Thursday 30 July 2020

බේකින් සෝඩා වලින් කොලපාට වීම

පරිසරය ගැන බෙහෙවින් කතාවෙන, සැලකිලිමත් වෙන මේ කාලයේ go green කියන්නේ ජනප්‍රිය සංකල්පයක්. සාමාන්‍යයෙන් turning green කියන්නේ කවුරුහරි ගැන ඉරිසියා හිතුනම. දැන් ග්‍රීන් වෙනවා කියන්නේ පරිසර හිතකාමී වෙනවා කියන එකයි. 

ගෙදරදොරේ කටයුතුවලදී පරිසර හිතකාමී වීම ගැන තදින් හිතන්න වෙන්නේ වෙළඳපොලේ තියන විවිධ රසායන ද්‍රව්‍ය අපි නොදැනුවත්වම ගෙදරට ගොඩවදින නිසයි. එදිනෙදා පිරිසිදුකිරීම් වලට තියන නිෂ්පාදන ගැන හිතුවම වලන් පිඟන් සෝදන්න, කුස්සිය, නාන කාමරය, වැසිකිලිය පවිත්‍ර කරන්න වෙන වෙනම පවිත්‍රකාරක මොන තරමක් විවිධ මිල ගණන්වලට තියනවද? මේ බොහෝ දේවල් ඉතා අඩු මිලකට තියන බේකින් සෝඩා වලින් කරගන්න පුළුවන් කියල ඔබ දන්නවද? 

Baking Soda කියන්නේ මොනවද? එය රසායන ද්‍රව්‍යයක් නෙමෙයිද? 
බේකින් සෝඩා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ආහාර නිෂ්පාදනයේ පිපුම් කාරකයක් විදියට.
රසායනික නම සෝඩියම් බයි කාබනේට්. සංඛේතය NaHCOვ.
බේකින් සෝඩා ස්වභාවික දෙයක්. සෝඩා අළු ලෙස හුණුගල් වගේ පාෂාණ කඩාගන්න තියනව. විද්‍යාගාරයක ඇමෝනියා තුලින් කාබන්ඩයොක්සයිඩ් යැවීමෙන් හදන්නත් පුළුවන්. ස්වභාවික, පිරිසිදු, ආරක්‍ෂිත කුඩු වර්ගයක් බේකින් සෝඩා කියන්නේ.
මතක තියාගන්න බේකින් පවුඩර් කියන්නේ වෙන ද්‍රව්‍යක්. එය හදන්නත් බේකින් සෝඩා භාවිතා කරනවා. නමුත් ගතිගුණ පොඩ්ඩක් වෙනස් නිසා ආහාර පිළියෙළ කරන්න විතරයි බේකින් පවුඩර් හෙවත් සෝඩියම් කාබනේට් ගන්නේ. 

පාන්, කේක් හදන්න නැතිවම බැරි බේකින් සෝඩාවල වෙනත් භාවිතා බලමු. පරිසර හිතකාමී පිරිසිදුකාරකයක් ලෙස වගේම දුගඳ උරාගන්නා දෙයක් ලෙසත්, ඖෂධයක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්. 

