වලින් යුක්ත ඒවාය.  නිවස අභ්‍යන්තර පිහිනුම් තටාකයක්ද සාදා ඇත. මේවට අමතරව විදුලි සෝපාන, 100 දෙනෙක්ට අසුන්ගත හැකි කෑම කාමරයක්, අශ්ව ගාල වෙත යන අඩි 800ක් දිග බිම් උමගක්, රහස් මාර්ග සහ මහෝගනී දැවයෙන් සැදු අශ්ව ගාලකින්ද මාලිගය සමන්විතය. අඩි 60ක් උස සිලිම් සහිත ප්‍රධාන ශාලාත්, මල් කැටයම් වලින් සමන්විත අලංකාර කුලුණු හා බිත්තිත් ගෘහයේ සුන්දරත්වය ඔප් නංවයි. තුන්වෙනි මහලේ ස්ථාන දෙකකින් ඉහලට ගමන් කල හැකි කුළුණු(tower) දෙකකි. ඉන් එකක් වන නෝමන් කුලුනට නැගී විට ඉහල විවෘත අවකාශයේදී ටොරොන්ටෝ නගරය දර්ශනීය ලෙස දිස්වේ. අනෙක් කුලුන පවුලේ අයට හා විශේෂ අමුත්තන්ට පමණක් වෙන් කර තිබුණි.
round room 
වසරේ වැඩි කාලයක් ශීත කාලගුණයක් පවතින ප්‍රදේශයක ඉදිකළ නිවසේ උණුසුම රැකගැනීමට සේවකයන් 40 ක් හා විශාල ගල් අඟුරු ප්‍රමාණයක් වසරකට යෙදවිණ.
මේ වනවිට සමාජයේ ඉහලම තලයක සමාජසේවා කටයුතු කරමින් විවිධ ආයතන,  සමිති සංගම්වල නිලතල දැරූ යුවල ඒවායේ උත්සව හා සම්භාෂණ සඳහා නිවෙසේ විශාල ආලින්ද හා ශාලා යොදාගත්හ.
මේ සමය වනවිටත් තම ව්‍යාපාර ආදියෙන් ලබන අදායම නිසා ඉලක්කම් හයක අධික අදායම් බදු මුදලක් රජයට ගෙවමින් සිටි පැලට් ගේ මුල්‍ය අවාසනාව ආරම්භ වන්නේ පළමු ලෝක යුද්ධයත් සමගය. රටේ ඇතිවූ ආර්ථික අවපාතයත් සමගම සියලු බදු මුදල් ඉහල ගිය අතර මෙම නිවසට පමණක් ඩොලර් 1000ක බදු මුදලක් නියම විය. රට ආර්ථික අවපාතයෙන් මිදෙමින් පවතිනවිට ඔහුද ක්‍රමයෙන් තම ව්‍යාපාර පෙර තත්වයට ගැනීමට ක්‍රියාකළේය. එහෙත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ පිට පිට ගත් වැරදි තීරණ නිසා ඔහුගේ ව්‍යාපාර කඩා වැටීමට ලක්විය. ක්‍රමයෙන් ඔහුගේ මුල්‍ය තත්වය පරිහානිය කරා ගමන් කරන්නට විය. වෙනත් ක්ෂේත්‍රයන්හි කල අයෝජනද අසාර්ථක විය.
තම සිහින මාලිගය රැකගැනීම උදෙසා මහත් පරිශ්‍රමයක් දැරූ පැලට්ට බදු මුදල් ගෙවාගැනීම උදෙසා මාලිගය සතු ගෘහභාණ්ඩ විකිනීමට සිදුවිය. 'එය හදවත කඩා වැටෙන තරම් දුකක්" ඔහු පැවසීය. එහෙත් ඒ වනවිට අයහපත් සෞඛ්‍ය තත්වයෙන් විසු බිරිඳගේ සහයද නැතිවී ගිය හෙයින් වෙන කලයුත්තක් නොමැති විය. අවසානයේ මෙම මාලිගයේ ජීවත්වීමට පැමිණ වසර 10ක් ගතවීමටත් පෙර රජයට ගෙවිය යුතු බදු මුදල $ 270000 ක් තිබියදී මාලිගය රජ සන්තක කර ඉවත්වීමට පැලට් පවුලට සිදුවිය. වසර 1924දී පැලට් ආර්යාව මියගිය දිනට පසුදින බැංකුවෙන් ඔහුගේ අනෙකුත් ව්‍යාපාර සමග නිවෙසද බන්කොලොත්බව ප්‍රකාශයට පත්කෙරී විකිනීමට නියමවිණි. දින පහක් තිස්සේ පැවති වෙන්දේසියෙන් මාලිගයේ භාණ්ඩ $ මිලියන 1.5කට අලෙවි වී ඇත.
ඉන්පසු වසර ගණනාවක් යනතෙක් කිසිදු නඩත්තුවක් හෝ සැලකීමක් නොමැතිව අයාලේ යන්නන්ගේ නිවස්නයක් බවට පත්වූ මේ සුවිසල් ගෘහය 1937දී ටොරොන්ටෝ නගර සභාව විසින් මිලට ගනු ලැබිණි.
අනතුරුව මෙම නිවෙස හා ඉඩම කුමන කටයුත්තක් සඳහා යොදාගත යුතුදැයි මහජනතාවගේ අදහස් විමසීමක් සිදුවිය. පාසලක්, පුස්තකාලයක්, කෞතුකාගාරයක්, රෝහලක්, හමුදා නිවස්නයක් වැනි විවිධ අදහස් අවසන මහජනයාට නැරඹීමට හැකි සංචාරක මධ්‍යස්ථානයක් හා උත්සව පැවැත්වෙන ස්ථානයක් ලෙස පවත්වා ගැනීමටත්, නඩත්තු කටයුතු කිරීමටත් තීරණය විය.
සර් පැලට් අවසන් වරට
පැමිණි අවස්ථාව 
තරමක ගරාවැටෙන තත්වයේ පැවති නිවෙසත්, ගෘහභාණ්ඩත්, උද්‍යානයත් ප්‍රතිසංස්කරණය කිරීමේදී සර් පැලට් ගේ අදහස්ද ප්‍රයෝජනයට ගෙන ඇත. එම වසරේදීම කැසලෝමාව මහජනයා සඳහා විවෘත කල උත්සවයට සහභාගී වූ ඔහු, විනාශ වී යා නොදී එය රැකගැනීම ගැන සතුටුවන බව කඳුලින් යුක්තව පවසා ඇත.  ඔහු අවසාන කාලය ගෙවා ඇත්තේ තම රියැදුරා ලෙස සේවය කල අයකුගේ නිවෙසක කාමරයකයි. 1939 දී අවුරුදු 80ක් වූ ඔහු හමුදා ගෞරව මධ්‍යයේ අවසන් ගමන් ගොස් ඇත.

