Saturday 1 February 2020

රෝග නිරෝධායන මධ්‍යස්ථානය Quarantine යනු කුමක්ද?

කොරෝනා වයිරසය ආසාදනය නිසා තනි කිරීමකට ලක්වූ චීනයේ වූහාන් ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකික සිසුන් රැසක් සැලසුමක් ඇතිව ලංකාවට රැගෙන විශේෂ රෝහලක රැඳවීම අද දවසේ ප්‍රධාන මාතෘකාවක්. මෙවැනි ස්ථානයක් නිරෝධායන මධ්‍යස්ථානයක් Quarantine Centre ලෙස හැඳින්වෙන්නේ. මේ ගැන කවුරුත් දැනුවත්වීම වැදගත් කියල හිතුන.
Quarantine is
1 : isolation of people, animals, or things (as plants) out of a certain area to prevent the spread of disease or pests. 
2 : a period during which a person or animal with a contagious disease is isolated.
( Merriam- Webster Dictionary)

1. යම් රෝගයක් හෝ පළිබෝධයක් පැතිරවීම වැලැක්වීම උදෙසා මිනිසුන්, සතුන් හෝ පැළෑටි වැනි දේ යම් ප්‍රදේශයකට ඇතුළුවීමෙන් වැලැක්වීම.
2. පැතිරයන රෝගයක් වැලැක්වීමට මිනිසුන් හෝ සතුන් අන් අයගෙන් වෙන්කර තනිකර තැබීම.


වඩා විස්තරාත්මකව කිවහොත් රෝගයක් හෝ පලිබෝධයක් පැතිරවීම වැලක්වීම උදෙසා පුද්ගලයින්, ශාක හෝ භාණ්ඩ චලනයට සිමා පැනවීම. මිනිසුන් මගින් සම්ප්‍රේෂණය වන රෝගයක් උදෙසානම් මෙය රෝගය වැළඳුන බව සායනිකව තහවුරු නොකළ, එහෙත් රෝගයට නිරාවරණය වී යයි සිතිය හැකි පුද්ගලයින් වෙන්කර  රඳවා ගැනීමක් විදියට හඳුන්වන්න පුළුවන්.
රෝගය වැලඳී ඇති බව තහවුරු කල පුද්ගලයන් වෙන්කර තැබීම හඳුන්වන්නේ isolation කියයි. මේ දෙකේ වෙනසක් තිබෙන බව පැහැදිලි ඇති.
උදාහරණයක් විදියට ලාදුරු රෝගයට ඖෂධ සොයාගෙන නොතිබුණු කාලයේ රෝගය  පැතිරීම වැලැක්වීමට රෝගය වැළඳුනු පුද්ගලයන්ට ප්‍රදේශයක් වෙන්කර, පිටස්තර පුද්ගලයන්ට එම ප්‍රදේශයට යාම තහනම් කිරීම. එවැන්නක් හඳුන්වන්නේ Isolation කියල.
 රෝගයට නිරාවරණය වූ බවට සැක, නමුත් රෝගය වැලඳී ඇති බවට තහවුරු නොවූ නිරෝගී පුද්ගලයන් රඳවාගැනීම ක්වොරන්ටින් එහෙම නැත්නම් නිරෝධායනය කියන්නේ. මේක රෝගයක් පැතිරීම වැලක්වීමට ගන්න පූර්ව උපාය මාර්ගයක් කියන්න පුළුවන්.  