Wednesday 21 August 2019

ගෙවත්තේ වවන විෂ සහිත මල්වර්ග

වාසනාව ළඟා කරගැනීම උදෙසා නිවෙස තුල තබා තිබුණු ශාකයක පත්‍රයක් කෑම නිසා රෝගී වූ දරුවෙක් ගැන ලඟදි වෛද්‍යවරු ලියා තිබුනා. අපි නොදන්නවා වුණත් අප අවට විෂ සහිත ගස් වගේම, මල් පිපෙන ශාකත් බොහොමයක් තියනව.
ගෙවත්තට වර්ණය හා අලංකාරය එකතු කරන මේ මල්වර්ග වවන්න එපා කියල නෙමෙයි කියන්නේ. ඒ ගැන දැනුවත් වී සැලකිලිමත් වෙන්න කියල. විශේෂයෙන් පොඩි දරුවන් හා සුරතලයට ඇතිකරන සතුන් සිටින ගෙදරක වැඩි අවධානයක් යොමු කරන්න.

1. හයිඩ්රෙන්ජියා Hydrangea :
ඉතා අලංකාර නිල්පාට  හා රෝස පාට පොකුරු මල් පිපෙන හයිඩ්‍රන්ජියා  ගෙවත්තකට හැඩයක් එකතු කරනවා. එහෙත් බල්ලන් බළලුන් මේ මල් කුඩා කොටස් හපන්න කැමතියි. සයනයිඩ් යන්තම අඩංගු මෙම මල් වැඩි ප්‍රමාණයක් ශරීරගත වීම කුඩා සුරතලුන්ට භයානක තත්ත්ව ඇති කරන්න පුළුවන්. මිනිසුන්ට විෂ නැතිවුණත්. වැඩි ප්‍රමාණයක් ශරීර ගතවීමෙන් වමනය, පාචනය, මලානික ගතිය ඇතිකරවන්න පුළුවන්.

2. ක්ලෙමටිස් වර්ග Clematis: විශාල මල් පිපෙන මල්වැල් වත්තකට ආශීර්වාදයක් වුණත් ක්ලෙමටිස් වැලක් ගැන සැලකිලිමත් වෙන්න ඕන මල්වල විෂ සහිත බවත්, අසාත්මික විය හැකිත් නිසයි. මෙම පුෂ්පයෙහි ග්ලයිකොසයිඩ් වර්ගයක් වන ඇනිමොනින් අඩංගුයි. එම දල විෂ මිනිසුන්ටත් සතුන්ටත් අසාත්මිකතා ඇතිකරනවා. ක්ලෙමටිස් පුෂ්පය  ඇල්ලීම වුනත් සමහරුන්ට අසාත්මික වෙන්න පුළුවන්. ඒ නිසා අතු කපන වෙලාවට ග්ලවුස් පාවිච්චි කරන්න ඕන. යම් හෙයකින් මේ මල් සැපුවොත් කටේ දැවිලි ගතියක් ඇතිවෙන්න පුළුවන් වගේම කුඩා ගෙඩි හෝ තුවාල ඇතිවෙන්න ඉඩ තියනව.
මලේ තිත්ත රසය හින්ද සත්තු  කන්නේ නැතිවුණත් යම් විදියකින් කැවුනොත් අශ්වයන් පවා දැඩි ලෙස කෙල වැගිරීම, විඩා ගතිය පෙන්වනවා. ඉක්මනින් මේ ලක්ෂණ පහවෙලා යනවා.

3. වරා Calotropis :
මුහුදුබඩ ප්‍රදේශවල ඉබේ හැදෙන වරාමල් සුදු හෝ දම් පාටින් පොකුරු පිපෙන්නේ. වරා ශාකයේ හැම කොටසක්ම පාහේ බෙහෙත් විදියට ගන්නවා වුණත්, හරිහැටි නොදැන හිතුමතේ භාවිතා කරන්න සුදුසු නැති ශාකයක්. අවශ්‍ය කොටස් ගන්න ඕනේ ඒ ගැන හොඳ දැනුමක් තියන අයගේ උපදෙස් පරිදි  ප්‍රමාණවත් මාත්‍රා වලින් පමණයි. මෙහි කඳේ හා පත්‍රවල ඇති කිරිවල කැලොට්‍රොපින් අඩංගුයි. ඒ මගින් ඇස් අන්ධ වෙන්න පුළුවන්.