මුළුතැන්ගෙයි භාවිතය 
  • පිපුම් කාරකයක් ලෙස ආහාර පිළියෙළ කිරීමේදී.
  • එළවලු හා පලතුරුවල පොත්තේ ඉටි ගතිය හා රසායන ද්‍රව්‍ය ඉවත් කිරීමට: බේකින් සෝඩා හා දෙහි යුෂ දැමු ජලයේ පලතුරු ගිල්වා විනාඩි 10ක් පමණ තැබීමෙන් කෘමිනාශක, වල්නාශක හා ඉටි ඉවත්වේ. 
  • ශීතකරණයේ දුගඳ නැතිවීමට: කුඩා විවෘත බඳුනක දමා ශීතකරණයේ පහලම තට්ටුවෙන් තබන්න. මාස දෙකකට වරක් මාරු කරන්න.  
  • අඩිය ඇල්ලු වළං සේදීමට: බේකින් සෝඩා අඩිය ඇල්ලු තැන විසිරුවා ටික වෙලාවකින් ස්පොන්ජ් එකකින් පිසදමා සෝදන්න. තදට තට්ටුවක් මෙන් බැඳී ඇත්නම් බේකින් සෝඩා දමා, එය
    වැසෙන්නට තරම් ජලය දමා ජලය උණු කරන්න. ඉන්පසු ජලය ඉවත්කර හොඳින් අතුල්ලන්න.(ස්පොන්ජ් එකක් කිව්වට පොල්මුඩු, කොහු බ්‍රෂ්, scouring pad උපයෝගී කරගන්න පුළුවන්).   
  • කෝප්ප හා තේ පිලියෙල කරන උපකරණවලවල තේ, කෝපි කහට යැවීමට: ස්පන්ජ් එකකට බේකින් සෝඩා දමා යන්තම් වතුර දමා පිස දමන්න. තදට  කහට බැඳී ඇත්නම් බේකින් සෝඩා දැමු ජලය දමා රැයක් තබා සෝදන්න. 
  • Counter top පවිත්‍ර කිරීමට: වියලි බේකින් සෝඩා විසිරුවා තෙත ස්පොන්ජ් එකකින් පිසදමා ජලය යොදා පිරිසිදු කරන්න. 
  • ලෝහ ලිප් පිරිසිදු කිරීමට: වියලි බේකින් සෝඩා උදුන මතට දමා ටික වෙලාවකින් තෙත ස්පොන්ජ් එකකින් පිස දමන්න. තද පැල්ලම් ඇති තැන්වල වැඩිපුර දමන්න.
  • උදුන් පවිත්‍ර කිරීමට: විනාකිරි කෝප්පයක් හා දෙහි යුෂ කෝප්ප 1/2ක් ස්ප්‍රේ බෝතලයකට දමා අවන් එකේ රැක් ඉවත්කර අවන් පතුලට සහ දොරට ස්ප්‍රේ කරන්න. විනාඩි 10ක් පමණ තබා, ඒ මත බේකින් සෝඩා විසිරුවන්න. තවත් විනාඩි 10ක් තබා හොඳින් පිස දමන්න. තෙත රෙද්දකින් නැවත පිස දමන්න. රැක්, බේකින් සෝඩා දැමු ස්පොන්ජ් එකකින් පිසදමන්න. 
  • මයික්‍රෝවේව් උදුන් පිරිසිදු කිරීමට: මයික්‍රෝවේව් තුල දැමිය හැකි bowl එකක් ගෙන වතුර කෝප්පයක් දමා බේකින් සෝඩා මේස හැන්දක් දමන්න. බඳුන නොවසා ඇතුලට දමන්න. මිනිත්තු තුනක් පමණ ක්‍රියාකරවන්න. වියලි මයික්රෝෆයිබර් රෙදිකඩක් ගෙන උදුන තුල සහ දොර හොඳින් පිස දමන්න. 
  • මල නොබැඳෙන වානේ සහ සෙරමික් සින්ක්, ලෝහ සහ ප්ලාස්ටික් ටැප් සේදීමට: බෙකින්සෝඩා සින්ක් එක සහ ටැප් මත විසිරුවා හැර තෙත ස්පොන්ජ් එකකින් අතුල්ලන්න. 
  • සින්ක් එකෙන් ජලය පිටතට යන drain පිරිසිදු කිරීමට: බේකින් සෝඩා මේස හැන්දක් ඩ්රේන් සිදුරට දමා ටිකකින් විනාකිරි මේස හැන්දක් දමන්න. zzzz  හඬ අවසන් වූ පසු උණුසුම් ජලය කෝප්ප තුන හතරක් වත්කරන්න. 