සංචාරක මධ්‍යස්ථානයක් ලෙස මහජනතාවට විවෘත කල දා පටන් ජනප්‍රිය ස්ථානයක් වූ කැසලෝමා, එදා සිට අද දක්වාම මුදල් ගෙවා නැරඹිය හැකි ස්ථානයකි. වසරකට නරඹන්නන් 350 000 පමණ පැමිණෙති. ක්‍රමයෙන් නවීකරණ පහසුකම් සපයන මෙහි විස්තර දැනගැනීමට සෑම කෙනක් වෙතම ස්වයං මග පෙන්වන කථන උපකරණයක් (ටෙලිෆෝනයක් වැනි) ලබාදෙයි. එය ආධාරයෙන් තමන් නරඹන කාමරය හෝ ශාලාව පිලිබඳ විස්තරයක් අසාගත හැකිය.
නරඹන්නන්ට සේවය සපයන නවීන ආපනශාලා කිහිපයක්ද මාලිගය තුළ ඇත. විවිධ උත්සව සම්භාෂණ සඳහා උපයෝගී කරගත හැකි ඇතුලත උත්සව ශාලා කිහිපයක් හා පිටත උද්‍යාන කිහිපයක් ඇත.
විවාහ මංගල උත්සව ගැනීමටත්, මංගල ඡායාරුප ගැනීමටත්, outdoor wedding ගැනීමටත් මෙම මාලිගාව සහ භුමිය වෙන්කර ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති.
චිත්‍රපට හා ටෙලි නාට්‍ය රු ගත කිරීම් සඳහාත්, ප්‍රදර්ශන සඳහාත්, සංගීත ප්‍රසංග සඳහාත්  මාලිගයේ කොටස් හා උද්‍යානය කුලියට දීම සිදුකෙරේ.

නිර්මාණය කළ පුද්ගලයට ප්‍රයෝජන ගත නොහැකි වුවත්, දශක ගණනාවක් තිස්සේ අභාවයට යා නොදී රැකගෙන බොහෝ උදවියගේ සිත් සතන් පිනවමින් පවත්වාගෙන යන මෙවැනි ඓතිහාසික ලෙස එතරම් වැදගත් නොවන ස්ථානයක් පවා ආර්ථිකයට ප්‍රයෝජනවත් ආකාරයෙන් යොදාගැනීමෙන් පෙන්වන්නේ මහඟු ආදර්ශයකි.


