Monday 22 July 2019

කුඩා දරුවන් ගුවන්යානයක රැගෙන යාම

අලුත උපන් බිලිඳෙක් ගුවන් යානයක ගෙනයාමට කොතරම් කලක් බලන් ඉන්න ඕනෙද? දින දෙකකින් පුළුවන් කිව්වොත් පුදුම වෙනවද? බොහෝ ගුවන් සේවාවල අඩු වශයන් දින 14ක්  වුණත්, බිලිඳා ගුවන් යානයක යාමට සුදුසු යයි වෛද්‍ය සහතිකයක් ඇත්නම් දින දෙකක බිලිඳෙක් වුනත් ගෙනයන්න අවසර දෙන ගුවන් සේවා සමාගම් තියනව. ඕනෙම වයසක දරුවෙක් ගුවනින් එක්ක යන්න කලින් ළමා රෝග වෛද්‍යවරයෙක් හමුවී පරීක්ෂා කරවාගැනීම සුදුසුයි.
අවසර දුන් පමණින් කුඩා දරුවෙක් ගුවන් යානයක ගෙනයාම එතරම් සරල දෙයක් නෙමේ. ගමන් බලපත් සකස් කිරීමේ සිට ගුවන් යානයට ඇතුළු වෙනතෙක් සැලකිය යුතු දේ ගොඩයි. බොහෝ එයාලයින්වල ඒ ගැන දැනුවත් කිරීම් තියනව. මේ ලින්ක් එකේ තියන විස්තරත් හොඳයි.
සරලව අත්‍යවශ්‍ය කියා හැඟෙන දේ කරුණු පහකින් ලියන්නම්.
1. පළමු දේ ඉදිරිපෙළ අසුනක් වෙන්කර ගැනීමයි. ඔබ ගමන් ගන්නේ ව්‍යාපාර පන්තියේ නොවේනම්,  ඉදිරියේම අසුනක් වෙන් කර ගතහොත් ඔබ ඉදිරියේ ඉඩ තියෙන නිසා දරුවාගේ බඩු භාණ්ඩ තබා ගැනීමටත් වෙනත් උපකරණ සඳහාත් වැඩි ඉඩක් තියෙනව. සමහර ගුවන් යානාවල දරුවන් ගෙනයා හැකි බැසිනට් (තොටිලි) තියනව. එවැන්නක් සමග ආසනයක් වෙන් කරගන්න හැකිද විමසන්න. එහෙම බැරිවුනොත් දරුවා වෙනුවෙනුත් ආසනයක් වෙන්  කරගැනීමටත් පුළුවන්. දරුවෙක් නිසා අඩු මිලක් (අවුරුදු 2ට අඩුනම් වැඩිහිටි මිලෙන් 10%) ටිකට් එකට යන්නේ. ඔඩොක්කුවේ ගෙනයන්න පුළුවන් තරම් පොඩි දරුවෙක් වුණත් දීර්ඝ ගමනක් නම් දරුවා වෙනුවෙන් වෙනම ඉඩක් තිබීම වැදගත්.
සාමාන්‍ය ආසනයක  දරුවට වාඩිවෙන්න බැරිනිසා කුඩා දරුවන්ගේ කාර් සීට් එකක දරුවා තබන්න ඕන. මේ එකක්වත් කරගන්න බැරිවුණොත් හිස් ආසනයක් අසල ඇති ආසනයකට තැන මාරුකරගන්න අහන්න.
සාමාන්‍යයෙන් ඕනෑම ගුවන් යානයක දරුවන් සමග යන මගීන් අනිත් අයට කලින් ඇතුල් කරන නිසා දරුවා සමග අනිත් ගෙනියන දේවල් සකස් කරගන්න සැහෙන වෙලාවක් තියනව.