  • රිදී හැඳි ගැරෙප්පුවල දීප්තිය ලබාගැනීමට : ඇලුමිනියම් බඳුනක් හෝ වෙනත් බඳුනක ඇලුමිනියම් ෆොඉල් එකක් අතුරාගෙන හැඳි ඒ මත තබන්න. බේකින්සෝඩා මේස හැන්දක් ඒ මතට දමා, විනාකිරි මේස හැඳි දෙකක් එක්කර, උතුරන  ජලය කෝප්පයක් දමන්න. මිනිත්තුවක් පමණ තබා හැඳි ඉවත්කරගන වියලි රෙදි කඩකින් පිස දමාගන්න. 
  • තෙල් සහිත භාජන, ප්ලාස්ටික් බඳුන් පිරිසිදු කිරීමට: භාජනය තුල බේකින් සෝඩා තට්ටුවක් දමා ස්වල්ප වෙලාවක් තබා තෙත ස්පොන්ජ් එකකින් අතුල්ලා සෝදාගන්න. තෙල් ඉවත්වනතෙක් නැවත කරන්න. ප්ලාස්ටික් හැඳි හා අනෙක් ප්ලාස්ටික් බඳුන්ද මෙලෙස පිරිසිදු කරන්න පුළුවන්. 
  • Cutting board පිරිසිදු කිරීමට: බෝඩ් එක මත බේකින් සෝඩා විසිරුවා විනාඩි කිහිපයක් තබා තෙත බ්‍රෂ් එකකින් අතුල්ලා, හොඳින් සෝදා හරින්න.
  • ස්පොන්ජ්වල ගඳ ඉවත් කිරීමට: බේකින් සෝඩා මේස හැන්දක්  දෙකක් වතුර කෝප්ප දෙකකට දමා එහි ස්පොන්ජ් ගිල්වා පැයක් පමණ තබන්න. පිටතට ගෙන හොඳින් වතුර දමා මිරිකා හරින්න. 
  • පැන්ට්‍රි කබඩ් සේදීමට: බඳුනකට බේකින් සෝඩා සහ පොල්තෙල් 2:1 අනුපාතයට දමා එම මිශ්‍රණය කබඩ් මත අතුල්ලන්න. රෙදි කැබැල්ලකින් හෝ පේපර් සර්වියට්වලින් හොඳින් පිස දමන්න. 
  • මුළුතැන්ගෙයි කුණු දමන බඳුනේ පතුලට ස්වල්පයක් ඉසින්න. දුගඳ පැතිරෙන්නේ නැත.
නාන කාමරය සහ වැසිකිලිය සඳහා බේකින් සෝඩා 
  • දත් බුරුසු: සතියකට වරක් බේකින් සෝඩා මේස හැන්දක් දැමු ජලය කෝප්පයක රැයක් ගිල්වා තබන්න. 
  • කමොඩ් එකට: කමොඩ් එක තුලට සහ පිටතට බේකින් සෝඩා විසිරුවා ටික වෙලාවක් තබා බ්‍රෂ් එකකින් හොඳින් මදින්න. ටොයිලට් සීට් මදින්නත් හොඳයි.  ජලයෙන් සෝදා හරින්න. 
  • wash basin සහ tub : වියලි බේකින් සෝඩා කුඩු විසිරුවා තෙත ස්පොන්ජ් එකකින් මදින්න. ජලය යොදා සෝදන්න. 
  • ග්රවුට් පිරිසිදු කිරීමට: බේකින් සෝඩා සහ විනාකිරි මිශ්‍රකර, පරණ ටුත් බ්‍රෂ් එකකට ස්වල්පය බැගින් ගෙන, ටයිල් අතර තියන ග්රවුට් මදින්න. හොඳින් සෝදා හරින්න. 
  • ටයිල් බිත්ති සහ ටයිල් පොලව පිරිසිදු කිරීමට: තෙත ස්පොන්ජ් එකකට බේකින් සෝඩා ගෙන, වියලි බිත්ති මදින්න. බ්‍රෂ් එකකින් අතුල්ලමින් හොඳින් සෝදා පරණ පිරිසිදු වියලි තුවායකින් පිස දමන්න. බිම ටයිල් මතට බේකින් සෝඩා දමා වතුර ස්ප්‍රේ කරනන. හොඳින් අතුල්ලා  මුළු බිමම හොඳින් මොප් කර, වියලාගන්න. 
