Saturday 28 October 2017

හැලොවින් Halloween ...ඒ මොකද්ද?


ඇමරිකානු රටවල මේ දවස්වල ලොකු පොඩි බොහෝ දෙනාගේ  කතාව හැලොවින් ගැනයි. එදාට මොනවද අඳින්නේ? ගෙවල් සරසන්නේ කොහොමද? පාසල්වල මොනවද ඒ වෙනුවෙන් කරන්නේ? රාත්‍රියට රසකැවිලි ගන්න යනවද? බෙදනවද? තරුණ ළමයි සාද පවත්වන්නේ කොහෙද? 
ලංකාවට නම් මේවා තරමක් ආගන්තුක වුනත් බටහිර රටවල ඔක්තෝබර් 31 වෙනිදා සමරන විනෝදාත්මක බවක් දක්වන හැලොවින් උත්සවය ගැන දැන් දැන් පෙරදිග රටවලත් අවධානය යොමුවෙමින් පවතිනවා. අවතාර, පැණිරස, වට්ටක්කා ඔක්කොම මුසුවූ මේ දිනයේ ආරම්භය හා විකාශය ගැන  ලියන්න හිතුවා. 

වසර 2000කට පමණ පෙර දැන් බ්‍රිතාන්‍යය, අයර්ලන්තය හා ප්‍රංශයේ උතුරු කොටස්වල ජිවත් වූ සෙල්ටික් Celtic ජාතිකයන් අස්වනු නෙලන සමයේ අවසානය සටහන් කරන දිනය ලෙසයි හැලොවින් මුලින්ම ආරම්භ කර ඇත්තේ.මෙදිනෙන්  පසු සිතල වැඩිවීමත් සමග භෝග මියයාමත්, පස් තදවෙන නිසාත් මේ රටවල වගා කළ නොහැකියි. මේ දිනයේදී මළවුන්ගේ ආත්මයන් මිනිස් ලෝකයට පැමිණෙන බව ඔවුන් විශ්වාස කළා.  ගිනිමැල දල්වා ඒ වටා හිඳ මියගිය අය සිහිපත් කරමින් යාච්ඥා කර තිබෙනවා. ඒ සමග පැමිණෙන නරක ආත්ම රවටන්නට සුදු හැඳ, කළු පාටින් මුහුණු පාට කරගෙනයි සෙල්ටික් ජාතිකයන් යාච්ඥා මෙහෙයන්ට සහභාගී වී තිබෙන්නේ.
අයර්ලන්තයේ ගේල් Gael ජාතිකයන් විශ්වාස කළේ මේ දිනයට අපේ ලෝකයත්, මළවුන්ගේ ලෝකයත් අතර බිත්තිය තුනී වන නිසා මළවුන්ගේ ආත්මයන් (spirits ) ඒ තුලින් මෙලොවට පැමිණ භෝගවලට හානි පමුණුවන බවයි. ඒ නිසා ඔවුන් 31 වෙනිදට මළවුන්ට ආරාධනා කිරීම සඳහා රාත්‍රී කෑම මේසයක් සුදානම් කළා. නරක, නපුරු ආත්ම පලවා හැරීමට ගිනිමැල දැල්වූවා. 
නමවන සියවස වෙද්දී සෙල්ටික් ප්‍රදේශවල ක්‍රිස්තියානි ආගම පැතිරීමත් සමග ක්‍රමයෙන් පැරණි චාරිත්‍ර හා මුසුවෙමින් වෙනස්කම් සිදුවුණා. ක්‍රි.ව. 1000දී ක්‍රිස්තියානි පල්ලිය නොවැම්බර් දෙවෙනි දින සියලු අත්මයන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. එය All Hallows day ලෙසත් හැඳින්වෙනවා. දුප්පත් සෙල්ටික් මිනිසුන් පොහොසත් ක්‍රිස්තියානි මිනිසුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ගේ මියගිය ඥාතීන් වෙනුවෙන් යාච්ඥා කර ඒ සඳහා ආහාර ලබාගෙන තිබෙනවා.  
11වන සියවස වෙද්දී පොඩි ළමයි සුරංගනාවෝ, යක්කු, ශාස්තෘවරු වගේ ඇඳගෙන ගෙයින් ගෙට ගොස් මියගිය අය වෙනුවෙන් යාච්ඥා කළාම ඔවුනට කුරුස ඇඳපු කේක් දී තිබෙනවා. ඒවා කෑ විට එම ආත්මයන් දුකින් මිදී ස්වර්ගයට යන බව විශ්වාස කළා. 
19වන සියවස වනවිට මෙසේ යාච්ඥා කරන එක ආගමික ගීතිකා ගයන එක බවටත්, කේක් දෙන එක පලතුරු, පැණිරස, මුදල් දීම බවටත් වෙනස් වෙලා තියනව. ක්‍රමයෙන් තරුණ පිරිස් මේ දිනයට විවිධ අමුතු ඇඳුම් ඇඳගෙන නිවෙස්වලට ගොස් ගීයක් ගයා, කවියක් කියා හෝ විහිළු කතාවක් , ජවනිකාවක් රංග දක්වා පලතුරු හා මුදල් ලබාගැනීම දක්වා චාරිත්‍ර වෙනස් වී තියෙන්නේ. Trick කියන වචනය හැලොවින් වලට සම්බන්ධ වුනේ එහෙමයි. Trick එකක් කලවිට treat එකක් ලැබීම මෙහිදී සිදුවෙන්නේ. 

