Wednesday 28 August 2019

පාට නොපෙනෙන ලෝකය Colour Blindness

"මේ මොන පාටද ?" ඉතා කුඩා වියේ සිට ඇසෙන, අසන මේ පැනයෙන් තම වරදක් නොමැතිව අපහසුතාවයට පත්වෙන දහස් ගණන් ජනයා අප අතර සිටින බව දන්නවා ද? එදිනෙදා බොහෝ දේ විස්තර කිරීමේදී වර්ණ යොදාගැනීම අපේ පුරුද්දක්. එය පහසුවක්. එහෙත් වර්ණ යොදාගැනීම තේරුම් ගත නොහැකි, තමන්ට යම් ආබාධිත තත්වයක් ඇතිබව දැන හෝ නොදැන එදිනෙදා ජිවිතයේ අපහසුතාවයට පත්වෙන එහෙත් විශේෂ අවස්ථාවල හැර හඳුනාගැනීමට ලක් නොවන තත්වයකි, වර්ණ අන්ධතාව. වචනයේ අර්ථයෙන් ගතහොත් එය නොපෙනි යාමක් වූවත් ඇත්තෙන්ම සිදුවන්නේ colour deficiency හෙවත් වර්ණ හඳුනාගැනීමේ ඌනතාවකි.
වචනයෙන් අසා තිබුණත්, සමහරවිට එයට ගොදුරු වී තිබුණත් ඒ ගැන වැඩි දැනුමක් නොමැති අය බහුලයි.
වර්ණ අන්ධතාව යනු කුමක්ද?
බොහෝ දෙනෙක්ට වර්ණ ගැන එකම ආකාරයේ අත්දැකීම් ඇත. සාමාන්‍ය වර්ණ දෘෂ්ඨියක් ඇති අයට විවිධ වර්ණ ප්‍රභේද ලක්ෂ ගණනක් හඳුනාගත හැකිය. වර්ණ අන්ධතාව ඇති අයට සමහර වර්ණ අතර වෙනස හඳුනාගත නොහැකිය. එහෙත් තදබල ඌනතාවක් නොමැතිනම් ඒ බව ඔවුනට හෝ අන් අයට වැටහීමක් නොමැති වේ.
බොහෝවිට ආරයෙන් එන වර්ණ අන්ධතාවට හේතුවන්නේ photopigment වල ඇති අසාමාන්‍යතාය. වර්ණ හඳුනාගන්නා කොටස් ඇත්තේ  ඇසේ දෘෂ්ඨි විතාන මධ්‍යයේ වැඩිපුර කේන්ද්‍රගතවී ඇති කේතු සෛලවලයි. ජානමය හේතු මත මෙම කේතු සෛලවල අසමානතා ඇතිවීම හෝ සමහර වර්ණවලට ප්‍රතිචාර දක්වන කේතු සෛල නොමැතිවීම වර්ණ අන්ධතාව ඇතිකරයි.

වර්ණ අන්ධතාවට හේතු: 
වර්ණ හඳුනාගැනීමට හේතුවන ජාන සමහරක් පිහිටා ඇත්තේ මව්පියන්ගෙන් දරුවන්ට ලක්ෂණ දායාද වන වර්ණදේහ යුගල 23 අතුරින් ලිංගික වර්ණදේහ නම් වන වර්ණදේහ යුගලයේ X වර්ණදේහයේ ඇති ජාන වලිනි. එහි ඇති නිලීන ජානයක් වර්නාන්ධතාව ඇතිකරයි. එසේම 7 වන වර්ණදේහයේ ද වර්ණ හඳුනාගැනීමට හේතුවන ජාන පවතී. මෙමගින් දෙමාපියන්ගෙන් දරුවන්ට මෙම ඌණතාව සම්ප්‍රේෂණය විය හැකිය.
ලොව පිරිමි 8%කටත්, ගැහැණු 4%ටත් වර්ණ අන්ධතාව ඇතිබව දැනට ඇති දත්ත මත කියවේ.
ආරය හැර යම් රෝග තත්වයන් නිසාද වර්ණ අන්ධතාව ඇතිවිය හැකිය.
පාකින්සන් රෝගය, ඇසේ සුද, පිටියුටරි ග්‍රන්ථියේ ආරමය තත්වයක් වන Kallman's Syndrome, LHON නම් දෘෂ්ටි ස්නායු ආබාධ, දියවැඩියාව, දෘෂ්ඨි විතානයේ පිළිකා, හදිසි අනතුරු හේතුවෙන් මොලයට හෝ දෘෂ්ඨි විතානයට හානි පැමිණීම මෙන්ම සමහර ඖෂධ හේතුවෙන්ද වර්ණ හඳුනාගැනීමේ අපහසුතා ඇතිවිය හැකිය.