සාමාන්‍යයෙන් ක්වොරන්ටින් සඳහා නිශ්චිත කාලසීමාවක් තියනවා. කොරෝනා වයිරසයේ  බීජෞෂණ සමය වන දින 14 තුළදීයි රෝග බීජ ඇති කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා රෝගයට නිරාවරණය වූ බවට සැක සහිත අය හෝ රෝගීන් ඇසුරු කල පුද්ගලයන් වෙන්කර තැබිය යුත්තේ දින 14ක්. ඉබෝලා වයිරසය සඳහා මෙම කාලසීමාව දින 40ක් වුණ අතර, ඇන්ත්‍රක්ස් රෝගය සඳහා එය විෂබිජහරණ යන්ත්‍රයක් යටින් ගමන් කිරීම හා ඊට පෙර ඇඳ සිටි ඇඳුම් විනාශ කිරීම ප්‍රමාණවත් වුණා.
මෙහිදී සැලකිය යුතු කරුණ වෙන්නේ ක්වොරන්ටින් එකක ඉන්නේ නිරෝගී පුද්ගලයන් බවයි. ඒ අයට අවශ්‍ය පහසුකම් සැපයීම, වෙනත් රෝගයක් වැළඳුනහොත් ප්‍රතිකාර සැපයීම මෙන්ම නිරතුරු ඔවුන් පරික්ෂාවට ලක් කිරීම කල යුතුයි. ඒ නිසා එම නිරෝධායන ප්‍රදේශය ඇසුරු කරන්නට හෝ එහි සේවය කරන්නට සිදුවන පුද්ගලයන් උදෙසා වෙනම ආරක්‍ෂිත ඇඳුම් හා විෂබීජ නාශන ක්‍රියාවලියට ලක් වීම සිදුවෙන්නවා. අද කාලයේ දුරකථන හා අනෙකුත් මාධ්‍ය තිබෙන නිසා නිරෝධයනයක ඉන්න පුද්ගලයන්ට තම පවුලේ අය සමග සම්බන්ධතා පැවැත්වීම එතරම් අපහසුවක් නැහැ.
 ඇත්තෙන්ම බැලුවහොත් නිරෝධායන මධ්‍යස්ථානයකට පහසුකම් සැපයීමයි වඩා අභියෝගාත්මක වෙන්නේ. එහි ඉන්නේ බොහෝවිට එකිනෙකා නොහඳුනන පුදගලයන්. ඔවුන්ගේ අවශ්‍යතා හා ප්‍රමුඛතා විවිධයි. මෙවන් මධ්‍යස්ථනයක පුද්ගල සංඛ්‍යාව වැඩිවත්ම ගැටළු වැඩිවෙන්නට ඉඩ තියනවා. පහසුකම් සපයන පුද්ගලයන්ට, ඉතා කුඩා අවශ්‍යතාවකට උදව් කරන්නට වුණත් වෙනම ඇඳුම් පැළඳුම් හා ආවරණ වලින් යුක්තව සැරසෙන්න වෙනවා.අනිත් අතට ඒවායේ ඉන්න සිදුවෙන පුද්ගලයින්ටත් තරමක මානසික පීඩනයක් සහිත දෙයක්. තමන් නිරෝගී වුණත් රෝගී වෙයිද බිය සහ නිරෝගිව සිටිමිනුත් අන් අයගෙන් වෙන්වී සිටීමට සිදුවීම නිසා හිත කරදරෙන් ඉන්න වෙන්නේ. නමුත් මේ සියල්ල වැඩි දෙනෙක්ගේ යහපත පිණිසයි.
බොහෝ රටවල මෙවැනි මධ්‍යස්ථාන සලකුණු කරන්න කහ වර්ණ කොඩියක් ඔසවනවා. එහෙම නැත්නම් කහපාට දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කරනවා. අපේ රටට අලුත් දෙයක් වුනාට සමහර රටවල රෝහල්වලට අනුබද්ධිතව හදිසියකදී මේ සඳහා වෙන් කරන්න පුළුවන් ඉඩක් වෙන් කරලා තියෙන්නේ. ඒ කොටස කහ වර්ණ කරලා තියෙනව සමහරවිට.

