![]() |
නිල් ඇඳුමින් ටෙරී සොයුරු සොයුරියන් සමග |
ඔහුගේ ජිවිතයේ වැදගත්ම අංශය වුයේ අරමුණක් කරා යාමේදී ඒ සඳහා වන කැපවීමයි. කුඩාකල සිටම බේස්බෝල් ක්‍රීඩාවේ නිරත වුනත් අටවන ශ්‍රේණියේ දී ටෙරිට උවමනා වූයේ බාස්කට්බෝල් ක්‍රීඩා කරන්නයි. ඒ වනවිට උස අඩි පහක් පමණක් වූ නිසා පුහුනුකරුගෙන් උපදෙස් ලැබුනේ දිගුදුර ධාවනයේ යෙදෙන ලෙස හෝ රෙස්ලින් ක්‍රීඩාව කරන ලෙසයි. දුර දුවන අතරතුරත් ඔහු පාසල් බාස්කට් බෝල් කණ්ඩායමට එකතුවීමේ සිහිනය අත හැරියේ නැහැ. දිනපතා හිමිදිරියේ පාසලට පැමිණ නොකඩවා සිදුකල පුහුණුවත්, කැපවීමත්, අධිෂ්ඨානයත් නිසා 10 ශ්‍රේණියේදී බාස්කට්බෝල් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වීමටත්, තම මිතුරා සමග පාසලේ හොඳම ක්‍රීඩකයා වීමටත් අවස්ථාව උදා කර ගත්තා. .
නිසග ධෛර්යයෙන්, කැපවීමෙන් හා අධිෂ්ඨානශිලිව ක්‍රියාකළ මේ තරුණයාගේ දිවිය හදිසියේ වෙනස්වන්නේ අවුරුදු 18 දීයි. යන්තම් ඇරඹි දකුණු දණහිසේ වේදනාවක් ක්‍රමයෙන් පය බිම තැබිය නොහැකි මට්ටමට වර්ධනය වුණා. මේ අධික වේදනාවට හේතුව අස්ථි පිළිකාවක් බව හඳුනාගැනීම ටෙරී හා ඔහුගේ පවුලේ සියල්ලන්ම කම්පනය කළ සිදුවීමක් වුණා. මෙය පැතිරීම වැලැක්වීමට දණහිසෙන් අඟල් හයක් ඉහලින් පාදය කපා හැරිම හැර පිලියමක් තිබුනේ නැහැ. ක්‍රීඩාවම ජීවිතය කරගත් ටෙරීට මේ අදහසට එකඟ වීම පහසුවක් නොවුනත් කළ හැක්කක් තිබුනෙත් නැහැ.
පාදය ඉවත්කර තුන්වන සතියේම පිළිකා සඳහා ලබාදෙන ප්‍රතිකාරයක් වන කිමොතෙරපි ලබාගන්නා අතරම ඉතා උනන්දුවෙන් පුහුණු වී, කෘත්‍රිම පාදයක් උදව්වෙන් ඇවිදීම ආරම්භ කිරීම ඔහුගේ දිරිමත්බවේ සැබෑම පියවරක්. පියා සමග ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදීම මගින් පලකල ධනාත්මක හැකියාත් වෛද්‍යවරුන්ගේ දැඩි අවධානයක් ඔහු වෙත යොමු කරවන්න සමත් වුණා.

තමන්ගේ රෝගය තව මාස හයකට කලින් හඳුනා ගත්තානම් සුව කිරීමේ හැකියාව 50%කටත් වැඩිවන බව දැනගත් විට ඔහුට වුවමනා වුනේ පිළිකා කලින් හඳුනාගැනීම සඳහා පර්යේෂණ වැඩියෙන් සිදු කරවීමටයි. ඒ සඳහා අවශ්‍ය මුදල් සපයාදීම ඔහුගේ අරමුණ වුණා.