All Hallows Day ට පෙරදින  hallow eve නිසා පසුකාලීනව එය Halloween ලෙස විකාශය වූ බව සිතිය හැකියි. යුරෝපින් ඇමරිකාවට ආගමනයත් සමග මේ සිරිත් විරිත් සියල්ලම ඔවුන් සමග එහි ගෙනගොස් තිබෙනවා. මිට සමාන සිරිත් ඇමරිකාවේ ආදී වාසීන් අතරත්, වෙනත් යුරෝපා ජාතින් අතරත් තිබුණු බව කියවෙනවා.
ඇමරිකාවේදී මෙම යුරෝපා සිරිත්, ගෙයින් ගෙට ගොස් බියවැද්දීම් හා විහිළු කර පැණිරස කෑම ලබාගැනීම පමණකට සීමා වෙලා.  එයට trick -or treat කියන්න පටන් අරගෙන තියෙන්නේ 1927දී.  
දෙවන ලෝක යුද්ධ සමයේ තරමක පසුබෑමකට ලක්වූ හැලොවින්,  ඉන්පසු ළමුන් වෙනුවෙන් වූ විනෝද උත්සවයක් බවට පත්වෙලා. ඇඳුම් ක්‍රමයෙන් වවුලෝ, අවතාර, මන්තරකාරයෝ, ඊජිප්තු මමී විදියට විකාශය වෙලා.
අයර්ලන්ත ජාතිකයන් මුලදී ටර්නිප් වලින් භයානක මුහුණු හැදු නමුත් ඇමරිකාවේ ටර්නිප් නැති නිසා ඒ වෙනුවට ඒ කාලයට බහුලව තියන වට්ටක්කා යොදාගන්න පටන්ගෙන. වට්ටක්කා මදය අයින් කරලා මුහුණු කැටයම් කරල මැදින් ඉටිපන්දම් ගහන Jack o lantern බිහිවෙලා තියෙන්නේ ඇමරිකානු ජන කතාවක් ඇසුරෙන්. 


වට්ටක්කා ගෙඩිය ඉහලින් කපා මදය ඉවත්කර තියුණු පිහියකින් හැඩතල කැපීම පවුලේ අය සතුටින් කරන දෙයක්.
දැන් ඉතින් සියල්ල වාණිජකරණය වෙලා. 
හැලොවින් සඳහාම පොත්ත තද, විශාල වට්ටක්කා වගා කරනවා. දැන් දැන් විවිධ ප්‍රමාණයෙන් යුතු ප්ලාස්ටික් වට්ටක්කාත් වෙළඳ පොලට ඇවිත්.
හොලොවින් සඳහා නිවෙස් සැකසීමේ සිට ආහාර බෙදීම, විනෝද උත්සව පැවැත්වීම, ඇඳුම් සැකසීම, සංගීතය පවා විශේෂයෙන් නිර්මාණය වෙලා.
ඇඳුම් සකස් කරන එක ව්‍යාපාරයක් ලෙස මේ සමයේ ඉහලින්ම කෙරෙනවා. සුපර් මෑන්ලා, වෙස්මුණු, කඩු, තුවාල, ලේ පෙරාගත් අය, ඇටසැකිලි, නපුරු මන්තරකාරියෝ නැති කෙනෙක් නෑ.
මේවා ඇඳගෙන පැණිරස දෙන අයයි , ගන්න එන අයයි එකිනෙකාව බය කරගන්නවා.  

