Thursday 21 March 2019

ගුගල් ඩූඩල් මාර්තු 20, 21: වසන්තය උදාව හා හෝලි උත්සවය

මාර්තු 20 : වසන්ත උදාව 
අද ඩූඩල් එක වෙනදට වඩා වෙනස්. කොටස් දෙකකට බෙදල දාල තියෙන්නේ රටවලට වෙනස් විදියට පෙනෙන්න. ඒක සාධාරණයි. උත්තර අර්ධගෝලයේ රටවලට අද සිදුවෙන සමකයට ඉර මුදුන් වීමෙන් පස්සේ එළඹෙන්නේ වසන්ත ඍතුවයි. මෙතෙක් කල් රාත්‍රී කාලය වැඩියෙනුත් ඉර එලිය අඩුවෙනුත් ලැබුණු සිතල වැඩිපුර තිබුණු මේ රටවල් ක්‍රමයෙන් වැඩි පැය ගණනක් ඉර එළිය තියන දහවල් කාල ලබන්න ගන්නවා. ගහකොළ මල් ඵලවලින්  පිරෙන බලාපොරොත්තුවේ ඍතුව ලෙසයි වසන්තය කවුරුත් දකින්නේ. අඳුරෙන් එලියට එන අදහස ගෙනෙමින් මේ ඩූඩලය පෙනෙන්නේ උත්තර අර්ධගෝලයේ රටවලට පමණයි.

සමකයට ඉර මුදුන් වෙන දවස හෙවත් විෂුවය equinox ලෝකයේ බොහෝ රටවලට දිවා රාත්‍රී සමානව ඒ කියන්නේ පැය 12 බැගින් ලැබෙන දවසක්. නිවර්තන රටවලට මෙය එතරම් දැනෙන්නේ නැතිවුණත් අර්ධගෝල වලට ආසන්නව තියන රටවලට ප්‍රධාන ඍතු වෙනස්වීමක් ආරම්භ වෙන දවසයි. පෘථිවියේ ස්වාභාවිකව පවතින අංශක 23 1/2 ඇලය නිසා අර්ධගෝලවල ධ්‍රැවයන්ට කිට්ටු  රටවලට මේ විදියට ආසන්න ලෙස සමානව දිවා රාත්‍රී කාල තියෙන්නේ කිහිප දිනයි.

දක්ෂිණ අර්ධගෝලයේ තියන රටවලට ග්‍රීෂ්ම ඍතුව නිමවෙමින් ක්‍රමයෙන් රාත්‍රී කාල වැඩි සිතල වැඩි ඉර දුරස්ව පිහිටන කාල සීමාවක් එළඹෙන්නේ. ඒ කියන්නේ ගස්වල කොළ හැලෙන, සිතල වැඩිවෙන, ඉර දකින්න තියෙන කාලසීමාව අඩුවෙන කාලයක් එළඹෙන්නේ. හේමන්ත ඍතුව ලෙස අපි හඳුන්වන ඒ කාලයේ ඉදිරියට එන සීතලට ඔරොත්තු දෙන ව්දියට පරිසරය හැඩ ගැහෙනවා. ඊට සරිලන ඩූඩලයක් දක්ෂිණ අර්ධගෝලයේ රටවල ගුගල් මුල් පිටුවේ තියෙන්නේ.