  • ටැප්, ලෝහ හැන්ඩ්ල්, ෂවර් පිරිසිදු කරන්නත් බේකින් සෝඩා උපයෝගී කරගන්න. 
රෙදි සේදීම් සඳහා 
  • සුදු සහ ලා වර්ණ ඇඳුම් සේදීමේදී බේකින් සෝඩා ස්වල්පයක් වතුරට එකතු කිරීමෙන් වැඩි දීප්තියක් හා සුදු පැහැයක් ඇතිවෙනවා වගේම හොඳ සුවඳකුත් ලැබෙනවා.
  • තෙල්, කහට, දහදිය, ලේ පැල්ලම් ඉවත් කරන්නත් යොදාගන්න පුළුවන්. රෙදි සෝදන යන්ත්‍රයක් භාවිතා කරනවානම් යන්ත්‍රයට දාන්න පෙර පැල්ලම් ඇති තැන බේකින් සෝඩා ටිකක් දමා අතුල්ලනන. 
  • ළදරුවන්ගේ නැපි සහ ඇඳුම්වල මල මුත්‍ර ගන්ධය ඉවත් කරන්නත් බේකින් සෝඩාවලට හැකියාව තියනව. සේදීමෙන් පසු ළදරු සමට අසාත්මිකතා ඇති කරන්නේ නැහැ.
බුමුතුරුණු, කාපට්, පාපිසි  සඳහා 
  • බුමුතුරුණු වල ආහාර පාන වැටුණු පල්ලම් ඇත්නම් විනාකිරි ටිකක් දමා ඒ මත බේකින් සෝඩා ඉසින්න. බුබුළු දැමීම නතරවූ පසු වියලි රෙදි කැබැල්ලකින් තෙත හින්දවා වැකුම් කරන්න.
  • වමනය දැමීමක් වුවහොත් ඒ මත වැසෙන්නම බේකින් සෝඩා දමා පරණ තුවායකින් වසා පැය කිහිපයක් තබන්න. වියලුනු කොටස් පිසදමා ඉවත්කර වැකුම් කරන්න. දුගන්ධයක් ඉතිරි නොවේ.
  • තෙල් හෝ ග්‍රීස පැල්ලම් මතට බේකින් සෝඩා දමා මිනිත්තු 15ක් පමණ තබා  ඒවා උරාගත් පසු වැකුම් කරන්න.
  • පාපිසි පිරිසිදු කරන්නත්, වාහනවල කාපට් පිරිසිදු කරන්නත් යොදාගන්න පුළුවන්.
නිවසේ වෙනත් ස්ථාන සඳහා 
  • සපත්තු තබන ස්ථානවල ගන්ධය නැතිවීමට පරණ මේස් එකක් තුලට බේකින් සෝඩා දමා ගැටගසා  ඒ අසලින් තබන්න. අල්මාරි සහ කබඩ් තුළ තැබීමටත් සුදුසුයි.
  • දුගඳ හමන සපත්තු තුලට බේකින් සෝඩා ඉස රැයක් විවෘත තැනක තබන්න. 
  • කුඩා දරුවන් මුත්‍ර කළ මෙට්‍රස් මතට බේකින් සෝඩා දමා තැබීමෙන් ගඳ ඉවත්වේ. 
  • දරුවන් බිත්තිවල ඇඳි ක්‍රෙයෝන් ලකුණු ඉවත්කිරීමට ඒ මත තෙත බේකින් සෝඩා තලපයක් මෙන් අතුරා ටික වෙලාවක් තබා පිස දමන්න. 
  • වතුර බේසමකට බේකින් සෝඩා මේස හැන්දක්  දමා දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිදු කරගන්න හැකියි.
  • Stuffed toys පිරිසිදු කරන්නට ජල බේසමකට සේදුම් දියර සහ බේකින් සෝඩා මේස හැඳි කිහිපයක් දමා රැයක් පෙගෙන්න තබා සේදුම් යන්ත්‍රයේ හෝ අතින් සෝදා හොඳින් වේලාගන්න.
  • ගෘහභාණ්ඩ මත ඇතිවූ පැල්ලම් ඉවත් කරන්නත් යොදාගන්න පුළුවන්.
  • පරිසරය සුවඳවත් කිරීමට Air freshner එකක් සාදා ගැනීමට: කුඩා විදුරු බඳුනකට බේකින් සෝඩා කෝප්ප 1/3ක් දමා සුවඳ තෙල් (කුරුඳු තෙල්, කරාබුනැටි තෙල්, ලෙමන් ඔයිල් වැනි) බින්දු 10-15 දමා තුනී රෙදිකඩකින් බඳුන වසා තබන්න. සුවඳ කාන්දු වේ. සුගන්ධය අඩුවනවිට බඳුන සොලවන්න.  මෙයට වතුර කෝප්ප 3/4 දමා ස්ප්‍රේ බෝතලයක් තුලට දමා ස්ප්‍රේ කරන්නත් පුළුවන්. 
