Friday 8 March 2019

ගූගල් ඩූඩල් මාර්තු 8: දිරිමත් කාන්තාවන්ගේ ශක්තිමත් ප්‍රකාශ

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ගුගල් අද  ඩූඩල් මගින් ඉදිරිපත් කර ඇත්තේ වෙනස් දෙයකි. ලොවට වැදගත් සේවයක් කළ කාන්තාවන් කිහිපදෙනෙක් ගේ ප්‍රකාශ ස්ලයිඩ් ෂෝ එකක් ලෙසින් දක්වා තිබේ.
ඒවා පිලිවෙලින් මෙසේය.

Never be limited by other people's limited imagination - අනික් මිනිසුන්ගේ සීමිත පරිකල්පන හැකියා නිසා ඔබේ හැකියා සිමා කර නොගන්න. 

මෙම අදහස ඇමරිකානු ජාතික  වෛද්‍යවරියක, රසායන ඉංජිනේරුවරියක හා ගගනගාමිනියක වන ආචාර්ය Mae Jamison ගේය. ඇය අභ්‍යවකාශයට ගිය පළමු කළු ජාතික කාන්තාව වන අතර විවිධ විශ්ව විද්‍යාලවලින් විද්‍යා, ඉංජිනේරු, මානව විද්‍යා ආදී ක්ෂේත්‍ර කිහිපයකින්ම ගෞරව ආචාර්ය උපාධිවලින් පිදුම් ලබා ඇත. තාක්ෂණික සමාගම් දෙකකම සභාපතිත්වය උසුලයි.

Feet, what do I need them if I have wings to fly - මට පියාඹන්න පියාපත් ඇත්නම් පාදවලින් ඇති ඵලය  කුමක්ද?
 මෙක්සිකෝ ජාතික චිත්‍ර ශිල්පිනියක වන Frida Kahlo ගේ ප්‍රකාශයකි. ඇය කුඩාකළ සිට පෝලියෝ රෝගයෙන් පෙළුණු අතර තරුණ වියේ සිදුවූ අනතුරක් නිසා ශල්‍යකර්ම 30කට මුහුණ දෙන්නට සිදුවිය. ඉන්පසු චිත්‍රකලාව කෙරෙහි තදින් ඇලුණු අතර, සිතුවම් වලින් ඇයගේ ශාරීරික හා මානසික වේදනා පිළිබිඹු වේ.

Let nothing bind you in the world other than your highest inner truth - ඔබේ ඇතුලාන්ත සත්‍යය හැර වෙන කිසිවකින් ලොවට ඔබ වෙත බැඳෙන්න ඉඩ නොදෙන්න. 
Emma Herwegh නම් ජර්මන් ජාතික රචිකවගේ කියමනකි.  ධනවත් උසස් පවුලක උපත ලද ඇ භාෂා තුනක් උගත්තාය. සංගීතය, චිත්‍ර, භාෂා පරිවර්තනයෙන් ඉහල දක්ෂතා දැක්වූ ඇය කවි ලිවීමේ ද යෙදුනාය.

A dream you dream alone is only a dream. A dream you dream together is reality- ඔබ තනිව සිහින දකින්නේ නම් ඒවා සිහින පමණකි. ඔබ සමුහයක් සමග සිහින දකින්නේ නම් එය යථාර්ථයයි. 
ඇමරිකාවේ වැඩි කලක් ජිවත් වූ ජපන් ජාතික යෝකෝ ඔනෝ නම් ගායිකා, ගීත රචිකා හා  සාම ක්‍රියාකාරිනිය විසින් ඉදිරිපත් කළ අදහසකි.

We are too precious to let disappointments into our lives. - අපේ ජිවිතවල වටිනාකම ඉතාම වැඩියි. ඒ නිසා බලාපොරොත්තු කඩවීම් වලට ඉඩ නැත. 
ඉන්දියාවේ තානාපති සේවයට ඇතුළුවීමට සමත්වූ ප්‍රථම දෘෂ්‍යබාධිත කාන්තාව වන බිනෝ සෙෆයින් ගේ කියමනකි. දැඩි අධිෂ්ඨානය හා කැපවීම තුලින් වයස අවුරුදු 25දී තම අරමුණ වෙත ලඟා වූ ඇය අන්ධභාවය තම අනාගතයට බාධකයක් කර නොගෙන ඒ මාර්ගය ඔස්සේම ඉහලට ගමන් කිරීමට  බලාපොරොත්තුව සිටින්නීය.


Do not say you are weak because you are a woman - ඔබ දුර්වලයයි නොකියන්න, ඔබ කාන්තාවක් බැවින්.
ඉන්දීය ජාතික බොක්සින් ශුරි මේරි කොම් ගේ මෙම අදහස ඇය ක්‍රියාව තුලින්ම පෙන්වන බව වැටහෙන්නේ හයවරක් නොකඩවාම ලෝක ආධුනික කාන්තා බොක්සින් ශුරතාව දිනා ගැනීමෙනි. ඊට අමතරව ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය ශුරතා ගණනාවක් දිනාගෙන ඇත. ඉන්දියාවේ ඉහලම සම්මාන ගෞරව නාමද දිනා සිටින්නීය.

