Sunday 18 June 2017

ගහක් පුස්තකාලයක් වූ හැටි

ඇමරිකාවේ සාරා සැන්ඩර්ස් අවුරුදු ගණනකට කලින් ලොකු ගෙයක් ගත්තේ ගෙය ඉස්සරහට වෙන්න තිබුණු පැරණි විශාල සිඩාර් ගස් ගොන්නට ආශාවෙන්. අතුපතර විහිදිලා පරිසරයට අමුතුම අලංකාරයක් එක්කරපු අවුරුදු 100කටත් වඩා පරණ ගස් ගෙදරට අමුතු ආලෝකයක් එකතු කළා.
සිඩාර් ගස් හිමාලයේත්, මධ්‍යධරණී ප්‍රදේශවලත් උපත  ලැබු, ලෝකයේ බොහෝ දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙමින් අඩි 3 සිට 25 පමණ දක්වා උසිනුත්, වසර සිය ගණනක් දක්වා කාලයකුත් වර්ධනය විය හැකි ශාකයකි. 
රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවත්, තෙතමනය සහිත ස්වභාවය හේතුවෙන් ගිනි ගැනීමේ අවදානමක් නොමැතිවීමත් නිසා මෙය වටිනා ශාකයකි. පරිසරයට සිසිලක් එකතු කරන වැඩුණු ගස්වල කඳ මිහිරි සුගන්ධයකින් යුක්තයි. ස්වාභාවිකව නිපදවෙන ශාක තෙල් සුවඳට කෘමින් හා දිලිර ප්‍රිය නොකරන නිසා මෙම ගස් දිරාපත් වන්නේ කලාතුරකිනි. මෙයින් ලබාගන්න තෙල් අතීතයේ සිටම සුගන්ධකාරකයක් ලෙස භාවිතා කර ඇත. සිරුරු මමිකරන ක්‍රියාවලියේ දීත් සිඩාර් තෙල් භාවිතා කර ඇත. ඇමරිකාවේ ආදිවාසීන් විවිධ දේ සඳහා මෙම ශාකය උපයෝගී කරගෙන තිබේ.  බෝට්ටු, ආයුධ, ගෙදරදොරේ උපකරණ, ඇඳුම් නිපදවීමට මෙන්ම දැව සඳහා ද යොදාගෙන ඇත. මෙම දැවයෙන් සාදන භාණ්ඩ ඉතා දිගුකලක් පවතින නිසා නිවෙස් සැදීමට හා සෙවිලි කිරීමටත් යොදාගෙන ඇත. කිසිදු කොටසක් ඉවත නොදමන කප්රුකක් ලෙස සිඩාර් ශාකය ඔවුන් යොදවාගෙන තිබේ. 
සොලමන් රජු ජෙරුසෙලමේ ඇති කෝවිල සැදීමටත්,  මහා ඇලෙක්සැන්ඩර් රජු නැව් සෑදිමටත් සිඩාර් ලෑලි උපයෝගී කරගෙන ඇත. දැනට පැන්සල් හා ගෘහ භාණ්ඩ සැදීම සිදු කෙරෙයි.

මෙතරම් වටිනා හා පැරණි ශාක නිවසටත් ආඩම්බරයක් ලෙස තිබියදී සාරාට ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවිය. වසර 110ක් පැරණි මෙම අලංකාර යෝධයන්  ඇතුලතින් නරක්වීමට පටන් ගති. අත්තක් කඩා වැටීමත් සිදුවිය. ජනයා ගැවසෙන ප්‍රදේශවල තිබෙන මෙවැනි විශාල ගස් ගැන අවධානයෙන් සිටින නගර සභාව, තව දුරටත් නොවැඩෙන  දිරාපත්වන ලක්ෂණ පෙන්නුම් කරන මෙම ගස, යන එන මිනිසුන්ගේත් සාරා ගේ නිවසේ හා ගෙවත්තෙත් ආරක්ෂාව පිණිස කපා දමන ලෙස ඉල්ලා සිටියේය. 

ඉතා දුකින් වුවත් මියයමින් පවතින ගස් දෙකක්  ඉවත් කිරීමට  තීරණය කිරීමට සාරා ට සිදුවිය. දිරා වැටී තවත් කෙනෙකුට අනතුරක් සිදු කරනවට වඩා ඉක්මනින් මෙය ඉවත්කර, ප්‍රයෝජනවත් කාර්යයකට යොදවා ගැනීමට සාරා කල්පනා කළාය. ඇය ඉතාම ආදරය කරන මෙම ගස් ලීවලට හෝ දරට විකිනීම වැනි සරල අදහසකට වඩා වෙනස් වූ, සැමට ප්‍රයෝජනවත් දෙයකට යෙදවීමයි ඇගේ අරමුණ වුයේ.
මොකක්ද ඇගේ අරුමැති අදහස? 
ඇගේ වචනවලින්ම කිවහොත් " මම කලෙක ඉඳලම කුඩා පුස්තකාල ගැන කැමැත්තෙන් හිටියේ. මම හිතුව ගේ ඉස්සරහ ගහ තියන තැන පුස්තකාලයක් බවට පත්කිරීමට හොඳම තැන කියල." 