පුද්ගලික ස්වස්ථතාව උදෙසා 
  • උදරයේ අම්ල ගතිය වැඩිවූ විට වතුර වීදුරුවකට බේකින් සෝඩා තේ හැන්දක් දමා දියකර සෙමෙන් පානය සුව ගෙනදෙයි. 
  • අධික උණුසුම නිසා හෝ ඉර එලියට අධිකව නිරාවරණය නිසා හෝ කුඩා කෘමින් සපාකෑම නිසා සමේ කැසීම් ගතියක් ආ විට ඇල් ජලයට බේකින් සෝඩා මිශ්‍රකර එම පෙදෙස් ජලයේ ගිල්වගෙන සිටීමෙන් සුවයක් දැනෙයි. 
  • ෂැම්පු හා කන්ඩිෂනර් ලෙසත් යොදාගන්න පුළුවන්. වතුර කෝප්ප දෙකකට බේකින් සෝඩා මේස හැන්දක් දමා එම වතුරෙන් හිස් කබල හොඳින් මසාජ් කරමින් පිරිසිදු කරන්න. පොල්තෙල් සහ බේකින් සෝඩා මිශ්‍රණයක් කන්ඩිෂනර් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. 
  • face wash: බේකින් සෝඩා මේස හැන්දකට ඕට් පිටි තේ හැඳි දෙකක් දමා වතුර ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ගා හෙමින් අතුල්ලා හොඳින් සෝදා හරින්න. 
  • පාද සඳහා: උණුසුම් ජල බේසමකට බේකින් සෝඩා කෝප්ප 1/4 සහ දෙහි හෝ ලෙමන් යුෂ බින්දු කිහිපයක් එක්කර මිනිත්තු 15ක් පමණ පාද එම වතුරේ තබා හොඳින් මසාජ් කරන්න. ඉන්පසු තෙත පිසදා වියලාගන්න.
  • කිහිලි වල දුගඳ නැති කිරීමට: බේකින් සෝඩා කෝන් ස්ටාර්ච් සමග මිශ්‍ර කර, තෙත තලපයක් මෙන් සදා කිහිලි පෙදෙස්වල ආලේප කර මිනිත්තු කිහිපයකින් හොඳින් සෝදන්න. 
  • hair brush පිරිසිදු කිරීමට: බ්‍රෂ් එක ගිල්ලවන්න හැකි බඳුනකට ජලය ගෙන එයට බේකින් සෝඩා තේ හැන්දක් හා ෂැම්පු ස්වල්පයක් දමා හොඳින් කලතා බ්‍රුෂ් එක ටික වෙලාවක් එහි තබා රැඳී ඇති කෙස් ඉවත්කරමින් පිරිසිදු කරගන්න.    
සුරතල් සතුන් උදෙසා
  • සුරතල් සතා නිදන රෙදි, කොට්ට ආදිය බේකින් සෝඩා යෙදු  වතුරෙන් සෝදන්න. 
  • මාළු ටැංකි පිරිසිදු කිරීම සඳහා මසුන් ඉවත්කළ ටැංකියට  බේකින් සෝඩා යෙදු වතුර දමා පැය කිහිපයක් තබන්න. ඉන්පසු ස්පොන්ජ් එකකින් මැද හොඳින් සෝදන්න. විදුරුවල ඇලී ඇති අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත්වේ. 
මෙතන ප්‍රයෝජන 45+ක් මම ලියා තියනව. අන්තර්ජාලයේ බැලුවොත් තව ඕනෑතරම් යොදාගැනීම් තියනව. හිතෙන ඒවා අත්හදා බලන්නත් පුළුවන්. දරුවන්ට සෙල්ලම් කරන්න පරීක්ෂණ කරන්න ගන්න පුළුවන් වසක් විසක් නොවෙන නිසා. ඒ වගේම මිලෙනුත් අඩුයි. බහුලව ගන්නත් තියනව. 