2. දරුවට අවශ්‍ය ආහාරපාන වැඩිපුර රැගෙනයාම වැදගත්. ගුවන්යානය තුල පවතින වියලි තත්වය නිසා දරුවා විජලනයෙන් වලක්වා ගැනීමට කිරි හා වෙනත් දියර වර්ග වැඩිපුර ගෙනයන්න ඕන. සමාන්‍යයෙන් දියර වර්ග ගෙනියන්න අවසර නැතත් කුඩා දරුවෙක්ගේ ආහාර ගෙනයන්න අවසර දෙනවා. ග්‍රයිප් වෝටර් හා වෙනත් වේදනානාශක බෙහෙත් දියරත් මේවට ඇතුලත්.
3. දරුවට අවශ්‍ය ඇඳුම්, නැපි, ඩයපර්, පිසදමන wipes ආදිය වැඩිපුර ගෙනයන්න. ගුවන් යානය තුල උණුසුම සීතල වෙනස්වෙන නිසා පෙරවන්න, ඔතන්න බ්ලැන්කට්, මාරුකරන්න ඇඳුම් අවශ්‍යයි. ඒවා වෙනම ළඟ තියාගන්න හැකි ලගේජ් එකක ගෙනියන්න.  දරුවා වෙනුවෙන් අමතර බැග් එකක් ගෙනියන්න අවසර තියනව. ඊළඟට ඉවත්කරන ඇඳුම් දාගන්න, ඉවරවුනු බෝතල් එහෙම දාගන්න වෙන වෙනම වසන්න පුළුවන් පොලිතින් බෑග් (ziplock) තියාගන්න.
4. යානය ගුවන්ගත වීමේදී හා බිම්ගත කිරීමේදී ඇතිවෙන පීඩන වෙනස්කම් නිසා දරුවට අපහසුතා දැනෙනවා. විශේෂයෙන් කන් රිදීම් ඇතිවෙන්න පුළුවන්. කලාතුරකින් කන් බෙරය පලුදු වෙන්නත් පුළුවන්. ඒ නිසා කන් වැසෙන්නට අන්දවා මේ අවස්ථා දෙකෙදී නිදාගැනීමට සලස්වන්න පුලුවන්නම් වඩාත් සුදුසුයි. තරමක දරුවන්ගේ කන්වලට කුඩා ඇබ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙලාවට යමක් හපන්නට දීම සුදුසුයි. සූප්පුවක් හෝ හපන්නට සුදුසු සෙල්ලම් බඩුවක් වුනත් හොඳයි.
5. දරුවා කැමති සෙල්ලම් බඩු දෙක තුනක්, වර්ණවත් පින්තුර සහිත පොත් දෙක තුනක් ගෙනයාමෙන් දරුවා අවදිව සිටින අවස්ථාවල යම් දෙයක නිරතව තබා ගැනීමට හැකියි.

බොහෝ ගුවන්තොටුපලවල ළදරු ස්ට්‍රෝලර් ඉල්ලගැනීමේ හැකියාව තියනව ඊළඟ තොටෙන් භාරදෙන පොරොන්දුව උඩ ගන්න පුළුවන්.
මේවට අමතරව අත් නිදහස්ව දරුවන් රැගෙන යා හැකි sling එකක් පැළඳගෙන යාම ප්‍රයෝජනවත්.
ළදරු හැමොක් නමැති ඉදිරි අසුනේ සම්බන්ධ කරන්න පුළුවන් තොටිලි තියනව. මෙය භාවිතා කරනවානම් ඉදිරි අසුනේ කෙනාව දැනුවත් කරන්නම වෙනවා.
ඊට අමතරව ගෙනයන ඉලෙක්ට්‍රොනික් උපකරණත් සම්පුර්ණ චාජ් එකේ තබාගන හදිසියකදී උපයෝගී කරගන්න. අවශ්‍ය ඕනෑම විටෙක කාර්ය මණ්ඩලයේ උදව් ලබාගන්න පුළුවන්.

ඉස්සරත් ළදරුවන්ව ගුවන් යානාවල අරන් යන්න අවසර තිබිල තියනව. 1950 බ්‍රිටිෂ් එයාවේස් (BOAC) යානයක් තුල ගන්න ලද මේ පින්තුරයෙන් පෙනෙන්නේ දෙමාපියන්ට ඉහලින් එල්ලන ලද skycot ලෙස හැඳින්වූ තොටිල්ලක දරුවා ගෙනයාමේ හැකියාව තිබී ඇති බවයි. ගුවන් ගත කිරීමේදීත් ගොඩ බැස්විමේදීත් දරුවා දෙමාපියන් ලඟට ගන්න ඕනේ. දැනට වුනත් පොඩ්ඩක් වෙනස් වුණත් එකම නීති හා පෙනුම තමයි.

උදව්:
www.parents.com/fun/vacation/planning/how-to-fly-with-baby/
https://livingnomads.com/2016/03/travel-with-toddlers-tips/
https://suncitywill.wordpress.com/tag/jet-set-baby/
https://travelmadmum.com/flying-with-a-baby/
www.demilked.com/vintage-infants-travel-airplane-skycot-boac-flights/

2 comments:

  1. ගොඩක් වැදගත්...

    ReplyDelete
    Replies
    1. මේ ගැන සිංහලෙන් ලියවුනු ලිපියක් දැකල නැති නිසා ලියන්න හිතුන.

      Delete