මේ දෙකම නැතිව වෙන ඩූඩල් එකක්  තියන රටවලුත් තියනව. ඒ පර්සියානු අලුත් අවුරුද්ද සමරන පකිස්ථානය, කසකස්ථානය, උස්බෙකිස්ථානය, තුර්කිය, අසර්බයිජානය යන පුරාණ පර්සියාව ලෙස සැලකු රටවල් හා ඊශ්‍රායලය. සුර්යයා සමකය තරණය කරන මාර්තු 20 හෝ 21 ඔවුන් අලුත් අව්රුද්ද ලබන දිනය ලෙස සලකන්නේ. මෙම දිනය හඳුන්වන්නේ නෝරුස් Nowruz ලෙසයි. නව වසර සමරන සියලුම රටවල් උත්තර අර්ධගෝලයේ පිහිටන නිසා ඔවුන්ටත් මෙය වසන්තයේ ආරම්භයමයි. ඒ හින්ද ඒ රටවලට වෙනස් ඩූඩල් එකක් දීල.
ලොව පුරා පර්සියානු අවුරුද්ද සමරන අයගේ දින 13ක උත්සව සමය මේ සමග ඇරඹෙනවා. නව වසරක් පමණක් නොවේ, ස්වභාව ධර්මයාගේ චක්‍රයේ නැවත ඉපදීම, පුනර්ජීවනය සනිටුහන් කරන දිනක් ලෙසයි අතීතයේ සිටම මේ දිනය සලකන්නේ.
අපේ අලුත් අවුරුද්ද වගේම මේ සඳහා ඔවුන් ගෙවල් දොරවල් පිරිසිදු කරල, අලුත් ඇඳුම් මහල, කෑම පිළියෙළ කරලා සැරසෙන්නේ සති ගණනක් ඉඳලයි. වැඩිහිටියන්ගෙන් දරුවන්ට ඇඳුම් තෑගි ලැබෙනවා.
නව අවුරුදු දිනයට පෙර එළඹෙන බදාදා දිනයේ ගිනි මැලයක් දල්වල ඊට උඩින් එහෙට මෙහෙට පැනල පරණ අවුරුද්දේ අපවිත්‍ර දෙයින් මිදීල පිරිසිදු වෙන චාරිත්‍රයක් තියනව. අපි වගේ නාල පිරිසිදු වෙනවා නෙමෙයි. ඒ වගේම මේ කාලයේදී කුඩා ළමයි මුට්ටි අරගෙන ඒවාට හැඳි වලින් තට්ටු කරමින් ගෙයින් ගෙයට ගොස් රසකැවිලි ඉල්ලගෙන ඒමේ සිරිතකුත් තියනව. මෙය මට සිහිපත් කළේ බටහිර රටවල සමරන හැලොවින් උත්සවයයි.
උත්සව මේසයක් පිළියෙළ කිරීම හැම නිවසකම සිදුවෙනවා. මෙය ඉතා සැලකිල්ලෙන් පිළියෙළ කරන්නක්. මෙහි වසන්ත සමය පිළිබිඹු කරන ද්‍රව්‍ය හතක්  තබනවා. මේ සියල්ල ශබ්දයෙන් ඇරඹෙන ඒවා.

සීබ් (ඇපල් ) - අලංකාරය උදෙසා
සියර් (සුදුළුණු) - නිරෝගිබව උදෙසා
සර්කේ (විනාකිරි) - ඉවසිලිවන්තභාවය  උදෙසා
සොන්බොල් (හයසින්ත් මල්) - වසන්ත සමය උදෙසා
සමානු (පැණිරස පුඩිම) - සාරවත්බව උදෙසා
සබ්සේහ් (පැලවෙමින් පවතින දේ) - පුනර්ජීවනය උදෙසා
සර්කෙහ් (කාසි) -සෞභාග්‍යය උදෙසා
සමහර පවුල් මීට අමතරව sumec නම් කුළුබඩු වර්ගය ඉර උදාව පිලිබිඹු කරන්නත්, නෙලුම් අල (senjed) ආදරය පිළිබිඹු කරන්නත් එකතු කරනවා.
ස ස්වරයෙන් ආරම්භ නොවුනත් පරාවර්තනයට දර්පනයකුත්, වාසනාව උදෙසා ගෝල්ඩ්ෆිෂ් මාලුවෙක් සහිත බෝතලයකුත්, රසකැවිලි හා පලතුරුත් මේසයේ අඩංගු කරනවා. 13 වන දිනයේ මේසය අස්කරන අතර එදා අහර වේල බත් සමග මාළුයි. මෙතෙක් මේසය මත තිබුණු පැළෑටි (සබ්සේහ්) ගලයන ජලයට එකතු කරන්නේ පෙර වසරේ සියලුම අයහපත ඒ සමග ඉවත්ව යන ලෙස පතමින්.

මාර්තු 21: හෝලි උත්සවය
ඉන්දීය චිත්‍රපටි ටෙලි නාට්‍ය නරඹන අපි කවුරුත් දැක තියෙනව වීදිවලට බැහැල වර්ණ කුඩු එකිනෙකාට විසිකරන දවසක්. මෙයත් නව වසර, වසන්තය යන සියල්ල හා බැඳුනු උත්සවයක්. හැබැයි එය හැමවිටම සූර්ය වසන්තය උදාව ලෙස සලකන මාර්තු 20 සමග සමපාත වෙන්නේ නැහැ. ඒකට හේතුව ඔවුන් මෙම හෝලි දිනය යොදාගන්නේ පසළොස්වක දිනයට පසුදින වීමයි. ඉන්දියාවේ එය නිවාඩු දිනයක්.
වර්ණ අතර තියන Google හොයන්න පුලුවන්ද? 