වර්ණ අන්ධතාවයේ ප්‍රභේද: 
1. රතු-කොළ වර්ණ අන්ධතාව : වඩා සුලභ වර්ණ පෙනීමේ ඌනතාවයි. මෙම ඌනතාව ඇති පුද්ගලයන්ට රතු හා කොළ වර්ණ වෙන්කර හඳුනාගැනීම අපහසුය. මෙහිද හඳුනාගැනීමේ ප්‍රබලතාව මත තවත් කොටස් හතරකි.
Protanomaly: රතු, තැඹිලි, කහ එකම ලෙස පෙනෙන අතර පෙනෙන වර්ණද ප්‍රබල නැත.
Protanopia: රතු වර්ණය කළු ලෙසත්, තැඹිලි, කහ, කොළ වර්ණ කහ ලෙසත් පෙනෙයි.
Deteranomaly: කහ සහ කොළ වර්ණ වඩා රතට හුරුවට පෙනෙන අතර, දම් හා වයලට් වර්ණ වෙනසක් නොපෙනේ.
Deuteranopia: රතු වර්ණ කහ දුඹුරු පාටිනුත්, කොළ වර්ණය බේජ් පාටිනුත් පෙනෙයි.

2. නිල් -කහ වර්ණ අන්ධතාව: නිල් කේතු photopigment  නොපිහිටීම හෝ අසමානතා නිසා ඇතිවන තත්වයකි. එතරම් සුලබ නැත. මෙහිද ප්‍රභේද දෙකකි.
Tritanomaly: නිල් පැහැය කොළට හුරුවට පෙනෙන අතර, රතු හා රෝස පැහැයෙන් කහ වෙන්කර හඳුනාගත නොහැකිය.
Tritanopia: නිල් පාට කොළ පැහැයෙන්ද, කහ පාට වයලට් හෝ අළු පැහැයෙන්ද පෙනෙයි.

3. පුර්ණ වර්ණ අන්ධතාව: මෙය ඇති පුද්ගලයින්ට කිසිදු වර්ණයක් නොපෙනේ. දෘෂ්ඨියේ පැහැදිලි බවද අඩු විය හැකිය. ඉතාම දුලබ තත්වයකි.

මෙතනට ක්ලික් කිරීමෙන් එන වෙබ්සයිට් එකට ගොස් වෙනස් වර්ණ අන්ධතාවයෙන් යුතු පුද්ගලයන්ට පෙනෙන අයුරු ඔබත් විඳින්න.

වර්ණ අන්ධතාව හඳුනාගැනීම 
දෘෂ්ඨි විශේෂඥයන් සතුව වර්ණ අන්ධතා හඳුනාගැනීමේ පරීක්ෂණ රැසක් ඇත.
රතු-කොළ වර්ණ අන්ධතාව හඳුනාගැනීමේ වඩා ජනප්‍රිය පරීක්ෂණය ඉෂිහාරා පරීක්ෂණයයි. මෙහිදී එම වර්ණ දෙකෙන් මුද්‍රිත තල 38ක් උපයෝගි කරගනියි. පසුබිම කොළ නම් අංක හෝ මාර්ග(path)  රතුවෙන්ද පසුබිම රතුනම් අංක හෝ මාර්ගකොළ පාටින්ද ඇති මෙම තලමගින් අංක ගැන දැනුමක් ඇති අයව පරික්ෂාවට ලක් කල හැකිය. මේවා වැඩි දියුණු කර අනෙක් ප්‍රබේධ හඳුනාගැනීමට පරීක්ෂණ සාදා ඇත.
මිට අමතරව Cambridge color test, HRR Pseudoichromatic color test, Hue test ආදී පරීක්ෂණ ගණනාවක් ඇත.
ඔබටම හඳුනාගත හැකි පරීක්ෂණත් අන්තර්ජාලයේ ඇතත් දෘෂ්ඨි විශේෂඥයෙක් ලවා පරික්ෂා කරවාගැනීම වඩා සුදුසුය. අන්තර්ජාලයේ ඇති එක පරීක්ෂණයක් මෙතනින් හමුවේ.