4. කනේරු Oleander: රතු, රෝස, කහ, සුදු ආදී විචිත්‍ර වර්ණයෙන් යුක්තව අතිශය සුවඳවත් මල් පොකුරු පිපෙන නිසා ගෙවත්තකට එකතු කරගන්න ආස හිතෙන ශාකයක් කනේරු.  වැඩි සාත්තුවක් නැතිව හැදෙන නිසාත්, අඩු ජල සැපයුමකින් වුනත් වැඩෙන නිසාත් උද්‍යාන අලංකරණයට බහුලව යොදා ගැනෙනවා.
කහ පාට කනේරු බීජය විෂ සහිත බව වැඩිදෙනෙක් දන්නවා වුනත්, සැම වර්ගයකම කනේරු ශාකවල සියලුම කොටස් විෂ සහිතයි. මලක කොටසක් වුණත් කුඩා දරුවෙක්ට භයානක ප්‍රතිඵල ඇති කරන්න පුළුවන්. කනේරු ශාක පුරාම හර්දයට විෂ සහිත Cardiac glycoside තියනවා. මෙම මල් ජලයට වැටීමෙන් එම ජලය පවා විෂ වෙන්න හැකි නිසා ජල මුලාශ්‍ර ආශ්‍රිතව වැවීම නොකළ යුතුයි. ශාක කොටස් පිලිස්සීමෙන් නැගෙන දුම් ද විෂ සහිතයි. මෙම මලෙන් මි මැස්සන් පැණි ගෙන සාදන මි පැණි පවා විෂ වෙන්න පුළුවන්.  කනේරු විෂ ශරීරගත වීමේ ලක්ෂණ වන්නේ විජලනය, හර්දය ක්‍රියාකාරිත්වය අඩුවීම, උණ, අතපය අනිච්ඡානුග ලෙස ගැස්සීම,වමනය, පාචනය  ආදියයි. ප්‍රතිකාර පමා වුවහොත් මරණය පවා ඇතිවන්න පුළුවන්.

5. නියඟලා Gloriosa : අතිශය රමණිය මලක් වන නියඟලා සැදෙන්නේ වැල්වලයි. මුළු ශාකයම විෂ සහිත වන අතර දහවලට අලයේ විෂ වැඩි බවත්, රාත්‍රියට මලෙහි විෂ වැඩි බවත් සඳහන්. ආයුර්වේදයේ ඖෂධයක් ලෙස භාවිතා කළත් නිසි මාත්‍රාව හා සංයෝජනය නොදැන  ආහාරයට නොගත යුතු ශාකයකි. බොහෝවිට හුලන්කිරිය අලය ලෙස වරදවා වටහාගෙන අහරයට ගැනීමෙන් සිදුවූ මරණ වාර්තා වෙලා තියනවා. පානිය ජලය ඇති ස්ථානවල වැවී තිබීමත් සුදුසු නැහැ.
විෂ ශරීර ගතවූ පසු බඩ රිදීම, වමනය, ලේ පාචනය  වැනි  ලක්ෂණ දකින්නට හැකි අතර, හර්දය, වකුගඩු, පෙනහළු ආදී ප්‍රධාන ඉන්ද්‍රියයන්ට හානි පමුණුවන නිසා මරණය අත්වේ.

6. බාලොලියා/ ගඳපාන Lantana: වල් පැලෑටියක් ලෙස සැලකෙන ඉතා සරුවට කැලෑවට හැදෙන වසර පුරා වර්ණවත් පොකුරු මල් පිපෙන පඳුරු ලෙස වැවෙන ශාකයක්. ඉදුණු ඵල මිහිරි රසකින් යුක්තයි. පැල සකසන්නන් නව ප්‍රභේද පවා සැදීමට යොමුව ඇත්තේ මල්වල සුන්දරත්වය නිසයි. එහි ඇති මිහිරි සුවඳ හා මල්පැණි මි මැස්සන්, සමනලුන් ආකර්ෂණය කරගැනීමට සමත් වෙනවා.
මෙම ශාකයේ සියලු කොටස් අක්මාවට හානිකරන විෂ සහිතයි. (Liver  toxin ). මෙම ශාකයේ කොටස් අනුභවය මානසික අවපිඩනය, තෙහෙට්ටුව ඇති කිරීමට හේතු වන අතර, වැඩිපුර අහරයට ගැනීම නිසා වමනය හා අක්මාවේ ක්‍රියාකාරිත්වයට හානි  ඇතිවිය හැකියි.