පුන් පෝ දා රාත්‍රී ගිනිමැල දල්වා ඒ වටා වටවී ගීත ගයමින් නර්තනයේ යෙදීම උත්සවයේ මුල් පියවරයි. මෙහි පර්සියානු අලුත් අවුරුද්ද මෙන්ම සමහරු ගිනිමැලය උඩින් දුවමින් පරණ පව් ඉවත්කර පිරිසිදුවිමක් දක්වන අවස්ථා තියෙනවා. මෙයට අතීතයේ සිට එන කතාවකුත් හේතුවෙනවා. හොලිකා නම් යක්ෂයා ඔහුගේ බෑණා වන යහපත් ප්‍රහ්ලඩ් ගිනිගොඩක දවා විනශ කරන්නට සැදූ මුත් ඔහුම එහි දැවී විනාශ වීමෙන් නරක වියැකි හොඳ ඉතිරිවීම සංඛේතවත් කරන්නේ.
ඉන්පසු එළඹෙන දිනයේ උදැසන සිටම විශේෂ වර්ණවත් කුඩු රැගෙන වීදි බසින සැමදෙනාම තරාතිරම නොබලා සැම වෙත මේවා විදීමෙන් හා මුහුණුවල තැවරීමෙන් සියල්ලෝම සතුටු වෙනවා.  වර්ණ මෙම දිනය සඳහා යොදාගත්තේ ගෝපි ක්‍රිෂ්ණා කතාවෙන් ලද පන්නරයකින් කියලයි කියවෙන්නේ. ආදරයේ හා වර්ණයේ මෙම උත්සවය මගින් උස්මිටිකම්, තරහ මරහ  අමතක කර කා හටත් දයාව පාමින් එකමුතුවිමක් දක්වනවා. වතුර බැලුම් හා වතුර විදින උපකරණවලින් අනිත් අයට විදීමට කුඩා දරුවන්ව පවා උනන්දු කරනවා. හැමදෙනාම එකලෙස විනෝද වෙන මෙම දිනය සැබෑවටම සතුට ආදරය පිරුණු දිනයක්. සවස් වත්ම වර්ණයෙන් නැහැවී ගිය තෙත ඇඳුම් මාරුකර පිරිසිදු සුදු  ඇඳුම් ඇඳගන්නා සැමදෙනා වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගෞරව කරනවා.
මම ඉන්දියාවේ සංචාරය කළ විටෙක මෙවැනි හෝලි දිනයක් අත්දැකීමට ලැබුණා. අපිට හෝටලයෙන් පිටතට නොයන ලෙස ඉල්ලීම් කළා. නමුත් වීදිවල සිදුවන මේ අපුර්ව සුන්දර වර්ණ දර්ශන වලින් ඉමහත් ප්‍රීතියක් ලබාගන්න පුළුවන් වුණා. එදාට පරණ ඇඳුම් ඇඳගෙන එලියට යන්නේ හැමදෙනාම වගේ. වර්ණ කුඩුවලින් හා වතුරෙන් නැහැවුණු කිසිවෙක් අනෙක් අය කෙරේ කෝප ගන්නේ නැහැ. වාහන පවා නවත්වා ඒවා තුල සිටින අයටත් වර්ණ වගේම වතුර විදීම කෙරුණා. ඒ අයත් සිනා වී අනිත් පැත්තට පාරේ ඉන්න අයට වර්ණ තවරලා යනු දුටුවේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරයේ, වර්ණයේ හා සතුටේ දිනයක් හෝලි.


උදව්:
www.google.com/doodles/spring-2019-northern-hemisphere
courses.lumenlearning.com/astronomy/chapter/the-seasons/
www.google.com/doodles/nowruz-2019
www.cnn.com/2019/03/20/world/what-is-nowruz-trnd/
https://www.google.com/doodles/holi-2019
https://www.holifestival.org/

1 comment: