Sunday 12 May 2019

සකුරා සුපිපෙන High Park Cherry Blossom

සකුරා කිව්වම මතකයට එන්නේ ජපානය. වසන්ත උදාව සනිටුහන් කරමින් ගස් පුරා පිරෙන සකුරා ජපානයට ආවේණික පියකරු පුංචි මලක්. ජපානයෙන් පිටත රටක ඉතා සුන්දරව  පිපෙන ජනාකීර්ණ නගර මධ්‍යයක උද්‍යානයක් ගැනයි මේ සටහන.
ඉස්සෙල්ලම බලමු මොනවද සකුරා කියන්නේ කියල.
සකුරා  ලෙස හඳුන්වන්නේ මල් හැදෙන චෙරි ශාකයි. Prunus ගණයට අයත් ශාක විශේෂ කිහිපයක්ම සකුරා නමින් හැඳින්වෙනවා. මේ ශාක සියල්ලක්ම ශීත කාලයේදී කොළ හලා ඉපල් ලෙස එම කාලය තරණය කරන්නේ. අප්‍රේල් මැයි කාලයේදී නැවත දළු ලෑමට පෙර කොළ රහිත අතු මත මල් පිපෙන්නට ගැනීම මේ ශාකවල විශේෂත්වයයි. සති කිහිපයක් ඇතුලත මුළු ශාකයම පිරෙන්නට මල් හට ගන්නවා.  සුදු හෝ ලා රෝස පැහැති මල් වැඩි ප්‍රමාණයක පෙති පහක් සහිතයි. පෙති තට්ටු දෙකක් සහිත අග රැලි මල් විශේෂත් තියනවා. මල් පිපෙන්නෙත් අනිත් මල් වගේම පියවර කිහිපයකින්.

මුලින්ම අතුවල විවිධ ස්ථාන වලින් කොලපාට මහත රවුම් පොට්ටු හැදෙනවා. ඊළඟට මේ පොට්ටු විශාල වෙමින් යන්තම් වර්ණ පෙනෙන්න ගන්නවා. තද රෝස පාට පොහොට්ටු පෙනෙන්නට ගන්නේ මල් පිපෙන්න දවස් 12කට විතර පෙරයි. ඊළඟට මලේ නටු දික් වෙමින් එක එක මල් වෙනම පෙනෙනවා.  පෙති දිග ඇරෙන්නට ගන්නේ ඉන් පසුවයි. සියලු ගස් එක ආසන්නම දවස දෙකෙන් මල් වලින් පිරෙනවා. මේ අවස්ථාව හඳුන්වන්නේ peak bloom නමින්. එක ළඟ තියන ගස් සියල්ල කොළ රහිතව මලින් පිරෙන මේ දර්ශණය මනස්කාන්තයි.
සාමාන්‍යයෙන් අප්‍රියෙල් අග හෝ මැයි මුල මෙලෙස peak තත්වයට එළඹෙනවා. උෂ්ණත්වය හා කාලගුණ තත්ත්ව අනුව දවස් වෙනස් වෙන්න පුළුවන්. මෙලෙස පිපෙන මල්, සුළං හා වැසි රහිත, සීතල කාළගුණ තත්වයන් පවතිද්දී දින 10ක් පමණ පිපි තිබෙනවා. මේ තත්වයන් අපගමනය වෙන්නේ කාලගුණ රටා වෙනස්වන වසරවලදී පමණයි. ඉඳහිට peak bloom නොමැති වසරත් තියෙනව. ඒ කියන්නේ ගස්වල මල් කාල පරතරයක් ඇතිව එකිනෙකට වෙනස් දවස්වල පිපෙන්නේ.
දින දහයකින් දොළහකින් මල් පෙති හැලෙන දවස් එනකොට දළු ඇවිත් ගහ ලා කොළ පාටින් පෙනෙන්නට ගන්නවා.
ඊළඟ ප්‍රශ්ණය සකුරා කියන්නේ චෙරි මල් නම් ඒවායින් චෙරි ගෙඩි හැදෙනවද?
චෙරි මල් පිපෙන ගස් වර්ග කිහිපයක් තියනවා. එයින් Prunus avium, Prunus yedoensis  (පැණි චෙරි), Prunus cerasus (ඇඹුල් චෙරි) මල්වලින් රස ගෙඩි හටගන්නවා. බොහොමයක් චෙරි, මල් හැදුනත්  ගෙඩි හැදෙන්නේ නැති වර්ග. ඒවායේ මල් පරවූ පසු කොළ හැදෙනවා මිසක් ඵලයක් දකින්නට ලැබෙන්නේ නැහැ. නැත්නම් ඉතා කුඩා ඵල ඇතිවන්නේ. හිස් අතු මත මල් නොඑන, කොළ හැදුනට පස්සේ මල් පිපි ගෙඩි හැදෙන චෙරි වර්ගත් තියනව.
මේ කාලයේම මේ වගේම මේ හැඩයේම සුදු පාට මල් පිපෙන තවත් ගස් වර්ග තියනව. අප්රිකට්, ප්ලම් වගේ ඒවා.

නිජබිම් වන ජපානයේ විතරක් නෙමෙයි සකුරා හැදෙන්නේ. ඉන්දියාව කොරියාව වගේ ආසියාතික රටවල වගේම ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය වගේ යුරෝපා රටවලත්, ඔස්ට්‍රේලියාව හා නවසිලන්තයේත්, ඇමරිකාව හා කැනඩාවේත් පැතිරිලා ගිහින් තියනව.

මල් පිපි තිබෙන දින දහයක් වැනි කෙටි කලක් වින්දනයට ඉතා ජනාකීර්ණ නගරයක පිහිටි විසල් උද්‍යානයක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර තියනවා. High Park නමින් හැඳින්වෙන සියලු ස්වභාවික අලංකාරය රැගත් උයනේ දර්ශණීය  කොටසක් චෙරි ගසින් යුතුයි. (සිතියමේ රෝස පැහැයෙන් තිබෙන්නේ සකුරා ගස් ඇති පෙදෙසයි).  සාමාන්‍ය දිනවලත් ඉහල ඉල්ලුමක් තිබෙන මෙම උයන මල් පිපෙන කාලයට ජනී ජනයාගෙන් පිරි ඉතිරෙනවා.
එක පසෙකින් විශාල ස්වභාවික පොකුණක් ඇති උයනට චෙරි ගස් පැමිණ තිබෙන්නේ 1959 දියි. එවක කැනඩාවේ ජපාන තානාපති වූ ටොරු හගිවාරා මහතා යුද්ධයෙන් පසු ජපානයට නැගී සිටීමට කැනඩා ජාතිකයන් කළ උදව් අගය කිරීමක් විදියට පොකුණට මුහුණ ලා ඇති උස් බිමේ  සිටවිමට චෙරි ගස් 2000ක් ලබා දී තිබෙනවා. ඉන්පසු 1984 දී ජපන් ජාතිකයන් දෙදෙනක් 'ජිවිත ප්‍රීතිමත් බවේ සංඛේතයක්' ලෙස තවත් චෙරි පැල මේ උයනටම පරිත්‍යාග කර තිබෙනවා. එලෙස වරින්වර ලද ශාක වලින් දැන් උද්‍යානයේ  පෙදෙසක් පිරි පවතිනවා.

ජපානයේ සම්ප්‍රදායික සකුරා නැරඹීමේ උත්සවය වන හනාමි අනුගමනය කරමින් මෙන් මෙම උයනේද මල් පිපෙන දිනවලට විවිධ කලා කටයුතු හා විනෝද කටයුතු සහිතව සතුටින් ගත කිරීමට දස දහස් ගණනින් සෙනග පැමිනෙනවා. Cherry Blossom ලෙස හැඳින්වෙන මේ දින ගණන අධික ජනයා හැරුණුකොට පැමිණෙන කාගේත් සිත සතන් පිනවීමට සමත් ආකර්ෂණිය පරිසරයකින් යුක්තයි. නිදහසේ ඇවිදිමින් නැරඹීමට අමතරව මල් සහිත ගස් අසල ඡායාරුප ගැනීම, මල් ගස් සෙවනේ බිම වාඩිවී අහර පාන ගැනීම, උයන වටා දිග රථයක චාරිකාවේ යාම, නැරඹීම සඳහා ඇති මන්තිරුවල බයිසිකල් චාරිකා යාම දකින්නට ලැබෙනවා. මල් සුපිපුණු ගස් සිතුවමට හසු කරගන්න චිත්‍ර ශිල්පීන්ද, යන එන අය පිනවන සංගීත කණ්ඩායම් ද දකින්නට ලැබෙන මෙම උයන ඇත්තෙන්ම විවේකය විනෝදය සපිරි තැනක්.

උදව්:
තුසිලා අක්කා, රේණුකා
ධම්මිකා හා රබෙල් යුවල
https://highparknaturecentre.com
https://www.sakurainhighpark.com

8 comments:

  1. Very interesting. Lots of details. Even more than my visit to cherry blossom in High Park, I learned a lot from this article. Thanks to Kala for sharing this information on Rasudal.

    ReplyDelete
  2. During Cherry season, there is "cherry picking" in Australia. In cherry orchards the public are allowed to pick ripe cherry fruits as much as possible. They can eat any amount they want. This is free of charge!

    ReplyDelete
    Replies
    1. There is also cherry picking season in Canada, usually late June or early July. As they fall off within two weeks farms invite people to pick. Sadly not free of charge though.

      Delete
  3. Thank you for sharing your valuable insights about cherry blossoms. I learned a lot reading this interesting article. I'm really happy that you decided to come and enjoy this wonderful experience with us.

    ReplyDelete
    Replies
    1. yoho.. Take me with you everywhere 😀 Thanks Dhammika

      Delete
  4. Replies
    1. අති සුන්දරයි!ස්තුතියි

      Delete