7. රෝඩෝඩෙන්ඩ්‍රන් Rhododendron :
පඳුරු  ලෙස මද සෙවනේ වැඩෙන, අලංකාර පොකුරු ලෙස සුදු, රෝස, දම්, රතු වර්ණයන්ගෙන් යුක්තව පිපෙන රෝඩෝඩෙන්ඩ්‍රෝන් උද්‍යාන අලංකරණයේ බහුලව යොදාගන්න ශාකයක්. ඇසිලියා ලෙසද හඳුන්වන්නේ මෙම වර්ගයේම ශාකයි. බෝ කරගැනීම පහසු නිසාත්, දීර්ඝ කාලයක් මුළුල්ලේ මල් පිපි පවතින නිසාත් එතරම් උස නොයන නිසාත් බොහෝ දෙන මෙම ශාකයට ප්‍රියයි.
පෙත්තක කුඩා කොටසක් කෑමට ගත්තත් ඇස් දැවිල්ල හා වමනය ඇතිවන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුතා සහ රුධිර පීඩනය අඩු කරන මෙම මල්, වලිප්පු තත්වයන් ඇතිකර සිහි මුර්ච්ඡා කරවීමට සමත්. මරණය සිදුවීමට නම් මල් විශාල ප්‍රමාණයක් ශරීරගත විය යුතුයි. සුරතල් සතුන් මෙම ශාකයෙන් ඇත්කර තැබීම වඩා සුදුසුයි.

8. මෝනිං ග්ලෝරි Morning Glory: නිල්, දම්, රෝස පැහැ මල් හටගන්නා ගිරිතිල්ල  කුලයේ වැල් වන මේවයේ මල් උදේ කාලයේ පිපි ඉක්මනින් පරවී යනව වුණත්, වර්ණ හා හැඩයේ විචිත්‍ර බවත්, නඩත්තුව අපහසු නොවන නිසාත් හොඳින් අව්ව ඇති උද්‍යානවල, ගෙමිදුල්වල  පිපි තිබෙනු දැකිය හැකියි. මලේ විෂ බවක් නොමැති වුවත් බිජවල විෂ සහිත ලයිසර්ජික් අල්කලොයිඩ් අඩංගුයි. ආහාරයට එක්වීමෙන් පාචනය ඇතිවිය හැකියි. විශාල ප්‍රමාණවලින් ශරීර ගත වුණහොත් අක්මාවේ ක්‍රියාකාරිත්ව දෝෂ  ඇතිවෙන්නත් පුළුවන්.

9. මිනීමල් Periwinkle:
මිනි පිට්ටනිවල පොලව වසාගෙන ඉබේ හැදෙන නිසා මෙම නම ලද, දම් රතු හා සුදු වර්ණ මල් පිපෙන කුඩා ශාක තරමක විෂ සහිතයි. දේශීය වෛද්‍ය ක්‍රමවල අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ලෙස යොදාගත්තත්, හිතුමතේ භාවිතය සුදුසු නොවන්නේ වැඩි මාත්‍රා හේතුවෙන් රුධිර පීඩනය පහත වැටීමේ ඉඩක් ඇති නිසයි. දියවැඩියාව සුව කිරීමටත් යොදාගන්න ශාකයක් වෙන මෙහි ඇල්කලොයිඩ් සමුහයක් අඩංගුය.