උදව්:
Self guided audio guide Casa Loma
casaloma.ca/history/
ww.todocanada.ca/city/toronto/listing/casa-loma-toronto
www.biographi.ca/en/bio/pallatt-henry-mill
www.aviewoncities.com/casaloma
www.thestar.com/yourtoronto/once-upon-a-city-archives
කැසලෝමා, අශෝක ප්‍රනාන්දු: යාත්‍රා 2017 සැප්තැම්බර්

Wednesday, 26 June 2019

ගූගල් ඩූඩල් ජූනි: පළමු ආචාර්ය උපාධිධාරිණිය හා ලෝක කුසලාන

ජුනි 5: එලේනා පිස්කෝපියා (ලොව ප්‍රථම PhD උපාධිධාරිණිය)

කාන්තා අධ්‍යාපනය ගැන ලොව අඩුම අවධානයක් තිබු සමයෙක උපතින් ලද බුද්ධිය ඔප මට්ටම් කරගෙන ඉන් පෙර කිසිදු කාන්තාවක ලබා නොතිබූ උසස්ම උපාධියක් ලද කාන්තාවක උපත ලද දිනයයි ජුනි 5 දින ගූගල් ඩූඩලය සිහිපත් කරන්නේ.
1646 ජුනි 5වන දින ඉතාලියේ වැනිසියේ උපත ලද එලේනා කෝනරෝ පිස්කෝපියා ගේ දෙමාපියන් ඇය කුඩා වියේදීම ඈ සතු සුබග බුද්ධිය වටහා ගත්හ. අවුරුදු හතේදීම ලතින් හා ග්‍රීක් භාෂා ඉගෙනීමට ඇයව යොමු කරන ලද්දේ ඒ නිසාය. ඇය ඉතා ඉක්මනින්ම ප්‍රංශ, හිබ්රු, අරාබි  හා ස්පාඥ්ඥ භාෂාවන් හිද සමත්කම් දැක්වූවාය. මෙලෙස භාෂා හතකට දක්වන ලද ප්‍රවීනත්වය නිසා ඇයට Oraculum Septilingue  තත්වය ලැබුණි. භාෂා හැදෑරීමට අමතරව එලේනා ගණිතය, තාරකා විද්‍යාව, සංගීතය, දේව ධර්මය මෙන්ම දර්ශණය ද උගත්තාය.
ඇයගේ බුද්ධි මහිමය හා සමත්කම් පැතිරීමත් සමග විවිධ විද්වත් සමාජවලට සම්බන්ධ වීමට ඇරයුම් ලැබෙන්නට විය. අවුරුදු 24දීම වැනිසියේ සාමය සඳහා වූ ඇකඩමි සමාජයේ සභාපති වීමේ වරමත් වෙනත් බොහෝ සමිති සමගම්වල් නිලතල දැරීමේ වරමත් ඇයට ලැබුණි. ඈ ඒ පසුපස ගියේ නැතත් ඒවා ඇය සොයා ආහ.
1672 දී ,  එලේනා ඉතාලියේ පාදුවා විශ්ව විද්‍යාලයට බැඳුනාය.  ඇයගේ දේවධර්ම ගුරුවරයා හා දර්ශනය ගුරුවරයා ඇයහට ආචාර්ය උපාධි ලබාදෙන ලෙස විශ්ව විද්‍යාලයෙන් ඉල්ලීම් කළහ. දර්ශන විෂයය සඳහා ආචාර්ය උපාධියක් ලබාදීමට එකඟ වුවත්, කාන්තාවක වීම නිසා දේව ධර්මය උදෙසා උපාධියක් ලබාදීමට පල්ලියෙන් අවසර නොලැබුණි. ඇය ගේ වාචික විභාගයේ ඉදිරිපත් කිරීමේ සාර්ථකත්වය නිසා උපාධි ප්‍රදානෝත්සවය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු, සිසුන්, සෙනෙට් සභිකයන් හා වෙනත් විශ්ව විද්‍යාලවල ආරාධිත විද්වතුන් සමුහයක් ඉදිරියේ පැවැත්වුණි. එහිදීද ඇය පුරා පැයක ව්‍යක්ත දේශනයක් ඉදිරිපත් කළබව සඳහන් වේ. මෙලෙස වයස 32 දී එලේනා ලැබූ ආචාර්ය උපාධිය ලෝකයේ කාන්තාවක ලබාගත් ප්‍රථම අචාර්ය උපාධියයි.
ඉගෙනීම අතරම දුප්පතුන්ට සේවය සැලසීමත්, පාදුවා විශ්ව විද්‍යාලයේ ගණිත ආචාර්යවරියක ලෙස කටයුතු කිරීමත්  දිගටම කරගෙන ගියාය. යුරෝපය පුරා විවිධ සංගම් වලින් ලැබෙන තනතුරු හා දේශන ඉල්ලීම්වලින් අඩුවක් නොමැති වුවත්,  ඒ හා සමග ක්ෂයරෝගී තත්වයත් පැමිණියේය. එම රෝගය හේතුවෙන් වයස 38 දී මේ අපුර්වතම දිවියෙන් සමුගත්තද 17 වන සියවසේ ඇයගේ ගමන්මග ඉන්මතු කාන්තාවන්ට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහලටම යන්නට පෙරමග සලකුණු  තැබීය.