වර්ණ අන්ධතාව නිසා එදිනෙදා ඇතිවන අපහසුතා:
වර්ණවලින් නිරුපනය වන වගු, චාට් ආදිය කියවීමේ අසීරුතාව නිසා හඳුනාගෙන නැති සිසුවෙක් පාසලේදී අපහසුතාවට පත්විය හැකිය. කොළපාට ලෑලිවල කහපාටින් ලිවීමේදී හඳුනාගැනීමේ අපහසුතා ඇතිවිය හැකිය. වර්ණ භාවිතා කර සිදුකරන ක්‍රියාකාරකම් වලදී හා හඳුන්වාදීම් වලදී සිසුන්ට පැහැදිලි නොමැතිවිය හැකිය. මෙයින් සාමාජීය හා අධ්‍යාපනික පසුබෑම් ඇතිවිය හැකිය.
වාහන පැදවීමේදී වර්ණ සංඥා නිසිලෙස හඳුනා නොගැනීමෙන් අනතුරු සිදුවිය හැකිය. විශේෂයෙන් සංඥා තිරස්ව ඇති තැන්වල මෙම අපහසුතාව ඇතිවේ.
සිතියම් කියවීම, එදිනෙදා කටයුතුවල  වර්ණ ගැලපීමේදී බාධක ඇතිවේ. වර්ණ අන්ධතා ඇති අයට කෙසෙල් තේරීම අපහසු බව පර්යේෂණ වලින් හෙළිවී ඇත.
ගුවන් නියමු, විදුලි කාර්මික, මෝස්‌තර නිර්මාණය, චිත්‍ර හා මුර්ති ශිල්පය, ගෘහ අලංකරණය වැනි රැකියාවල නිරතවීමට වර්ණ අන්ධතාව  බාධාවකි.  සුපවේදය, ගුරු වෘත්තීය වැනි  රැකියාවන්හි  දීද ගැටළු ඇතිකළ හැකි තත්වයකි.

වර්ණ අන්ධතාව සඳහා ප්‍රතිකර්ම: 
වර්ණ අන්ධතාවට පිළියම් නැත. එහෙත්,
1. සමහර අන්ධතාවන් තරමක් සමනය කරන ඇස් කන්නාඩි වර්ග වෙළඳ පොලේ ඇත. මේවා එළිමහනේ තද ආලෝකය ඇතිවිට වර්ණ හඳුනාගැනීමට ඉවහල් වේ.
2. අන්තර්ජාලයේ, නවතම රුපවාහිනීවල, පරිගණක වල වර්ණ අන්ධ පුද්ගලයන්ට උපයෝගී කරගත හැකි ඇප් අඩංගුය. මෙවැනි ඇප් භාවිතයෙන් වර්ණ අන්ධ පුද්ගලයන්ට අපහසු දෙයක් වන ඇඳුම් සඳහා වර්ණ ගැලපීම කල හැකිය. සමහර චිත්‍රපටිවල වර්ණ අන්ධ අය සඳහා වූ විශේෂ පිටපත් ඇත.
3. මාර්ග සංඥා සඳහා වර්ණ වලට අමතරව රූප හෝ සලකුණු දීම.

මෙම තත්වයන් ඇතිවීම වලක්වා ගැනීමට
1. විවාහයට පෙර දෙදෙනාම රෝග වාහකයන් නොවන බව තහවුරු කරගැනීම
2. අනතුරුවලින් හිස් ආරක්ෂා කරගැනීමට සුදුසු හිස්වැසුම් පැළඳීම
3. දැඩි හිරු රශ්මියෙන් ඇස් ආරක්ෂා කරගැනීමට සුදුසු අව් කණ්ණාඩි පැළඳීම
කළ හැකිය.

පර්යේෂණ කෙරෙමින් පවතින ක්ෂේත්‍රයක් වන මෙහි, කේතු සෛලවල දෘෂ්ඨි හැකියාව වර්ධනය කිරීම පිලිබඳ අවධානය යොමුවී ඇත. එසේ වැඩි දියුණු කරගන්න දෘෂ්ඨිය ජිවිත කාලය පුරා පවත්වා ගැනීමේ තෙරපි පිලිබඳ පර්යේෂණ කරන්නේ ඇස්වල ආරක්ෂාව පවත්වාගන්නා අතර, ඵලදායිතාව රැකගැනීමටයි. වර්ණ හඳුනාගත නොහැකි වෙනස් ලොවක දිවි ගෙවන අයට ලොවේ අලංකාරය දැකීමට මේ පර්යේෂණ අනාගතයේ මහත් පිටිවහලක් වනු ඇත.

උදව්:
nei.nih.gov/health/color_blindness/facts
www.allaboutvision.com/conditions/colordeficiency.htm
www.smallbusiness-solution.com
www.color-blindness.com/50-facts-about-color-blindness/
https://99u.adobe.com/articles/59737/how-can-we-make-design-better-for-the-color-blind

No comments:

Post a Comment