විශේෂ අවස්ථාවලදී විශාල ප්‍රදේශයක් හෝ නගරයක් නිරෝධායන කල අවස්ථා අහන්න ලැබෙනවා. කොරෝනා වයිරසය වේගයෙන් පැතිරුණු චීනයේ වූහාන් නගරය දින ගණනාවක් තහනම් කලාපයක් බවට පත්කළේ ඒ අනුව.
රෝගියෙක් බවට සැක සහිත කෙනෙක් තම නිවසේම රඳවා තැබීමත් සමහරවිට අනුගමනය කරන නිරෝධායන ක්‍රමයක්. එයට කියන්නේ self quarantine කියල. ඇම්බියුලන්ස් බස් හා ජංගම බස්වල රඳවා තැබීමත් සමහරවිට කෙරෙනවා.


සමහර රටවල මේ සඳහා නීතියෙන්ම ඉඩ දීල තියනව. ඔස්ට්‍රේලියාව දැඩි නිරෝධායන නීති සහිත රටක්. ඉතා දිගුකලක් ප්‍රධාන ගොඩබිමෙන් වෙන්ව සිටීම නිසා නිර්මිත ඔවුන්ගේ විශේෂ පරිසරය රැකගැනීම උදෙසා  බොහෝ පලිබෝධ හා රෝග සඳහා නිරෝධායන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. සමහර රටවල නීති යටතේ යම් රෝග බහුලව තිබෙන රටවල සංචාරයට යන අයට ප්‍රතිශක්තිකරණ එන්නත් ගැනීම අනිවාර්ය කර තිබෙනවා. යම් රටක මිනිසුන් අතර රෝගයක් පැතිරෙමින් තිබෙන කාලයක ඒ රටේ සංචාරය කර පැමිණියහොත් වෛද්‍ය පරීක්ෂණවලට ලක්ව ප්‍රතිඵල ලබන තෙක් රඳවා ගැනීම් සිදුකිරීම සඳහා රටට ඇතුල්විය හැකි ස්ථාන වලට සම්බන්ධිත නිරෝධායන මධ්‍යස්ථාන පිහිටවා තිබෙනවා. නොයෙකුත් රටවල ආහාර හා පැළෑටි සඳහා නිරෝධායන මධ්‍යස්ථාන තියෙනවා.
අපේ රටට අලුත් දෙයක් වුණාට මානව නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වීමේ දීර්ඝ ඉතිහාසයක් තියනව. Quarantine වචනය ඉතාලි භාෂාවේ quarantia gioni: දින හතළිහක් වදන් වලින් බිඳී ආ ලෙසයි සැලකෙන්නේ. 12 වන සියවසේ යුරෝපයේ හා ආසියාවේ පැතිර තිබුණු Black Death සම්බන්ධිත වසංගත රෝගය පැතිරීම වැලැක්වීමට වෙනත් රටවලින් පැමිණෙන නැව් ගොඩ බැස්වීමට පෙර දින 40ක් මුහුදේ රඳවා තිබීම මෙම අදහසේ ආරම්භය ලෙස සලකන්න පුළුවන්.
නමුත් ඊට පෙර සිටම ආසියා හා  අප්‍රිකා රටවල යම් රෝග වැළඳුනු පුද්ගලයන් දින හතක් යනතෙක් නිවසේ වෙන්කර තැබීමේ පුරුද්ද තිබුනා. කහ සලකුණක් වෙනුවට කොහොඹ අත්තක් ගෙදර දොරකඩ එල්ලීම අපේ සිරිතක්නේ.
මොනතරම් හොඳ දේ සිදුකළත් ඒ සඳහා එන විරෝධතාත් තියෙනවා. ටයිෆොයිඩ් මේරි නමින් ප්‍රසිද්ධ අයර්ලන්ත ජාතික මේරි මැලෝන් නිරෝධයනයක වසර 26 ක් රඳවා තැබීමට සිදුවීම කාලසීමාව පිලිබඳ ප්‍රශ්න  ඇතිකළා. ඇය උණසන්නිපාත වාහකයෙක්. ඇයට රෝගය වැලඳුනේ නැතිවුණත් ඇය මගින් පුද්ගලයන් ගණනාවකට රෝගය පැතිරුණා. කිසිම කෙනෙක්ට අහර පිළියෙළ කර නොදීමේ පොරොන්දුව මත වසර තුනක් දිවයිනක රඳවා තැබුවත් ඇය පොරොන්දුව කඩකර සෑදු පුඩිමක් හේතුවෙන් තවත් අය රෝගී වීම නිසා ඇයට 1938දී මියයන තෙක් වසර 23ක් නිරෝධායන දිවයිනේ දිවි ගෙවන්නට වුණා.
වැඩි පිරිසක් නිරෝධායන ස්ථානයක තබාගෙන තිබියදී ඒ සැමට අවශ්‍ය මුලික පහසුකම් සැපයීමේ අඩුපාඩු තවත් විරෝධතා එන්නට හේතුවක්.
ඉබෝලා වයිරසය පැතිරුණු කාලයේ එම රටවල ස්වේච්ඡා සේවයට ගිය වෛද්‍ය සේවයේ සමහර අයව නැවත පැමිණි පසු දින 21ක් රඳවා ගැනීම ගැන ඇමරිකා රජයට විවේචන එල්ල වුණා.
නිරෝධායනයක තම ඥාතියෙක් හිතවතෙක් සිටියි නම් ඔවුන් සමග දුරස්තව කතාබහ කර ඔවුන් සැනසීම හිතවතුන්ට කල හැකියි. එසේම එවන් මධ්‍යස්ථාන පවත්වා ගැනීමට මුල්‍ය හා වෙනත් පහසුකම් සඳහා ආධාර සැපයීමත්, ස්වේච්ඡා සේවය සඳහා ඉදිරිපත් වීමත් අනෙක් මහජනතාවට කළ හැකියි. තත්වය තේරුම් ගෙන ඊට සහය වීමෙන් කෙටි කලක් තුළ තම රටේ අදාල රෝගය පැතිරීම වැලැක්වීමට දායක වෙන්න පුළුවන්.

මේ වීඩියෝව ඊයේ (2020 ජනවාරි 31)එක්සත් රාජධානියේ නිරෝධායන ඒකකයක සිටින කෙනෙක් BBC හරහා මුදාහැරි එකක්. මේ ලින්ක් එකෙන් බලන්න. https://www.bbc.com/news/av/uk-51332746/coronavirus-in-quarantine-after-being-repatriated-from-china

උදව්:
https://en.wikipedia.org/wiki/Quarantine
globalnews.ca/news/6479697/how-quarantines-work-in-canada/
https://www.vox.com/2014/10/28/7079655/quarantine-explainer
https://www.npr.org/sections/goatsandsoda/2014/10/30/360120406/awful-moments-in-quarantine-
www.vox.com/2014/10/28/7079655/quarantine-explainer

No comments:

Post a Comment