Friday 9 June 2017

පැරණි මොන්ට්‍රියල් නුවර Old Montreal: කැනඩාවේ සුවිශේෂ ස්ථාන 7

සාපේක්ෂව අලුත් රටක් වන කැනඩාවේ පැරණි නගරයක් ලෙස සඳහන් වන්නේ  අවුරුදු 300ක පමණ ඉතිහාසයක් ඇති නගරයි. 1642 දී ප්‍රංශ සංක්‍රමණිකයන් කිහිප දෙනෙක්ගේ පැමිණීමෙන් ජනාවාස වීම ඇරඹුන මොන්ට්‍රියල් නගරයේ දකුණු කොටසට වන්නට පිහිටි ඓතිහාසික කොටස Old Montreal ලෙසයි  හැඳින්වෙන්නේ.
මුලින් ප්‍රංශයට අයත් නගරයක් ලෙස ගොඩ නැංවී, 1760 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වූ නිසා 18 සියවසට අයත් ප්‍රංශ තේජස්වී පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය සහිත ගොඩනැගිලි හා 19 වන සියවසේ වික්ටෝරියානු සම්ප්‍රදායේ ඓතිහාසික වාණිජ ගොඩනැගිලි එකවර දැකගත හැකි ස්ථානයකි, පැරණි මොන්ට්‍රියල් නගරය.
බොහෝ දුරට පැරණි බව රැකගෙන සිටින මේ නුවර කඩ සාප්පු, බැංකු, කෞතුකාගාර, කලාගාර, සම්ප්‍රදායික හා නවීන ආපනශාලා මෙන්ම China Town එකක්ද ඇත. සම්පුර්ණ බිම හා පාරවල්  විශාල ගල් Cobble stone මගින් සැකසී ඇත.
මේ අතුරින් ඓතිහාසික ස්ථාන කිහිපයක් විස්තර කලොත්,
1. නගරය උපන් ස්ථානය Point-a-Callere : නගරයක් ආරම්භ කළ ස්ථානයක් සොයාගැනීම ලෝකයේම විරල
දෙයක්. මෙම නගරයට මුලින්ම ප්‍රංශ ජාතිකයන් ගොඩ බැස්ස ශාන්ත ලෝරන්ස් ගඟ අතු ගංගාවකට සම්බන්ධ වන ස්ථානය නගරයේ උපත සිදුවූ තැන ලෙස සිහිවටන ඵලකයක් හා කෞතුකාගාරයක් පිහිටවා ඇත. (ඔව්, ඊට පෙර ඇමරිඩියන් නම් ආදී වාසින් අවුරුදු දහස් ගණනක් ජිවත්ව සිට ඇත).


2. Place d'Armes : මොන්ට්‍රියල් නගරයේ අලංකාරම මහජන චතුරශ්‍රය
මෙයයි. නොට්ර් ඩෑම් බැසිලිකාව, පැරණි බැංකුව ඇතුළු පැරණි ගොඩනැගිලි වලින් වටවී ඇති මෙම ස්ථානයේ බිමත් සම්පුර්ණයෙන්ම ගලින් සාදා ඇත. මුල්ම සංක්‍රමණිකයා ඇතුළු තවත් අයගේ ප්‍රතිමා තැන තැන පිහිටුවා ඇති චතුරශ්‍රය වටා ඇති පටු දැකුම්කලු මාවත්වල එකල්හි බඳු අශ්ව කරත්ත ගමන් කරති. මොන්ට්‍රියල් හි පළමු උස තට්ටු ගොඩනැගිල්ලද මෙහි පිහිටා ඇත. 1888දී අලුත්ම දෙයක් වූ සෝපාන සහිත මෙය නිව්යෝක් ලයිෆ් ගොඩනැගිල්ල ලෙස හැඳින්වේ. (මුල්ම පින්තුරයේ දුඹුරු පැහැ ගොඩනැගිල්ල)

3. Notre-Dame බැසිලිකා පල්ලිය.: උස් සීලිම්, අසාමාන්‍ය ලෙස වර්ණවත් විදුරු හා අතිශය අලංකාර
ගොතික් කලා දක්නට ඇති මෙය 1824 ඉදිවූවකි. 1870දී නැවත වික්ටෝරියානු ක්‍රමයට අලංකාර කරන ලද මෙම පල්ලිය රමණිය ස්ථානයක්. ටයිටැනික් ගිය ගැයූ කැනේඩියානු ගායිකා සෙලින් ඩියෝන් ගේ විවාහය සිදුවූ ස්ථානය ලෙසද ප්‍රසිද්ධයි. (මුල්ම පින්තුරයේ උස කුළුණු දෙකක් ඇති ගොඩනැගිල්ල)