ප්‍රතිකාර ලබන අතරතුරදීම රෝදපුටු පැසිපන්දු (wheelchair basketball ) නම්වූ ඔහුට සුපුරුදු බාස්කට්බෝල් ක්‍රීඩාව වෙනස් ආකාරයකට ක්‍රීඩා කිරීමේ අභියෝගයත් භාරගත්තා. ඉතා අසීරුවෙන් එයත් පුහුණු වී තම කණ්ඩායමට ශුරතා දිනා දෙන්නටත් සමත් වුණා.
නිරෝගී කාලයේ දිගුදුර ධාවකයෙක්ව සිටි ටෙරී, නිව්යෝක් මැරතන් තරගවලට සහභාගී වූ තනි පාදයක් ඇති ඩික් ට්‍රෝම් පිලිබඳ ලිපියක් දැක මැරතන් පිලිබඳ අවධානය යොමු කරන්නට පටන් ගත්තා. පිළිකා රෝගීන් වෙනුවෙන් නව අරමුණක් තිබු ටෙරී කෘත්‍රිම පාදය සහිතව ධාවන පුහුණුව ආරම්භ කළා. 1979 පෙබරවාරි මස දිනකට සැතපුම් භාගයක් දිවීමෙන් අරඹා ක්‍රමයෙන් දුර වැඩි කර ගැනීමේදී කෘත්‍රිම පාදයට කැපීමෙන් පාදයේ ඉතිරි කොටස තුවාල වුණා. ඇටකටු සීරී ගියා. අනෙක් පාදයේ දියපට්ට ආවා. නියපොතු කැඩීගියා. කෘත්‍රිම පාදයේ යම් නවීකරණ කිරීමට සිදුවුණා. සියලු අභියෝග ජයගනිමින් ඔහු අගෝස්තු මස බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ පැවති සැතපුම් 17 ධාවන තරගයට සහභාගී වුණා. ඔහු ලැබුවේ අවසන් ස්ථානය වුවත් ඔහුට දැඩි පිළිගැනීමක් ලැබුණා.
මෙය ටෙරී ෆොක්ස්ගේ නව සැලැස්මට දිරියක් සැපයුවා. මිතුරන් දෙදෙනෙක්ට පමණක් දන්වා ආරම්භ කළ සැලැස්මට කැනඩා පිළිකා සංගමය, යුද්ධයෙන් පා අහිමිවූවන්ගේ සංගමය, ෆෝඩ් මෝටර් සමගම මෙන්ම අඩිඩාස් සමාගමේද සහය ගන්නට ඔහු සමත් වුණා. වෙළඳනාම රහිතව සහය දීමට සමහර සමාගම් අකමැති වුණා. එහෙත් ටෙරිට වෙන කිසිවෙක් ප්‍රචාරය කිරීමේ හෝ තමන් ජනප්‍රිය වීමේ අරමුණක් තිබුනේ නැහැ. ඒ අතරතුරත් ඔහු නොකඩවා පුහුණුවීම්වල යෙදුණා. වෛද්‍ය වාර්තා ගෙන ධාවනයට අවසර ලබාගත්තා.
"පිළිකා රෝහලේ දිනපතා දකින ධෛර්යමත් මුහුණු, බලාපොරොත්තු අත්හැරී මුහුණු, වේදනාව පිරි මුහුණු, නිර්භීත මුහුණු මට සිහි ගැන්වුයේ මේ වේදනා අවසන් කලයුතු බවයි. මම හීන දකින්නෙක් නෙමෙයි. එහෙත් කවදාහරි පිළිකාවෙන් මේ ලෝකය මිදෙන්න ඕනේ. මම හාස්කම් විශ්වාස කරනවා. ඒ හාස්කම වෙන්න උදව් කරනවා." ටෙරී තම අරමුණ පහදා දුන්නේ එහෙමයි.