අපි එදිනෙදා භාවිතා කරන රසායන ද්‍රව්‍ය බොහොමයක් සඳහා බේකින් සෝඩා ඉතා හොඳ විකල්පයක් බව දැනගෙන යොදාගැනීම වගේම එමගින් පරිසරයට අපෙන් ලැබෙන ධනාත්මක දායකත්වයයි  වඩාත් වැදගත් වෙන්නේ. 

උදව්: 
www.tasteofhome.com/50-clever-ways-to-clean-with-baking-soda
Oconto.extension.wisc.edu/files/2011/02/Baking-Soda
www.healthline.com/nutrition/baking-soda-benefits-uses
www.bestcordlessvacuumguide.com/cleaning-with-baking-soda/
www.thespruce.com/baking-soda-homemade-cleaner

10 comments:

  1. සෑහෙන්න දැනුමක් ලබාදෙන ලියවිල්ලක්. ස්තූතියි ඔබට!

    ReplyDelete
    Replies
    1. ඒ දැනුම යොදවල පරිසරය රැකගැනීම කළොත් ලොවටම වාසිය. ස්තුතියි.

      Delete
  2. දැනුම් සම්භාරයක් ලබා දුන්නාට ස්තුතියි බුද්ධිනී

    ReplyDelete
    Replies
    1. දිරියට ස්තුතියි අශෝකා

      Delete
  3. මේ ලිපිය වටිනවා.ස්තූතියී මිතුරිය ජයවේවා ලියන්න ගත්තට.

    ReplyDelete
    Replies
    1. දන්නා දේ ලිව්වම කවුරු හරි ප්‍රයෝජන ගනීවිනේ. ස්තුතියි.

      Delete
  4. වටිනා තොරතුරු දැක්වීමක් ස්තුතියි
    ඒ වගේම බෙිකින් සෝඩා කල් ඉකුත් වීම සිදුවන්නේ නම් එහි ස්වභාවය පැහැදිලි කරල දෙන්න පුලුවන්ද සොයුරිය

    ReplyDelete
    Replies
    1. පාවිච්චියෙන් පසු හොඳින් වසා තියන්නේ නම් බේකින් සෝඩා අවුරුද්දක් වුනත් භාවිතා කරන්න පුළුවන්. පිටතට නිරාවරණය වෙලා ජලවාෂ්ප උරා ගත්තොත් එහි ක්‍රියාකාරිත්වය අඩුවෙනවා. බේකින් වලට පාවිච්චි කරද්දී අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර යොදන්න වෙනවා. ශීතකරණයේ ගන්ධය අඩු කරන්න විවෘත බඳුනක තියන ඒවානම් මාසයකින් අයින් කරන්න ඕන. ඒ වෙද්දී එහි ගඳ උරාගැනීමේ හැකියාව උපරිම වෙනවා.
      බඳුනකට බේකින් සෝඩා ස්වල්පයක් දමා දෙහි ටිකක් හෝ විනාකිරි ටිකක් දැමුවිට බුබුළු නගිනවා නම් ඒවා භාවිතයට සුදුසුයි.

      Delete