4. මොන්ට්‍රියල් නගර ශාලාව: එම්ප්‍රදෝරු ආකෘතියට අනුව 1872 දී සැදු ගොඩනැගිල්ලේ වටේ බිත්ති හැර සියල්ල 1922 මහා ගින්නෙන් විනාශ විය. එම නටබුන් ඇතුලතින් නැවත ප්‍රංශයේ City of Tours ආකෘතිය අනුව නව ගොඩනැගිල්ලක් තැනුනි.

5. කැනඩාවේ පළමු බැංකුව Bank of Montreal :උස් කුළුණු අතරින් පිවිසිය හැකි පැරණි අලංකාර
ගොඩනැගිල්ලේ ඇතුලතට ගොස් නැරඹීමටද හැකිය. මෙහි 19 වන සියවසේ බැංකු කටයුතු සිදුවූ ආකාරය සැබෑ ලෙස නිරුපනය කරන කෞතුක අංශයක් ඇත.

6.පැරණි වරාය: අතීතයේ සිට බෝට්ටු, අඟුල් හා ඔරු නැවැත්වූ, වෙළඳ ගණුදෙණු, විශේෂයෙන් ලෝම වෙළඳම සිදුවූ ස්ථානයයි. ඇතින් Jaques යකඩ
පැරණි වරාය.
පාලම දර්ශනය වේ.

1765දී  නගරය බ්‍රිතාන්‍යයන් යටතේ ගොඩනැංවීගෙන එන කාලයේ මහා ගින්නකින්, අනාථ ළමුන් සඳහා වූ නිවාසයක් ඇතුළු ගොඩනැගිලි ගණනාවක් විනාශ වී ඇත. නැවත 1852 ඇතිවූ මහා ගින්නට නගරයෙන් භාගයක් පමණ ගොදුරු වී ඇති අතර මිනිසුන් දසදහසකට පමණ නිවෙස් අහිමි වී තිබේ.

 සෑම මාවතකම පාහේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සෑදු නිවාස හා වාණිජ කටයුතු සඳහා භාවිතා කළ හා කරන ගොඩනැගිලි දකින්නට ලැබේ. මුර්ති, කැටයම් සහිත බිත්ති, ගෑස් ලාම්පු, වාර දෙකකදී සිදුවූ මහා ගිනි වලින් බේරුණු හෝ නැවත ප්‍රතිසංස්කරණය කරන ලද පල්ලි, නිවස හා ගොඩනැගිලි සංචාරක ආකර්ෂණය ලබයි.
වාණිජ ගොඩනැගිලිවල ප්‍රදර්ශන කවුළු 
ගල් ඇතිරූ පටු මාවත් 



ගිම්හානයේ ඉර බැසීම පමා සැන්දෑවක නගරයේ ගල් ඇතිරූ අලංකෘත මාවත් දිගේ, සුමුදු සුළං සුව විඳිමින් ගැවසෙන සෙනග අතර, මේ ප්‍රියමනාප ගෘහ නිර්මාණ ශිල්පයේ සුන්දරත්වය අතරින්, මලින් සැරසු අශ්ව කරත්ත නරඹමින් ඇවිද යා හැකි පැරණි මොන්ට්‍රියල් පරිසරය, අමුතුම ආකාරයේ ආශ්වදනිය අත්දැකීමක් ලබා දෙයි.

උදව්:
http://www.shorttrips.ca
montrealgazatte.com
China Town
බිත්ති මියුරල් 

2 comments:

  1. අද තමයි ඔයාගේ බ්ලොග් එකට මුලින්ම ආවේ , කැනඩාවේ ඉතිහාසය ගැන කියවලා නැති තරම් මේ ලිපිය නිසා කියවන්න හිතුණා. ස්තුතී ප්‍රංශ ගෘහ නිර්මාණවල උස ජනෙල් වලට මං හරිම ආසයි.

    ReplyDelete
    Replies
    1. ලිපි බොහොමයක කැනඩාවේ තොරතුරු තියෙනවා. බලන්න. අගය කිරීම සතුටක්

      Delete