ටොෆි චොකලට් ආදී පැණිරස හැලොවින් සඳහාම විශේෂයෙන් නිපදවෙනවා. පැණිරස වර්ග මෙන්ම ඒවා එකතු කරන්න ගෙනියන විවිධ හැඩ  බඳුන් වෙළඳ පොලේ පිරිලා. 

නිවෙස් ඉදිරිපස  හැලොවින් සඳහා සැරසිලි කිරීම ඔක්තෝබර් මස මැද සිටම සිදු කෙරෙනවා. මකුළු දැල්, සොහොන්කොත්, මිනි ඔළු, අවතාර වගේ සැරසිලි නිවෙස් ඉදිරියේ දැකීම මුලින්නම් පෙරදිග අපේ සිත බියපත් කරවන සුළු වුණා.  විවිධ විදියේ වට්ටක්කත්, පාළු බවක් උසුලන හා භීතිය දනවන  දර්ශනත් නිවෙස් ඉදිරියේ දැකීම බහුලයි. හවසට පැණිරස ඉල්ලන්න එන ළමයි බයකරන්න සංගීත ඛණ්ඩ පවා අමුතුවෙන් නිපදවෙනවා. 

ඔක්තෝබර් 31 වෙනිදා බිම් කළුවර වැටෙනකොටම විවිධ ඇඳුම් ඇඳගත් ළමුන් ගෙන්ගෙට යාම පටන්ගන්නවා. සරසන ලද ගෙවල්වල වැසියන් ඔවුන්ට පැණිරස බෙදනවා.
නිවෙස්වලට ගොස් පැණිරස එකතු කිරීමේ වයස ඉක්මවූ තරුණ හා මහලු පිරිස් විවිධ ඇදුම් ඇඳගෙන සාද පවත්වනවා. 

එදා දවස පුරා මෙවැනි ඇඳුම් ඇඳගත් අය, සැරසිලි කරගත් අය මගතොටේ දැකීම අරුමයක් නොවේ. හැලොවින් දිනය දැන් පාසල්වල, ආයතනවල  විවිධ ඇඳුම් ඇඳගෙන විනෝද උත්සව තියන විනෝදකාමී දිනයක් ..

හැලොවින් දිනය සඳහා ඇමෙරිකානුවන් වසරකට ඩොලර් බිලියන හයක් පමණ වැය කරන බවයි කියවෙන්නේ.

උදව්:
The Daily Telegraph
www.history.com/topics/halloween
www.albany.edu/~dp1252/isp523/halloween.html

13 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අපට නුහුරු මේ සිරිත් පසුගිය වසරේ මුල්වරට දැකිමෙන් එක්තරා අන්දමක සතුටක් වින්දත් මේ කුමක්ද යන්න තේරුම් ගත්තේ එදා පළවූ ඔබේ කොමෙන්ටුවක් හා රසුදැල් විස්තර හා විවරණ මගින්. මේ වසරේ මේ අය සමරණ හැලොවින් උත්සව හා පෙරහර දක්නට අවස්ථාව ලැබූ විටක මා කුඩා කළ පන්සලක දුටු යතිවර සිරිතක් සිහිවුනා.
    පන්සල් වත්තේ එක් පාළු ස්ථානයක වැලි මළුවක් හා එහි අවසන ස්වාභාවිකව නිමැවී තිබූ ගල් ලෙනක් වැනි තැනක සැබෑ ඇටසැකිල්ලක් නංවා තිබුණා. පන්සලේ හිමිවරුන් සහ සිල්සමාදන්ව සිටින අවස්ථාවල ඇතැම් ගිහි උපාසක උපාසිකාවන් ද එහි ගොස් මරණානුස්සති භාවනාවේ යෙදුන අන්දම සිහිපත් වූනා. විනෝද වෙමින් මේ අය එක්තරා අන්දමක මරණානුස්සති භාවනාව වැඩීමක් කරන්නේ දැයි ඒ මතකය නිසි සිහි වෙනවා. ගතවුන සති දෙකක කාලය තිස්සේ නිවෙස්වල සකස්වන සැරසිලි හා මේ සැමරුම් සිදුවන අන්දම දෙස බලා සිටින්නෙමි. ඔබේ මේ ලිපියෙන් තවත් දැනුවත් වුනා ස්තුතියි බුද්ධිනී.