I am stronger than myself - මම මටත් වඩා ශක්තිමත්
බ්‍රසීල ජාතික  Claris Lispector ගේ කියමනකි. සැමියා සමග ලොව විවිධ රටවල ජීවත්වූ ඇයගේ නවකතා හා කෙටිකතා ලොව සම්භාවනාවට පාත්‍රවිය.

I really believe in the idea of future - මම අනාගතය තරයේ විශ්වාස කරමි 
මෙසේ කියන්නේ බ්‍රිතාන්‍ය-ඉරාක ජාතික ගෘහ නිර්මාණ ශිල්පී Zaha Hadid ය. ස්වකිය ගෘහ නිර්මාණ කුසලතා සඳහා ලොව ඉහලම සහතික සම්මාන ලබා සිටි ඇය රැඩිකල් විසංයෝජන නිර්මාණ සඳහා ප්‍රසිද්ධය.  ඇය විසින් කරන ලද ගෘහ නිර්මාණ දුටුවිට ඇයගේ කියමනේ සත්‍යතාව වැටහේ.

Courage calls to courage everywhere - ධෛර්යය සැමතැනම ඇති දිරියනට ආරාධනා කරයි.
දිරිමත් කතක් වූ බ්‍රිතාන්‍ය ජාතික Millicent Fawcett බ්‍රිතාන්‍ය  කාන්තාවන්ට සර්වජන ඡන්ද බලය ලබාදීම සඳහා වෙහෙසව ක්‍රියාකළ කෙනෙකි. දේශපාලන නායිකාවක මෙන්ම රචිකාවකද  වන ඇය කාන්තා අයිතීන් සඳහා නොලස්ව ක්‍රියාකාරී දායකත්වය දුන් කෙනෙකි.

Wings are freedom only they are wide open in flight. On one's back they are heavy weight - පියපත්වලට නිදහස ඇත්තේ ඒවා විහිදා පියාසර කරන තෙක්ය. එසේ නොමැතිනම් ඒවා බරය.
රුසියානු විප්ලවය සමයේ එයට දායකත්වය දෙමින් විවිධ කවි රචනා කළ කිවිඳියකි, Marina Tsvetaeva.  ඒවා වටහා ගැනීමට අපහසු එසේම පරිවර්තනයට ඉතා අපහසු එහෙත් ජිවිතයේ සත්‍යය පවසන කවි ය.

The future can awaken in a more beautiful way than the past - අනාගතය, අතීතයට වඩා බොහෝ අලංකාර ආකාරයට පුබුදු කළ හැකිය.
ප්‍රංශ නවකතා කාරියක හා සමාජ ක්‍රියාකාරිනියක වන ජෝජ් සෑන්ඩ් ගේ කියමනකි. දුප්පතුන්, වැඩ කරන ජනතාව හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියාකාරී වීම නිසා බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමුවූ තැනැත්තියකි.

A person who has at least one dream has a reason to be strong - අඩු ගණනේ  එක සිහිනයක්වත් ඇති තැනැත්තාට ශක්තිමත් වීමට හේතුවක් ඇත. 
චීනයේ උපන් තායිවාන් ජාතික රචිකා Sanmao ගේ අදහසකි.

I matter. I matter equally. Not 'if only' not 'as long as'. I matter. Full stop. 
නයිජිරියානු ජාතික නවකතා, කෙටිකථා රචිකා Chimamamnda Ngozi Adichie ගේ මේ කියමන කොහොම පරිවර්තනය කරන්නදැයි ගැටලුවකි. නයිජීරියාවේ ඉපිද තුරුණු වියේ ඇමරිකාවට පැමිණ ආචාර්ය උපාධිය දක්වාම  උගත් ඇය අප්‍රිකානු සාහිත්‍යයට නව පරපුරේ අවධානය සාර්ථකව ලබා ගැනීමට සමත් රචිකාව ලෙස සැලකේ.

මේ සියලු අදහස්වල එකතුව වන්නේ කෙනෙක්ගේ හැකියාව සීමා මායිම් රහිත බවත්, සාක්ෂාත් කරගත නොහැකි සිහින නැති බවත් ය. ශක්තිමත් බව ක්‍රියාවෙන් පෙන්වූ කාන්තාවන් පිරිසකගේ මේ  කියමන්, කාන්තාවනට පමණක් නොව කා හටත් ජීවිතය හැඩගසා ගැනීමට උපයෝගී කරගත හැකිය.

උදව්:
උඩගෙදර සුගතපාල මහතා
https://en.wikipedia.org/wiki/
www.space.com/17169-mae-jemison-biography.html
www.fridakahlo.org
www.ndbooks.com/author/clarice-lispector/
www.poetryfoundation.org/poetrymagazine
www.youtube.com/watch?v=nH63ByKzR0g
elledecoration.co.za/5-standout-architectural-projects-by-zaha-hadid/

2 comments: