Wednesday 26 June 2019

ගූගල් ඩූඩල් ජූනි: පළමු ආචාර්ය උපාධිධාරිණිය හා ලෝක කුසලාන

ජුනි 5: එලේනා පිස්කෝපියා (ලොව ප්‍රථම PhD උපාධිධාරිණිය)

කාන්තා අධ්‍යාපනය ගැන ලොව අඩුම අවධානයක් තිබු සමයෙක උපතින් ලද බුද්ධිය ඔප මට්ටම් කරගෙන ඉන් පෙර කිසිදු කාන්තාවක ලබා නොතිබූ උසස්ම උපාධියක් ලද කාන්තාවක උපත ලද දිනයයි ජුනි 5 දින ගූගල් ඩූඩලය සිහිපත් කරන්නේ.
1646 ජුනි 5වන දින ඉතාලියේ වැනිසියේ උපත ලද එලේනා කෝනරෝ පිස්කෝපියා ගේ දෙමාපියන් ඇය කුඩා වියේදීම ඈ සතු සුබග බුද්ධිය වටහා ගත්හ. අවුරුදු හතේදීම ලතින් හා ග්‍රීක් භාෂා ඉගෙනීමට ඇයව යොමු කරන ලද්දේ ඒ නිසාය. ඇය ඉතා ඉක්මනින්ම ප්‍රංශ, හිබ්රු, අරාබි  හා ස්පාඥ්ඥ භාෂාවන් හිද සමත්කම් දැක්වූවාය. මෙලෙස භාෂා හතකට දක්වන ලද ප්‍රවීනත්වය නිසා ඇයට Oraculum Septilingue  තත්වය ලැබුණි. භාෂා හැදෑරීමට අමතරව එලේනා ගණිතය, තාරකා විද්‍යාව, සංගීතය, දේව ධර්මය මෙන්ම දර්ශණය ද උගත්තාය.
ඇයගේ බුද්ධි මහිමය හා සමත්කම් පැතිරීමත් සමග විවිධ විද්වත් සමාජවලට සම්බන්ධ වීමට ඇරයුම් ලැබෙන්නට විය. අවුරුදු 24දීම වැනිසියේ සාමය සඳහා වූ ඇකඩමි සමාජයේ සභාපති වීමේ වරමත් වෙනත් බොහෝ සමිති සමගම්වල් නිලතල දැරීමේ වරමත් ඇයට ලැබුණි. ඈ ඒ පසුපස ගියේ නැතත් ඒවා ඇය සොයා ආහ.
1672 දී ,  එලේනා ඉතාලියේ පාදුවා විශ්ව විද්‍යාලයට බැඳුනාය.  ඇයගේ දේවධර්ම ගුරුවරයා හා දර්ශනය ගුරුවරයා ඇයහට ආචාර්ය උපාධි ලබාදෙන ලෙස විශ්ව විද්‍යාලයෙන් ඉල්ලීම් කළහ. දර්ශන විෂයය සඳහා ආචාර්ය උපාධියක් ලබාදීමට එකඟ වුවත්, කාන්තාවක වීම නිසා දේව ධර්මය උදෙසා උපාධියක් ලබාදීමට පල්ලියෙන් අවසර නොලැබුණි. ඇය ගේ වාචික විභාගයේ ඉදිරිපත් කිරීමේ සාර්ථකත්වය නිසා උපාධි ප්‍රදානෝත්සවය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු, සිසුන්, සෙනෙට් සභිකයන් හා වෙනත් විශ්ව විද්‍යාලවල ආරාධිත විද්වතුන් සමුහයක් ඉදිරියේ පැවැත්වුණි. එහිදීද ඇය පුරා පැයක ව්‍යක්ත දේශනයක් ඉදිරිපත් කළබව සඳහන් වේ. මෙලෙස වයස 32 දී එලේනා ලැබූ ආචාර්ය උපාධිය ලෝකයේ කාන්තාවක ලබාගත් ප්‍රථම අචාර්ය උපාධියයි.
ඉගෙනීම අතරම දුප්පතුන්ට සේවය සැලසීමත්, පාදුවා විශ්ව විද්‍යාලයේ ගණිත ආචාර්යවරියක ලෙස කටයුතු කිරීමත්  දිගටම කරගෙන ගියාය. යුරෝපය පුරා විවිධ සංගම් වලින් ලැබෙන තනතුරු හා දේශන ඉල්ලීම්වලින් අඩුවක් නොමැති වුවත්,  ඒ හා සමග ක්ෂයරෝගී තත්වයත් පැමිණියේය. එම රෝගය හේතුවෙන් වයස 38 දී මේ අපුර්වතම දිවියෙන් සමුගත්තද 17 වන සියවසේ ඇයගේ ගමන්මග ඉන්මතු කාන්තාවන්ට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහලටම යන්නට පෙරමග සලකුණු  තැබීය.