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතන්න පුළුවන්. මුලදී මළවුන් සිහි කිරීමක්..දැන් විනෝදයක් වුනත් යම් ආකාරයක මියගියවුන් සංකේතවත් කිරීමක් සිහි කිරීමක් තියනව..ස්තුතියි.

      Delete
  3. 1. හැලොවින් ගැන දැන ගන්න හිටියේ. මේ විස්තරයෙන් හොද දැනුමක් ලැබුණා. හැලෝවින් කියන පදය හැදුණු විදිය ගැනත් කිව්ව නම් හොදයි. 2. කාලගුණයේ වෙනස සමග ගොවිතැන් සමග සිංහලයනුත් අවුරුදු උත්සවය පැවැත්වුවා. අලුත් සහල් මංගල්‍යය වැනි චාරිත්‍රත් තියෙනවා. මේ වන් උත්සව මිනිසාගේ උරුමයක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ කොටස මගෑරිලා. ඔන්න ලිව්වා නම හැදුනු හැටි. ස්තුතියි සර් මතක් කළාට
      ළඟදි ක්‍රොයේෂියානු ජාතික ළමයෙක් කිව්වා ඔවුනටත් මේ විදියට ගෙයින් ගෙට ගොස් රසකැවිලි එකතු කරන දිනයක් තිබෙන බවත්, වෙනස මේ වගේ විශේෂ ඇඳුම් අඳින්නේ නැති එක කියල. ඇමරිකාවේ ආදී වාසින් අතරත් මෙවැනි චාරිත්‍ර තියනව.

      Delete
  4. මාරයි ඒකනම් .. ස්තූතියි . අලුත් යමක් ඉගෙනගනගත්තා..දිගටම ලියන්න සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ටික කලකින් ලංකාවටත් එන්න බැරි නෑ මේවත්..
      ස්තුතියි.

      Delete
  5. හැලොවීන් නම මොඩිෆයි කරල ගම්මු ලංකාවට ගැලපෙන විදියට.

    ReplyDelete
    Replies
    1. ඔන්නොහෙ ගෙඩි පිටින් ගමු :)

      Delete
  6. අලුත් දෙයක් දැන ගත්තා ...ස්තුතියි

    ReplyDelete
  7. ඔබේ මේ ලිපිය අද කියෙවුවේ දෙවන වතාවට. ඔබේ ලිපියේ කාලීන වටනාකම අදටත් එසේම පවතිනවා. මා මෙහි පැමිණි මුල් අවදයේ සිටම මේ ගැන පැවති කුතුහලය දැන් ටික ටික මගහැරී තිබෙනවා.
    මොනතරම් ක්‍රෝධයකින් බැනවදිමන් මේ රටවල් ගැන කතා කරමින්ම ලංකාවෙ අයත් මේ රටවල්ම අනුකරණය කරමින් හැලෝවින් සමරන්න යන බව පෙනී යාම පුදුමයක් වුනත් ඇත්තටම සිදුවන බව පළවන වෙළඳ දැන්වීම් වලින් පෙනෙනවා! "ඔන්න ඔහෙ ගෙඩිපිටන්ම ගමු" යය ඔබ විහිවළුට පැවසූ දෑ ඇත්තටම සිදුවෙනවා නේද?

    ReplyDelete
  8. අගය කරමි .දැනුවත් කිරිම වටිනවා.....

    ReplyDelete