තම බිරිඳ වෙනුවෙන් මෙම සුරඟන කතා ආකාරයේ මාලිගය ඉදිකරන ලද්දේ සර් හෙන්රි මිල් පැලට් නම් ව්‍යාපාරිකයාය. කැනඩාවේ ඉපිද ඉගෙනුම ලැබූ ඔහු අවුරුදු 15 සිට සිය පියාගේ මුල්‍ය සමාගමේ ව්‍යාපාරික කටයුතුවලට සහභාගී විය. දක්ෂ ක්‍රීඩකයෙක් වූ ඔහු වෙඩි තැබීමට දැක්වූ දක්ෂතා නිසා රැජිනගේ රයිෆල් හමුදාවටත් නම් කෙරුණි. ඔහු එහි සක්‍රිය සේවයේ යෙදුනේ වසරක් පමණි. එහෙත් තම රෙජිමේන්තුව විවිධාකාරයෙන් දියුණු කිරීමේ කටයුතුවල නොකඩවා යෙදුනු නිසා වසර 16ක් තුළ මේජර් තනතුර දක්වා උසස්වීම් ලැබීය. 1897දී වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලියට සහභාගී වූ කැනඩා හමුදාවේ අණදෙන නිලධාරියෙක් ලෙසද ක්‍රියා කළේය.
අධික ධනවතෙක් වූ ඔහු 1903 දී ඒ වනවිටද කැසලෝමා නම තිබු ටොරොන්ටෝ නගරයේ ඉතා උස් ස්ථානයක පිහිටි අක්කර 25ක් විශාල ඉඩම මිලට ගත්තේ දඩයම් පිණිසයි. මුලින් එහි කෙළවරක අශ්ව ගාලක් ඉදිකළ ඔහු, තම සිහින මාලිගය ඉදිකිරිම ඇරඹුයේ 1911දිය. ඒ වනවිට ඔහු තම අති සාර්ථක ව්‍යාපාර කටයුතුවලින් මිලියන ගණන් මුදල් සපයාගෙන ඒ මුදල් වැඩි වර්ධනය කරගනිමින් සිටියේය.
සිය ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස ඊ. ජේ. ලිනොක්ස් තෝරාගත් පැලට්, අක්කර පහක් පුරා එඩ්වඩ් කාලීන මධ්‍යතන යුරෝපිය ගෘහනිර්මාණ ශිල්පය සිහි ගන්වන මන්දිරය ඉදිකළේය.
වසර තුනක් තුළ කාමර 98කින් යුතුව ඉතා උසස් නෝමන්, ගොතික් හා රෝමානු ශිල්පිය ගුණාංග වලින් පරිපුර්ණව මිල අධික වටිනා දැවයන් හා අනෙකුත් උපාංග යොදාගනිමින් මාලිගය සදා නිමකරන විට ඒ සඳහා ඩොලර් මිලියන 3.5ක් වැයවී තිබිණ. බිම් මහලත් සමග මහල් හතරකින් සමන්විත ගෘහය උදෙසා ගෘහභාණ්ඩ, බුමුතුරුණු හා තිර යුරෝපයේ විවිධ රටවලින් අධික මිල ගණන්වලට ආනයනය කළේය. ඒ සඳහා තවත් මිලියන 1.5ක් වැයකළ බව කියවේ.
පොත් 10000ක් තැබිය හැකි පුස්තකාල කාමරය |
විදුලිය හා පිරිසිදු කිරීමට වැකුම් පද්ධතියක් සහිතව එකල ඉහලම තාක්ෂණය උපයෝගී කරගෙන නිමවූ නිවසේ දුරකථන පද්ධතියේ දුරකථන 59ක් අඩංගු විය. මෙහි දිනකට හුවමාරු වූ පණිවිඩ සංඛ්‍යාව එකල මුළු ටොරොන්ටෝ නගරයේම හුවමාරුවූ පණිවිඩ වලට වඩා වැඩියෙන් පැවතුනි.
මාලිගය ඉදිකර නිමවන්නටත් පෙර පැලට් යුවල තම පුත්‍රයාද සමග 1913දී පදිංචියට පැමිණ, ඊළඟ වසර වනවිට තවත් අක්කර පහක් පුරා වූ උද්‍යාන අලංකාර සියල්ල සහිතව නිමකිරීම් අවසන් කිරීමට සමත්විය. විවිධ ඍතු අනුව විසීමට පවුලේ අයට වෙන් කාමර මෙන්ම, අමුත්තන්ට වෙනම කාමර පද්ධතියක්ද විය. කෙදිනක හෝ බ්‍රිතාන්‍ය රාජකීයයන් පැමිණියහොත් ඔවුන්ට දීමට සුදුසු හොඳම ස්ථානය මෙය බැවින් ඔවුන් සඳහා වෙන්කළ කාමර ගණනාවක්ද විය.