ගස කපා දැමුවත් මුල් මගින් පස ආරක්ෂාවෙන නිසා දිරාපත්වන තැනින් පහලට ගස් කපා දමන්නේ නැහැ. මේ නිසා සාරා ගේ සිඩාර් ගසේ පොලවේ සිට අඩි 12ක් පමණ ඉහලට ඉතිරි වෙන ලෙසයි ගස කැපීම සිදුවුයේ. 
පුස්තකාල අදහස ක්‍රියාත්මක කිරීමට සාරා තෝරා ගත්තේ ලීවලින් අපුරු නිර්මාණ කරන නිර්මාණ ශිල්පියෙක් වන ලැරී කාටර් වයි. කපා දැමු ගස්වලින් විවිධ නිර්මාණ කර තිබුනත් පුස්තකාලයක් සැදීමේ අරුම අදහස ඔහුට අභියෝගයක් විය. සිදු කරන්නේ කෙසේදැයි නිශ්චිත අදහසක් නොමැතිව වුවත් ඔහු එම අභියෝගය භාර ගත්තේ සතුටිනි. 
ගසේ ඉවත් කළ කොටස් වෙනත් නිර්මාණකරුවන්ට අලෙවිකරන අතරතුර ඔවුන්ගෙන් අදහස් ලබාගැනීම සිදුවිය. අවසානයේ පුස්තකාලය නිර්මාණය කරන අයුරුත්, ගසේ ඉතිරි කොටස් ඊට නවමු අලංකාරයක් එක් කරන වෙනස් ආකාර නිර්මාණවලට යොදවන සැටිත් පිලිබඳ දල අදහසකින් ඔහු නිර්මාණය ඇරඹිය. අවසානය කිසිවෙකුත් හිතුවට වඩා අපුර්ව ආකාරයේ එකක් විය. 

ගසේ ඉතිරි කොටස්වල ලොකු, කුඩා සතුන්ගේ පිළිරූ නිමවා ඔවුනට නම් දීමද සිදුකෙරුණි. සාරා ඈ සතුව තිබී පොත් දුසිම් ගණනක් එහි තැන්පත් කර අරමුණ සඳහන් කළාය. "එක පොතක් ගන්න. එක පොතක් තියා යන්න."
මේ අපූර්ව පුස්තකාලය ඉතා ඉක්මණින්
සියලු දෙනාගේ අවධානය ලබාගත් ස්ථානයක් විය.
 දවස පුරාම එහි පැමිණ නරඹන අයත්, පොත් හුවමාරු කරගන්නා අයත් සුලභ දසුනක් විය.
"මගේ පොත් ටිකවත් ඉතුරු වෙයිද කියන සැකය මුලදී තිබුණා. පොත් කියවීම අඩු මේ වගේ කාලයක සාර්ථක වෙයිද කියල එතරම් විශ්වාසයක් තිබුනේ නැහැ. ඒත් හිතුවටත් වඩා සාර්ථකව මෙය පරිහරණය කරන අය වැඩිවෙලා. සමහර වෙලාවට රාත්‍රියේ පවා විදුලි පන්දම් එළියෙන් පොත් පරික්ෂා කරන අය දකින්නට ලැබෙනවා". සාරා සතුටින් කියයි. 
කාටර් ස්වේච්චාවෙන්ම මසකට වරක් පැමිණ විවිධ තේමාවෙන් යුතු වූ තේමා පාඨ චාලි ලෙස නම්කළ විශාල වලසා අත තබා යන්නට අමතක කරන්නේ නැත. 
තමන් ආදරය කල ගස නැතිවීම තවමත් සාරා ට දුකක් වුවත්, ඇගේ දේපල තම ප්‍රජාවට යහපතක් වන ලෙස යෙදවීමට හැකිවීම ගැනත්, ආදරණිය ගස අලුත්ම පරිච්ඡේදයක් ඇරඹීම ගැනත් ගැන ඇය ප්‍රමෝදයට පත්ව සිටින්නීය.

උදව්: 
mostexitingplanet.com 
ellis.tyi/blog 
www.aboutcedartrees.com

6 comments:

  1. ඒකත් මරු කන්සෙප්ට් එක පොතකට පොතක් මාරු කරගන්න එක.

    ReplyDelete
    Replies
    1. ගිය මාසේ ඉඳල අම්බලන්ගොඩ හා මාතර දුම්රිය ස්ථානවල The Book Hub නමින් මේ වගේ ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. කට්ටියක් එකතු කරගෙන තවත් තැනක පටන් අරන් සම්බන්ධ වෙන්න.

      Delete
  2. The Book Hub ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන විදිය පැහැදිලි ක්ර දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. The Book Hub ව්‍යාපෘතිය ගැන මැයි 28 ඉරිදා ලක්බිම මංජුසාව සාහිත්‍ය අතිරේකයේ පළවුණු ලිපිය මෙතනින් බලන්න.
      http://www.lakbima.lk/…/2017/May/last_28_05_17/manjusawa.pdf

      Delete