ජුනි 7 න් ඇරඹුණු ලෝක කාන්තා පාපන්දු තරගාවලිය. FIFA Womens' World Cup 
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක් සහභාගි වන ලෝක ක්‍රිකට් තරග එංගලන්තයේ පැවැත්වෙන අතර, ලොව රටවල් 24ක් සහභාගි වන ලෝක කාන්තා පාපන්දු තරග ප්‍රංශයේ ලියෝන් හිදී  ජුනි 7 වැනිදායින් ඇරඹී, මාසයක් මුළුල්ලේ  පැවැත්වේ. සත්කාරක රට වන ප්‍රංශයේ නගර 9ක තරග සංවිධානය කර තිබේ.
තරගාවලිය පැවැත්වෙන දින වැඩි ගණනක ගුගල් මුල් පිටුවේ පළවුයේ ඒ සම්බන්ධිත ඩූඩලයන්ය. මෙම ඩූඩල නිර්මාණය කර ඇත්තේ තරග වදින රටවල කාන්තාවක බැගිනි. ඒ අනුව ඩූඩල් 24ක් නිර්මාණය වී ඇති අතර දින 24ක් ගුගල් මුල් පිටුවේ ඒවා පලවෙනු ඇත. ඒවායින් කිහිපයක්ම පහත දැක්වෙන පින්තුරයෙන් දැකගත හැකිවේ. GOOGLE වචනය දෙපස ඇත්තේ නිර්මාණය කළ රටේ ජාතික කොඩියයි.


පිරිමි  FIFA ලෝක කුසලාන තරග මෙන්ම 1991 සිට නොකඩවා වසර හතරකට වරක් පවත්වාගෙන යන කාන්තා තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ අටවෙනි වරටයි.  කණ්ඩායම් 24න් 7ක්ම නොකඩවා අටවෙනි වරටත් තරගාවලියේ සහභාගිත්වය සිදුකරන අතර, චිලි රට, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව හා ජැමෙයිකාව සුදුසුකම් ලබා ඇත්තේ මුල් වරටයි.
පසුගිය වර ඇතුළු තුන්වරක් ඇමරිකා එක්සත් ජනපදය කුසලානය දිනාගෙන ඇති අතර,  ජර්මනිය දෙවරක්ද, නොර්වේ හා ජපානය එකවරක් බැගින් ද ජයග්‍රහණය ලබා ඇත.
තරග ඇරඹීමට බොහෝ දිනකට පෙර ඔන්ලයින් මගින් ටිකට් විකිණී අවසන් වන මෙම තරගාවලියේ ටිකට් ගැනීමද තරගයක් වී ඇති බවයි පෙනෙන්නේ.
බොහෝ දෙනාගේ අවධානයට යොමුවූ තරගාවලියේ mascot එක වන්නේ Ettie නමැති කිකිළි පැටියාය.

දැනට අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන අතර, අවසන් පුරව තරග ජූලි 2 සහ 3 වන දිනවලත්, අවසන් තරගය ජූලි 7වන දිනත් පැවැත්වීමට නියමිතය.












උදව්:
www.britannica.com/biography/Elena-Cornaro
scientificwomen.net/women/piscopia-elena-79
www.google.com/doodles/elena-cornaro-piscopias
www.google.com/doodles/2019-womens-world-cup
https://www.fifa.com/womensworldcup/
en.wikipedia.org/wiki/List_of_FIFA_Women World_Cup_finals