සියලුම කාමර ගෘහභාණ්ඩ හා අභ්‍යන්තර ගෘහ අලංකරණ සියල්ලෙන් පරිපුර්ණව පැවතුනි. නිවසේ අභ්‍යන්තර නානකාමර 30න් සමහරක් කාමරවලට සම්බන්ධ, ජලකරාම සහිත නවීන අංගෝපාංග වලින් යුක්ත ඒවාය. නිවස අභ්‍යන්තර පිහිනුම් තටාකයක්ද සාදා ඇත. මේවට අමතරව විදුලි සෝපාන, 100 දෙනෙක්ට අසුන්ගත හැකි කෑම කාමරයක්, අශ්ව ගාල වෙත යන අඩි 800ක් දිග බිම් උමගක්, රහස් මාර්ග සහ මහෝගනී දැවයෙන් සැදු අශ්ව ගාලකින්ද මාලිගය සමන්විතය. අඩි 60ක් උස සිලිම් සහිත ප්‍රධාන ශාලාත්, මල් කැටයම් වලින් සමන්විත අලංකාර කුලුණු හා බිත්තිත් ගෘහයේ සුන්දරත්වය ඔප් නංවයි. තුන්වෙනි මහලේ ස්ථාන දෙකකින් ඉහලට ගමන් කල හැකි කුළුණු(tower) දෙකකි. ඉන් එකක් වන නෝමන් කුලුනට නැගී විට ඉහල විවෘත අවකාශයේදී ටොරොන්ටෝ නගරය දර්ශනීය ලෙස දිස්වේ. අනෙක් කුලුන පවුලේ අයට හා විශේෂ අමුත්තන්ට පමණක් වෙන් කර තිබුණි.
round room |
මේ වනවිට සමාජයේ ඉහලම තලයක සමාජසේවා කටයුතු කරමින් විවිධ ආයතන, සමිති සංගම්වල නිලතල දැරූ යුවල ඒවායේ උත්සව හා සම්භාෂණ සඳහා නිවෙසේ විශාල ආලින්ද හා ශාලා යොදාගත්හ.
මේ සමය වනවිටත් තම ව්‍යාපාර ආදියෙන් ලබන අදායම නිසා ඉලක්කම් හයක අධික අදායම් බදු මුදලක් රජයට ගෙවමින් සිටි පැලට් ගේ මුල්‍ය අවාසනාව ආරම්භ වන්නේ පළමු ලෝක යුද්ධයත් සමගය. රටේ ඇතිවූ ආර්ථික අවපාතයත් සමගම සියලු බදු මුදල් ඉහල ගිය අතර මෙම නිවසට පමණක් ඩොලර් 1000ක බදු මුදලක් නියම විය. රට ආර්ථික අවපාතයෙන් මිදෙමින් පවතිනවිට ඔහුද ක්‍රමයෙන් තම ව්‍යාපාර පෙර තත්වයට ගැනීමට ක්‍රියාකළේය. එහෙත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ පිට පිට ගත් වැරදි තීරණ නිසා ඔහුගේ ව්‍යාපාර කඩා වැටීමට ලක්විය. ක්‍රමයෙන් ඔහුගේ මුල්‍ය තත්වය පරිහානිය කරා ගමන් කරන්නට විය. වෙනත් ක්ෂේත්‍රයන්හි කල අයෝජනද අසාර්ථක විය.
තම සිහින මාලිගය රැකගැනීම උදෙසා මහත් පරිශ්‍රමයක් දැරූ පැලට්ට බදු මුදල් ගෙවාගැනීම උදෙසා මාලිගය සතු ගෘහභාණ්ඩ විකිනීමට සිදුවිය. 'එය හදවත කඩා වැටෙන තරම් දුකක්" ඔහු පැවසීය. එහෙත් ඒ වනවිට අයහපත් සෞඛ්‍ය තත්වයෙන් විසු බිරිඳගේ සහයද නැතිවී ගිය හෙයින් වෙන කලයුත්තක් නොමැති විය. අවසානයේ මෙම මාලිගයේ ජීවත්වීමට පැමිණ වසර 10ක් ගතවීමටත් පෙර රජයට ගෙවිය යුතු බදු මුදල $ 270000 ක් තිබියදී මාලිගය රජ සන්තක කර ඉවත්වීමට පැලට් පවුලට සිදුවිය. වසර 1924දී පැලට් ආර්යාව මියගිය දිනට පසුදින බැංකුවෙන් ඔහුගේ අනෙකුත් ව්‍යාපාර සමග නිවෙසද බන්කොලොත්බව ප්‍රකාශයට පත්කෙරී විකිනීමට නියමවිණි. දින පහක් තිස්සේ පැවති වෙන්දේසියෙන් මාලිගයේ භාණ්ඩ $ මිලියන 1.5කට අලෙවි වී ඇත.