බලාපොරොත්තුවේ මැරතන් ධාවනය : Marathon of Hope



කියුබෙක් ප්‍රාන්තයට එද්දී මේ රෝගයෙන් තම දරුවා අහිමි වූ හෝටල් හිමියෙක් දිගටම උපකාර කරන්නටත්, ව්‍යාපාරිකයන්ගේ උදව් ලබා දෙන්නටත් ඉදිරිපත් වුණා. කිලෝමීටර් දෙදහස් ගණනක් ගෙවා ඔන්ටාරියෝ ප්‍රාන්තයට පැමිණෙන විට පුවත්පත් වාර්තා, පිළිකා සංගමයේ දැනුවත් කිරීම් ආදිය නිසා මිනිසුන්ගේ අවධානය වැඩිවෙමින් පැවතුණා. අතරමගදී රැස්වීම්වලට සහභාගී වෙන්නත්, කතා පවත්වන්නත්, සම්මුඛ සාකච්ඡා ලබා දෙන්නත් සිදුවුණා. අගනුවර වන ඔටාවා පැවති කැනඩා දින උත්සවයේදී අගමැති පියරේ ට්රුඩෝ ටෙරීට සුබ පැතුම් එක්කළා. එදින එහි පැවති රගර් තරගයක බෝලයට පළමු පා පහර දී තරගය ඇරඹුවේ ඔහු විසින්.
මග දෙපස නරඹන්නන් ඔහුව දිරිමත් කළා. සමහරු ඔහු සමග කෙටි දුරක් දිව්වා. ඔන්ටරියෝ ප්‍රාන්තය ඔහුගේ ධාවනයට පොලිස් ආරක්ෂාවද සැපයුවා.

![]() |
බලාපොරොත්තුවේ ධාවනය අවසන් වූ ස්ථානයේ පුවරුව |
වෛද්‍ය ප්‍රතිකාර පිණිස කුඩා ජෙට් යානයකින් රෝහලකට ගෙන ගියවිට දැනගත්තේ පිළිකාව පෙනහළු ආක්‍රමණය කර ඇති බවයි. රෝගය මෙතරම් පැතිරෙනතෙක් ඔහු රෝගය සමගම සති ගණනක් ධාවනය කර ඇති බව දුටු වෛද්‍යවරු පුදුමවුණා.
ජාතියම මොහොතකට නැවතුනක් වැනි වුණා. එතැන් සිට ඔහු අපේක්ෂා කළ ස්ථානය දක්වා ධාවනය සම්පුර්ණ කිරීම පිණිස විවිධ සංවිධාන, ක්‍රීඩා සංගම්, කණ්ඩායම් ඉදිරිපත් වුනත් ටෙරී එක් කණ්ඩායමකට මෙය භාර දීමට කැමති වුනේ නැහැ. " මට මෙය සම්පුර්ණ කල නොහැකි වුවොත් අනිත් සියල්ලෝ මෙය දිගටම සිදුකළ යුතුයි. මා නැතිව වුවද එය දිගටම යා යුතුයි"
කැනඩාව පුරාම ඔහු වෙනුවෙන් ධාවන මැරතන්, ඇවිදින මැරතන්, නර්තන, නාට්‍ය ආදිය සංවිධානය කර මුදල් උපයා ඔහුගේ පිළිකා පර්යේෂණ අරමුදලට පරිත්‍යාග කිරීම ඇරඹුණේ ඉන් පසුවයි.
ඔහුට විශේෂ උපහාර පදක්කම්, කුසලාන මෙන්ම ප්‍රාන්තයේ පුරවැසියෙක්ට හිමිවන ඉහලම සම්මානයත් හිමිවුණා. ඉන් මාස කිහිපයකට පසු ඔහුගේ 23වන උපන්දිනයට මාසයක් තිබියදී ටෙරී අවසන් ගමන් ගියා. ඒ වන විටත් ඔහුගේ පසුකාලින අරමුණ වූ ඩොලර් මිලියන 24 ඉක්මවා මුදල් එකතු වී තිබුණා.
ඔහුගේ මරණයෙන් පසු කැනඩාව පුරා පාසල්, මහාමාර්ග, ප්‍රජා මධ්‍යස්ථාන මෙන්ම කන්දක්ද ඔහු වෙනුවෙන් නම් කෙරුණා. ඔහු ධාවනය නිමා කළ තන්ඩර් බේ නගරයෙහි මෙන්ම වෙනත් නගරවලත් සිහිවටන පිළිම නිමවුනා. පාසල් පොත්වලට ඔහුගේ කතාව ඇතුලත් වුණා. ඔහු නමින් වාර්ෂික පදක්කම්, ශිෂ්‍යත්ව පිරිනැමීම ඇරඹුනා.