10. ඩෑෆඩිල් Daffodil : ලොව පුරා වර්ග දහස් ගණනක් පැතිරී ඇති අලංකාරයට හා සැරසිලි සඳහා ගන්න ශාකයක් වන ඩෆඩිල් ලංකාවේ තවම ගීතවලට පමණක් සිමා වී තිබෙන මලක්. එහෙත් ඊට සුදුසු පරිසර තත්ත්ව ඇති නිසා වගාකරුවන්ගේ අවධානය යොමුවෙන්න පුළුවන්. පොලවට ආසන්නව මල් පිපෙන ශාකයක් වෙන මෙහි සුදු, කහ, තැඹිලි වර්ණවලින් යුතු මල් පිපෙයි.
විෂ සහිත ලයික්‍රොනින් අඩංගු වෙන්නේ බල්බවලයි. එහෙත් මල සමහරුන්ට ඉස රදය වැනි අසාත්මිකතා ඇති කරනවා.  සැපීම තුලින් පෙති ශරීරගතවීම නිසා වමනය, ඔක්කාරය, පාචනය, හර්ද ක්‍රියාකාරිත්වයේ අසමානතා ඇතිවෙන්න පුළුවන්. සතුනට  හාරගත හැකි තරම් අඩු ගැඹුරක පස තුල බල්බ තියෙන නිසා පැලය මිය ගිය පසුත් එය තිබු තැන ගැන අවධානයෙන් සිටීම වැදගත්.

මිනිසුන් සාමාන්‍යයෙන්ම තමනට හොඳ නැති දේ කරා ඇදී යන සත්ව වර්ගයක්.  සමහර අලංකාර මල් අපිටත් අපේ ආදරණීයයන්ටත් විපත් ඇති කරන්න පුළුවන්. එහෙම කියල ලස්සණ මල් වවන්නේ නැතිව ඉන්න බැහැනේ. අයහපත් පැත්ත ගැන දැනුවත් වෙලා, ඒ ගැන අවධානයෙන් සිටිමින් එහි සුන්දරත්වය විඳීමයි කල යුත්තේ.
උදව්:
https://balconygardenweb.com
https://gardenerspath.com
www.thedailygardener.com
අපේ ඔසුපැල Medicinal Plants of Sri Lanka

11 comments:

  1. හම්මේ..... අනික්වා කෙසේ වෙතත් නම් හයිඩ්රෙන්ජියා විසයි කියලා කොහොමටවත් දැනගෙන උන්නේ නැහැනේ! ඔක්කොම මල් ජාති නම් තියෙනවා, තාම කන්න හිතිලා නැහැ. ඔය අතරට අර lucky plant කියන එකත් මේ ළඟදී එකතු උනා නේද? අපේ අම්මගෙන් බේරුමක් නැහැ ඒක උසික්කා කරන්න කියල. අනේ බැහැ අප්පාහරි ලස්සන පැලේ !

    ReplyDelete
    Replies
    1. කන්නනම් එපා නොදන්නා මල්. ලකී ප්ලාන්ට් කොළ වර්ගයක්නේ. ඒවා ගැන හැමෝම කතාවෙනව. මල් ලස්සන හින්දද කොහෙද විස ගැන කවුරුත් කියන්නේ නැහැ. ඒ හින්ද මේ ලිව්වේ. අම්මල කියන දේවල් දු ලා අහන්න ඕනේ ..

      Delete
  2. මේ සමහර ශාඛ විෂ සහිත බව දැනගෙන හිටියෙ නෑ. ස්තුතියි.
    සමහර ශාක වල කටු විෂ සහිතයි. ගෙවතු වල වගා කිරිමට ප්‍රිය බෝගන්වීලියා එවැන්නක්. ඒ කටුවක් ඇනී දහ දොලොස් වරක් ඔපරේෂන් කරලා අන්තිමට කකුල කැපීමට සිදුවූ සත්‍ය පුවතක් කලුතරදී ඇහුවා.

    ReplyDelete
    Replies
    1. විස කටු තියන ගස් වර්ග බොහොමයක් තියනව. ඒවා ගැන ලියවිලත් තියනව. මල් ගැන ලිව්වේ ඒ ගැන වැඩි කතාබහක් නැති නිසා.ස්තුතියි.

      Delete
  3. මීමන විශයිද

    ReplyDelete
    Replies
    1. සමහර වර්ග සතුන්ට විෂයි. ආහාරයට ගන්න හැකි වර්ගත් තියනව. මීමන සපුෂ්ප ශාක නොවේ.

      Delete
  4. දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්ත ස්තූතියි

    ReplyDelete
  5. අපොයි දෙයියනේ පොඩි කාලෙ බාලොලියා ගෙඩි කාලත් තියනව 🙊

    ReplyDelete
    Replies
    1. මාත් කාල තියනව. එකවර ගොඩක් කෑවොත් තමයි අහිතකර.

      Delete