ජුනි 7 න් ඇරඹුණු ලෝක කාන්තා පාපන්දු තරගාවලිය. FIFA Womens' World Cup 
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක් සහභාගි වන ලෝක ක්‍රිකට් තරග එංගලන්තයේ පැවැත්වෙන අතර, ලොව රටවල් 24ක් සහභාගි වන ලෝක කාන්තා පාපන්දු තරග ප්‍රංශයේ ලියෝන් හිදී  ජුනි 7 වැනිදායින් ඇරඹී, මාසයක් මුළුල්ලේ  පැවැත්වේ. සත්කාරක රට වන ප්‍රංශයේ නගර 9ක තරග සංවිධානය කර තිබේ.
තරගාවලිය පැවැත්වෙන දින වැඩි ගණනක ගුගල් මුල් පිටුවේ පළවුයේ ඒ සම්බන්ධිත ඩූඩලයන්ය. මෙම ඩූඩල නිර්මාණය කර ඇත්තේ තරග වදින රටවල කාන්තාවක බැගිනි. ඒ අනුව ඩූඩල් 24ක් නිර්මාණය වී ඇති අතර දින 24ක් ගුගල් මුල් පිටුවේ ඒවා පලවෙනු ඇත. ඒවායින් කිහිපයක්ම පහත දැක්වෙන පින්තුරයෙන් දැකගත හැකිවේ. GOOGLE වචනය දෙපස ඇත්තේ නිර්මාණය කළ රටේ ජාතික කොඩියයි.


පිරිමි  FIFA ලෝක කුසලාන තරග මෙන්ම 1991 සිට නොකඩවා වසර හතරකට වරක් පවත්වාගෙන යන කාන්තා තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ අටවෙනි වරටයි.  කණ්ඩායම් 24න් 7ක්ම නොකඩවා අටවෙනි වරටත් තරගාවලියේ සහභාගිත්වය සිදුකරන අතර, චිලි රට, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව හා ජැමෙයිකාව සුදුසුකම් ලබා ඇත්තේ මුල් වරටයි.
පසුගිය වර ඇතුළු තුන්වරක් ඇමරිකා එක්සත් ජනපදය කුසලානය දිනාගෙන ඇති අතර,  ජර්මනිය දෙවරක්ද, නොර්වේ හා ජපානය එකවරක් බැගින් ද ජයග්‍රහණය ලබා ඇත.
තරග ඇරඹීමට බොහෝ දිනකට පෙර ඔන්ලයින් මගින් ටිකට් විකිණී අවසන් වන මෙම තරගාවලියේ ටිකට් ගැනීමද තරගයක් වී ඇති බවයි පෙනෙන්නේ.
බොහෝ දෙනාගේ අවධානයට යොමුවූ තරගාවලියේ mascot එක වන්නේ Ettie නමැති කිකිළි පැටියාය.

දැනට අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන අතර, අවසන් පුරව තරග ජූලි 2 සහ 3 වන දිනවලත්, අවසන් තරගය ජූලි 7වන දිනත් පැවැත්වීමට නියමිතය.












උදව්:
www.britannica.com/biography/Elena-Cornaro
scientificwomen.net/women/piscopia-elena-79
www.google.com/doodles/elena-cornaro-piscopias
www.google.com/doodles/2019-womens-world-cup
https://www.fifa.com/womensworldcup/
en.wikipedia.org/wiki/List_of_FIFA_Women World_Cup_finals

4 comments:

  1. https://en.wikipedia.org/wiki/Hypatia

    ReplyDelete
    Replies
    1. Interesting. උගත් කාන්තාවෝ ඉතිහාසය පුරා හිටියා. එලේනා විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ගත් පලමුවැන්නිය..

      Delete
  2. දුර්ලභ විස්තර අඩංගු වටිනා ලිපියක්

    ReplyDelete