ඉන්පසු වසර ගණනාවක් යනතෙක් කිසිදු නඩත්තුවක් හෝ සැලකීමක් නොමැතිව අයාලේ යන්නන්ගේ නිවස්නයක් බවට පත්වූ මේ සුවිසල් ගෘහය 1937දී ටොරොන්ටෝ නගර සභාව විසින් මිලට ගනු ලැබිණි.
අනතුරුව මෙම නිවෙස හා ඉඩම කුමන කටයුත්තක් සඳහා යොදාගත යුතුදැයි මහජනතාවගේ අදහස් විමසීමක් සිදුවිය. පාසලක්, පුස්තකාලයක්, කෞතුකාගාරයක්, රෝහලක්, හමුදා නිවස්නයක් වැනි විවිධ අදහස් අවසන මහජනයාට නැරඹීමට හැකි සංචාරක මධ්‍යස්ථානයක් හා උත්සව පැවැත්වෙන ස්ථානයක් ලෙස පවත්වා ගැනීමටත්, නඩත්තු කටයුතු කිරීමටත් තීරණය විය.
සර් පැලට් අවසන් වරට පැමිණි අවස්ථාව |
සංචාරක මධ්‍යස්ථානයක් ලෙස මහජනතාවට විවෘත කල දා පටන් ජනප්‍රිය ස්ථානයක් වූ කැසලෝමා, එදා සිට අද දක්වාම මුදල් ගෙවා නැරඹිය හැකි ස්ථානයකි. වසරකට නරඹන්නන් 350 000 පමණ පැමිණෙති. ක්‍රමයෙන් නවීකරණ පහසුකම් සපයන මෙහි විස්තර දැනගැනීමට සෑම කෙනක් වෙතම ස්වයං මග පෙන්වන කථන උපකරණයක් (ටෙලිෆෝනයක් වැනි) ලබාදෙයි. එය ආධාරයෙන් තමන් නරඹන කාමරය හෝ ශාලාව පිලිබඳ විස්තරයක් අසාගත හැකිය.
නරඹන්නන්ට සේවය සපයන නවීන ආපනශාලා කිහිපයක්ද මාලිගය තුළ ඇත. විවිධ උත්සව සම්භාෂණ සඳහා උපයෝගී කරගත හැකි ඇතුලත උත්සව ශාලා කිහිපයක් හා පිටත උද්‍යාන කිහිපයක් ඇත.
විවාහ මංගල උත්සව ගැනීමටත්, මංගල ඡායාරුප ගැනීමටත්, outdoor wedding ගැනීමටත් මෙම මාලිගාව සහ භුමිය වෙන්කර ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති.
චිත්‍රපට හා ටෙලි නාට්‍ය රු ගත කිරීම් සඳහාත්, ප්‍රදර්ශන සඳහාත්, සංගීත ප්‍රසංග සඳහාත් මාලිගයේ කොටස් හා උද්‍යානය කුලියට දීම සිදුකෙරේ.
උදව්:
Self guided audio guide Casa Loma
casaloma.ca/history/
ww.todocanada.ca/city/toronto/listing/casa-loma-toronto
www.biographi.ca/en/bio/pallatt-henry-mill
www.aviewoncities.com/casaloma
www.thestar.com/yourtoronto/once-upon-a-city-archives
කැසලෝමා, අශෝක ප්‍රනාන්දු: යාත්‍රා 2017 සැප්තැම්බර්
පෝස්ට් එකේ අන්තිම ටිකට මොකෝ උනැයි කියන්නෙ, රසුදැල්? මට පේන හැටිද මන්දා. 'නිවසට පමණක් ඩොලර් 1000 ක බදු මුදලක් නියම විය. මෙම' කියලා තමයි ඉවර වෙලා තියෙන්නෙ මට පේන විදියට.
ReplyDeleteකැසනෝවා ගැන අහල තිබුනට කැසලෝමා ගැන අහල තිබුනෙ නෑනෙ කලින්.
සමාවෙන්න. තාක්ෂණික දෝෂයකින් ලිපියේ අග අයින්වුනා. සම්පුර්ණ කරනවා.
Deleteදැන් හරි. පැලට්ගෙ අවසානය ගැන හරිම දුක හිතුනා. අර තරම් ආසාවෙන් හැදුව ගෙදර බලාගෙන ඉන්දැද්දි විනාශ වෙනකොට මොනවා හිතෙන්න ඇද්ද? එයා ජීවතුන් අතර ඉන්දැද්දිම ඒක ප්‍රතිසංස්කරණය කළ එක ලොකු දෙයක්. මැරෙන්න කලින් ඒකෙන් හරි සැනසීමක් ලැබෙන්න ඇතිනෙ, එයාගෙ අදහසුත් ලබා ගත්තම.
Deleteපසු කලෙක මන්දිරය උදෙසා විශාල වියදමක් කිරීම ගැන පසුතැවෙනවාද ඇහුවම මම ආපස්සට හිතන්නේ නැහැ කිව්වලු.
Delete🙂🙂🙂
ReplyDelete