2005දී ඔහු සිහි කරමින් කාසියක් නිකුත් කළා. 2010 පැරාලිම්පික් උළෙලේ ටෙරී පිලිබඳ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වූ අතර එය අවසානයේ ඔලිම්පික් ගිනිසිළුව ගෙනගියේ ඔහුගේ දෙමාපියනුයි.


ලෝකයේ බොහෝ රටවල ඔහුගේ නමින් මැරතන් ධාවනය කර පිළිකා පර්යේෂණ සඳහා මුදල් එකතු කරනවා.
දැනට ටෙරී ෆොක්ස් අරමුදල ඩොලර් මිලියන 700ක් ඉක්මවමින් වැඩි, පිළිකා සටනට උරදෙමින් ඉන්නවා.
රටේ ජාතික වීරයන් අතරට ඔහුගේ නමද එක්වුණා. ඒ වෙනුවෙන් මේ වසරේත් මුද්දරයක් නිකුත් වුණා.
ඔහු වීරයෙක්. සැබෑ වීරයෙක්. රෝගයකට, ආබාධිත බවට නවතන්නට නොහැකිවූ උතුම් අරමුණක් කරා දිව ගිය වීරයෙක්.
ටෙරිගේ බලාපොරොත්තුව ඔහුගේ මරණයෙන් අවසන් වුණේ නැහැ. අද දක්වාම මිනිසුන් ඔහු ගේ සිහිනය, ඔහු පැතූ හාස්කම වෙනුවෙන් ධාවනයේ යෙදෙනවා. ටෙරී ෆොක්ස් දායාද කළ බලාපොරොත්තුවේ ත්‍යාගය මගින් කෙදිනක හෝ පිළිකාවට ප්‍රතිකාර සොයාගනු ඇති. කෙදිනක හෝ වේදනාව අවසන් වනු ඇති.
උදව්:
Kinesiology: An Introduction to Exercise Science, Ted Temertzoglou
Terry Fox: A Story of Hope, Maxine Trottier
www.terryfox.org
මේ උත්තුංග මිනිසාගේ ධෛර්ය සම්පන්න බවේ කතා පුවත ලංකාවේ සිංහල පෙළ පොතකට ඇතුළු කළ හැකිනම්! බුද්ධිනීගේ ලේඛන ශෛලියද ඉතා කදිමට ගැලපෙනවා
ReplyDeleteජපානයේ පොත්වල ලියවිලා තියන ශ්‍රී ලංකික කරුණානන්දගේ කතාව පළ නොකරන පාසල් පොත් මේ ගැන ලියයිද?
ReplyDeleteඅගය කිරීම ගැන ස්තුතියි
වටිනා පුද්ගලයෙක් ගැන වටිනා ලිපියක්.
ReplyDeleteස්තුතියි.
Deleteමේක කියවල ඇතිවෙච්ච කුතුහලය නිසාම ඔහු ගැන ඇති විකිපීඩියා සටහනත් කියෙව්වා. ඔහුගේ කාලයේදී හිතාගන්නවත් බැරි දෙයක් ඔහු ලෝකයට දායාද කර මිය ගොය කෙනෙක්. මේ සටහනට බොහොම ස්තූතියි
ReplyDeleteවඩාත්ම හොඳ වසරක් පාසා පාසල්වල ඔහුගේ ගුණාංග දරුවන්ට පෙන්වමින් අගය කිරීමයි.
DeleteThank you so much for writing about a great human being...:)
ReplyDeleteThanks for appreciating Terry and my writing...:)
Deleteසෑහෙන්ඩ වටිනවා
ReplyDeleteඔව්.. මනුෂ්‍යයාත් ආදර්ශයත් දෙකම..
Delete